මිනිසා ශිෂ්ටාචාරගතවූ කාලයේ පටන් සෑම සංස්කෘතියකම රූමත් බව විවිධාකාරයෙන් අර්ථ දැක්වුනා. රූපලාවන්‍ය මිමි සංස්කෘතිය අනුවත්, වයස අනුවත්, ඇතැම්විට සමාජ පන්තිය අනුවත් විවිධාකාර වුණා. මෙම රූපලාවන්‍ය මිමි වලට අනුගත වීමට කරන ලද සත්කාරයන් මුහුණට පව්ඩර් දැමීම වැනි සරල ක්‍රියාවන්ගේ සිට, කාන්තා අංගඡේදය වැනි අමානුෂික ක්‍රම දක්වාද පැතිර තිබුණා.
මෙවන් සමහර පුරුදු සමාජය අතින් දැනට ගිලිහී තිබුණත්, ඇතැම් ක්‍රම ඉතා මෑත කාලයක් වන තුරු පැවතුනා වගේම තවත් සමහර පුරුදු වර්තමානයේදීත් සමහර ජන වර්ගයා අතරේ භාවිතා වෙනවා. මෙම ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තවමත් එවැනි සිරිත් පිළිපදින ජන වර්ග කීපයක් ගැන අපුරු විස්තර ටිකක් ඔබ වෙත ගෙන එන්නයි..
මඕරි ගෝත්‍රය – නවසීලන්තය
මුහුණේ පච්ච කෙටූ කාන්තාවන් ඉතාමත් සුන්දර බව නවසීලන්තයේ මඕරි ගෝත්‍රිකයින් විසින් සලකණු ලබනවා. මෙම පච්ච කෙටීමේ සිරිත මඕරීන් අතර හැඳින්වෙන්නේ Tā moko යන නමින්.
ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය විසින්ම මෙම සිරිත අනුගමනය කළත්, පච්ච කොටාගන්නා ස්ථානය ස්ත්‍රී පුරුෂභාවය මත වෙනස් වනවා. පුරුෂයින් බහුලවම මුහුණ පුරාත්, තට්ටම් වලත්, කලවා වලත්, ස්ත්‍රීන් බහුලවම තොල් මතත්, නිකට මතත් පච්ච සටහන් කරගැනීමට හුරුව සිටිනවා. ඊට අමතරව නළලේත්, තට්ටම් වලත්, කලවා වලත්, බෙල්ලේ, සහ පිටෙහිත් මෙම පච්ච කෙටීම සිදු වනවා. ඉදිකටුවක් වෙනුවට කැපුම් කටුවක් භාවිත කරන නිසා මෙම පච්චයන් බොහෝවිට රළු ඉලිප්පුම් සහිත ස්වභාවයක් ගැනුනා.
20වන සියවසේ මැද භාගයේ දී පමණ මෙම සිරිත ක්‍රමයෙන් අඩුව ගියත්, සංස්කෘතික අනන්‍යතාව රැකගැනීමේ රැල්ලක් ලෙස එම සියවසේ අග භාගයේ දී නැවතත් මෙම සිරිත ජනප්‍රියත්වය පත්ව තිබෙනවා. වර්තමානයේ දී මෙම පච්ච කෙටීමට බහුලවම භාවිතා වන්නේ සාමාන්‍ය පච්ච කොටනා ක්‍රියාවලියමයි.
කායන් ලාහ්වි ගෝත්‍රය – මියන්මාරය
කායන් ලහ්වි යනු බුරුමයේ කායන් ගෝත්‍රයේ එක වරිගයක්. ඉතාමත් දිගු ගෙලක් ඇති කාන්තාවන් ඉතා රූමත් බවට සලකන කායන් ලාහ්වි ජනතාව, දිගු ගෙලක් ලබාගැනීම සඳහා ගෙලට පිත්තල වළලු පළඳින සිරිතක් තවමත් අනුගමනය කරනවා.
කායන් ලාහ්වි දැරියක් ගෙලට වළලු පැළඳීම අරඹන්නේ වයස අවුරුදු 5ක් පමණ වන තැන පටන්මයි. වයසින් වර්ධනය වත්දී පැළඳ සිටින වළල්ල ඉවත්කොට වඩාත් වැඩි දඟර සංඛ්‍යාවක් ඇති වළලු පළඳිනවා. ඇතමුන් මෙම වළලු තම ජීවිත කාලය පුරාවටම පැළඳ සිටින අතර, ඇතැමුන් මේවා ඉවත්කර දමනවා.
කෙසේ නමුත් මෙම ක්‍රියාවලිය මගින් සිදු කරන්නේ ගෙල දිගින් වැඩි කිරීම නොව ග්‍රීවාස්ථි පහතට තෙරපීම මගින් ව්‍යාජ දිගක් ගෙලට ලබා දීමයි. වළලු වලින් හිසට ආධාර දෙන නිසා ගෙලෙහි මාංශ පේශී දුර්වල වුණත්, කලක් මෙම වළලු නොපැළැඳ සිටීම මගින් ගෙලෙහි පේශීන් නැවතත් යථා තත්ත්වයට පත්වන බව පැවසෙනවා.
උසස් පාන්තිකයින් – චීනය
‘පියුම් පාද’ 10වන සියවසේ පමණ ඇරඹි බවට විශ්වාස කරන, 20වන සියවසේ මුල් භාගයේ දී චීන රජය විසින් තහනම් කරන ලද සිරිතක්. ආදි චීනය කාන්තාවන්ගේ ඉතා කුඩා පාද පියකරු බවට සලකනු ලැබූ නිසා, සිරිතක් ලෙස කාන්තාවන් ඉතා කුඩා වියේදීම ඔවුන්ගේ පාද වල අස්ථීන් කැඩෙන ලෙස කුඩා කොට නවා තදකර බැඳීම සිදුකෙරුනා.
මෙම සිරිත බොහොකොටම පැතිර තිබුණේ උසස් පාන්තික කාන්තාවන් අතරයි. කුඩා කොට බඳින ලද පාද නිසා ඇවිදීම සහ බර වැඩ කිරීම අපහසු නිසාවෙන් පහත් පාන්තිකයින් සාමාන්‍යයෙන් මෙම චාරිත්‍ර අනුගමනය කිරීමෙන් වැළකුණු බව සඳහන්.
පාදයේ වක්‍රය සම්පූර්ණයෙන් වර්ධන වීමට පෙර, එනම්, දැරියක් වයස අවුරුදු 4ත් 9ත් අතර වයසක සිටින් විට මෙම ක්‍රියාවලිය ඇරඹෙනවා. ප්‍රථමයෙන් පාදයන් ඖශධ සහිත උණුසුම් මිශ්‍රණයක තෙමා ගැනීම සිදුකෙරෙනවා. ඉන් අනතුරුව පා ඇඟිලි වල නියපොතු කපා දමන අතර, පාදයේ පතුළට තද කොට පා ඇඟිලි බිඳ දමනවා. ඉන්පසු පාදයේ ආරුක්කුව බිඳ දැමෙන අතර, පාදයේ අඩිය සහ ඇඟිලි සහිත පෙදෙස් එකිනෙකට ගෑවෙන පරිදි තදකොට රෙදි පටි වලින් බැඳීම සිදුකෙරෙනවා. එයින් පසු රෙදි පටි ගලවා නැවත තද කොට බැඳීම දිනපතා සිදුකළ යුත්තක්. කෙසේ නමුත් මෙම ක්‍රියාවලිය ඉතාම වේදනාකාරී සහ ඇතැම්විට විවිධ හේතූන් මගින් මරණය පවා අත්කර දිය හැකි කාර්යයක් නිසා චීන රජය විසින් තහනම් කරන ලදුව වර්තමානයේ දී සිදුවන්නේ නම් නැහැ. නමුත් පියුම් පාද සහිත ඉතා වයස්ගත කාන්තාවන් අදටත් චීනයේ ජීවත් වන බව සඳහන්.
සුර්මා සහ මුර්සි ගෝත්‍ර – ඉතියෝපියාව
මෙම ගෝත්‍ර වල සංස්කෘතියට සහ විශ්වාසයන්ට අනුව, පහළට එල්ලෙන තොල් පෙති කාන්තා අලංකාරයේ සලකුණක්. එනිසා තරුණියන්ගේ තොල් පටෙහි සිදුරක් විද රවුම් මැටි ඵලකයක් ඇතුල් කොට තොල් පට පහළට ඇදීම් මොවුන් විසින් සිදුකරනු ලබන චාරිත්‍රයක්. සාමාන්‍යයෙන් මෙම චාරිත්‍රය අරඹන්නේ තරුණියක් විවාහ වීමට වසරකට පමණ පෙරයි.
මෙහිදී ඉහළ හෝ පහළ තොල් පටෙහි සෙන්ටිමීටර 1 – 2 අතර ප්‍රමාණයේ විනිවිද යන කැපුමක් ඇති කරන අතර, එයට ලී කෝටුවක් ඇතුළු කර තබනවා. සති කීපයකින් තුවාලය සුව වූ විට වඩා විශාල කෝටුවක් ඇතුළු කිරීම සිදු වෙනවා. තොල් පට ඇදීමෙන් සෑදෙන සිදුරෙහි විෂ්කම්භය සෙන්ටිමීටර 4ක් හෝ 5ක් වන විට පළමු මැටි ඵලකය ඇතුල් කිරීම සිදු වෙනවා. දිගින් දිගටම සිදුවන මෙම ක්‍රියාවලිය අවසානයේ දී සිදුරෙහි විෂ්කම්භය සෙන්ටිමීටර 8 සිට 20 දක්වා විය හැකියි.
තවමත් ඇතැම් අප්‍රිකානු සහ ඇමසෝනියානු ගෝත්‍ර අතර මෙම චාරිත්‍රය සිදුවනු අධ්‍යයනය කළ හැකි වුවත්, මෙම චාරිත්‍රය සිදුකරනවාද නැද්ද යන තීරණයට එළැඹීමේ අයිතිය බොහෝ ගෝත්‍ර විසින් වර්තමානයේදී තරුණිය වෙත ලබා දෙන බව සඳහන්.
මොරිටේනියාව
අධික ලෙස තරබාරු කාන්තාවන් බිරියන් බවට පත්වීමට ඉතාම සුදුසු බව මොරිටේනියානුවන් විශ්වාස කරනවා. අධික තරබාරු ශරීරය වාසනාවේ සංඛේතයක් බවට සලකන මොවුන්, කුඩා දැරියන් සහ තරුණියන්ව බලහත්කාරයෙන් අධික ලෙස ආහාර අනුභව කිරීමට යොමු කරනවා. මෙම සිරිත හැඳින්වෙන්නේ ‘ලෙබ්ලූහ්’ ලෙසයි.
මෙම සිරිත ක්‍රියාවට නැංවීම සඳහා පුහුණු වූ වැඩිහිටි කාන්තාවන් සෑම ගම්මානයකම වාගේ සිටින අතර, ඒ සඳහාම වෙන්වූ ‘ගොවිපළ’ මෙහි සුලභයි. මෙම ‘ගොවිපළක දී’ දැරියකට දිනකට සාමාන්‍යයෙන් ඔටු කිරි ලීටර 20කට අධික ප්‍රමාණයක්, මිලේ ධාන්‍ය කිලෝග්‍රෑම් 2ක් හා බටර් කෝප්ප දෙකක් ආහාරයට ගැනීමට සිදු වෙනවා. මේ, දිනකට කැලරි 15000ක පමණ ප්‍රමාණයක් ලබාදෙන ආහාර වේලක්.
බැලූ බැල්මට මෙහි (සමහර) සිරිත් අශෝභනයි. අප්‍රසන්නයි. එමෙන්ම අමානුෂිකයි. මෙතරම් අත්‍යන්ත නොවුණත්, මෙවැනි පීඩාකාරී සිරිත් ඔබ අප ජීවත් වන සමාජයන්හි පවා ඇතැම්විට නිරීක්ෂණය කළ හැකියි.
ඉතින් මේවා හෙලා දැක විරුද්ධ වනවාද, බලා රසවිඳිනවාද යන්න යමෙක් විසින් සිතා තීරණය කළ යුත්තක් බවයි අප විශ්වාස කරන්නේ.
කවරයේ පින්තුරය: shespeakspoignards.wordpress.com