බෞද්ධයන් වන අපට පොහොය දිනය මාසයේ ඇති වැදගත් දිනයකි. පොහොය දිනයේ බෞද්ධ සැදැහැවතුන් සියලුදෙනා සුදුවතින් සැරසී පන්සලට යන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කර සිත පහදවා ගැනීමටයි. තවත් පිරිසක් උදෑසන පටන් සිල් සමාදන්වී දාන සීල පාරමිතාව පිරීමට පොහොය දිනය යොදාගනී. වසරේ අවසාන පොහොයට පෙර පොහොය දිනය ඉල් පොහොය වන අතර මෙය වස්සාන සෘතුවේ අවසාන පොහොය දිනයයි. වස් සමාදන්වී පවාරණය කළ භික්ෂුන් වහන්සේලා සඳහා කඨින චීවර පුජා කළ හැකි අවසන් දිනය ලෙස ඉල් පොහොය දැක්විය හැක.
“ඉල්” යන වචනය සෑදී ඇති ආකාරය පිළිබඳ විද්වතුන් විවධ මත පළකරයි. සිහිල් යන වචනයේ මුල් ‘ස’ කාරයත් පිහිල් යන වචනයේ මුල් ‘ල’ කාරයත් හැලී ගොස් පසුව ‘හි’ කාරයද හැලී ගොස් ඉල් බවට පත්වී ඇති බව විද්වතුන්ගේ මතයයි. ඉල් පොහොයේ වැදගත්කම් අපි විමසා බලමු.
මෛත්‍රී බෝසතාණන් වහන්සේ විවරණ ලැබීම
බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මෛත්‍රී බෝධිසත්ත්වයන් සංකස්ස නුවරට ආසන්න ගමක සිරිවඩ්ඪන සිටුවරයාගේ පුතා වී උපත ලබා ඇත. තමාගේ පියාගෙන් ලද හිමිකම් සමගින් කෙතරම් සැපවත් ජීවිතයක් ගත කළත් ඔහු කලක් යන විට බුදු සසුනේ මහණ විය. එලෙස මහණදම් පුරන වස් කාලයක ඔහුගේ උන් වහන්සේගේ දායකයන්ගෙන් වටිනා වස්ත්‍ර දෙකක් එතුමාට ලැබිණි. එම වස්ත්‍ර දෙකෙන් එකක් යොදාගෙන බුදුන් වැඩ වසන කුටියේ වියනක් කරවීමට යොදවා අනෙකද තීරු කර ඉරා මහා වියනක් කොට බුදුන්ට පුජාකරන ලදී. මෙය දිවැසින් දැක බුදුන් වහන්සේ අනෙකුත් සංඝයා මැදදී ඔබ මෛත්‍රී නමින් බුදුවන බවට විවරණ ලබාදී ඇත.
බුදුන් වහන්සේ තව දුරටත් දේශනා කළ ආකාරයට දඹදිව බරණැස් පුරයේ ඇති කේතුමතී නුවර සංඛ නම් සක්විති රජෙකු පහළවේ. එම රජුගේ පුරෝහිත වන්නේ බ්‍රහ්ම නම් බ්‍රාහ්මණයෙක් බවත්, එම බ්‍රාහ්මණයාට හා ඔහුගේ බිරිඳට අසිත නම් පුතකු ඉපදෙන බවත් දේශනා කරන ලදී. එලෙස අසිත නමින් උපදින්නේ බුදුන්ට චීවර පුජා කළ මෛත්‍රී නමින් බුදුවන භික්ෂුවයි. ඔහු නා ගසක් මුල බුදු වන බවද දේශනා කරන ලදී.
ථූපාරාම චෛත්‍යය ඉදිවීම
බුදුරදුන්ගේ ශාරීරික ධාතු තැන්පත් කර ථුපාරාම චෛත්‍යය සෑදීමට මිහිඳු තෙරුන් දේවානම්පියතිස්ස රජුට උපදෙස් ලබා දුන්නේ ඉල් පුර පසළොස්වක පොහොය දිනකයි. ඒ අනුව සුමන සාමණේරයෝ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේද, අශෝක රජු ලබා දුන් පාත්‍රයක් පමණ ධාතුන් වහන්සේද ලංකාවට ගෙන එන ලදී. එයින් දකුණු අකු ධාතුන් වහන්සේ ථූපාරාමයේ තැන්පත් කරන ලදී.
ප්‍රථම ධර්ම දූත සේවාව
බුදුන් වහන්සේ ඉසිපතනයේ මිගදායේ සිට වස් පවාරණය කර තම ප්‍රථම ධර්ම දුත පිරිස අමතා ප්‍රකාශ කළේ “මහණෙනි, බොහෝ දෙනාගේ හිත සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස චාරිකාවේ හැසිරෙව්. දෙදෙනෙක් එක මඟ නොයවූ. මුල, මැද, අග යහපත් වූ අර්ථ සහිත ධර්මය දේශනා කරවූ….”. මෙහිදී බුදුන් වහන්සේ දෙදෙනෙක් හට එකම මාර්ගයේ නොයන ලෙස උපදෙස් දුන්නේ ධර්මය ඉතා පුළුල්ව ව්‍යාප්ත කිරීමටයි. අනතුරුව උන් වහන්සේද උරුවෙල් දනව්වට වැඩම කරන ලදී.
තුන්බෑ ජටිල දමනය
ඉහත සඳහන් කළ ලෙස බුදුන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කළ විට එහි නේරංජනා ගඟ අසල ආරාම කරගෙන ජටිලයන් තිදෙනෙක් සිටින ලදී. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප වූ ඔවුන් තුන්බෑ ජටිලයන් ලෙස හැඳින්විය. උරුවෙල් කාශ්‍යප ශිෂ්‍යන් 500ක් පිරිවරා සිටි අතර, නදී හා ගයා කාශ්‍යප පිළිවෙලින් ශිෂ්‍යයන් 300ක් හා 200ක් පිරිවරා සිටින ලදී. මිථ්‍යා දෘෂ්ටිකයන් වූ මොවුන් බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා බුදු සසුනේ මහණ විය. මොවුන් අතරින් මුලින්ම සසුන්ගත වුයේ උරුවෙල් කශ්‍යපයි. එය දුටු ඔහුගේ අනෙක් සහෝදරයින් දෙදෙනාද බුදු සසුනේ පැවිද්දන් බවට පත්වුයේ ඉල් පොහොය දිනයේදීය.
සැරියුත් තෙරුන්ගේ පරිනිර්වාණය
සැරියුත් යනු බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනමගෙන් එක් අයෙකි. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ සිටින කාලයේ සැරියුත් තෙරුන් බුදුන් වෙත පැමිණ මුලින් පිරිනිවන් පාන්නේ අග්‍ර ශ්‍රාවකයෝද නැතිනම් බුදුරදුන්දැයි අසන ලදී. මෙහිදී අග්‍ර ශ්‍රාවකයෝ මුලින් පිරිනිවන් පාන බව දැනගෙන තම මවට මාර්ගඵලයක් ලබාදීමේ අදහසින් තමාගේ ගමට වැඩම කරන ලදී. සැරියුත් තෙරුන්ගේ මව මිථ්‍යා දෘෂ්ඨික විය. සැරියුත් තෙරුන් ගමට පැමිණ නුගරුකක් මුල වැඩමකර සිටිනා අවස්ථාවේ එතුමාගේ බෑනෙකු වූ උපරේවත නම් බ්‍රාහ්මණයා එතනින් ගමන් කරන ලදී. ඔහු මගින් තම මවට එම ස්ථානයට පැමිණෙන ලෙස පණිවිඩයක් යැවූ සැරියුත් තෙරුන් පසුව මවට ධර්මය දේශනා කර ඇය සෝවාන් තත්ත්වයට පත්කරන ලදී. මෑණියන් මාර්ගඵල ලබාගැනීම නිසා තමා ණයෙන් මිදුනා යයි සතුටට පත්වී ඉල් පුන් පොහොය දිනයේදී සැරියුත් තෙරුන් පිරිණිවන් පාන ලදී.
කවරයේ පින්තුරය – wallpapercave.com
මුලාශ්‍ර:
දියණිය පුවත්පත, 05 වන කාණ්ඩය 2 වැනි පත්‍රය, වර්ෂ 2016 නොවැම්බර් මස 9 වැනි බදාදා