රට රටවල අමුතු ආකාරයේ නීති

ලෝකයේ විවිධ රටවල විවිධ නීති රීති පනවා තිබෙනවා. ඉන් සමහරක් නීතින් ටිකක් අමුතු යි. අපට නුහුරු ගතියක් දැනෙනවා. ඉතින් අද ගෙන එන්නට සැරසෙන්නේ ඒ ඒ රටවලට පමණක් සිමා වූ අමුතු නීති කිහිපයක් ගැන.

චුයිංගම් තහනම් සිංගප්පූරුව

Steemit

සිංගප්පුරුව තුළ චුයිංගම් තහනම්  කරන්නේ 1992 දී. ඒ එරට ගොඩ නැංවූ දක්ෂ පාලකයෙක් වන ලී ක්වාන් යූ පාලන සමයේ දී යි. තහනම් කිරීමට මූලික හේතුව වූයේ සැපීමෙන් අනතුරුව ඒවා දුම්රිය දොරවල්වල ඇලවීම හා පදික වේදිකාව මතට විසි කිරීමට චුයිංගම් සපන්නන් විසින් පුරුදු වී සිටීම යි.

2000 වසරේ දී BBC මාධ්‍යවේදියෙක් සම්මුඛ පරීක්ෂණයක් අතරතුර චුයිංගම් සැපීම නිර්මාණාත්මක චින්තනය වැඩි දියුණු කිරීමට ඉවහල් වන බව ‘ලී’ට පවසනවා. මීට පිළිතුරු දෙමින් ‘ලී’ පවසන්නේ නිර්මාණාත්මක චින්තනය වැඩි දියුණු කිරීමට අවශ්‍යය නම් කෙහෙල් ගෙඩියක් ආහාරයට ගන්නා ලෙස යි.

2004 දී මෙම නීතිය යම්තාක් දුරට ලිහිල් කිරීමට රජය විසින් තීරණය කරනවා. ඒ ඖෂධ ලෙස විකිණිය හැකි චුයිංගම් සඳහා අවසර ලබා දෙමින්. තව ද සංචාරකයන්ට තමන්ට අවශ්‍යය චුයිංගම් සීමිත ප්‍රමාණයක් සිංගප්පූරුවට ගෙන ඒමට අවසර ලැබෙනවා.

HIV ආසාධිතයන්ට දරුණු ලෙස සලකන ග්‍රීසිය

The Pulse

2012 දී නීතියක් නිකුත් කරමින් ග්‍රීසියේ අධිකරණය පවසා සිටින්නේ HIV ආසාධිතයන්යැ යි සැකපිට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලීසිය සතුවෙන බව යි. එම සැකකරුවන් අතරින් සැබැවින්ම HIV වැළදී ඇති පුද්ගලයන්ව පරීක්ෂණවලින් සනාථ කරගැනීම සිදුවෙනවා.

ඉන්පසුව HIV වැළදී ඇති පුද්ගලයන්ගේ තොරතුරු පුවත්පත් හා අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කිරීම සිදු කරනවා. ඊට අමතරව ඔවුන්ව රැකියාවලින් පිටමං කිරීමට ද රජය විසින් කටයුතු කරනවා.

2012 දී සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් 100 දෙනාගෙන් 17 දෙනෙකුට HIV වැළදී තිබූ අතර මොවුන්ව පුවත්පත් හා අන්තර්ජාලය මඟින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනවා. කෙසේ නමුත් මෙම නීතිය සදාචාර සම්පන්න නොවන බව යි බොහෝ අයගේ මතය වන්නේ.

2012 දී මෙලෙස නීතියක් ගෙන ඒමට හේතු වුයේ 2011 සිට 2012 වන විට ග්‍රීසිය තුළ HIV අාසාධිතයන් 200% කින් ඉහළ යාම යි. ඊට හේතූන් ලෙස සඳහන් කරන්නේ මත්ද්‍රවය භාවිතය, විරැකියාව හා HIV පාලනයට කරනු ලබන වැඩසටහන් නැවත්වීම වැනි කරුණු යි.

දවසකට දෙවරක් රට පුරා ජාතික ගීය වාදනය වන තායිලන්තය

Home is where

උදේ 8 ට හා හවස 6 ට සියලුම රූපවාහිනී හා ගුවන් විදුලි සේවාවන්වල මෙන්ම රට පුරා ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් තායිලන්තය පුරා ජාතික ගීය වාදනය කිරීම සිදු කරනවා.

මෙම අවස්ථාවන්වල දී ජාතික ගීය ඇසෙන සියලුම පුද්ගලයන් තම කාර්යයන් නවතා, සිට ගනිමින් ජාතික ගීයට ආචාර කිරීම සිදු කළ යුතු යි. එලෙස අචාර නොකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ බලය තායිලන්ත පොලිසිය සතුව පවතිනවා. 1932 දී මෙම නීතිය ගෙන එන්නේ තායිලන්ත අගමැතිවරයෙක් වූ ප්ලේක් ෆිබොංසොන්ක්‍රාම් විසින්.

අන්‍යයන්ගේ  Wi-Fi ජාලවලට ඇතුළු වීම දඬුවම් ලැබිය හැකි වරදක් – සිංගප්පූරුව

Medium

සිංගප්පූරුව තුළ අවසරයකින් තොරව අනෙක් පුද්ගලයකුගේ Wi-Fi ජාලයකට ඇතුළු වීම නීතියෙන් සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. එය වසර 3ක සිර දඬුවමක් හා සිංගප්පූරු ඩොලර් 10,000ක දඩයක් හිමි විය හැකි වරදක් ලෙස සඳහන් වෙනවා.

මෙම නීතිය යටතේ පළමු වරට අත්අඩංගුවට පත්වන්නේ ගැරිල් ටැන් ජියා ලුඕ නම් 17 හැවිරිදි ශිෂ්‍යයෙක්.

විවේක කාලයක් නිර්මාණය කර ඇති ජර්මන් රජය

Deaf Threads

ජර්මනිය යනු ජනගහනය ඉතා අධික රටක්. ඊට සාපේක්ෂව ජර්මනිය තුළ පවතින්නේ සීමිත ඉඩ ප්‍රමාණයක්. මේ හේතුවෙන් ජර්මනියේ සෑම ප්‍රදේශයකම ඉතා විශාල ගෝෂාකාරී ස්වරූපයක් උසුලනවා.

මෙයට එක් විසඳුමක් ලෙස ජර්මානු රජය විසින් රූහේසෙයිට් නමින් විශාල ශබ්දවලින් තොර වෙලාවක් හඳුන්වා දෙනවා. එම කාල සීමාව රාත්‍රී 10 සිට පසු දා උදේ 10 වන තුරු යි. තවද සෑම ඉරිදා දිනකම මෙන්ම සෑම පොදු නිවාඩු දිනයක දී ද මෙය වලංගු යි. සමහර ප්‍රාන්තවල මෙම කාලසීමාව මඳක් වෙනස් වෙනවා.

මෙම කාලසීමාව තුළ අන්‍යයන්ට කරදරයක් වන ලෙස ගෝෂාකාරී ශබ්දයන් නොනැගිය යුතු වෙනවා. තට්ටු නිවාසවල ජීවත් වන පුද්ගලයන් විසින් අඩුම තරමේ තම රෙදි සෝදන යන්ත්‍ර පවා මෙම කාලසීමාව තුළ ක්‍රියාත්මක නොකළ යුතු යි.

Related Articles

Exit mobile version