තමිල්නාඩුවේ දේශපාලනය උණුසුම් කළ සුපිරි තරු ආගමනය

තමිල්නාඩුව… එය දේශපාලන අනාවැකි කරුවෙකුට මාරක කාන්තාරයක්. එය සිනමාවේ භූමියයි. එහෙව් තමිල්නාඩුව තමන්ගේ දේශපාලන සිනමාපටයට වීරයෙක් සොයන මොහොතක් උදා වෙලා. පසුගිය වසර පනහක කාලයේදී තමිල්නාඩුව බිහිකළ දැවැන්තම සිනමා පෞරුෂයන් දෙකම මේ සිනමාපටයෙහි වීරයා වෙන්නට අවස්ථාව ඉල්ලා තියෙනවා. කෙසේ වෙතත් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළ යුත්තේ ජනතාවයි. ජනතාව තෝරා ගන්නා වීරයා කවුද? කිසිම දේශපාලන අනාවැකි කරුවෙක්ට කිව නොහැක්කේ එයයි. කමල් හසන් සහ රැජිණි කාන්ත් දෙදෙනාම දේශපාලනයට පැමිණෙන බව දැනුම් දී හමාරයි. අනෙක් අතට තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් නොව සමස්ත දකුණු ඉන්දියාවේම පැතිර ඇති ඒ.අයි.ඩී.එම්.කේ. සහ ඩී.එම්.කේ. පක්ෂ දෙකම ප්‍රවීණ දේශපාලන පක්ෂ ලෙස ඉදිරි තරඟයට එක් වෙන්නට සූදානම්. අනාගතය කෙසේ වේවිද? තමිල්නාඩුවේ උණුසුම්ම මාතෘකාව එයයි.

ඉහත කී පක්ෂ දෙක පෙර කී විදිහට තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් පැතිර ගිය දේශපාලන පක්ෂ නොවෙයි. මේ පක්ෂ දෙක තමිල්නාඩුව, ආන්ද්‍රා, කර්ණාටක, කේරළ, පොන්ඩිචෙරි ඇතුළු දකුණු ඉන්දියාවේම පැතිර ගිය දේශපාලන පක්ෂ ලෙස සැලකෙනවා. දෙමළ ජනවර්ගය පමණක් නොව ද්‍රාවිඩ අනන්‍යතාවයට අයත් ජනවර්ග වන තෙළිඟු, මලයාලම්, කන්නඩ, දෙමළ ඇතුළු සියලු ජනවර්ග නියෝජනය කරන පක්ෂ ලෙස ඒවා සැලකෙනවා. එවන් පසුබිමක කමල් හසන් සහ රැජිණිකාන්ත් දේශපාලනය කරන්නට සූදානම් වෙන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේ යි.

ජයලලිතා

තමිල්නාඩු දේශපාලනයේ දී ජයලලිතා ජයරාම් සාමාන්‍ය දේශපාලන පෞරුෂයකින් එහාට එසැවී තිබුණු බව පැහැදිලියි. එම්.ජී.ආර්. මිය යෑමෙන් පසුව ඔහුට තිබුණු ගෞරවය තමා වෙත ක්‍රමයෙන් ලබා ගැනීමට තරම් ජයලලිතා සූක්ෂම වූ බව ප්‍රසිද්ධ කාරණයක්. සාමාන්‍ය ජනතාව අතර බහුතරයක් ඇයව යළි යළිත් තම නායිකාව ලෙස තෝරා ගත්තා. ඇය අසනීප වී මිය යන තෙක්ම.

ඇයට අභියෝගයක් තිබුණා නම් ඒ කරුණානිධි මහතාගේ ඩී.එම්.කේ. පක්ෂයේ දේශපාලනයෙන්. එසේ වුණත් කරුණානිධිගේ දේශපාලනයද මේ වෙද්දී මිය යමින් තියෙන්නේ ඔහු දැඩි සේ රෝගාතුරව වියපත්ව සිටින නිසායි. මේ වෙද්දී පක්ෂයේ නායකත්වයේ වැඩ කටයුතු කරන්නේ එම්.කේ. ස්ටාලින් විසිනුයි.

deccanchronicle.com

ජයලලිතා සහ එම්.ජී.ආර්.ගෙන් පසුව දැන් බලයේ සිටින ඒ.අයි.ඩී.එම්.කේ. පක්ෂයේ පනීර්සෙල්වම්, පලනිස්වාමි හෝ වී.කේ. සෂිකලාට කිසිසේත්ම ස්වාධීන සහ දැවැන්ත දේශපාලන පෞරුෂයක් තිබුණේ නැති බව දේශපාලන විචාරකයන් ලියනවා. අනෙක් පසෙන් එම්.කේ. ස්ටාලින්ද දැවැන්ත පෞරුෂයක් හිමි නායකයෙකු නොවන බවයි විචාරකයන් කියන්නේ. ඒ නිසාම තමිල්නාඩු දේශපාලනයේ දැවැන්ත හිඩැසක් නිර්මාණය වී ඇති බව කියනවා.

බොහෝ දෙනෙකු ඒ වනවිට දෙමළ සිනමාවේ සිටි දැවැන්තම පෞරුෂයන් වන රැජිණි කාන්ත් සහ කමල් හසන් නම් දෙකම අඩු වැඩි වශයෙන් දේශපාලන හිදැස පුරවන්නට යෝජනා කරන්නට පටන්ගෙන තිබුණා. මේ නම් දෙකම දේශපාලන වේදිකාවල කියැවුණේ අද ඊයේ සිට නොවෙයි. වසර ගණනාවක් තිස්සේ මේ නම් දේශපාලන අනාවැකි අතර කියැවුණා. මේ දෙදෙනාගේම ආගමනය ගැන තිබුණු සියලු අනාවැකිවලට තිබුණු කාලය දැන් අවසානයි. දැන් කතා කළ යුත්තේ මේ දෙදෙනාගේ දේශපාලන අනාගතය ගැනයි.

රැජිණිකාන්ත්

මුලින්ම බෝම්බය පුපුරවා හැරියේ රැජිණිකාන්ත් විසිනුයි. 2017 දෙසැම්බර් 31 වැනිදා එතෙක් බලා සිටි නිවේදනය ඔහු වාචිකව නිකුත් කළා. ශ්‍රී රාඝවේන්ද්‍රා කල්‍යාණ මණ්ඩපම් ශාලාවේ දී රැජණිකාන්ත්ගේ රසිකයන්ගේ සංගමයේ සාමාජිකයන්ව හමු වූ රැජිණිකාන්ත් ‘මම දේශපාලනයට එන බව ස්ථීරයි’ යනුවෙන් පැවසුවේ රසිකයන්ගේ ප්‍රීති ඝෝෂා මැද. කෙසේ වෙතත් නිල වශයෙන් ඒ මොහොතේ පක්ෂයක් එළිදැක්වුණේ නැහැ. ඔහු පැවසුවේ තමන් දේශපාලන පක්ෂයක් නිර්මාණය කරන බවත් එළැඹෙන මැතිවරණයේදී තමිල්නාඩුවේ සියළු ආසනවලට තරඟ කරන බවත් පමණයි. තවමත් ඔහු පක්ෂයේ කටයුතු නිල වශයෙන් එළිදක්වා නැහැ. අඩු තරමේ ප්‍රතිපත්තියවත් එළිදක්වා නැහැ.

livemint.com

කොහොම වුණත් ඉන්දියාවේ දැවැන්තම පක්ෂ දෙකෙන් එකක් වන බී.ජේ.පී ය රැජිණිකාන්ත්ව දේශපාලනයට ගෙන එන්නට මෙන්ම ජාතික දේශපාලනයේ දී ඔහුගේ සහයෝගය ලබාගන්නටද දැඩි උත්සාහයක් ගන්නවා. බී.ජේ.පී යේ දේශපාලනය හින්දුත්වවාදය පදනම් කරගත් කසා පැහැ ප්‍රතිපත්තියක් ලෙස ගෙන යනවා. රැජිණිකාන්ත්ද හින්දු ආගමික සම්ප්‍රදායන් සහ ආධ්‍යාත්මික ශක්තිය විශ්වාස කරන අයෙක්. තවමත් රැජිණිකාන්ත් තමන්ගේ ප්‍රතිපත්තිය කුමක්දැයි කියා නැතත් ධර්ම සහ න්‍යාය පදනම් කරගත් දේශපාලනයක් කරන බව පවසා තියෙනවා. තමන් ආධ්‍යාත්මික දේශපාලනයක් කරන බවද ඔහු කියා තියෙනවා. එහෙත් මේ වචන පැවසීමෙන් පමණක් ඔහුගේ අරමුණ පැහැදිලි කරගත නොහැකි බව විචාරකයන් පවසනවා. කේ. නාගේෂ්වර් නම් මාධ්‍යවේදියා ෆ්‍රස්ට්පෝස්ට් වෙබ් අඩවියේ ලිපියකින් පැහැදිලිව කියන්නේ ධර්ම සහ න්‍යාය යන වචන දෙකෙහි අර්ථය කාවේරි නදියේ ඉවුරු දෙකේදී පවා එකිනෙකට වෙනස් බවයි. කොටින්ම බෞද්ධ ධර්මය විශ්වාස කරන සිංහල පාඨකයෙකුට මේ වචන දෙකෙන් ලැබෙන අර්ථය සම්පූර්ණයෙන්ම හින්දු ආගම විශ්වාස කරන අයෙකුට වඩා වෙනස්. ඉතින්, පැහැදිලිවම රැජිණිකාන්ත් තමන්ගේ නිල දේශපාලන ප්‍රතිපත්තියක් එළිදක්වා නැහැ. ඔහු ඉදිරියේ ඇති අභියෝගය එයයි.

කමල් හසන්

‘මගේ වර්ණය ඔබ වසර ගණනාවක මගේ සිනමා ජීවිතයේ දී දකින්නට ඇති. පැහැදිලිවම එය කසා වර්ණය නෙවෙයි.’ කමල් හසන් තමන්ගේ දේශපාලන පක්ෂය අරඹන්නට පෙර ප්‍රවීණ මාධ්‍යවේදී රාහුල‍් කන්වාල් සමඟ සාකච්ඡාවකදී  කීවේ එයයි. ඔහු පැහැදිලිවම දේශපාලන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා. තම සහෝදර රංගන ශිල්පියාට වඩා වෙනස්ව ඔහු තමන්ගේ දේශපාලන ජීවිතයට කොළ එළිය දැල්වුවේ පසුගිය පෙබරවාරියේදී යි.

කමල් හසන් පෙබරවාරි 21 වැනිදා තමන්ගේ දේශපාලන පක්ෂය වන ‘මක්කල් නීදි මයියම්’ ( ජනතා යුක්ති කේන්ද්‍රය) නිල වශයෙන් එළි දක්වමින් දේශපාලන කටයුතු ආරම්භ කළා.

maiam.com

කමල් හසන් බී.ජේ.පී. විරෝධි දේශපාලනයක් කරනු ඇති බව පැහැදිලියි. දේශපාලන පක්ෂය එළි දැක්වීමේදී ආරාධිතයෙක් ලෙස ආම් ආද්මි පක්ෂයේ අරවින්ද් කේජ්රිවාල් සහභාගි වීම කමල් හසන්ගේ දූෂණ විරෝධී දේශපාලන ප්‍රතිපත්තිය පැහැදිලිව පෙන්වන සංකේතයක්. දූෂණය නැවැත්වීම කමල් හසන්ගේ ප්‍රමුඛ දේශපාලන පොරොන්දුවයි.

කමල් හසන්ගේ සිනමාව තුළින් ඔහුගේ දේශපාලනය මනාව පැහැදිලි වෙනවා. රංගන ශිල්පියෙක් පමණක් නොව අතිසාර්ථක චිත්‍රපටි රචකයෙක් වන ඔහු තමන්ගේ සිනමාව තුළ අතිශය ගැඹුරු දේශපාලන අදහස් නිරූපණය කළා. සිනමා විචාරකයන් මතුපිටින් දකින ආකාරයට ඔහු වාමාංශික දේශපාලන ප්‍රතිපත්තිවලට කැමැත්තක් දක්වන්නෙක්. එහෙත් සාම්ප්‍රදායික කලාපීය අදහස් සමඟ මෙන්ම ලිබරල්වාදී අදහස් සමඟද සමාන්තරව වාමාංශික දේශපාලන සංකල්ප සමපාත කරන්නට ඔහු ප්‍රිය කරන බව විචාරකයන් පෙන්වා දෙනවා. ඔහු සමාජවාදී සමාජයක් ගැන විශ්වාසය දෙවියන් ගැන විශ්වාසයට සමාන කළේ ‘අන්බේ සිවම්’ චිත්‍රපටියේ දෙබසකදී. මේ චිත්‍රපටිය කමල් හසන් විසින් රචනා කළ එකක්. ඒ චිත්‍රපටියේ කමල් හසන් නිරූපණය කරන විප්ලවවාදීයාගේ චරිතය විසින් චිත්‍රයක් අඳින දර්ශනයක් එනවා. ඒ චිත්‍රයේදී ශිව දෙවියන් තුළින් කාල් මාක්ස්ගේ රුව අඳිනවා. එමෙන්ම ශිව දෙවියන් සමඟ මිටිය සහ දෑකැත්ත අඳිනවා.

‘මම මාක්ස්වාදියෙකු යැයි කෙනෙක් කල්පනා කරනවා ඇති. හැබැයි මම මාක්ස්වාදියෙක් පමණක් නෙවෙයි, අනෙක් හැම දර්ශනයකින්ම මම උගත් දේවල් තියෙනවා. මම මධ්‍යස්ථ මතයක් දරණ කෙනෙක්. මගේ පක්ෂයේ මතයත් එයයි.’ කමල් හසන් කියන්නේ එයයි. සාම්ප්‍රදායික සංකල්ප අතරින් තම දේශපාලන සංකල්ප ඉදිරියට ගෙනෙන්නට ඔහු උත්සාහ කරනවා.

ධාරාවන් දෙකක්

හැත්තෑ ගණන්වල අවසාන කාලයේදී රැජිණිකාන්ත් තමන්ගේ පළවැනි චරිතය රඟපෑවේ කමල් හසන් රඟපෑ චිත්‍රපටියකම යි. මේ දැවැන්තයන් දෙදෙනා මුල් කාලයේ දී චිත්‍රපටි ගණනාවක එකට රඟපෑවා. මේ දෙදෙනාගේම සිනමා ගුරුවරයා කේ. බාලචන්දර්. සැබවින්ම රැජිණිකාන්ත් සිනමාවට එන්නේ බාලචන්දර්ගේ කලාත්මක චිත්‍රපටිවල ගැඹුරු චරිත ඉදිරිපත් කරන්නෙක් ලෙස යි. එහෙත් පසුව රැජිණිකාන්ත්ගේ පෞරුෂය ජනප්‍රිය සිනමාව සමඟ ගැළපුණු නිසා ඔහු ජනප්‍රිය සිනමාව වෙත වැඩිපුර යොමු වුණා. කමල් හසන් කලාත්මක චිත්‍රපටි ජනප්‍රිය කිරීමේ සිනමා අභ්‍යාසයක යෙදුණා.

මුල් යුගයෙන් පසුව සිනමාවේදී එකිනෙකා මුණ නොගැසුණත් දේශපාලනයේ දී දෙදෙනා එක් වේවිදැයි ඇතැමුන් ප්‍රශ්න කරනවා. එහෙත් කමල් හසන් පවසන්නේ රැජිණිකාන්ත්ගේ විශ්වාසයන්ට වඩා තමන්ගේ විශ්වාසයන් පැහැදිලිවම වෙනස් මඟක් ගන්නා බවයි. දෙදෙනාගේ එක්වීමක් සිදු නොවන බව පැහැදිලිව නොකීවත් මේ දෙදෙනාගේ දේශපාලන අදහස් එකිනෙකට නොගැලපෙන බව කමල් හසන් කියා තියෙනවා. දේශපාලනයට පැමිණෙන බව නිල වශයෙන් ප්‍රකාශ කළාට පසුව කමල් හසන් සහ රැජිණිකාන්ත් එකිනෙකා මුණගැසුණා. ඒ රැජිණිකාන්ත්ගේ නිවසේදී යි. එහෙත් දෙදෙනාම කී විදියට එය මිතුරු හමුවීමක් මිස සන්ධානගත වීම සඳහා සාකච්ඡාවක් නෙවෙයි. මේ දෙදෙනා මිතුරන් ලෙස පෙනී සිටින්නට මොන තරම් උත්සාහ කළත් කිසිවෙක්ට මේ දෙදෙනා අතර සීතල යුද්ධය අමතක කළ නොහැකියි.

රංගනයෙන් දේශපාලනයට

එම්.ජී. රාමචන්ද්‍රන්, ජයලලිතා, ආන්ද්‍රා ප්‍රදේශ්හි නායකත්වයට පත් තෙළිඟු සිනමා තරුව එන්.ටී. රාම රාඕ දේශපාලනයේ දී සාර්ථකත්වය ලැබූ දකුණු ඉන්දීය රංගන ශිල්පීන් ලෙස සැලකිය හැකියි. එහෙත් දේශපාලන ජීවිතයේ දී සිතූ සාර්ථකත්වය නොලැබූ සිනමා පෞරුෂයන්ගේ ලැයිස්තුවක්ද තියෙනවා. ඒ ලැයිස්තුව ඉහත ලැයිස්තුවට වඩා බොහෝ දිග එකක්. තමිල්නාඩුවේදී රැජිණිකාන්ත්ට හිමි ජනප්‍රියත්වය මෙන්ම තෙළිඟු රසිකයන් අතර ජනප්‍රියත්වයක් තිබුණු චිරන්ජීවි දේශපාලනයේ දී අසාර්ථක වුණා. තමිල්නාඩුවේ දැවැන්ත ජනප්‍රියත්වයක් තිබුණු විජේකාන්ත් දේශපාලනයේ දී අසාර්ථක වුණා. සරත් කුමාර්, ටී. රාජේන්ද්‍රන් වැනි බොහෝ තරු දේශපාලනයේ දී බලාපොරොත්තු වූ සාර්ථකත්වය ලැබුවේ නැහැ.

දැවැන්ත රංගන ශිල්පියෙකු වූ පමණින් දේශපාලනයේ දී සාර්ථකත්වය ලැබිය නොහැකි බව ඉතිහාසය කියනවා. ඉතින් කමල් හසන්ට හෝ රැජිණිකාන්ත්ට සිනමාවේ ජනප්‍රියත්වය තිබූ පමණින් දේශපාලනයේ දී සාර්ථක වීම කළ හැක්කක් නොවෙයි. ඒ වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක්, වෙහෙසක් සහ නිර්මාණශීලීත්වයක් අවශ්‍යයි. එහෙත් මේ දෙදෙනාම වයස අවුරුදු 60 පසුකළ විශ්‍රාම ගත යුතු වයසේ සිටින අයයි. මේ අංකය වැඩි වෙනවා මිස අඩුවීමක් වෙන්නේ නැහැ. ඉතින් දේශපාලනය මේ දෙදෙනාටම අභියෝගයක්. ඒ නිසාම තමිල්නාඩුවේ අනාගත දේශපාලනය ඇත්තේ ද ඉතාම උණුසුම් අවධියකයි.

Cover – timesofindia.indiatimes.com

Related Articles

Exit mobile version