ජීවිතය එපා කරවන “මානසික අවපීඩනය”- Depression

කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ඕනෑම අයෙක් ගොදුරු වීමේ ඉඩකඩක් ඇති රෝගයකි, ‘මානසික අවපීඩනය’. ලංකාවේ සියදිවි හානි කරගැනීම් වලින් 50% ක්ම මානසික අවපීඩනය නම් රෝගී තත්වයේ ප්‍රතිඵලයක් බව ඔබ දන්නවාද? සෑම මානසික අවපීඩනයට ගොදුරු වූවන් හය දෙනෙකුගෙන්ම එක් අයෙක් සියදිවි හානි කරගැනීමට පෙළෙඹෙන බවයි පරීක්ෂණ වලින් හෙළි වී තිබෙන්නේ.

මානසික අවපීඩනය යනු?

අප විසින් කිසි විටෙකත් අපේක්ෂා නොකරන යම් දෙයක් සිදු වීමෙන් අප සිතේ ඇති වන්නේ තදබල දුකක් හා කළකිරීමක්. නමුත් එම ස්වභාවය දින කිහිපයකින් හෝ දිගු නින්දකින් පසුව යථා තත්ත්වයට පත් වීම සාමාන්‍යයි.

නමුත් සිතේ ඇතිවුණු එවන් දුකක් කාලයත් සමඟ සිතෙන් ඉවත් නොවී දිගටම පැවතිය හැකියි. සමහරවිට එම දුකට හේතුවක් ද නොමැති විය හැකියි. සිතේ පවත්නා එම දොම්නස එදිනෙදා කටයුතු කරගෙන යාමට බාධා ඇති කරන්නේ නම් එය මානසික අවපීඩන තත්ත්වයක් විය හැකියි. විශාදය නමින් හඳුන්වන්නේ ද මෙම රෝගී තත්ත්වයමයි.

රෝග ලක්ෂණ

health.usnews.com

මානසික අවපීඩනයෙන් පෙළෙන සෑම අයෙකුටම පහත සියලුම රෝග ලක්ෂණ පහළ වන්නේ නැත. නමුත් ඉන් කිහිපයක් හෝ ඇතිවිය හැකියි. සති දෙකකට වැඩි කාලයක් පහත රෝග ලක්ෂණ පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අවශ්‍ය වේ.

  • කලින් කැමැත්තෙන් සිදුකළ දෙයක් කිරිමට ඇති ආශාව අඩු වීම.
  • සිරුර මහන්සි නොකළත්, සිරුරේ හටගන්නා විඩාපත් ගතිය.
  • යමක් ජයගැනීමේ අධිෂ්ඨානය හීන වී යාම.
  • අවධානය අඩුවීම හා සිත එක්තැන් කරගැනීමේ නොහැකියාව.
  • සිතේ අවිවේකි බව හා නිතර කේන්ති ගැනීම.
  • කාම අරුචිය හා සිරුර කෙට්ටු වීම.
  • නින්ද නොයාම හෝ නින්ද අඩුකම.
  • කලාතුරකින් අධික නිදිමත හෝ නින්ද.
  • ලිංගික ආශාව අඩුවීම හෝ පහව යාම.
  • ආත්ම විශ්වාසය අඩුවීම, අශුභවාදී අදහස් ඇතිවීම.
  • සමාජ ආශ්‍රයෙන් ඈත්වීම.
  • නිතර කල්පනා කිරීම.
  • හඳුනාගත හැකි කායික හේතුවක් නැතුවත් ඇතිවන හිසරදය, ඇඟපත අමාරුව, පපුව හිරවීම.
  • සුළු ප්‍රශ්නයකින් පවා සිත කම්පාවට පත්වීම.
  • සිතේ ඇතිවන දොම්නස නිසා මත්පැන් පානයට, දුම් පානයට ඇබ්බැහි වීම.
  • සියදිවි හානි කර ගැනීමට සිත්විම.

මෙම රෝග ලක්ෂණ දවසේ එක් කාලයකදී, බොහෝවිට උදේ කාලයේදී දැකගත හැකි වේ.

මානසික අවපීඩනයට හේතුව

health24.com

අධික කාර්යබහුලත්වය, අපේක්ෂා නොකළ බංකොළොත්භාවය, ආදරය කළ අයෙකුගේ හදිසි වියෝව වැනි හේතුන් මත මොළයේ සෛල තුළ ඇතිවන ජෛව රසායන වෙනස්කම් මානසික අවපීඩනය ඇති කිරීම කෙරෙහි බලපායි.

නමුත් දැකගත හැකි කිසිදු හේතුවකින් තොරව මෙම තත්ත්වයට ගොදුරු වීමේ හැකියාව ද පවතී. Endogenous Depression ලෙසින් හඳුනාගන්නේ එම තත්ත්වයයි. සමහර මව්වරුන්ට දරු ප්‍රසුතියෙන් පසුව මෙම තත්ත්වය ඇතිවිය හැකි අතර එම තත්ත්වය හඳුන්වන්නේ Post Natal Depression යනුවෙන්. පෞරුෂය ස්වභාවයෙන්ම දොම්නසට බර පුද්ගලයන් ද සිටින අතර ඔවුන්ගේ එම ස්වභාවය නිසාම මානසික අවපීඩනයට ගොදුරු වීමේ හැකියාව ද පවතී.

මානසික අවපීඩනය ඇතිවිය හැක්කේ කාටද?

කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ඕනෑම අයෙකුට මානසික අවපීඩනය ඇතිවිය හැකියි. තරුණයන්, මැදි වියේ සිටින්නන් හා වැඩිහිටියන් වැඩි වශයෙන් මෙම තත්ත්වයට ගොදුරු වන අතර වයස අවුරුදු 12 ට අඩු කුඩා දරුවන් මේ තත්තත්වයට ගොදුරු වීමේ අවදානම අඩුය. පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් හට මෙම රෝගය ඇති වීමේ ප්‍රවණතාව වැඩිය.

මානසික අවපීඩනයට නවීන වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර

මානසික උපදේශනය

csoonline.com

මෙම රෝගී තත්ත්වයට ‍ගොදුරු වූවන් සමඟ ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්. එමඟින් රෝගියාගේ ගැටළු වලට පිළියම් සොයාගෙන මානසික වශයෙන් ස්ථාවර කිරීමේ හැකියාව ඇත.

ඖෂධ ප්‍රතිකාර

ප්‍රත්‍යක්ෂ ඖෂධ භාවිතා කිරීම අනෙක් ප්‍රතිකාර ක්‍රමයයි. නමුත් බෙහෙත් ගැනීම ආරම්භ කළ මුල් කාලයේදීම රෝගය සුව වන්නේ නැත. මුලදී කරකැවිල්ල, ක්ලාන්තය, තොලකට වේලීම, මලබද්ධය වැනි තත්ත්වයන් ඇතිවිය හැකිය. නමුත් අතරමඟ නොනවත්වා දිගටම ප්‍රතිකාර ගැනීමෙන් රෝගී තත්ත්වය අවම කරගත හැකි වේ.

විද්‍යුත් කම්පන ප්‍රතිකාර

අධික ලෙස මානසික අවපීඩනයට ලක් වූවන් සඳහා මෙම Electro Convulsive Therapy (ECT) හෙවත් Shock Treatment ප්‍රතිකාර ක්‍රමය ලබාදෙයි. නිර්වින්දනය කළ රෝගියාගේ මොළයේ සමහර ප්‍රදේශ හරහා මනාව පාලනය කළ විද්‍යුත් ධාරා යැවීම මෙහිදී සිදු කෙරේ. එවිට වලිප්පුව සෑදුන විටෙකදී මෙන් රෝගියාගේ සිරුර ගැස්සෙන අතර මානසික අවපීඩනය උග්‍ර වූවන් සඳහා මෙය සාර්ථක හා ආරක්ෂක ප්‍රතිකාර ක්‍රමයක්.

මානසික අවපීඩනයට ලක් වුවෙකුට කළ හැකි ප්‍රතිකාර

usaveinclinics.com

  • උපරිම ලෙස ආදරය, කරුණාව ලබාදීම.
  • සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත ගෙනයාම.
  • දොම්නසට හේතු වූ කරුණු ඔහුගෙන් ඉවත් කිරීමට උත්සහ ගැනීම.
  • නිසි තීරණ ගැනීමට උදව් කිරීම.
  • මත්පැනට හා දුම් පානයට ඇබ්බහි වීමෙන් වළක්වා ගැනීම.
  • රෝගියාට දොස් පැවරීමෙන් වැළකීම.
  • ප්‍රයෝගික ඉලක්කයන් කරා යොමු කිරීම.
  • ජීවිතය නැති කරගැනීම සියලු ගැටළු වලට විසඳුම යයි ඔවුන් සිතන බව දැනගත් විගස එය ගනන් නොගෙන නොසිට වහාම වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාම.

මානසික අවපීඩනයට ලක්වූවන් හට උදව් කරන සංවිධාන ද පවතී. 60 B, හෝර්ටන් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේ ප්‍රධාන මධ්‍යස්ථානය පිහිටුවා ඇති “ශ්‍රී ලංකා සුමිත්‍රයෝ” සංවිධානය ඉන් එක් ආයතනයක්. මහනුවර, පානදුර, බණ්ඩාරවෙල, පඬුවස්නුවර, අනුරාධපුරය, මාවනැල්ල, මාතලේ යන නගර වල ද මෙහි ශාඛා කාර්යාල පිහිටුවා තිබේ.

කවරයේ කතාව- metrotvnews.com 

මුලාශ්‍ර

https://www.medicalnewstoday.com/kc/depression-causes-symptoms-treatments-8933

https://medlineplus.gov/depression.html

https://www.webmd.com/depression/default.html

https://www.webmd.com/depression/guide/what-is-depression

https://www.psychiatry.org/patients-families/depression/what-is-depression

Related Articles

Exit mobile version