යුද වීරවරියක වූ සිව්පා සාජන්ට්වරිය

1950 වසරේ මැද භාගයේදී උතුරු කොරියාව සහ දකුණු කොරියාව දරුණු යුද්ධයකට එළඹුණා. සෝවියට් රුසියාවේ අනුග්‍රහය ලද උතුරු කොරියානු ජනරජයේ හමුදා නිලධාරීන් හැත්තෑ පන්දහසක් පමණ දෙනා 1950 වසරේ ජූනි 25 වන දින එක්ව ගමන් අරඹමින් යුද්ධ ප්‍රකාශ කළේ බටහිරවාදයට කැමැත්තක් දැක්වූ දකුණු කොරියානු ජනරජයට එරෙහිවයි. යුද සමය ඇරඹී මසක් ගතවත්ම ඇමරිකා එක්සත් ජනපදයද මේ ගැටුමට මැදිහත් වූයේ දකුණු කොරියාවට සහයෝගය දැක්වීමක් වශයෙනුයි.

වේගාස් මුරපොළේ සටන

උතුරු කොරියානුවන්ට සහයෝගය පළ කරමින් මෙම යුද්ධයට මැදිහත් වූ චීන හමුදාවන්ද 1953 වසරේ මුල් භාගයේදී ඇමරිකානුවන්ට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා. මේ අතුරින් දින පහක් පුරා චීන සහ ඇමරිකානු හමුදාවන් අතර පැවති “වේගාස් මුරපොළේ සටන” විශේෂිතයි. (මින් අදහස් වන්නේ ඇමරිකාවට අයත් නෙවාඩා ප්‍රාන්තය හෝ ලාස් වේගාස් නගරය නොවේ.) 1953 වසරේ මාර්තු මස 26වන දින පටන් මාර්තු 30වනදා දක්වා කොරියානු අර්ධ-ද්වීපයේ යුද වැදුණු මේ දෙපාර්ශවයම බරපතල ලෙස බලපෑම් වලට ලක්වුණා. නෙවාඩා මුරපොළේ පස් දින යුද්ධය විශේෂිත වීමට හේතුව එය දින පහක් තුළ යුද වැදුණු එකක් වීම පමණක්ම නොවෙයි. නෙවාඩා මුරපොළේ පස් දින යුද්ධයේදී සිය දිවියද නොතකා ඇප කැප වී සිය රාජකාරියෙහි යෙදුණු, ඒ නිසාවෙන්ම වීර පදක්කමකින්ද පිදුම් ලැබූ එක් විශේෂිත ඇමරිකානු “මැරීන්” වර්ගයේ කාන්තා භටයෙක් නිසාවෙනුත් මේ යුද්ධය ප්‍රසිද්ධියක් උසුලනවා. මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ ඇය පිළිබඳව තොරතුරුයි.

සිව්පා “මැරීන්” භටයා

ඈ එසේ මෙසේ යුද භටයෙක් නොවෙයි; ඈ සිව්පා යුද භටයෙක්. ඇමරිකානු මැරීන් භටයකුට යා හැකි ඉහළම තනතුර වන “සාජන්ට්” තනතුර දක්වා ගමන් කළ ඇය අශ්ව ධේනුවක්. ඈ නමින් “රෙක්ලස්”. Reckless යන්නෙහි තේරුම “නොසැලකිලිමත්” යන්න වුවත් මැය නම් තමාට පැවරුණු රාජකාරිය ඉතා සැලකිල්ලෙන් ඉටු කළ යුද භටයෙක්.

රයිෆල් වර්ගයේ ගිනි අවියක් දරා සිටින රෙක්ලස් (www.history.com)

රෙක්ලස් ඇමරිකානු මැරීන් හමුදා භට ඛණ්ඩයට බැඳුණු ආකාරයත් අපූරු සිදුවීමක්. කිම් මූන් නැමති කොරියානු පිරිමි දරුවා විසින් බිම් බෝම්බයකට හසුව පාදයක් අහිමිව ගිය සිය සොහොයුරිය වෙනුවෙන් කෘතීම පාදයක් මිලට ගැනීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට අවශ්‍ය නිසා තමා සතුව සිටි මේ අශ්ව ධේනුව ඩොලර් 250ක මුදලකට ඇමරිකානු හමුදා නිලධාරී ලුතිනන් එරික් පෙඩර්සන් වෙත විකුණා තිබෙනවා. කුඩා කිම්ගේ මේ අහිමි වීම පසු කලෙක ඇමරිකානු හමුදාවේ විශාලතම ශක්තියක් බවට පත්ව තිබෙනවා. රෙක්ලස්ගේ එකල නාමය ආ-චිම්-හයි. එහි තේරුම වන්නේ උදෑසන නැගෙන ගිනි දැල්ල යන්නයි.

නොබෝ දිනකින්ම ඇමරිකානු භටයින් සමග ඉතා කුළුපග වූ ඇය හමුදා භටයින්ගේ කඳවුරු තුළ ලැගුම් ගන්නට මෙන්ම ඔවුන් සමග එකට ආහාරපාන ගන්නටද පුරුදු වී තිබෙනවා. බිත්තර සහ පෑන්කේක්, බේකන්, පැණිරස කෑම වර්ග, කෝපි, කොකාකෝලා ආදී ආහාර ගැනීමට ඈ ඉතා ප්‍රිය කළ බවයි පැවසෙන්නේ.

දක්ෂ යුද භටයෙක්!

“Sgt Reckless; America’s War Horse” යන නමින් රෙක්ලස්ගේ ජීවිත කතාව කෘතියකට නගා ඇති රොබින් හටන් නැමති කතුවරයා පවසන්නේ රෙක්ලස් එසේ මෙසේ සත්වයකු නොවන බවයි. “ඈ අනෙක් අශ්වයින්ට සමාන කළ නොහැකියි. රෙක්ලස් කෙළින්ම දිව ගියේ යුද පිටිය දෙසටයි. තම සගයින්ට තමා අවශ්‍ය බව ඇයට ඉවෙන් මෙන් වැටහුණු අවස්ථා තිබුණා” යනුවෙන් ඔහු සිය කෘතියෙහි ලියා තිබෙනවා.

රෙක්ලස් හට පැවරී තිබුණු රාජකාරි වූයේ තමා අයිති භට ඛණ්ඩයට අවශ්‍ය රයිෆල් තුවක්කු ආදී අවි සිය පිටෙහි තබාගෙන ඒවා යුද පිටිය වෙත ගෙන යාම, හමුදා භටයින්ට අවශ්‍ය ආහාර පාන සහ බෙහෙත් ආදිය ඔවුන් වෙත ගෙනැවිත් දීම සහ යුද බිමේදී තුවාල ලැබූ හමුදා භටයින්ව සිය පිටෙහි හොවාගෙන නැවතත් හමුදා කඳවුර වෙත ගෙන ඒම යනාදියයි.

හමුදා නිලධරයින්ගේ මෙන්ම ඔවුන්ගේ පවුලේ අයගෙනුත් නොමද ආදරයක් ලබන රෙක්ලස් (www.history.com)

ඇතැම් විට මේ ගමන් වලදී වරකට රාත්තල් නවදහසක් පමණ බරැති උණ්ඩ තොග පවා යුද භටයින් වෙත ගෙන යාමට රෙක්ලස් හට සිදුවුණා. දිනෙකට මෙවැනි ගමන් වාර පනහකටත් වඩා අධික සංඛ්‍යාවක් ගමන් ගැනීමටද ඇයට සිදුවුණු අවස්ථා එමටයි. ඒ සියලු රාජකාරි නොපිරිහෙලා ඉටු කළ ඇය එක් දිනක් යුද පිටියේදී බෝම්බ ප්‍රහාරයන් වලින් අනතුරුව විසිරී යන කුඩා කැබලිති වලින්ද තුවාල ලබා තිබෙනවා. නමුත් ඉන් නොසැලී සිය රජකාරිය ඉටු කළ රෙක්ලස් හට එම වීර ක්‍රියාව වෙනුවෙන් පසු කලෙක විශේෂ වීර පදක්කම් ද්විත්වයක්ම පිරිනමා තිබෙනවා.

කටු කම්බි මතින් පැනීමට, ගුවනින් ප්‍රහාරයන් එද්දී බිමට නැවී හෝ බිම පතිත වී ආරක්ෂා වීමටද රෙක්ලස් ඉතා ඉක්මනින් උගෙන තිබෙනවා. වළවල් වල සැඟවී සිට සතුරාගෙන් බේරී කෙසේ හෝ නැවතත් සිය කඳවුර සොයා ගැනීමට හැකියාව තිබූ රෙක්ලස් සංඥා භාෂාවද හොඳින් දැන සිටි බවයි පැවසන්නේ.

සාජන්ට් ධුරයට පත්වීම

පෙන්ඩ්ල්ටන් හමුදා කඳවුරෙහි තනා ඇති රෙක්ලස්ගේ ලෝකඩ පිළිමය (www.history.com)

1954 වසරේ අප්‍රේල් මස 10වන දින රෙක්ලස් වෙත සාජන්ට් ධූරය පිරිනැමුණු අතර, මේ දක්වා එවැනි ධූරයකින් පිදුම් ලැබූ එකම සිව්පා සත්වයා ලෙස ගෞරවයට පාත්‍ර වන්නේද ඇය පමණයි. එම වසරේ නොවැම්බර් මස නැවතත් ඇමරිකා එක්සත් ජනපදය වෙත පා තැබූ රෙක්ලස් සාජන්ට්වරියගේ වාසස්ථානය වූයේ කැලිෆෝර්නියාවේ පෙන්ඩ්ල්ටන් හමුදා කඳවුරයි. එහිදී දෙවරක්ම කාර්ය මණ්ඩල සාජන්ට් ධුරයෙන් පිදුම් ලැබූ ඇය අශ්ව පැටවුන් සිව් දෙනෙකුටද උපත ලබා දුන්නේ මෙම කඳවුර තුළදී යි.

වසර විස්සකට ආසන්න කාලයක් දිවි ගෙවූ රෙක්ලස් 1968 වසරේ මැයි මස 13වන දින ඇද වැටීම නිසා හටගත් තුවාල සඳහා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේ මැරීන් හමුදා භටයින් විශාල පිරිසක් ශෝකයට පත් කරමින්. ඒ වන විට “මහළු” වියේ පසු වූ ඇය ආතරයිටිස් රෝගයෙන්ද පීඩා විඳිමින් සිට තිබෙනවා. සාජන්ට් රෙක්ලස් මැරීන් භටයා භූමදානය කෙරුණේ පූර්ණ හමුදා ගෞරවද සහිතවයි.

WordPress.com

කෙසේ වෙතත්, සිය දිවිය තුළ රෙක්ලස් ලබා ඇති වීර සම්මාන ගණන අති විශාලයි. ඒ අතරට යුද පිටියේදී සතුරු පාර්ශවයේ අවි වලින් තුවාල ලැබූ භටයින්ට ලැබෙන “Purple Heart” පදක්කම් දෙකක්, යහපත් හැසිරීම වෙනුවෙන් පිරිනැමෙන “Good Conduct” පදක්කම, ජාතික ආරක්ෂක සේවා පදක්කම, කොරියානු යුද සේවා පදක්කම, එක්සත් ජාතීන්ගේ සේවා ඇගයීම් පදක්කම ආදී පදක්කම් රැසක් වනවා.

රෙක්ලස් විසින් ඉටු කරන ලද අනගි මෙහෙය වෙනුවෙන් ගෞරව කිරීම උදෙසා 2013 වසරේ ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ජාතික මැරීන් භට කෞතුකාගාරයේත්, 2016 වසරේදී කැලිෆොර්නියා ප්‍රාන්තයේ පෙන්ඩ්ල්ටන්හි පිහිටා ඇති මැරීන් භට මූලස්ථාන කඳවුරේත් රෙක්ලස්ගේ ජීවමාන පිළිරූ දෙකක් ඉදි කරනු ලැබුවා. එමෙන්ම, ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ පිහිටා ඇති අශ්වයින් පිළිබඳ අන්තර්ජාතික කෞතුකාගාරය තුළත් ඇගේ පිළිරුවක් තැනීමට මේ වන විටත් කටයුතු යොදා තිබෙනවා.

“එය ඇය විසින් ලැබිය යුතු ගෞරවයක්” රොබින් හටන් පවසනවා. “මන්ද ඇය තවත් එක් අශ්වයකු නොවෙයි, ඇය මැරීන් භටයෙක්”

කවරයේ ඡායාරූපය – www.history.com

(තොරතුරු උපුටා ගැනීම – www.history.com වෙබ් අඩවියේ “The four-legged Marine who became a Korean war hero” ලිපිය ඇසුරින් සහ රෙක්ලස් වෙනුවෙන්ම නිර්මාණය කර ඇති www.sgtreckless.com වෙබ් අඩවිය ඇසුරිනි)

Related Articles

Exit mobile version