මෑතකාලීන ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුත ම ආර්ථික සහ දේශපාලනික අර්බුදය අපි මේ වන විට අත්විඳිමින් සිටිමු. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ මීට මාස කිහිපයකට පෙර යම් යම් ප්‍රදේශවල ආරම්භ වූ විරෝධතා පසුගිය කාලය පුරාවට රට පුරා ව්‍යාප්ත වූ අතර විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම් වූයේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව වහා ඉල්ලා අස් විය යුතු බව යි.
රජයට සහාය දක්වන පිරිසක්, අරලියගහ මන්දිරය අසල සහ කොළඹ ගාලු මුවදොර පිටියේ සාමකාමී විරෝධතාවල නිරත වූ පිරිසකට අමානුෂික ලෙස පහර දීමත් සමග රට පුරා ඇති වූයේ මහත් ව්‍යසනකාරී තත්ත්වයකි. එම සිදුවීමත් සමග ඇති වූ සිදුවීම් දාමය නිසා පුද්ගලයන් අට දෙනෙක් මියගොස් තවත් 150කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. ඊට අමතර ව හිටපු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය දේශපාලඥයන් රැසකට අයත් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන වැනි දේපළවලට දැඩි අලාභහානි සිදු විය.
අඛණ්ඩව එල්ල වන ජනතා විරෝධතා හමුවේ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස් වූ අතර ඒ සමඟ ම අමාත්‍ය මණ්ඩලය ද ඉල්ලා අස් විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයට සහාය දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මින් ඉදිරියට පාර්ලිමේන්තුව තුළ ස්වාධීන ව කටයුතු කරන බව මෑතක දී දැනුම් දී තිබේ. මෙම තත්ත්වය හමුවේ පවතින ආර්ථික අර්බුදයට අමතර ව උග්‍ර දේශපාලන අර්බුදයක් ද උද්ගත වී ඇත.
දේශපාලන අර්බුදය විසඳීමෙන් තොර ව ආර්ථිකය ශක්තිමත් කළ හැකි ද?
මේ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය පසුගියදා සඳහන් කළේ රටේ දේශපාලනික වශයෙන් ස්ථාවර බවක් ඇති කරන තෙක් ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නොහැකි බව යි. නව අමාත්‍ය මණ්ඩල පත් කිරීම වැනි පියවර මඟින් හෝ බලහත්කාරයෙන් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කළ නොහැකි බව පෙන්වා දුන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කළේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ, පක්ෂ විපක්ෂ භේදයෙන් තොර ව පොදු එකඟතාවක් මත රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව යි.
ඒ සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් යෝජනා මාලාවක් ද ඔවුන් ඉදිරිපත් කර තිබෙයි. මෙම ලිපිය ඒ පිළිබඳව යි.
නීතිඥ සංගමය අවධාරණය කර ඇත්තේ පවතින අර්බුදකාරී තත්ත්වය විසඳීම සම්බන්ධයෙන් ගන්නා සියලු ක්‍රියාමාර්ග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අනිකුත් නීතිමය ප්‍රතිපාදනවලට අනුකූල විය යුතු බව යි. සිය යෝජනා මාලාවෙන් නිර්දේශ කර ඇති සමහර කරුණු, පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරිපත් කරන ඒවා විනා ඉදිරියේ දී පූර්වාදර්ශයක් කරගත යුතු ඒවා නොවන බවත් එහි සඳහන් වේ.
නීතිඥ සංගමයේ මූලික යෝජනා අතර,
- හැකි ඉක්මනින් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් කරුණු ද පදනම් කරගනිමින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම.
- ව්‍යවස්ථාදායක සභාව සහ ස්වාධීන කොමිෂන් සභා නැවතත් පිහිටුවීම සහ ඒවායේ මුල්‍ය ස්වාධීනත්වය, විනිවිදභාවය සහ වගවීම තවදුරටත් ඉහළ නැංවීම.
- මහ බැංකුවේ අධිපතිවරයා සහ මුල්‍ය මණ්ඩලය පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය මත සිදු කළ යුතු වන ආකාරයේ ප්‍රතිපාදන 21 වැනි සංශෝධනයට ඇතුළත් කිරීම.
- අමාත්‍යංශ ලේකම්වරුන්, ආණ්ඩුකාරවරුන්, තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පත් කිරීම අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, අමාත්‍ය මණ්ඩලයේ ද අදහස් ලබා ගනිමින් සිදු කිරීම.
- ජනාධිපති සමාව ලබාදීම, ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය මත ජනාධිපතිවරයා පත් කරන නීත්‍යනුකුල ආයතනයක නිර්දේශ මත පමණක් සිදු කිරීම.
- විධායක ජනාධිපති ක්‍රමය හැකි ඉක්මනින් අහෝසි කිරීම
- කැබිනට් අමාත්‍යවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත “ජාතික සමගි අන්තර්වාර ආණ්ඩුවක්” පිහිටුවීම.
- අමාත්‍යංශ 15කට අනුරූප හෝ ජාතික ආර්ථිකයට අදාළ විෂය ක්ෂේත්‍රවලින් සුදුසුකම් ලත් වෘත්තිකයින් 15 දෙනකුගෙන් සමන්විත ස්වාධීන උපදේශක සභාවක් පත් කිරීම
- දේශපාලන පළිගැනීම පිළිබඳ චෝදනා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ හා තීරණ ක්‍රියාත්මක කිරීම අවලංගු කිරීම
- ජාතික සමගිය පිළිබඳ කැබිනට් මණ්ඩල උපදේශක සභාව සමග සාකච්ඡා කර පොදු අවම වැඩසටහනක් සකස් කිරීම
- ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා කිරීම
- 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කර ඇති පරිදි ජනාධිපතිවරයා වෙනත් කිසිදු තනතුරක් නොදැරීම, යන ඒවා වේ.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම
නීතිඥ සංගමයේ මූලික යෝජනාවල වැඩිදුරටත් සඳහන් වන්නේ විධායක ජනාධිපති ධුරය මාස 15කට අඩු කාලයක් තුළ අහෝසි කළ යුතු බවඩයි. ඊට අදාළ නෛතික ප්‍රතිපාදන 2022 නොවැම්බර් 30 වැනිදාට පෙර සම්මත කරගත යුතු බවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම බලාත්මක වන්නේ කවදා සිට ද යන්න ප්‍රකාශයට පත් කළ යුතු බවත් නීතිඥ සංගමය යෝජනා කර තිබේ. ඔවුන් යෝජනා කරන්නේ විධායක ජනාධිපති ධුරය වෙනුවට අග්‍රාමාත්‍යවරයා රජයේ ප්‍රධානියා වශයෙන් පිළිගැනෙන සහ අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ස්ථාපනය කළ යුතු බව යි.
අන්තර්කාලීන රජයක් පිහිටුවීම
නීතිඥ සංගමයේ යෝජනා අතර වැඩිදුරටත් සඳහන් වන්නේ අමාත්‍යවරුන් 15 දෙනකුගෙන් සමන්විත අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව යි. එහි අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කළ හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය යුතු අතර එවැනි මන්ත්‍රීවරයෙක් දැනට පාර්ලිමේන්තුවේ නොසිටී නම් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස් වීම හරහා එවැනි පුද්ගලයකුට පාර්ලිමේන්තුවට පිවිසීමට හැකියාව ඇත. මේ ආකාරයෙන් පත් කරගන්නා ආණ්ඩුව උපරිම මාස 18ක් දක්වා ක්‍රියාත්මක විය යුතු බවත්, එම කාලසීමාව අවසන් වූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවත් නීතිඥ සංගමය යෝජනා කර ඇත.
ස්වාධින උපදේශක සභාවක් පත් කිරීම
අන්තර්කාලීන රජයට අමතර ව, ස්වාධීන සහ නිර්දේශපාලනික සිවිල් සහ අනිකුත් සංවිධාන සමග සාකච්ඡා කර 15 දෙනකුගෙන් යුතු ස්වාධීන උපදේශක සභාවක් පත් කිරීම නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති තවත් යෝජනාවකි. අන්තර්කාලීන ආණ්ඩුව ගන්නා සියලු වැදගත් ප්‍රතිපත්තිමය තීරණ මෙම උපදේශක සභාව සමග සාකච්ඡා කර ගත යුතු ය.
දේශපාලන පළිගැනීම්
2021 ජනවාරි 29 දින නිකුත් කර ඇති- 2015 සිට 2019 දක්වා වූ එක්සත් ජාතික පෙරමුණු රජය සමයේ සිදු වූ බව කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව, එහි අවසන් වාර්තාවේ ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු බව සහ අදාළ නිර්දේශ ක්‍රියාත්මක නොකළ යුතු බව නීතිඥ සංගමය යෝජනා කර ඇත.
කාලීන ගැටලුවලට විසඳුම් සෙවීමට විශේෂ වැඩසටහනක්
වර්තමානයේ උද්ගත වී ඇති ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා ඉහත කී ස්වාධීන උපදේශක සභාව සමග සාකච්ඡා කර විශේෂ වැඩසටහනක් සකස් කළ යුතු බව යෝජනා කර ඇත.
එමඟින් අවධානය යොමු කළ යුතු කරුණු අතර පවතින තත්ත්වය තුළ වඩාත් දුෂ්කරතාවලට පත්ව ඇති ජනකොටස්වලට සහන සැලසීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අවශ්‍ය පියවර ගැනීම, භාණ්ඩ හා සේවා හිඟය සඳහා ඉක්මන් විසඳුම් ලබා දීම, රාජ්‍ය දේපල පුද්ගලික ආයෝජන සඳහා ලබාදීම සහ ටෙන්ඩර් ප්‍රධානය කිරීම වැනි කටයුතු විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීම සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම සහ මානව හිමිකම් තත්ත්වය ඉහළ නැංවීම වැනි දෑ වේ.
ජාතික අවශ්‍යතා සපුරාගත හැකි ආකාරයේ විදේශ ප්‍රතිපත්තියක් සකස් කිරීම, අපරාධ, දූෂණ වංචා, මැතිවරණ ප්‍රචාරක වියදම් සහ වත්කම් හා බැරකම් සම්බන්ධයෙන් වන නීති ප්‍රතිපාදන සුදුසු පරිදි සංශෝධනය කිරීම හෝ නව නීති හඳුන්වා දීම, මහා බැංකුවේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම සඳහා වන ප්‍රතිපාදන සකස් කිරීම, ජාතික ආර්ථික සංවර්ධනය උදෙසා අවශ්‍ය පියවර ගැනීම, උපදේශන කමිටු සහ ආංශික අධීක්ෂණ කමිටු ශක්තිමත් කර ඒවාට වෘත්තිකයන් සහභාගී කරවා ගැනීම, මැතිවරණ පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු ප්‍රතිසංස්කරණ සිදු කිරීම සහ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සංශෝධනය කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ද ඉහත කී වැඩසටහන යටතේ අවධානය යොමු කළ යුතු බව නීතිඥ සංගමය යෝජනා කර ඇත.
යෝජනාවලිය පිළිබඳ පළ වූ පක්ෂ – විපක්ෂ අදහස්
පවතින දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම ගැන සලකා බලන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිය යි.
මෙම යෝජනා මාලාව පිළිබඳ දේශපාලන පක්ෂ කිහිපයක් දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කටයුතු කළේ ය. එම සාකච්ඡා සඳහා සහභාගී වූ දේශපාලන පක්ෂ අතර ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වන සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේ. එම පක්ෂවල නායකයන් සහ අනිකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් නීතිඥ සංගමයේ මුලස්ථානයේ දී මෙම යෝජනාවලිය පිළිබඳ පැවති සාකච්ඡාවලට සහභාගී වූහ.
එම සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂ නායකයන් සඳහන් කළේ නීතිඥ සංගමය සකස් කර ඇති යෝජනාවලිය ප්‍රශස්ත මට්ටමක පවතින බව යි. ඒ අනුව ඉදිරියේ දී තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් ඔවුහු සඳහන් කළහ. මෙම යෝජනාවලිය පිළිබඳව ජනාධිපතිවරයා හමු වී ඔහු දැනුම්වත් කිරීමටත් නීතිඥ සංගමයේ උසස් නිලධාරීන් කිහිප දෙනෙක් පසුගියදා කටයුතු කළහ.