තෛපොංගල් චාරිත්‍ර

ශ්‍රී ලාංකික හින්දු ජනයා සෑම වසරකම ජනවාරි මාසයේ 15 වන දින උත්සවශ්‍රීයෙන් යුතුව තෛපොංගල් උත්සවය සමරනු ලබනවා. නිවස දොරකඩ අදින ලද කෝලම් රටාවන්ගෙන් හා මැටියෙන් සාදන ලද කළගෙඩිවලින් සරසා එදින අලංකාර කිරීමට ඔවුන් අමතක කරන්නේ නෑ. ඊට අමතරව කෙසෙල්, උක් ගස්, මෙන්ම මකර තොරණක් ගස් වර්ගවලින් සාදා තමන්ගේ නිවස ඉදිරිපිට රැඳවීම ද කරනු ලබනවා.

සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් සමස්ත හින්දු බැතිමතුන් සූර්ය දෙවියන්ට පුද පුජා පවත්වන තෛපොංගල් දිනය ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක හා ලෝකය පුරා වෙනත් රටවල් ගණනාවක සැමරෙනවා. එහි පරමාර්ථය එකම වෙන නමුත්, නමේ විවිධ වෙනස්කම් දැකිය හැකියි. සාම්ප්‍රදායිකව සකසා ගත් කිරිබත හිරු දෙවියන්ට පිදීම මඟින් අලුත් අස්‌වැන්න වෙනුවෙන් දෙවියන්ට කෘතගුණ දැක්වීම මෙම දිනයේ ප්‍රධාන අරමුණ වෙනවා. තමිල්නාඩුව, අන්ද්‍රා ප්‍රදේශය, බෙංගාලය, කේරළය, කර්ණාටකය, මහාරාෂ්ට්‍රය, තෙලන්ගානා හා උත්තර් ප්‍රදේශය තෛපොංගල් උත්සවශ්‍රීයෙන් සමරන ඉන්දියානු ප්‍රදේශ ලෙස නම් කළ හැකි යි.

පොංගල් 

පොංගල් ආහාර (tamilguardian)

දමිළ දින දර්ශනයේ දස වෙනි මාසය හඳුන්වනුයේ තෛයි ලෙස යි. පොංගල් යන්න සාමාන්‍යයෙන් උත්සවය යන්න යි. හකුරු හා කිරි සහිත සහල් දැමූ නවතම මැටි බඳුනට දුඹුරු පැහැති සීනි, එළඟි තෙල්, කජු හා වියළි මිදි එකතු කර පිළියෙල කරගන්නා සාම්ප්‍රදායික ආහාර බඳුන ද හඳුන්වන්නේ පොංගල් නමින්.

අලුත් ළිපක, අලුත් මුට්‌ටියක කිරි උතුරුවා ගැනීම මෙම උත්සවයේ දී කෙරෙන ප්‍රධාන කටයුත්තක් ලෙස හැඳින්විය හැකි යි. මෙම කිරි ඉතිරෙන අවස්‌ථාවේ දී නිවසේ සියලු දෙනාම “පොංගලෝ පොංගල්” යනුවෙන් හඬ නගා පැවසීම සාමාන්‍ය සම්ප්‍රදාය යි. අනතුරුව කිරි මුට්‌ටියට හාල් සකස්‌කර මුං ඇතුළු තවත් ධාන්‍ය වර්ග හා පළතුරු ආදිය දමා සෑදු රසවත් කිරිබත සමග රසකැවිලි කෙසෙල් කොළවලට දමා පළමුවෙන්ම දෙවියන්ට තබනවා. දෙවියන්ට තැබීමෙන් පසුව පවුලේ සැවොම එක් වී පොංගල් නැමැති එම ආහාර පාන වර්ග ආහාරයට ගැනීම සිදුකරනවා. ඊට අමතරව තම සමීප අසල්වැසියන්ට ද ආහාර පාන ආදියෙන් සංග්‍රහ කිරීම දැකගත හැකියි. එය ඔවුන් දකින්නේ හොඳ හිත වර්ධනය කර ගැනීමේ එක් චාරිත්‍රයක් ලෙස යි.

ප්‍රධාන තැනක් ගන්නා කෝලම් රටා 

කෝලම් රටා (webneel)

තෛපොංගල් දිනයේ දී පවුලේ කාන්තාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. ඔවුන් මෙම සැමරුමට අදාළ වැඩිපුරම වැඩ කොටස ඉටුකරනවා. හිරු උදාවීමට පැය පහකට ප‍්‍රථම හින්දු කාන්තාවන් අවදි වී තෛපොංගල් උත්සවය සඳහා සුදානම් වෙනවා. මිදුලේ ගොම ගෑ පිරිසුදු බිමක සුදු හා රතු පාට පිටිවලින්, ධාන්‍ය කුඩු හා වර්ණ ගැන්වූ පොල්කුඩු යොදාගෙන ඉතා අලංකාර සැරසිලි නිර්මාණය කරනවා. මේවා කෝලම් රටා ලෙස හඳුන්වනවා.

හින්දු සංස්කෘතිකාංග අතර ප්‍රධාන තැනක් ගන්නා කෝලම් රටා යනු ඉතාමත් අලංකාර මෙන්ම සියුම් නිර්මාණයක් ලෙස හැඳින්වෙනවා. වර්ණ ගන්වන ලද සහල්, සහල් පිටි හෝ වර්ණවත් මල් පෙති භාවිතයෙන් සිදුවෙනවා. මෙම කෝලම් රටා ඇඳීම වැඩි වශයෙන් සිදුවන්නේ හින්දු තරුණියන් අතින්. 

කිරි ඉතිරවීම (tamilguardian)

මනා සංයමයකින් යුතුව අඳිනු ලබන මෙම කෝලම් සඳහා මල් භාවිතා කරන්නේ සුවඳ එක් කිරීම සඳහා යි. නමුත්, බහුල වශයෙන් භාවිත කරනුයේ වර්ණ ගන්වන ලද සහල් හා සහල් පිටි යි. එලෙසින් සහල් පිටි භාවිතා කිරීමේ අරමුණ වන්නේ එමඟින් අලංකාරයක් එක් කිරීම මෙන්ම පක්ෂීන් හා කූඹින් වැනි කුඩා සතුන් හට ආහාරයක් වශයෙනි. වර්තමානය වන විට අලංකාරත්වය උදෙසා නිර්මාණය වුවත්, අතීතයේ මේ සඳහා ධාන්‍ය වර්ග වැඩිපුරම යොදාගෙන තිබෙන්නේ අස්වැන්න නෙලා ගත් පසු කුරුල්ලන් හා කුඩා සතුන් වර්ග සඳහා ආහාර ලබාදීමට සඳහා යි.

මූලාශ්‍රය- pongalfestival.org

කවරයේ පින්තූරය- tamilguardian

Related Articles

Exit mobile version