Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවීන ලෝකයේ ආශ්චර්යයක්- ‘ගෝල්ඩන් ගේට්’ පාලම

සියලු රටවල පාහේ ඒ ඒ රටවලට ආවේණික වූ විවිධ නිර්මාණ තිබේ. ඒ අතර ස්වාභාවික ව නිර්මාණය වූ කඳුවැටි, වනාන්තර සහ ගංගා වැනි දේ මෙන් ම මිනිසුන් නිම කළ විශ්වකර්ම නිර්මාණ ද වේ. ගොඩනැඟිලි, දැවැන්ත ප්‍රතිමා සහ පාලම් වැනි එවැනි නිර්මාණ අතරින් සමහර ඒවා අදාළ රටවල පමණක් නොව විදෙස් රටවල පවා ප්‍රසිද්ධියට පත් ව ඇත්තේ ඒවායේ ඇති සුවිශේෂී බව නිසා ය.

දෙස් විදෙස් රටවල ප්‍රසිද්ධ එවැනි අපූරු නිර්මාණයකි- අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය සහ මැරීන් ප්‍රාන්තය යා කරන ‘ගෝල්ඩන් ගේට්’ පාලම. එහි ඇති අපූර්වත්වය නිසා ම අමෙරිකානු සිවිල් ඉංජිනේරු සංගමය එය නවීන ලෝකයේ ආශ්චර්යයන්ගෙන් එකක් ලෙස නම් කර තිබේ. මේ ලිපිය ඒ අපූරු නිර්මාණය පිළිබඳව යි.

රාත්‍රී කාලයට පාලම දිස්වන අයුරු – www.britannica.com

සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක සහ පැසිෆික් සාගරය යා කරන සැතපුමක පමණ පළලින් යුතු ‘ගෝල්ඩන් ගේට්’ සමුද්‍ර සන්ධිය හරහා ඉදිකර ඇති එල්ලෙන පාලමක් වන ‘ගෝල්ඩන් ගේට්’ පාලමට එම නම ලැබී ඇත්තේ සමුද්‍ර සන්ධිය නිසා ය. ඉංජිනේරුවරයකු වූ ජෝසප් ස්ට්‍රෝස් සැලසුම් කළ ‘ගෝල්ඩන් ගේට්’ පාලම සැලකෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ සහ කැලිෆෝනියා ප්‍රාන්තයේ සංකේතයක් ලෙස යි.

ඉතිහාසය

‘ගෝල්ඩන් ගේට්’ පාලම ඉදි කිරීමට පෙර සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ සිට මැරීන් ප්‍රාන්තයට ගමන් කිරීමට තිබූ එකම ක්‍රමය බෝට්ටු සේවාවකි. 1820 වසරේ දී ඒ හරහා පාලම් පාරු සේවාවක් ආරම්භ වූ අතර ඊට දශක දෙකකට පසු, එනම්, 1840 වසරේ දී විධිමත් බෝට්ටු සේවාවක් ද ඇරඹිණි. එම බෝට්ටු සේවාව පසුකාලීන ව සුප්‍රසිද්ධ බෝට්ටු සේවා සපයන සමාගමක් බවට පත් විය. එකල බෝට්ටුවක් මගින් සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය සහ මැරීන් ප්‍රාන්තය අතර ගමන් කිරීමට ගත වී ඇති කාලය විනාඩි 27කි.

සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ බෝට්ටු සේවාවක් – www.seaplaneshift.com

පාලමක් ඉදිකිරීම පිළිබඳ යෝජනා ඉදිරිපත් වීම

1910 දශකයේ අවසන් භාගය වන විට අමෙරිකා එක්සත් ජනපදයේ විශාලත්වයෙන් වැඩි ම නගරවලින් එකක් වන සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය සහ මැරීන් ප්‍රාන්තය යා කරන පාලමක අවශ්‍යතාව බොහෝ දෙනකු පෙන්වා දී තිබිණි. එය විශාලත ම නගරවලින් එකක් වුවත් ඒ වන විට සංවර්ධනය අතින් ඉතා පහළ මට්ටමක පැවතීමට හේතුව ලෙස බොහෝ දෙනෙක් දක්වා තිබුණේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට අනිකුත් නගර සමඟ ස්ථිර මාර්ග සම්බන්ධතා නොමැති වීම යි.

ඒ අනුව එම නගර හරහා පාලමක් ඉදි කළ යුතු බව බොහෝ දෙනෙක් යෝජනා කළ නමුත් බොහෝ විශේෂඥයන් පැවසුවේ මීටර් 2,000කට වැඩි දිගින් යුතු ගෝල්ඩන් ගේට් සමුද්‍ර සන්ධිය හරහා පාලමක් ඉදි කිරීම ප්‍රයෝගික නොවන බව යි. ඒ ආශ්‍රිත පැසිෆික් සහරයේ දැඩි මුහුදු රළ සහ සුළං නිසා පාලමක් ඉදි කිරීම කළ නොහැකි කාර්‍යයක් බව ඔවුන් සඳහන් කර තිබිණි.

සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය – www.sfcitylimo.com

ප්‍රයෝගික සැලසුමක්

ගෝල්ඩන් ගේට් සමුද්‍ර සන්ධිය හරහා පාලමක් ඉදිකිරිම පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ කතාබහට ලක් වුවත් ඒ පිළිබඳව අවධානයට ලක් වන ආකාරයේ සැලසුමක් මුලින් ම ඉදිරිපත් කළේ එවකට ඉංජිනේරු ශිෂ්‍යයකු වූ ජේම්ස් වයිකින්ස් ය. ඔහුගේ එම යෝජනාව 1916 වසරේ දී පුවත්පතක ද පළකර තිබිණි. එම සැලසුම අනුව පාලමක් ඉදිකිරීම සඳහා අමෙරිකන් ඩොලර් මිලියන 100ක් පමණ වැය වන බව ඇස්තමේන්තු කර තිබිණි.

කෙසේ වෙතත් එකල පැවැති ආර්ථික තත්ත්වය අනුව එතරම් විශාල මුදලක් වැය කිරීම අපහසු බැවින් ඊට වඩා අඩු මුදලක් වැය කර පාලම ඉදි කළ හැකි ද යන්න බලධාරීහු ඉංජිනේරුවරුන්ගෙන් විමසූහ. මේ අතරතුර සිය නිබන්ධනයක් සඳහා වෙනත් සමුද්‍ර සන්ධියක් හරහා ඉදි කළ හැකි පාලමක් සැලසුම් කළ ජෝසප් ස්ට්‍රෝස් නම් ඉංජිනේරුවරයා ඒ සඳහා ඉදිරිපත් විය. ඔහු ඒ වන විට පාලම් 40කට වැඩි ප්‍රමාණයක් සැලසුම් කර තිබූ නමුත් ඒවායෙන් බොහොමයක් ගොඩබිම් ප්‍රදේශවල ඉදිකළ ඒවා විය. මෙම පාලම එල්ලෙන පාලමක් ලෙස ඉදිකිරිම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කළ ඔහු එය ඩොලර් මිලියන 17ක් පමණ වැය කර ඉදි කළ හැකි බව පැවැසුවේ ය.

ජෝසප් ස්ට්‍රෝස් – www.calisphere.org

පාලම ඉදිකිරීම් ආරම්භ වීම

1933 ජනවාරි 5 දින පාලමේ ඉදිකිරීම් ආරම්භ විය. පාලම ඉදිකිරිම සඳහා වැය වූ සම්පුර්ණ මුදල ඩොලර් මිලියන 30ක් පමණ වූ බව කියැවේ. එහි ඉදිකිරීම් සිදු කළේ ‘බෙත්ලෙහෙම් වානේ සංස්ථාව’ නම් සමාගමේ අනුබද්ධ සමාගමක් වූ ‘මැක්’ක්ලින්ටික් මාර්ෂල්’ නම් ඉදිකිරීම් සමාගම යි. පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස ස්ට්‍රෝස් කටයුතු කළ නමුත් ඔහු එල්ලෙන පාලම් ඉදිකිරිම පිළිබඳ ව අත්දැකීම් බහුල අයකු නොවූ නිසා වැඩි වැඩ කොටසක් පැවැරී තිබුණේ අනෙකුත් ඉංජිනේරුවරුන්ට ය. ඒ අතර නිව්යෝක් නගරයේ ‘Manhattan’ පාලමේ සැලසුම්කරු ද සිටීම විශේෂත්වයකි.

පාලමේ ඉදිකිරීම් අතරතුර – www.historythings.com

ඉදිකිරීම් අතර සිදු වූ අනතුරු

ඉංජිනේරු ස්ට්‍රෝස් පාලම ඉදිකිරිම අතරතුර ආරක්‍ෂිත දැල් යොදා ගැනීම පිළිබඳ ව අවධානය යොමු කළේ කම්කරුවන් අනතුරට ලක්වීම වළක්වා ගැනීම සඳහා ය. ඒ නිසා විය හැකි ව තිබූ ජිවිත හානි විශාල ප්‍රමාණයක් අවම කර ගැනීමට ඔවුන්ට හැකි විය. කෙසේ නමුත් පාලමේ ඉදිකිරීම් අතරතුර සිදු වූ අනතුරුවලින් සේවකයන් 10ක් ජිවිතක්ෂයට පත් විය. ඉදිකිරීම් අවසන් වීමට කෙටි කලකට පෙර, එනම් 1937 පෙබරවාරි 17 දින සේවකයන් 12 දෙනෙකු ආරක්‍ෂිත දැලක් කඩාගෙන අඩි 200ක් පහළ පිහිටි පැසිෆික් සාගරයට වැටුණු අතර ඉන් 10ක් ජීවිතක්ෂයට පත්ව දෙදෙනෙක් දිවි බේරා ගත්හ.

ඉදිකිරීම්වල නිරත සේවක පිරිස් –  www.goldengate.org

විවෘත කිරීම

ඉදිකිරීම් අවසන් වූ ගෝල්ඩන් ගේට් පාලම 1937 මැයි 27 දින විවෘත විය. එය විවෘත කිරීම සඳහා මැයි 27 දින ආරම්භ වූ සැණකෙළිය සතියක් පුරාවට පැවැති බව කියැවේ. ඒ මතින් ගමන් කිරීමට වාහන සඳහා අවසර ලබාදීමට ප්‍රථම පුද්ගලයන් 20,000කට වැඩි ප්‍රමාණයක් පා ගමනින් හෝ රෝද සහිත සපත්තු පැළඳ ඒ හරහා ගමන් කර තිබේ.

මීටර් 2,737ක දිගින් යුතු ‘ගෝල්ඩන් ගේට්’ පාලම පැසිෆික් සාගරයේ සිට මීටර් 227ක් ඉහළින් පිහිටා තිබේ. 1964 වන තෙක් ලොව දිගින් වැඩි ම එල්ලෙන පාලම මෙය වූ නමුත් මේ වන විට ඊට වඩා දිගින් යුතු එල්ලෙන පාලම් 17ක් විවිධ රටවල ඉදිකර තිබේ. ‘ගෝල්ඩන් ගේට්’ පාලම 1993 තෙක් භුමියේ සිට වඩාත් උසින් පිහිටි එල්ලෙන පාලම ද විය. කෙසේ වෙතත් මේ වන විට එම වාර්තාවට හිමිකම් කියන්නේ මෙක්සිකෝවේ පිහිටි පාලමකි.

පාලම විවෘත කළ දා – www.sfchronicle.com

පාලම ආශ්‍රිත සිය දිවි නසාගැනීම්

ලොව සිය දිවි නසා ගැනීම් වැඩිම සංඛ්‍යාවක් සිදු වූ ස්ථානය ලෙස සැලකෙන්නේ ‘ගෝල්ඩන් ගේට්’ පාලමයි. ජලයේ සිට මීටර් 227ක් ඉහළින් පිහිටි පාලමෙන් පනින පුද්ගලයකු තත්පර හතරක් වැනි කාලයක් තුළ ජලයට පතිත වේ. මෙම පාලමෙන් බිමට පනින පුද්ගලයන්ගෙන් බොහොමයක් ජලයේ ගිලීමටත් ප්‍රථම, ඇතිවන කම්පනය නිසා මිය යන බව සොයා ගෙන තිබේ. මෙම පාලම ආශ්‍රිත ව සිදුවන සිය දිවි නසා ගැනීම් වසරක් පාසා වැඩි වන බැවින් පාලමේ බිම් මට්ටමේ සිට අඩි 20ක උසින් යුතු ආරක්‍ෂිත දැලක් සවි කිරීමට යෝජනා විය. එහි වැඩ කටයුතු 2017 වසරේ දී ආරම්භ වූ අතර ඒ සඳහා වැයවනු ඇති බවට ගණන් බලා තිබූ මුදල ඩොලර් මිලියන 200කි.

පාලමේ ආරක්ෂිත දැල් – www.marinij.com

එම දැල සවිකිරීමේ කටයුතු වසර හතරක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර තිබූ නමුත් එහි ඉදිකිරීම් භාරව සිටි සමාගම වෙනත් පාර්ශවයකට විකුණා දැමීම හේතුවෙන් එම කටයුතු වසර දෙකකින් පමණ ප්‍රමාද වන බව වාර්තා විය. ඒ අනුව මෙම දැල සවි කිරීමේ කටයුතු 2023 වසර වන විට අවසන් කිරීමට හැකි වෙතැයි වාර්තා වේ.

කවරයේ ඡායාරූපය- 'ගෝල්ඩන් ගේට්' පාලම - www.wallpapersafari.com

මූලාශ්‍ර:

www.goldengate.org

www.britannica.com

www.sfchronicle.com

www.calisphere.org

Related Articles