ඉතාම කුඩා රාජ්‍යයන් හැරුණු විට, ඕනෑම රටක රහස් ඔත්තු සේවයක්, එහෙමත් නැත්නම් බුද්ධි අංශයක් පවතින බව අප දන්නා කරුණක්. මෙය රටක ආරක්ෂාව සඳහා වැදගත් සාධකයක් වෙනවා. ඉතිහාසයේ පැවති එවැනි සංවිධාන අතුරින් පැරණි සෝවියට් දේශයේ KGB ආයතනයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයක්.
ආරම්භය
KGB ආයතනය සෝවියට් දේශය තුළ මෙන්ම එයින් පිටතත් රහස් ඔත්තු සේවා කටයුතුවල නිරත වුණා. ඇතැම් කාලවල එහි බලය යම් තරමකට අඩු වුණත්, සෝවියට් දේශයේ පාලනය දැඩි වනවාත් සමග KGB ආයතනයේ වැදගත්කම ඉහළ ගියා. එහි ඉතාම වැදගත් අවස්ථාවක් විදියට 1982 දී ලියොනිඩ් බ්‍රෙෂ්නෙෆ් මියගිය පසු හිටපු KGB ප්‍රධානී යූරි අන්ද්‍රපොව් එරට නායකයා බවට පත්වීම සළකන්නට පුලුවනි.
KGB ආයතනය ඒ නමින් හැඳින්වෙන්නට පටන් ගත්තේ 1954 වුනත්, එහි ආරම්භය 1917 කරා දිව යනවා. 1917 බෝල්ශෙවික් විප්ලවයෙන් සති කිහිපයකට පසු ඒ කාළයේ සෝවියට් රුසියාවේ පළමු රහස් පොලිසිය බිහි වෙනවා. එහි සම්පූර්ණ නම ටිකක් දිග එකක්. එය කෙටියෙන් හදිසි අවස්ථා කමිටුව යයිද හැඳින්වුනා. වඩා ප්‍රකට වූයේ එහි රුසියානු නාමය වූ “චෙකා” යන නමයි.
1917 දෙසැම්බර් 20 වනදා පිහිටුවන ලද මෙම සංවිධානයේ ප්‍රධානියා ලෙස ෆීලික්ස් ජර්සින්ස්කි නම් පෝලන්ත කොමියුනිස්ට්වාදියා පත් කෙරුණා. මාස කිහිපයකදී චෙකා සංවිධානය දිස්ත්‍රික්ක කමිටු ගණනාවකින් යුතු ප්‍රබල සංවිධානයක් ලෙස පැතිර ගිය අතර මුල් අවුරුදුවල සෝවියට් රජය අභ්‍යන්තර වගේම බාහිර බලපෑම්වලට ලක් වෙද්දී ප්‍රතිවිප්ලවවාදීන් සහ කඩාකප්පල්කාරයන් ගෙන් එම රජය බේරා ගැනීමට චෙකා සංවිධානය ක්‍රියා කළ බව පැවසුනා.
කෙසේ නමුත් චෙකා සංවිධානය ඉතාම දරුණු සංවිධානයක් ලෙස තමයි සළකනු ලැබුණේ. චෙකා සංවිධානයේ නම රුසියානු ජනයාට කෙතරම් තදින් කාවැදුණාද කිවහොත් පසු කාළයේදී පවා සෝවියට් රහස් ඔත්තු සේවාවල නිලධාරීන් “චෙකා කාරයින්” ලෙස හඳුන්වන්නට රුසියානුවන් පෙළඹුනා.
කාළයෙන් කාළයට සෝවියට් රහස් පොලිසිය විවිධ ආකාරයෙන් හැඳින්වු අතර විවිධ ආයතනික ව්‍යුහයන් යටතේ පැවතුණා. චෙකා සංවිධානය පසුව GPU, OGPU යනාදී නම්වලිනුත් හැඳින්වුණා.
1922 දී රුසියාවට පමණක් බලපාන ආකාරයට ‘අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ මහජන කොමිසාර් කාර්යාලය (NKVD) නම් සංවිධානයක් පිහිටුවා තිබුණ අතර 1934 දී එය ප්‍රතිසංවිධානය කර සෝවියට් දේශයටම බලපාන ආකාරයේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ මහජන කොමිසාර් කාර්යාලයක් පිහිටවුනා. මෙම නව NKVD සංවිධානය රට තුළත්, ඉන් පිටතත් ක්‍රියාත්මක වුණා. පසු කළෙක එය NKGB සහ MGB යන නම්වලිනුත් හැඳින්වුණා. අවසානයේදී KGB නමිත් 1954 දි ස්ථාපිත කෙරුණා.
ස්ටාලින් යටතේ
සෝවියට් දේශයේ පළමු නායක ව්ලැඩිමීර් ඉලීච් ලෙනින් 1924 ජනවාරියේදී මිය ගියා. ඉන්පසුව එරට නායකයා වූයේ ජෝශප් ස්ටාලින්. ඔහුට ප්‍රධාන විරුද්ධවාදියකු වූයේ ලියොන් ට්‍රොට්ස්කි. කෙසේ නමුත් සෝවියට් කොමියුනිස්ට් පක්ෂය තුළ සිය බලය තහවුරු කරගත් ස්ටාලින් 1930 දී ට්‍රොට්ස්කි රටින් පිටුවහල් කළා.
එයින් ටික කළකට පස්සෙ මතු වුණේ දරුණු භීම සමයක්. මෙය නව NKVD සංවිධානය නිර්මාණය වීමත් එක්කම වගේ සිදු වූ දෙයක්. ස්ටාලින් එක්තරා බියකින් පෙලුණා, ඒ ඔහුව බොහෝ දෙනා අවිශ්වාස කරන්නට පටන් ගත් බැවින්. මේ අනුව පක්ෂය තුළම විරුද්ධවාදීන් යයි සැකයට භාජනය වූ අයවත් ඔහු මරා දමන්න සැළසුම් කළා. NKVD ය මෙහිදී විශාල වැඩ කොටසක් දියත් කළා.
මෙහි පළමු බිල්ල වූයේ ස්ටාලින්ගේ මිතුරකු ලෙස සැළකුණ සර්ගේයි කිරොව්. සෝවියට් දේශය පිළිබඳ පොත් ගණනාවක් ලියූ බ්‍රිතාන්‍ය ඉතිහාසඥ රොබර්ට් කොන්ක්වෙස්ට් ඇතුලු ඇතැම් ඉතිහාසඥයන් මෙම ඝාතනය ස්ටාලින් විසින් NKVD ය යොදවා කරවූ බව තදින්ම විශ්වාස කරනවා. 1934 දෙසැම්බර් 1 වනදා සිදු වූ කිරොව් ඝාතනය ස්ටාලින්ට තම අරමුණ , එනම් පක්ෂය තුළ සහ ඉන් පිටත ‘සතුරන්’ විනාශ කිරීමට, නිදහසට කරුණක් වූ බව නම් අවිවාදයෙන්ම පිළිගත හැකියි.
මේ සමයේ NKVDය සෝවියට් දේශය පුරා පැතිරවූයේ දරුණු භීතියක්. කිසිවකුට ඉන් ගැලවීමක් තිබුණේ නැහැ. ප්‍රබල පක්ෂ සාමාජිකයන්ගෙන් පටන් ගත් මෙම ‘සුද්ධ කිරීම ‘ පසුව යුධ හමුදාවටත් පැතිරුණා. එමෙන්ම වෙනත් විවිධ වෘත්තිකයන් ද මෙහි ගොදුරු බවට පත් වුනා.
ඇතැම් විරුද්ධවාදීන් ව්‍යාජ නඩු විභාගවලින් පසු මරණ දඬුවමට යටත් කෙරුණා. ඇතැම් අයට මරණ දඬුවම ලබා දුන්නේ තමුන් කුමන්ත්‍රණකරුවන් බව ඔවුන් විසින් කෙරුණ පාපොච්චාරණ මත පදනම් වෙලා. NKVD ආයතනය එම පාපොච්චාරණ ලබා ගත්තේ එම සිරකරුවන්ට වධ දීමෙන්.
ආයතනය සයිබීරියාවේ සහ වෙනත් ප්‍රදේශවල ගුලාග් නම් වූ කඳවුරු පිහිටුවා ඒවායේ ජීවිතය ගලවා ගැනීමට වාසනාව තිබූ ‘විරුද්ධවාදීන්’ ගාල් කළා. මොවුන් ට්‍රොට්ස්කිවාදීන්, ප්‍රතිසංස්කරණවාදීන් ආදී විවිධ නම්වලින් හැඳින්වුනා. බොහෝ විට අත් අඩංගුවට පත් වූ විරුද්ධවාදියකුගේ පවුලේ අය නැවතුනේ මේ ගුලාග්වලින්.
මේ විතරක් නෙවෙයි. NKVD ආයතනයේ සිටිමින් ස්ටාලින්ගේ ‘සතුරන්’ මර්ධනය කරපු ඇතැමුන්ටත් මේ භීතියෙන් මිදෙන්න බැරි වුණා. 1934 – 36 සමයේ ප්‍රධානියා වූ ගෙන්රික් යෙගෝඩා මෙන්ම 1936 – 38 සමයේ එහි ප්‍රධානියා වූ නිකොලායි යෙසොව්ද තනතුරෙන් පහ කිරීමෙන් පසුව අත් අඩංගුවට ගෙන මරා දැමුණා.
විදේශ රටවල ද සෝවියට් NKVD සංවිධානය සිය බලපෑම පුලුල් කරනු දකින්නට පුලුවන් වුණා. 1940 දී උපාය දූතයකු විසින් එවකට මෙක්සිකෝවේ ජීවත් වූ ට්‍රොට්ස්කි මරා දැමීම එයින් ඉතාම ප්‍රසිද්ධ වූ සිදු වීමක්. ඊට පෙර 1938 දී ට්‍රොට්ස්කිගේ පුත්‍රයා වූ ලෙව් සෙඩොෆ් මරා දැමීම ද NKVD ය විසින් කළ බව පිළිගැනෙනවා. මේ අතර 1936 – 39 ස්පාඤ්ඤ යුධ සමයේදී සෝවියට් ආධාරක හමුදා සමඟ සංවිධානයේ නිලධාරීනුත් ඒ රටට ගොස් එහි සිය කටයුතුවල නිරත වුණා. සමූහාණ්ඩුවාදීන් අතර සිටි ට්‍රොට්ස්කිවාදීන් ද ඔවුන් විසින් ඉලක්ක කෙරුණා.
1941 ජූනි මාසයේ ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කෙරුණා. මේ පිළිබඳ රහස් ඔත්තුකරුවකු වූ රිචර්ඩ් සෝර්ජ් සෝවියට් දේශයට දන්වා යැවූ නමුත් ස්ටාලින් එම වාර්තා විශ්වාස කළේ නැහැ. නමුත් නොවැම්බරයේදී සෝර්ජ් තවත් වාර්තාවක් එවමින් ජපානය සෝවියට් දේශය ආක්‍රමණය නොකරන බව ප්‍රකාශ කළා. එම තොරතුර පිළිගත් සෝවියට් දේශය සයිබීරියාවෙන් විශාල සේනාංක මොස්කව් වෙත කැඳවා නගරය ආරක්ෂා කරගැනීමට සමත් වුණා. මෙය දෙවන ලෝක යුද්ධයේ තීරණාත්මකම අවස්ථාවක් ලෙස පිළිගැනෙනවා.
එමෙන්ම දෙවන ලෝක යුද්ධය අතරවාරයේ මෙන්ම ඊට පසු විදෙස් රටවල් පිළිබඳ ඔත්තු බැලීම NKVD, NKGB සහ MGB ආයතනවල ප්‍රධාන කාර්යයක් වුණා. න්‍යෂ්ටික බෝම්බ වැඩපිළිවෙල තුළටත් ඔවුනට තොරතුරු සැපයූ විද්‍යාඥයන් ඇතුලු වුණා. 1949 වෙද්දී සෝවියට් දේශයට න්‍යෂ්ටික අවි නිපදවන්න හැකි වන්නේ මේ පරිසරය තුළයි.
ස්ටාලින්ගෙන් පසු
1953 මාර්තු මාසයේදී ස්ටාලින් මිය යෑම සෝවියට් දේශයට විශාල විපර්යාසයන් ගෙනෙන්නට සමත් වුණා. කෙටි කළකින් රටේ නායකයා බවට පත් වන්නේ නිකිතා කෘෂෙෆ්. ඔහු 1956 සෝවියට් කොමියුනිස්ට් පක්ෂ සමුළුව අමතමින් ස්ටාලින් විසින් කරන ලද මහත් වූ අපරාධයන් අතුරින් සමහරක් පිළිබඳ හෙළිදරව් කළා. කෘෂෙෆ් විසින් ගුලාග් ක්‍රමය ඉවත් කළා. එමෙන්ම චෝදනා රහිතව අපකීර්තියට පත් කොට ඇතැම් විට මරා දමන ලද ස්ටාලින්ගේ විරුද්ධවාදීන් රැසකගේ චෝදනා ඉවත් කළා.
මෙකළ බටහිර රටවල් සහ සෝවියට් කඳවුර අතර නිරවි යුද්ධය පැවති සමයයි. සෝවියට් දේශය තුළ යම් යම් ලිහිල් වීම් සිදු වුවද ප්‍රතිවාදීන් දඩයම් කිරීම නැවතුණේ නැහැ. විශේෂයෙන්ම සෝවියට් දේශයේ සිට බටහිරට ගොස් සැඟව සිටින්නන් ඉලක්ක කිරීම KGBය දිගටම සිදු කළා.
1964 දී කෘෂෙෆ් බලයෙන් නෙරපනු ලබන අතර ලියොනිඩ් බ්‍රෙෂ්නෙෆ් නව සෝවියට් නායකයා වෙනවා. බ්‍රෙෂ්නෙෆ් යටතේ ආයතනය රට තුළ යළිත් ප්‍රබල වෙනවා. කළින් ප්‍රකාශ කළ ආකාරයට , 1982 දී අන්ද්‍රොපොව් බලයට පත්වීම එහි වැදගත් අවස්ථාවක්.
අවසානය
නමුත් 1985 දී මිහායිල් ගොර්බචොව් බලයට පැමිණීමෙන් පසු නව ප්‍රතිසංස්කරණ මාවතකට සෝවියට් දේශය යොමු වුණා. මෙය එක දවසකින්, එක රැයකින් වෙච්ච දෙයක් නෙවෙයි. ගොර්බචොව් උත්සාහ කළේ රාජ්‍ය වියදම්, විශේෂයෙන්ම ආරක්ෂාව සඳහා දැරූ අති විශාල වියදම් අඩු කිරීමට සහ ආර්ථිකය පණ ගැන්වීමටයි. ඒ වගේම බටහිර සමඟ සම්මුතියකට සහ අවි හරණයකට ගිහින්, නිරවි යුද්ධය අවසන් කොට , රට ප්‍රතිසංස්කරණය කිරීමට ඔහුට අවශ්‍ය වුණා.
පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලස්නොස්ට් නමින් හැඳින්වූ මෙම ප්‍රතිසංස්කරණ සමග රට වඩා විවෘත වෙන්න පටන් ගත්තා. මිනිසුන් රටේ පාලනය විවේචනය කරන්න පටන් ගත්තා.
මෙය දැඩි පාලනයක් තම ජනතාව මත පවත්වාගෙන ගියපු සෝවියට් පාලන තන්ත්‍රයට අමුත්තක් වුණා. මීට විරුද්ධව කටයුතු කරන්න වැඩිම අවශ්‍යතාවක් තිබුණේ දැඩි මතධාරී කොමියුනිස්ට්වාදීන්ට . විශේෂයෙන්ම KGB ආයතනයේ ප්‍රධානීන් මේ ප්‍රතිසංස්කරණ ගැන බය වුණා. 1991 අගෝස්තුවේදී දැඩි මතධාරීන් ගොර්බචොව් බලයෙන් පහ කරන්න උත්සාහ කළා. මෙම කුමන්ත්‍රණයේ ප්‍රබල සාමාජිකයකු වුණේ එවක KGB ප්‍රධානී ව්ලැඩිමීර් කෘච්කොෆ්.
නමුත් මෙම කුමන්ත්‍රණයට එරෙහිව ජනතාව පාරට බැස්සා. එම ව්‍යාපාරයට නායකත්වය දුන්නේ බොරිස් යෙල්ට්සින්. දින තුනකදී කුමන්ත්‍රණය නිමවුණා.
ඉන් මාස කිහිපයකට පසු සෝවියට් දේශය බිඳ වැටුණ අතර KGB ආයතනයද ඒ සමඟම විසිරුවා හැරුණා. ඒ වෙනුවට අලුතින් බිහිවූ රාජ්‍යයන්වල රහස් ඔත්තු සේවා බිහිවුණා. රුසියාවේ එම තැන ගත්තේ ෆෙඩරල් බුද්ධි සේවයයි. පසුව එය ෆෙඩරල් ආරක්ෂක සේවය නමින් වෙනස් කෙරුණා.
KGB ආයතනය හා බැඳුණු රසවත් කතාන්දර බොහොමයක් පවතිනවා. ඉදිරි ලිපියකින් ඒ පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමටත් අපි බලාපොරොත්තු වෙනවා.
කවරයේ පින්තූරය : ලුබ්යන්කා චතුරශ්‍රය , 1991. 1926 – 1990 සමයේ ජර්සින්ස්කි චතුරශ්‍රය නම් විය . මෙහි වන ප්‍රතිමාව ජර්සින්ස්කිගේ ය . ඊට පසුපසින් මූලස්ථානය වේ. 1991 අගෝස්තු කලබල සමයේ මෙම ප්‍රතිමාව බිම හෙලන ලදී. (Picture Attribution: RIA Novosti archive, image #142949 / Vladimir Fedorenko / CC-BY-SA 3.0)