ක්‍රැකර් පෙට්ටියේ සඟවා නාසීන්ගෙන් බේරාගත් මුතු මැණික්

දෙවන ලෝක යුධ සමය කියන්නේ මුළු ලෝකයටම විශාල අලාභානි රැසක් සහ අඳුරු මතකයන් රැසක් ඉතිරි කළ, මිනිස් ජීවිත රැසක් බිලිගත්තු, මානව ඉතිහාසයේ කළු පැල්ලමක් වැනි යුගයක්. ඒ කොහොම වෙතත්, බිහිසුණු සහ අමානුෂික සිදුවීම් රැසකට මුල් වුණු දෙවන ලෝක යුද සමයේ සිදුවුණු මේ කතාව නම් ඔබට රසවත් එකක්  වේවි!

ජෝර්ජ් රජුගේ අණ

මහා බ්‍රිතාන්‍යයේ ස්වාධිපත්‍යයා හෙවත් රජු හෝ රැජිණ විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආරම්භ කිරීම වැනි අවස්ථාවලදී පළඳිනු ලබන, රාජ්‍යත්වයේ සංකේතය ලෙසින් සැළකෙන්නේ බ්‍රිතාන්‍ය රාජ්‍ය ඔටුන්නයි. 1937 වසරේදී හයවන ජෝර්ජ් රජුගේ මෞලි මංගල්‍යය වෙනුවෙන් සාදවන ලද මේ ඔටුන්න දියමන්ති 2,868කින්, නිල් මැණික් 17කින්, මරකත මැණික් 11කින් සහ මුතු 269කින් සැදුම් ලත් එකක්. දෙවන ලෝක යුද සමය තුළ මිත්‍ර පාර්ශවයක් ලෙසින් කටයුතු කළ මහා බ්‍රිතාන්‍යය වෙත ජර්මානු නාසි ගුවන් හමුදාවන්ගේ ලෆ්ට්වැෆ් (Luftwaffe) ගුවන් යානාවන්ගෙන් නොමද ප්‍රහාර එල්ල වුණු අවස්ථාවකදී රාජකීය පවුල නැවතී සිටියේ බර්ක්ශයර් ප්‍රාන්තයේ පිහිටි වින්ඩ්සර් මාළිගය තුලයි. ජර්මානු හමුදාවන් විසින් තම ඔටුන්නේ මුතු මැණික් කොල්ලකනු ඇතැයි සැක කළ ජෝර්ජ් රජු තම සේවක මණ්ඩලයට වහාම අණ කර සිටියේ ලන්ඩන් කුළුණේ තබා ඇති ඔටුන්නෙන් එම මුතු මැණික් ගලවාගෙන එන ලෙසයි. ඒ නියෝගය පරිදි රාජකීය ඔටුන්නෙන් ගලවාගත් මුතු මැණික් දමනු ලැබුවේ ඉන් පෙර බාත් ඔලිවර් ක්‍රැකර්ස්  නැමති කුඩා බිස්කට් වර්ගයක් බහා තිබුණු පෙට්ටියක් තුලටයි.

දෙවන එලිසබත් රැජිණගේ ඔටුනු පැළඳවීමේ මංගල්‍යය (www.history.com)

රහස් කුටිය

රාජ්‍ය සේවකයින් ඉන් අනතුරුව වින්ඩ්සර් මාලිගයේ ආරක්ෂිත ඇතුල්වීමේ දොරටුවක් අසලින් පොළොව හාරා, ඒ තුළ සකසන ලද රහස් කුටියක් තුළ එම පෙට්ටිය සැඟවීමට පියවර ගෙන ඇත. රාත්‍රියේ ගුවනේ සැරිසරන ජර්මානු ලෆ්ට්වැෆ් යානයන්ට එම කුටිය තැනීමට පොළොව හෑරූ ස්ථානය නොපෙනෙන පරිදි ඒ මත ඝන කැන්වස් රෙදි එලා තැබීමටත් ඔවුන් කටයුතු කොට තිබේ. එම කුටිය වැසීමට විශේෂයෙන්ම තනවන ලද වානේ දොරවල්ද සාදා ඇත්තේ රාජකීය ඔටුන්නේ මුතු මැණික් වඩාත් සුරක්ෂිතව තැබීමේ අරමුණින්. එම පෙට්ටිය සැඟවූ රහස් කුටිය වෙත යාමට තනවන ලද රහස් දොර අදටත් වින්ඩ්සර් මාළිගය තුළ තිබේ.

මෙම රහස් කටයුත්ත කෙතරම් හොඳින් සිදු කෙරුනාද යත්, එකල තරුණ කුමරියක්ව සිටි ජෝර්ජ් රජුගේ දියණිය වන එලිසබත් රැජිණ පවා එම මුතු මැණික් සඟවා තිබූ තැන පිළිබඳව දැන සිට නැත. මෑතකදී මේ සිදුවීම සම්බන්ධයෙන් BBC නාලිකාව විසින් වාර්තාමය චිත්‍රපටයක් සෑදීමට සූදානම් වුණු පසුව රාජකීය මාධ්‍ය ප්‍රකාශක ඇලිස්ටාර් බෲස් විසින් මේ පිළිබඳව අසවිස්තරාත්මකව විස්තර ඉදිරිපත් කොට ඇත. රාජකීය පුස්තකාලාධිපති සහ රැජිණගේ ලේඛන සුරක්ෂිත කිරීමේ සහයක ලෙසින් කටයුතු කරන ඔලිවර් විසින් මෑතකදී සොයාගන්නා ලද ලිපි පෙලක් තුල මේ පිළිබඳව විස්තර අඩංගු වී තිබී ඇත.

හයවන ජෝර්ජ් රජු, එලිසබත් රැජිණ, මාග්‍රට් සහ එලිසබත් කුමරියන් (www.history.com)

එකල රාජකීය පුස්තකාලාධිපති ධුරය හෙබවූ සර් ඕවන් මෝර්ශඩ් විසින් හයවන ජෝර්ජ් රජුගේ මව වන මේරි රැජිණ වෙත මෙම සිදුවීම සිදුවූ ආකාරය පිළිබඳව වාර්තා කොට ලියන ලද මේ ලිපි පෙලෙහි, ඔහු විසින් රාජකීය ඔටුන්නෙන් එම මුතු හා මැණික් ඉවතට ගැනීමේ පටන් සියළු තතු අඩංගු වී තිබේ.

රාජකීය ඔටුන්නේ මුතු මැණික් සඟවා තිබූ ස්ථානය හා ආකාරය පිළිබඳව දිගු කලක පටන් විවිධ කටකතාද පැවතී ඇත. බොහෝ දෙනා මත පළ කොට ඇත්තේ ඒවා වින්ඩ්සර් මාළිගය තුළ සඟවා ඇති බවටයි. නමුත් ඇතැමෙක් ප්‍රකාශ කොට ඇත්තේ ඒවා මහා බ්‍රිතාන්‍යයෙන් පිටතට ගෙන ගොස්, කැනඩාවේ තිබූ සේප්පුවක, වේල්සයේ ගුහාවක හෝ ඩෙවොන්ශයර් සිපිරිගෙයට යටින් දිව ගිය උමං මාර්ගයක සඟවා ඇති බවටයි. BBC නාලිකාව මගින් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාමය වැඩසටහන ළඟදීම එළි දැක්වීමට නියමිතයි. ඉන් අනතුරුව මේ සිදුවීම පිළිබඳව තවත් සැඟවුණු දැනගැනීමට හැකියාව ලැබෙනු ඇති.

කවරයේ ඡායාරූපය – www.history.com

තොරතුරු උපුටා ගැනීම – www.bbc.com සහ www.history.com වෙබ් අඩවියේ “British Royals hid Crown Jewels from Nazis in a Cracker box”  ලිපිය ඇසුරිණි.

Related Articles

Exit mobile version