මිනිස් සංහතියේ අදූරදර්ශී ක්‍රියාකාරකම් හේතුවෙන් තවත් වසර කිහිපයකින් පෘතුවිය තුළ උද්ගත වන තත්ත්වය ඉතා බරපතළ විය හැක. ඔවුන් මනුෂ්‍ය ප්‍රජාවේ දියුණුව උදෙසා පමණක් කටයුතු කිරීමෙන් මේ වන විටත් ජීවින් වර්ග කිහිපයක් ම පොළොවෙන් වඳ වී ගොස් අවසන්.
මානව ක්‍රියාකාරකම්වල අහිතකර බලපෑම ගොඩබිමට වගේ ම සාගර පරිසරයටත් එක සේ බලපානවා. පසුගිය වසර කිහිපය තුළ දී මෙන්ම වර්තමානයේ දී ද මනුෂ්‍ය ප්‍රජාවෙන් එල්ල වෙන අහිතකර බලපෑම් හේතුවෙන් මෝරුන් පෘතුවියෙන් තුරන් වීම වැඩි ඈතක නොවේ. ඉතින් ඒ පිළිබඳව යි අද ලිපිය.
දැකිය හැකි පොදු ලක්ෂණ
සාගරයේ වෙසෙන අනෙක් මත්ස්‍යයන් මෙන් නොව කාටිලේජීය අභ්‍යන්තර සැකිල්ලක් දරන මෝරාගේ හිස දෙපස ජලක්ලෝම පැලුම් හයක් හෝ හතක් පිහිටා තිබෙනවා. ඉදිරියට නෙරා ගිය හොම්බ මෙන්ම එයට යටින් පිහිටා තිබෙන මුඛ විවරය ඔවුන් සතු කැපී පෙනෙන ලක්ෂණ.
ජලයට මුසු වන ලේ බිඳුවක් ඉතා ඉක්මනින් හඳුනාගෙන නිවැරදි ව කෙටි කාලයකින් ඒ වෙතට ළඟා වීමේ හැකියාව මෝරා සතු යි. මෙලෙස නිවැරදි ව ගොදුරු හඳුනාගන්නා මෝරුන් අතරින් සුදු මෝරා (Great white shark) හා කොටි මෝරාට (Tiger shark) ප්‍රමුඛ ස්ථානයක් ලැබෙනවා. පැයට කි. මී. 8ක පමණ වේගයෙන් මෝරාට පිහිනිය හැකි අතර ගොදුරක් හඹා යාමේ දී එම වේගය පැයට කි. මී. 19ක් දක්වා ඉහළ යන බව පර්යේෂකයන් පවසනවා.
ප්‍රබල විලෝපිකයෙකු වන මෝරා සමුද්‍ර පරිසර පද්ධතියේ ඉහළින් ම සිටින අග්‍ර විලෝපිකයා ලෙස පරිසර පද්ධතිය සමතුලිත ව තබාගැනීමට උපකාරී වෙනවා. විවෘත සාගර පරිසරයේ මෙන්ම කොරල් පර සහිත සාගර පද්ධතියේත් මෝර විශේෂ දැකගැනීමට පුළුවන්.
ලොව වටා මෝර විශේෂ
මෝර විශේෂ 500ක් පමණ දැනට හඳුනාගෙන ඇති අතර ඔවුන් එකිනෙකට වෙනස් දේහ ප්‍රමාණයෙන් විශාල පරාසයක් පෙන්වනවා. හඳුනාගෙන ඇති කුඩා ම විශේෂය වන්නේ ගැඹුරු මුහුදේ වාසය කරන සෙ. මී. 17ක් පමණ දිග Dwarf Lantern Shark නම් විශේෂය යි. විශාලතම මෝර විශේෂය වන්නේ මීටර් 12ක් පමණ දිගට වැඩෙන මිණි මුතු මෝරා යි (තල්මස් මෝරා / Whale Shark). තවත් විශේෂ 2ක් පමණ මිරිදියේ ද වාසය කරනවා. ලෝක සංරක්ෂණ සංගමයේ දත්ත අනුව හඳුනාගෙන ඇති විශේෂ අතරින් බොහොමක් මේ වන විට වඳ වී යෑමේ තර්ජනයට මුහුණ දී තිබෙනවා.
මාරාන්තික ප්‍රහාර එල්ල කරන මෝර විශේෂ ලෙස Great white හා Bull shark හැඳින්විය හැකියි. ඔවුන් විසින් කිමිදුම්කරුවන්ට එල්ල කළ ප්‍රහාර පිළිබඳ ව දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව ආශ්‍රිත මුහුදු තීරවලින් වාර්තා වෙනවා. නමුත් එවැනි ප්‍රහාර ඉතා විරල යි.
මෝරුන්ට මරු කැඳවන මෝර සුප්
වරල් අපනයනය සඳහා විශාල ලෙස මෝරුන් දඩයම් කිරීම මෝර විශේෂ වඳ වී යෑමට මුලික ම හේතුව වෙනවා. එය ඈත ඉතිහාසයේ සිට මේ දක්වා ම පවතින ක්‍රියාවලියක්. වර්තමානයේ වසරකට ලෝකය පුරා මිලියන 100කට අධික මෝරුන් ප්‍රමාණයක් මරා දමන අතර, ඉන් වැඩි ප්‍රමාණයක් දඩයම් කරන්නේ මෝර වරල් ලබා ගැනීම සඳහා යි.
ජපානය හා චීනය වැනි ආසියාතික රටවල මෝර වරල් සුප්වලට ඇත්තේ අධික මිලක් හා අධික ඉල්ලුමක්. මුළු ශරීරයේ ම වටිනාකමට වඩා වරල්වල වටිනාකම ඉහළ යි. ඒ හේතුවෙන් මේ වන විට මෝරුන් ඇල්ලීම අධික ලෙස ආර්ථික ලාභදායී රැකියාවක් බවට පත් වී තිබෙනවා.
මෝර සුප් සඳහා යොදාගන්නේ මත්ස්‍යයාගේ වරල් හා සම්බන්ධව පවතින මාංශ පේශියේ කාටිලේජීය කොටස යි. සෑමවිටෙක ම පාහේ අල්ලාගන්නා මෝරුන්ගෙන් සාගරයේ දී ම ප්‍රධාන වරල් කපා ඉවත් කරගැනීමට ධීවරයන් කටයුතු කරනවා. වරල් ඉවත් කර ගත් පසු මත්ස්‍යය සිරුරු එම ස්ථානවල දී ම නැවතත් මුහුදට මුදාහරිනු ලබනවා. ඒ වන විටත් මෝරුන් මරණයට පත් වී හමාර යි.
මෝර සුප් සඳහා මෝරුන් දඩයම් කිරීම හැරුණු කොට මහා පරිමාණ ධීවර කර්මාන්තයේ දී ඉලක්ක නොවන මත්ස්‍ය විශේෂයක් ලෙස හසුවන මෝරුන් විනාශ කිරීම සිදුවෙනවා. තවත් හේතූන් ලෙස මෝර හම හා මෝරතෙල් ලබාගැනීම සඳහා දඩයම් කිරීම, සාගර පරිසරයට අහිතකර ද්‍රව්‍ය එකතු වීම තුළින් සාගර පරිසරය දුෂණය වීම, ඔවුන්ගේ ආහාර සඳහා ඇති අනෙකුත් ජීවී කොට්ඨාස විනාශ වී යාම හා මෝර දත් හා හනු ඉතා ඉහළ මිලකට අලෙවි කළ හැකි බැවින් නීති විරෝධී ව මෝරුන් දඩයම් කිරීම නම් කර දක්වන්නට පුළුවන්.
ලොවේ ම අවධානය දිනාගත් මෝරු
වර්තමානය වන විට මෝරුන් වඳ වී යාම වළක්වාලමින් සංරක්ෂණය සඳහා ලොව පුරා විවිධ පරිසර සංවිධාන නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. මෙහෙයුම් ක්‍රියාත්මක කරන පරිසර සංවිධාන අතරින් ග්‍රීන්පිස් සංවිධානය මුල් තැනක් ගන්නවා. ඊට අමතර ව තවත් රටවල් බොහෝ ප්‍රමාණයක් මෝරුන් රැකගැනීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
1991 දී දකුණු අප්‍රිකාව විසින් ලෝකයේ මුල්වරට මහා සුදු මෝරා (Great White shark) ආරක්‍ෂිත සත්ත්වයෙක් ලෙස නම් කරනවා. 1999 දී එක්සත් ජාතීන් විසින් මෝරුන් සංරක්ෂණය කිරීම සඳහා ව්‍යාපෘතියක් දියත් කරනවා. ලෝක සංරක්ෂණ සංගමය විසින් 2009 දී මෝර විශේෂ 64ක් වඳ වී යෑමේ තර්ජනයට ලක් වී ඇති බවට නම් කරනවා. 2013 දී තර්ජනයට ලක් වූ ජීවි විශේෂයන්ගේ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ ව සම්මුතියට (CITES) තර්ජනයට ලක් වූ ඉහළ වාණිජ ඉල්ලුමක් සහිත මෝර විශේෂ ඇතුළත් කර සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම සංක්‍රමණික ජීවින් සම්බන්ධ අන්තර්ජාතික සම්මුතිය මඟින් 2010 දී සංක්‍රමණික මෝරුන් සංරක්ෂණය පිළිබඳ ව අවධානය යොමු කරනවා. 2009 වසරෙන් පසු ව හොන්ඩුරාස්, මාලදිවයින, හා බහමාස් වැනි රටවල් මඟින් මෝරුන් සඳහා අභයභූමි නම් කරනවා. 2011 දී මාලදිවයිනේ මෝරුන් ඇල්ලීම සම්පුර්ණයෙන් ම තහනම් කරනවා. 2012 දී චීනය හා ශ්‍රී ලංකාව ද මෝර විශේෂ කිහිපයක් ඇල්ලීම තහනම් කරනු ලබනවා. ඒ වගේ ම 2013 දී යුරෝපා සංගමය හා තවත් රටවල් 27ක් විසින් එම රටවල මෝරුන් ඇල්ලීම තහනම් කරනු ලබනවා.
කවරයේ පින්තූරය: YouTube