මිනිසාට හිතවත්ම සත්ත්වයෙකු ලෙසින් සැලකෙන සුනඛයා බොහෝ නිවෙස්වල සුරතලයට මෙන්ම ආරක්ෂාව සඳහා ද ඇතිකරනු ලබනවා. ජර්මන් ෂෙපර්ඩ්, පොමරේනියන්, ඩොබර්මන්, රිට්‍රිවර් වැනි විවිධ වර්ගයේ සුනඛයන් මෙන්ම මෙරට බල්ලන් ද සිය නිවැසියන්ගේ දැඩි ආදරය ලබමින් හැදී වැඩෙන ආකාරය සුලබවම දක්නට ලැබෙන දසුනක්. නමුත් මිනිසුන්ට සේම සුනඛයන්ටත් නිතරම ලෙඩ රෝග සෑදෙනවා. ඉන් සමහර ලෙඩ රෝග මාරාන්තික තත්ත්වයේ ඒවා ද විය හැකියි. එම නිසා මෙම ලිපිය තුළින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ සුනඛයන්ට නිතරම වැළඳෙන රෝග කිහිපයක් පිළිබඳව යි.
කිණිතුලු උණ
සුනඛයන්ට වැළඳිය හැකි මාරාන්තික රෝගයක් වන කිනිතුලු උණ බෝවන්නේ කිණිතුල්ලන් මඟින්. බොහෝ දෙනෙකු මෙම උණ රෝගය පිළිබඳව නිසියාකාරව දැනුවත්ව නොසිටීම නිසා වසරකට විශාල සුනඛයන් ප්‍රමාණයකට දිවි අහිමි වනවා. නමුත් මෙම රෝගයේ ලක්ෂණ කල් ඇතිවම හඳුනාගැනීමට හැකි වුණොත් නිසි ප්‍රතිකාර ලබා දීම මඟින් සුනඛයාගේ ජීවිතය බේරාගත හැකියි.
කිනිතුලු උණ සාදන රුධිර පරපෝෂිතයන්
කිණිතුල්ලන් රුධිරය උරාබීමේ දී රෝග කාරක පරපෝෂිතයන් සුනඛයාගේ රුධිරයට ඇතුළු වනවා. එහි දී කිණිතුල්ලන් රෝග වාහකයන් ලෙස ක්‍රියාකරන නිසා මෙම රෝගය කිණිතුළු උණ නමින් හඳුන්වනවා. ඕනෑම වයසක පසුවන සුනඛයකුට වැළඳිය හැකි මෙම රෝගයට නිසි ප්‍රතිකාර නොලැබුණොත් සුනඛයා මරණයට පත්වනවා.
රෝගකාරකය සහ එය සුනඛයාගේ සිරුරට ඇතුල් වන ආකාරය
බැබීසියා කේනිස් සහ බැබීසියා ගිබ්සොනායි යන පරපෝෂී විශේෂයන් දෙක ශ්‍රි ලංකාවේ දී බහුලව දක්නට ලැඛෙන රෝගකාරකයන්. කිණිතුලු උණෙහි රෝග ලක්ෂණ මතුවීම ආරම්භ වන්නේ පරපෝෂිතයා රුධිරගත වී දින 10-21 අතර කාලයක දී යි.
රෝග ලක්ෂණ
1) රතු රුධිර සෛලවලට පරපෝෂිතයා ආසාදනය වීම නිසා එකවර අධික රතු රුධිර සෛල සංඛ්‍යාවක් විනාශ වීමෙන් රක්තහීනතාව ඇතිවනවා. එම නිසා දරුණු රක්තහීනතාවයේ දී පෙන්වන රෝග ලක්ෂණ මෙහිදී ප්‍රධාන වශයෙන් දැකිය හැකියි.
2) රක්තහීනතාව නිසා දේහ පද්ධතිවලට ඔක්සිජන් ලැබීම ද සීමාකාරී වනවා. එම නිසා සුනඛයා උදාසීන ගතියක් පෙන්වීම, විදුරුමසේ සාමාන්‍ය රෝස පැහැය වෙනුවට සුදු පැහැයක් ගැනීම හා ආශ්වාස ප්‍රශ්වාස කරන වේගය වැඩිවීම ආදි ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.
3) එසේම කෑම අරුචිය, උණ, අක්මාව හා ප්ලීහාව ඉදීමීම වැනි රෝග ලක්ෂණ ද රෝගී සුනඛයා තුළින් දැකගත හැකිවනවා.
4) මෙම රෝගය වැළඳුණු වහා ප්‍රතිකාර නොකළහොත් රෝගය දරුණු අතට හැරී සුනඛයාගේ ඇස් හා ශ්ලේෂ්මල පටක කහපාට වීම, මුත්‍රා තද කහ පැහැයක් ගැනීම වැනි රෝග ලක්ෂණ මතුවනවා. රෝගයට ප්‍රතිකාර කිරීම ප්‍රමාද වීමෙන් ඇතිවන අධික රක්තහීනතාවයත්, අක්මාව, පෙනහළු හා මොළය වැනි අවයවවලට සිදුවන හානියත් නිසා සුනඛයාට මරණය වුණත් උරුම විය හැකියි. එම නිසාම මෙම රෝග ලක්ෂණ ඔබේ සුනඛයා තුළින් දක්නට ලැබුණොත් හැකි ඉක්මනින් පශු වෛද්‍යවරයෙකු වෙතට සුනඛයාව යොමු කළ යුතු යි.
බාහිර කන ආසාදනය වීම
බාහිර කන ආසාදනය වීම සුනඛයන්ට සුලබවම සෑදෙන රෝගයක්. පරපෝෂිතයන් සහ අසාත්මිකතාවයන් මඟින් මෙම රෝගය ඇතිවන්නට පුළුවන්. එසේම සුනඛයාගේ කන තුළ තෙතමනය වැඩිවීම නිසා ද මෙම රෝගය වැළඳෙනවා. බොහෝ විට සුනඛයා නෑවීමේ දී කන තුළට ජලය යෑමෙන් එවැනි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් තිබෙනවා. එසේම සමහර සුනඛයන් ජල මාර්ගවලින් නෑමට පුරුදුව සිටිනවා. එවැනි සුනඛයන් සුලභවම මෙම රෝගයට ගොදුරු වීමට පුළුවන්. මෙම රෝගයට ගොදුරු වුණු සුනඛයෙකුගේ ප්‍රතිශක්තිය අඩු වීම, කන තුළ ලෝම වැඩිපුර තිබීම වැනි හේතු නිසා ආසාදිත තත්ත්වය වර්ධනය විය හැකියි. එසේම බැක්ටීරියා සහ දිලීර මඟින් ද රෝගී තත්ත්වය වැඩි දියුණු විය හැකියි.
රෝග ලක්ෂණ
1) කනෙන් දුඟඳ හැමීම
2) නිරන්තරයෙන්ම හිස සෙලවීම/ කැසීම
3) කනෙහි අභ්‍යන්තරය රතුවීම හා ඉදිමීම
4) සුනඛයා වෙනදාට වඩා සැරපරුෂ හැසිරීමක් පෙන්නුම් කිරීම
මෙම රෝගයට ගොදුරුවන සුනඛයන්ගේ කන් පෙත්ත හැලී කන් සිදුර බාහිර පරිසරයට විවෘත වනවා. පසු කලෙක නිරාවරණය වුණු කන් සිදුර තුළින් විවිධ විශබීජ ශරීරගත වීමෙන් සුනඛයා මරණයට පත්වීම පවා සිදුවිය හැකියි.
පාවෝ වෛරසය
සුනඛයන්ට වැළඳෙන ඉතාමත්ම භයානක රෝගයක් වන මෙය සති 6 සිට මාස 6 දක්වා වන කුඩා සතුන්ට වැළඳීමට තිබෙන ඉඩකඩ වැඩියි. එසේම රොට්වයලර්, ඩොබර්මන් පින්ෂර්, ලැබ්රඩෝර්, සහ ජර්මන් ෂෙපර්ඩ් වැනි වර්ගවල සුනඛයින් මෙම රෝගයට ගොදුරු වීමේ සම්භාවිතාවය වැඩියි. මෙම වෛරසය මඟින් සුනඛයාගේ ශරීරයේ සෛල සහ සුදු රුධිරාණුවලට බලපෑම් සිදුකරනවා. එසේම සුනඛයාගේ ආහාර ජීර්ණ පද්ධතියට ද මෙම වෛරසය මඟින් විශාල හානියක් සිදුවනවා. ඊට අමතරව කුඩා පැටවුන්ට මෙය වැළඳුන විට හෘදයේ පේශිවලට විශාල වශයෙන් හානි වනවා. මෙම රෝගය වැළඳෙන සුනඛයන් අතරින් 90%ක් පමණ මියයාමේ සම්භාවිතාවක් පවතිනවා.
රෝග කාරකය සහ එය සුනඛයාගේ සිරුරට ඇතුල් වන ආකාරය
මෙහි රෝගකාරකය වන්නේ පාවෝ වෛරසය යි. ප්‍රධාන වශයෙන් මෙම රෝගය පැතිරී යන්නේ ආසාදිත සුනඛයන්ගේ මලපහ මඟින්. රෝගී සුනඛයෙකුගේ මලපහ අංශුවක් දුහුවිල්ල ආකාරයෙන් හෝ වෙනත් සුනඛයෙකු වෙත ළඟා වුණොත් එම සුනඛයාට පහසුවෙන් රෝගය වැළඳීමේ ඉඩකඩ තිබෙනවා. එම නිසා පාවෝ වෛරසය ඔබේ සපත්තු, වාහනයේ රෝද ආදියේ තැවරී හෝ ඔබ නොදැනුවත්වම නිවසට පැමිණීමේ ඉඩකඩ පවතිනවා. එසේම වෛරසය ස්වභාවික පරිසරය තුළ මාස ගණනක් විනාශ නොවී පැවතීම අවදානම් සහගත තත්ත්වයක් වනවා.
රෝග ලක්ෂණ
වෛරසය සුනඛයාගේ ශරීරයට ඇතුල් වී දින 3-7 අතර කාලයක් ගතවන විට රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. එහි දී ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ පහත සඳහන් රෝග ලක්ෂණ කිහිපය යි.
1) ආහාර අරුචිය
2) අධික ලෙස මළපහ පිටවීම
3) උදාසීන ගතිය
4) අධික වමනය
5) පමණට වඩා දුගඳක් සහිත පාචනය
6) පාචනය සමග රුධිරය පිටවීම
7) සුනඛයා අධිකව විජලනයට ලක් වීම
ඔබගේ නිවසේ සිටින සුනඛයා ඉහත ආකාරයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ප්‍රමාද නොවී රෝගී සුනඛයාව පශු වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතු යි. එසේ නැතිනම් පාවෝ වෛරසය මඟින් රෝගී සුනඛයාට මරණය පවා අත්විය හැකියි.