Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුනඛයෙක්ගේ හපා කෑමකින් බේරෙන්නේ කොහොමද?

“මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙනු” කියලා බෝඩ් හැමතැනම ගහන්නට ඕනෑ නැති වුණත් සැර සුනඛයන් ඉන්නා නිවෙස්වල, ස්ථානවල එයාලාගෙන් ප්‍රවේශම් වන ලෙස අනතුරු හැඟවීම් බොහෝ විට දකින්නට ලැබෙනවා. ඒත් ඉතින් හදිසියේ බල්ලෙක් රවාගෙන, උල් දත් විලිස්සාගෙන, බුරමින් අශ්වයෙක් වගේ පිම්මේ පස්සෙන් එළවාගෙන එනකොට මාලිමාවකට වුණත් උතුර දකුණ මාරු වෙනවා. ඒ නිසා එවන් අවස්ථාවකට මුහුණ දෙන ආකාරය ගැන දැන සිටීම වැදගත්.

බල්ලන් සපා කන්නේ ඇයි?

petwave.com

මනුෂ්‍යයන්ගේ නොසැලකිල්ල සහ අවධානය නොලැබීම සහ නිසා අයාලේ යන සුනඛයන් සහ පුහුණු කරන ලද සුනඛයන් තමන්ගේ ආධිපත්‍යය පතුරුවාලීම සඳහා තමාට එල්ලවන අභියෝගයන්ට ප්‍රතිචාර දක්වන්නේ රෞද්‍ර ආකාරයට යි. තමන්ගේ අඩවියට නන්නාඳුනන කෙනෙක් පැමිණි විට සුනඛයා මුලදී බුරනවා. ඊට බියවී දිව්වොත් සුනඛයාට ජයග්‍රාහී හැඟීමක් ඇතිවන අතර කාලයක් තිස්සේ මෙම උද්‍යෝගී හැඟීම ලබාගන්නට ඔවුන් යොමුවීම නිසා ක්‍රම ක්‍රමයෙන් රෞද්‍ර බව වැඩි කර ගන්නවා. එය අවසාන වන්නේ තමාවවත් පාලනය කරගත නොහැකි ලෙස අභියෝගය පසුපස දුවගොස් සපා කෑමට ද යොමු වීමෙනුයි. ප්‍රමාණවත් උද්‍යෝගයක් සහ අසමතුලිත ශක්තියක් එකවර ලැබීමෙන් ඔවුන් එසේ පහරදීමට පෙළඹෙන්නේ සවිඥානිකව ද නොවෙයි.

ප්‍රථමයෙන්, ආරක්ෂාව සඳහා මඟහැරීම

සුනඛයෙකුගේ සපා කෑමකට මුහුණ දෙනවාට වඩා ඉන් ඉවත්ව යාම සඳහා අවශ්‍ය පියවර ගැනීම ශරීර සෞඛ්‍යයට ඉතා ම හොඳයි.

බොහෝ සුනඛයන් රෞද්‍ර සහ ආක්‍රමණශීලී නොවුණත් කුතුහලය නිසා හෝ තම ප්‍රදේශයේ ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා ඔබ ඉදිරියේ අමුතු ආකාරයකට හැසිරෙන්නට පුළුවන්. ආදරය වැඩිපුර ලැබුණු සුනඛයන් ඇතැම්විට සෙල්ලමට සැරසෙනවා වෙන්නත් පුළුවන්. එහෙත් මේ කිසිවක් කලින් අනුමාන කර හැසිරුණහොත් එය අනතුරකට අත වැනීමක් බවට පත් විය හැකියි. විවිධ සුනඛ වංශයන්ගේ හැසිරීම් විවිධාකර වන අතර ඔවුන් හැදුනු වැඩුනු ආකාරය අනුව ද හැසිරීමේ වෙනස්කම් තිබිය හැකියි.

dognpooch.com

ආක්‍රමණයකට සැරසෙන සුනඛයින් දෙකන් හිසට සමාන්තරව පසුපසට යොමා ගැනීම, දෑසේ සුදු පැහැති කොටස් පෙන්වීම, ගෙරවීම, හොඳින් කට වසාගෙන දත් පෙන්වීම, දේහය ඍජු ශක්තිමත් බවක් දැරීම යන දේවලින් කිහිපයක් එකවර සිදු කරනවා. සුනඛ වංශය සහ දේහයේ (කන්වල ආදී) පිහිටීම අනුව එම හැසිරීම් වෙනස් විය හැකියි. සුනඛයාගේ දේහයේ මධ්‍ය ප්‍රදේශයේ නැවීමක් සහ උඩ පනින ස්වභාවයක් පෙන්වනවා නම් ඒ ඔබ සමඟ සෙල්ලම් කිරීමට යි. එහෙත් එවන් විටකදී ඔබ දිව්වොත් නම් ලැබෙන්නේ රෞද්‍ර අවසානයක්.

ආහාර ගන්නා අවස්ථාවේ සහ පැටවුන් සමඟ සිටින සුනඛයන් තමාගේ ආරක්ෂාව පිළිබඳ දැඩිව සැළකිලිමත් වන බැවින් එවන් අවස්ථාවන් සමඟ කටයුතු කිරීමේදී ඉතා කල්පනාකාරී විය යුතුයි. එසේ ම සුනඛයන් සමඟ දත් පෙන්වා සිනාසීම ද එතරම් හොඳ අදහසක් නොවෙයි. ඔබ හිතවත්කම පෙන්වන්නට එසේ කළත්, ඔවුන් එය හඳුනාගන්නේ සටනක් සඳහා දත් විලිස්සීමක් ලෙස යි.

picdn.net

නොදන්නා අවදානම් ප්‍රදේශයකට ඔබට යන්නට සිදු වෙනවා නම් සැපිය හැකි සෙල්ලම් බඩුවක් ළඟ තබා ගත හොත් එය විසි කොට සුනඛයාගේ අවධානය වෙනතකට යොමු කරන්නට ඔබට හැකියාව ලැබෙනවා. එවැන්නක් නැති අවස්ථාවකදී ප්ලාස්ටික් වතුර බෝතලයක් වුවත් උචිත යි. එහෙත් එය විසි කිරීමේදී සුනඛයාගේ සිරුරේ නොවැදෙන සේ යොමු කිරීමත් සිහි තබා ගත යුතු යි. කරන්නට ම දෙයක් නොමැති වුවහොත් ඔබේ ඇඳුමක් හෝ සපත්තුවක් විසි කරන්නට සිදු වෙනවා. එවිට ඔබව අල්වාගත්තා යන හැඟීම ලැබීමෙන් සුනඛයා ඒ වෙත යොමු වන අතරේ තුවාලයක් සිදු කර නොගෙන ඇඟ බේරා ගන්නට ඔබට හැකියාව ලැබෙනවා.

රෞද්‍ර සුනඛයකුට මුහුණ දීමේදී

dogsaholic.com

හරියට ම කිව්වොත්, සුනඛයන්ට ‘මුහුණ’ නම් දෙන්න එපා. ඒ වගේ ම ගෙල සහ දෑත් ද ප්‍රවේශම් කර ගැනීමෙන් ඔබව අඩපණ කොට තව තවත් හානි පැමිණවීමට සුනඛයාට ඇති අවස්ථාව වළක්වාලිය හැකියි.

සුනඛයන් සතුව ඉතා ප්‍රබල නාස් සංවේදනයක් තිබෙන නිසා අපේ හෝර්මෝන පවා හඳුනාගෙන අපි දරන හැඟීම් අවබෝධ කරගැනීමේ හැකියාවක් තිබෙනවා. මේ නිසා ඔවුන්ව දකින අවස්ථාවේදී අපි බිය වුණොත් එය දැනගෙන ඉන් විනෝදයක් ලබා ගන්නට ඇති අවස්ථාව මඟ හැර ගන්නේ නැහැ. මෙම අවස්ථාවේදී වික්ෂිප්ත වීමක්, කෑ ගැසීමක් හෝ දිවී‍ම සිදු කළොත් ප්‍රශ්නය බරපතල වෙනවා.

සුනඛයා ඔබ අසලට පැමිණෙද්දී ඍජුව, නොසෙල්වී දෑත දෙපසට යොමා, සුනඛයාගෙන් ඉවතට දෑස යොමා ගන්න. බුරන බල්ලා සපා නොකයි කියලා අපේ ජනවහරේ එන කථාවත් බොරුවක් ම නෙවෙයි. ඒ නිසා තැතිගැනීමක් පෙන්වන්න එපා. ඔබ දෑත් චලනය කළොත් හෝ පයින් ගැසීමට උත්සාහ කළොත් එය සටනට අභියෝග කිරීමක් ලෙස ඔවුන් හඳුනා ගන්නවා. ඇඟිලි හකුළුවාගෙන, මිට මොළවා ගැනීමෙන් ඇඟිලිවලට සිදුවන හානි ද වළක්වාගත හැකියි. ඔබ ඍජුව නොබැලීමත්, සුනඛයාට අවධානය නොදීමත් නිසා ඔබ ඔවුන්ට අනතුරක් නොවන බව හැඟීයාමෙන් ආක්‍රමණය කිරීමට ඇති අවශ්‍යතාව ගිලිහී යනවා.

ඔබ වෙත සුනඛයා දක්වන අවධානය අඩු බව සහතික වූ පසු ඉතා සෙමෙන්, හදිසි සෙලවීම් නොදක්වා එම ස්ථානයෙන් ඉවත් වෙන්න. දිවීමක් සිදුකළොත් ජන්මෙට වඩා පුරුද්ද ලොකු නිසා සුනඛයන්ගේ ආවේණික ගොදුරු ඇල්ලීමේ රටාව වන දුවගෙන ගොස් අල්වා ගැනීමට ඔබව ලක් වෙනවා. එසේ ම පසුපස නොහැරී සිටීමට වග බලා ගතහොත් පශ්චාත් භාගය සපා කෑම්වලට ලක්වීම වළකා ගත හැකියි.

කියන්න නම් ලේසියි

boredpanda.com

කොච්චර කරාටේ පන්ති ගියත් වලියකට ගියා ම ‘වල්ෂොට්’ ගහන්න හිතෙනවා වගේ බල්ලෙක් පස්සෙන් එළවා ගෙන එද්දීත් මේ කියපු එකක්වත් සිහියට එන එකක් නැහැ. ඒකට කරන්නට ඕනේ, මනසින් එවන් අවස්ථාවන්ට නිරන්තරව මුහුණ දෙමින් ඊට සූදානම් වීමයි. එහිදී ඔබ ක්‍රියා කරන ආකාරය සහ අප මෙහි ගෙන ආ දේවල් ඔබට මඟ හැරෙන ආකාරය අවබෝධ කරගතහොත් සත්‍ය අවස්ථාවකදීත් අපහසුවක් නැතිව ඉහත ක්‍රම භාවිතා කරමින් ඊට සාර්ථකව මුහුණ දීමට ඔබට හැකියාව ලැබේවි. ඔබේ නිවසේ හෝ ඥාතීන් සතුව සුරතලයට ඇති කරන සුනඛයෙක් සිටිනවා නම් ඔවුන්ගේ හැසිරීම් අධ්‍යයනය කිරීමත් ‘බලු body language’ එක ඉගෙන ගන්න පහසුවක් වෙනවා.

ඔබටත් මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවෙලා වැරදුණු අවස්ථා තිබෙනවා ද? අපිත් එක්ක Comment එකකින් බෙදාහදා ගන්න.

කවරයේ පින්තූරය: thedogtrainingsecret.com

මූලාශ්‍ර:

  1. cesarsway.com
  2. TedEd

Related Articles