යුරෝපීයයන් පෙරදිග බලා පැමිණෙන්නේ වෙළඳාම හා සිය ආගම ප්‍රචාරය කිරීමේ අරමුණෙනුයි. මෙරට ආක්‍රමණය කළ පළමු බටහිර ජාතිය වන පෘතුග්‍රීසීන් අලි ඇතුන්, සක් බෙල්ලන්, මුතු මැණික් හා කුරුඳුවලට ලොබ බැඳ මෙරට සිය අණසක පැතිරවීමට කටයුතු කරනවා.
විශේෂයෙන්, ලංකාවේ වැවෙන කුරුඳුවල උසස් භාවයට සම කළ හැකි වෙනත් කුරුඳු විශේෂ ලෝකයේ නැති බව යුරෝපීයයන් විශ්වාස කරනවා. ඒ බව ලන්දේසි වාර්තාකරුවෙකු වරෙක තම වාර්තාවක මෙසේ සටහන් කර තිබෙනවා. “ලංකාවේ වැවෙන කුරුඳු, ඉතා උසස් මහැඟි තත්ත්වයේ ඒවා වූ අතර, වෙනත් වර්ගයේ කුරුඳුවලට වඩා අඩු වශයෙන් තුන් ගුණයකින් මිල වැඩිය”
පෘතුග්‍රීසීන් මෙරට වෙරළබඩ කලාපය යටත් කරගෙන ඔවුන්ගේ යටතේ කුරුඳු ලෝකය පුරා බෙදා හරින අතර, පෘතුග්‍රීසීන්ගෙන් පසුව ලන්දේසින් ද මේ ආකාරයට කටයුතු කරනවා. වරෙක උඩරට රාජධානියේ රජු සමග හිතවත්ව ගිවිසුම්වලට යටත්ව කුරුඳු ලබාගත් අතර, තවත් වරෙක යුද ප්‍රකාශ කිරීම ඔස්සේ ද ඔවුන් තම කුරුඳු වෙළඳාම දිගින් දිගටම කරගෙන යනවා. මේ සඳහා ආරාබි ජාතිකයන් ද වරින් වර මැදිහත් වී තිබෙනවා.
යුරෝපීයයන් ඇදගත් ලංකාවේ දුඹුරු රත්තරන්
16 හා 17 වන ශතවර්ෂවල දී කුළු බඩු සොයා තමන්ම ගමන් කළ යුරෝපා ජාතින් ඒ ඔස්සේ පෙරදිගට පැමිණෙනවා. කුරුඳු අතින් මෙරට වැදගත්කම අවබෝධ කරගත් පෘතුග්‍රීසීන් මෙරටට පැමිණ කන්ද උඩරට රජු හා එකඟව කුරුඳු වෙළඳාම සඳහා අවසර ලබා ගන්නවා. ලංකාවේ කුරුඳුවලට ලෝකයේ හමුවන වටිනාකමත්, ඒ තුළින් ලැබෙන ලාභය අධික වීම හේතුවෙන් ක්‍රමක්‍රමයෙන් මෙරට මුහුදුබඩ කලාප තම ග්‍රහණයට ගැනීමට පෘතුග්‍රීසීන් කටයුතු කරනවා.
ඉන්පසුව ලන්දේසින් ද වෙළඳාම, ආගම පැතිරවීම හා කුළුබඩු සෙවීම සඳහා පෙරදිගට පැමිණි අතර ලංකාවේ කුරුඳු ඔවුන්ගේ නෙත් සිත් ආකර්ෂණය කර ගැනීමට සමත් වෙනවා. වසර විස්සක් පමණ තිස්සේ පෘතුග්‍රීසීන් හා ලන්දේසින් අතර ලංකාව අරබයා වූ සියලු සටන්වලට ප්‍රධානම හේතුව වන්නේ කුරුඳු යි.
පෘතුග්‍රීසින්ගෙන් ලන්දේසීන්ට හිමි වූ කුරුඳු වෙළඳ ඒකාධිකාරිය
පෘතුග්‍රීසි හා ලන්දේසින් අතර ගැටුම්වලින් පසුව ලංකාවේ වෙළඳාමේ බලය ලන්දේසින් අල්ලා ගන්නවා. ඒ ඔස්සේ කුරුඳු අපනයනය සම්බන්ධයෙන් වෙළඳ ඒකාධිකාරිය ඔවුන් සතු වෙනවා. මුල් කාලයේ උඩරට රජු සමග මිත්‍රව ලංකාවේ කුරුඳු වෙළඳාම කිරීමට තම ජාතියට පමණක් අවසර ලබා ගන්නා ඔවුන්, වෙනත් නෞකා ලංකාවේ වරායන්වලින් පිට පිටවීමේ දී දැඩි සෝදිසියකට ලක් කරන්නේ තමන්ට ඒ සඳහා 1638 වසරේ උඩරට රජු හා ඇතිකරගත් ගිවිසුමෙන් අවසර ලැබුණු බව සඳහන් කරමින්.
ලන්දේසි යුගයේ විධිමත් ආකාරයකට මෙරට කුරුඳු වගාව ව්‍යාප්ත කරනු ලැබූ අතර, ඒ සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ද නොඅඩුව ලබා දී, එය ආරක්ෂා කිරීමට විශේෂ වැඩ පිළිවෙළක් යොදනවා.
එදා කුරුඳු තැලීමේ කදුළු කතාව
අතීතයේ දී රජු විසින් කුරුඳු තැලීම සඳහා වෙනම ජන කොට්ටාශයක් රාජකාරි ක්‍රමයෙන් පත් කර තිබෙනවා. කුරුඳු වෙළඳාම ලන්දේසි අතට පත් වීමත් සමග ඔවුන් කුරුඳු තැලීම සඳහා යොදවා ගන්නේ ඒ සඳහා රාජකාරි ක්‍රමයෙන් නිර්දේශ වූ සලාගම කුලයේ ජනතාව යි.
සලාගම ජනතාව වයසේ පිළිවෙලට ලන්දේසීන්ට කුරුඳු තලා දිය යුතු වන අතර, වයස අවුරුදු 12 සිට මිය යන තුරුම ඔවුන්ගේ රාජකාරිය වූයේ නොමිලයේ ලන්දේසීන්ට කුරුඳු තලා දීම යි. ඒ වෙනුවෙන් ඔවුන්ට ජිවත් වීම සඳහා පමණක් හාල්, ලුණු හා මාළු ලන්දේසින්ගෙන් ලැබෙනවා. ලන්දේසින් මෙම ජනතාවට කෘරත්වයෙන් සලකන අතර, දිනකට තලා දිය යුතු කුරුඳු ප්‍රමාණය සාමාන්‍ය මිනිසෙකුට කළ නොහැකි ප්‍රමාණයක් දක්වා ඉහළ නංවනවා. මේ හේතුවෙන් සලාගම ජනතාව පදිංචි ප්‍රදේශවලින් උඩරට රජුගේ පාලන ප්‍රදේශවලට පලා යනවා. බිහිවන දරුවා වෙනත් කුලයකට අයත් වීම උදෙසා වෙනත් වෙනත් කුල හා විවාහ වෙනවා. ඊට අමතරව ලන්දේසින් හා විරසක වූ එවකට රජු වූ රාජසිංහ රජ සමයේ උඩරට හමුදාවන්ගේ ප්‍රහාරවලට ද අසරණ කුරුඳු තලන්නනට මුහුණ දීමට සිදුවෙනවා.
ලන්දේසින්ගෙන් ඉංග්‍රීසින්ට
මේ ආකාරයට කුරුඳු වෙළඳාම ඉතා දැඩි ප්‍රතිපත්ති සහිතව ගෙන ගිය ඔවුන්, ලංකාවේ පමණක් නොව වෙනත් පෙරදිග සියලු රටවල කුරුඳු වගාව සියතට ගැනීමට උත්සාහ කරනවා. ඒ විවිධ රටවල රජවරුන් හා ගිවිසුම්ගතව එම රටවලින් ලන්දේසීන්ට පමණක් කුරුඳු ලබා දීමට එකඟ කර ගැනීම තුළිනුයි.
පෙරදිග වෙළද කලාපයේ බලය ඉංග්‍රීසින් විසින් අල්ලා ගැනීමෙන් පසුව ලංකාවේ පාලන බලය ද ක්‍රමක්‍රමයෙන් ඉංග්‍රීසින් සතු වෙනවා. ඔවුන් කුරුඳු වගාව ඉදිරියට පත්වාගෙන යන නමුත් වැඩිපුර අවධානය දෙන්නේ කෝපි වගාවට යි. ඉන්පසුව, තේ හා රබර් ප්‍රධාන අපනයන බෝග ලෙස වර්ධනය කිරීමට ඉංග්‍රීසින් කටයුතු කරනවා.
සුළු ආපනයන ආර්ථික බෝගයන්ගෙන් ඉහළම ආදායමක් ගෙන දෙන, කුරුඳු
1948 දී ශ්‍රී ලංකාවට ඩොමිනියන් තත්ත්වයේ නිදහස හිමි වීමත් සමග කුරුඳු සඳහා එතරම් අවධානයක් යොමු වෙන්නේ නෑ. ලංකා රජය විසින් වැඩිම අවධානයක් යොමු කරන්නේ තේ, රබර් හා පොල් වගාවන්වලට යි.
කුරුඳු සුළු අපනයන බෝගයක් ලෙස වර්ධනය කරන අතර, වර්තමානය වන විට ශ්‍රී ලංකාව සුළු අපනයන බෝගවලින් වැඩිම ආදායමක් ලබා ගන්නේ කුරුඳුවලින්. ඊට අමතරව ලෝක වෙළඳපොලේ කුරුඳු අපනයනය කරන රටවල් අතර ප්‍රධාන තැනක් ද ශ්‍රී ලංකාවට හිමි වී තිබෙනවා. එබැවින් කාලයත් සමග කුරුඳු වගාවේ ව්‍යාප්තිය අඩු වී ගිය ද ඉන් ජාතික ආර්ථිකයට ලැබෙන ආදායම් ප‍්‍රමාණය අඩු වී නොමැති බව දශක කිහිපයක අපනයන ආදායම් පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වෙනවා. නමුත් මේ වන විට ශ්‍රී ලංකා කුරුඳු කර්මාන්තය විවිධ අර්බුද රාශියකට මුහුණ දී ඇති අතර, කුරුඳු තැලුම්කරුවන්ගේ උග්‍ර හිඟය හා කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන සඳහා අගය එකතු කිරීමකින් තොරව අපනයනය කිරීම ඉන් ප්‍රධාන ගැටළු දෙකක් ලෙස හඳුන්වාදිය හැකියි.