Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිනාසී මිය ගිය මිනිස්සු

සිනහව ශරීර සෞඛ්‍යයට ඉතා යහපත් ප්‍රතිපල ගෙන දෙන බව සාමාන්‍ය පිළිගැනීම වේ. වෛද්‍ය විද්‍යාවේ දී, සිනහව සැලකෙන්නේ මිනිසුන් නිරෝගී කරන ඖෂධයක් ලෙස යි. කායික නිරෝගීභාවය ඉහළ නැංවීමට අමතර ව, සිනහව, මානසික ආතතිය සහ අවපීඩනය වැනි තත්ත්වයන් ද දුරු කරන බව බොහෝ දෙනෙක් විශ්වාස කරති.

සාමාන්‍ය පිළිගැනීම එය වුවත්, සිනහව නිසා ඇති වූ රෝගී තත්ත්වයන් නිසා මිය ගිය පුද්ගලයන් පිළිබඳ ව ද ඉතිහාසයේ පටන් මෑත කාලය දක්වා තොරතුරු හෙළි වේ. අධික ලෙස සිනාසීම නිසා ඇති වූ හෘදයාබාධ සහ ස්වසන අපහසුතා වැනි බරපතල රෝග තත්ත්වයන් නිසා මිය ගිය එවැනි පුද්ගලයන් කිහිප දෙනෙක් පිළිබඳ ව මේ ලිපියෙන් සොයා බලමු.

මංගේෂ් භෝගල්

සිනාසීම නිසා පුද්ගලයෙක් මිය යාමේ ආසන්නත ම සිදුවීම මෙය යි. මංගේෂ් 2013 නොවැම්බර් මස මුම්බායිහි දී තම පෙම්වතිය සමඟ “ග්‍රෑන්ඩ් මස්ති” නම් චිත්‍රපටය නරඹමින් සිටියේ ය. ‘වැඩිහිටියන්ට පමණයි’ ඛාණ්ඩයට අයත් චිත්‍රපටයක් වූ එහි තිබූ විකට ජවනිකාවකට ඔහු අධික ලෙස සිනාසී තිබේ. ඒ සමඟ ම ඔහුට හෘදයාබාධයක් ද ඇති විය.

මංගේෂ් ගේ පෙම්වතියගේ දැනුම්දීම මත සිනමාහලේ සිටි පිරිස ඔහු කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කළත් අතරමඟ දී ඔහු මිය ගියේ ය. ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ එය හදිසි අනතුරක් හේතුවෙන් සිදු වූ මරණයක් බව යි.

“ග්‍රෑන්ඩ් මස්ති” චිත්‍රපටයේ ප්‍රචාරක දැන්වීමක් – www.dnaindia.com

ඩෑම්නො(එ)න් සෑන්-උම්

තායිලන්තයේ බැංකොක් නගරයේ ජීවත් වූ, වෘත්තියෙන් අයිස්ක්‍රීම් වෙළෙන්දෙක් වූ සෑන්-උම් 2003 අගෝස්තු 22 දින නින්දෙන් අධික ලෙස සිනාසීම නිසා මිය ගියේ ය. ඒ වන විට ඔහු 52 වන වියේ පසු විය. එදින අලුයම් කාලයේ ඔහු නින්දෙන් නොනවත්වා සිනාසෙමින් සිටි බව ඔහුගේ බිරිය මරණ පරීක්ෂණය අතරතුර පැවැසුවා ය. සෑන්-උම් අවදි කරවීමට ඇය දැඩි උත්සහයක් දරා තිබූ නමුත් ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබිණි.

විනාඩි දෙකක් වැනි කාලයකට පසු ඔහු නිහඬ වූ බව ඇය සඳහන් කළා ය. මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වූයේ ඔහු හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බව යි. එම පරීක්ෂණය සිදු කළ වෛද්‍යවරුන්  එවැනි සිදුවීමක් කිසිදිනෙක අසා නොතිබිණි. කෙසේ වෙතත් නින්දෙන් අධික ලෙස සිනාසීම හෝ හඬාවැටීම නිසා හෘදයාබාධ ඇති වීමේ අවදානමක් ඇති බව වෛද්‍යවරුන්ගේ මතය විය.

“A fish called Wanda” චිත්‍රපටයේ ජවනිකාවක් – www.bottomshelfmovies.com

ඔලේ බෙන්ට්සන්

ඩෙන්මාර්ක ජාතික බෙන්ට්සන් අධික ලෙස සිනාසීම නිසා හදවතේ ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය ලෙස වේගවත් වීම හේතුවෙන් 1989 දී මිය ගියේ ය. ඔහු “A fish called Wanda” නම් චිත්‍රපටය නරඹමින් සිටි බවත්, එහි අන්තර්ගත වූ හාස්‍යජනක ජවනිකාවක් (එක් පුද්ගලයෙක් චිප්ස් කිහිපයක් ඔහුගේ නාසය තුළට දමා ගන්නා අයුරු) නැරඹීමෙන් අනතුරු ව ඔහු අධික ලෙස සිනාසුණු බවත් ඔහුගේ පවුලේ ඥාතීන් පවසා තිබේ.

ඔහු එම ජවනිකාව එතරම් හාස්‍යජනක එකක් සේ සැලකීමට හේතුව වරක් ඔහු සහ පවුලේ සාමාජිකයන් ගෝවා මලක් ඔවුන්ගේ නාසය මත තබාගෙන එය බිමට වැටීමට නොදී කැරට් අලයක් ආහාරයට ගත හැක්කේ කාටද යන්න පරික්ෂා කර තිබීම යි. මිය යන අවස්ථාව වන විට ඔහුගේ හෘද ස්පන්දන වේගය විනාඩියකට 250-500 අතර අගයක පැවැති බව වාර්තා වේ.

ඇලෙක්ස් මිචෙල්

1975 මාර්තු 24 දින “Kung Fu Kappers” නම් ජනප්‍රිය විනෝදාත්මක රූපවාහිනී වැඩසටහනක් නරඹමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික මිචෙල් අධික ලෙස සිනාසීම නිසා ජීවිතක්ෂයට පත් විය. ඔහු එම රූපවාහිනී වැඩසටහනට දැඩි ලෙස ඇලුම් කර තිබේ. මිය ගිය දින ඔහු නැරඹු කොටසේ එක් පුද්ගලයෙක් යම්කිසි අතුරුපසක් සහිත බඳුනකින් අනික් පුද්ගලයාට පහර දෙන ආකාරය සහ පහරකෑමට ලක් වන පුද්ගලයා “Bagpipes” නමින් හඳුන්වන නළාවක් අතැති ව ඉන් වැලකීමට උත්සහ කරන අයුරු නිරූපණය විය. මිය යන විට ඔහු 50 වන වියේ පසු විය.

එම කොටස නැරඹූ ඔහු අධික ලෙස සිනාසීමට පටන් ගත් බවත්, විනාඩි 25කට ආසන්න කාලයක් සිනාසුණු බවත් ඔහුගේ බිරිය, නෙසී, මාධ්‍ය වෙත සඳහන් කළා ය. ඔහුගේ මරණය ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ අතර, සිය සැමියාගේ අවසන් මොහොත විනෝදාත්මක එකක් බවට පත් කිරීම වෙනුවෙන් ස්තුති කරමින් ඔහුගේ බිරිය අදාළ රූපවාහිනී වැඩසටහනේ නිෂ්පාදකවරයා වෙත ලිපියක් ද යොමු කළා ය. ඔහුගේ මිණිබිරියක් හෘද රෝගයක් හේතුවෙන් රෝහල්ගත කළ අවස්ථාවේ වෛද්‍යවරුන් පැවසුවේ මිචෙල් ද එම රෝග තත්ත්වයෙන් පෙළෙන්නට ඇති බව යි.

ඇලෙක්ස් මිචෙල් සහ ඔහුගේ බිරිය – www.pinterest.com

වෙස්ලි පාර්සන්ස්

එක්සත් ජනපදයේ ඉන්දියානා ප්‍රාන්තයේ ජීවත් වූ ගොවියෙක් වූ පාර්සන්ස් විහිළුවකට අධික ලෙස සිනාසීම නිසා 1893 දී ජිවිතක්ෂයට පත් විය. මිය යන අවස්ථාව වන විට ඔහු මිතුරන් පිරිසක් හමු වී ඔවුන් සමඟ කතාබස් කරමින් සිටියේ ය. එම කතාබහ අතරතුර මිතුරෙක් කළ විහිලුවකට ඔහු පැයකටත් වැඩි කාලයක් තිස්සේ සිනාසෙමින් සිටියේ ය.

සිනාසීම සමඟ ඔහුට ඉක්කාවක් ද ඇති වී තිබේ. එවකට පැවැති පහසුකම්වල හිඟය නිසා ඔහුගේ මරණයට පැහැදිලි හේතුවක් අනාවරණය කර ගැනීමට වෛද්‍යවරුන්ට නොහැකි විය. මෑතකාලීන ව අනාවරණය වී ඇත්තේ සිනාසීම සහ ඉක්කාව නිසා ඔහුගේ සිරුර අභ්‍යන්තර දැඩි ලෙස වෙහෙසට පත් වීම හේතුවෙන් ඔහු මරණයට පත් වන්නට ඇති බව යි.

ෆිට්සර්බට්

නොකඩවා දින දෙකක් සිනාසීම ප්‍රයෝගික යැයි සිතීම පවා දුෂ්කර නමුත් ලන්ඩන් නගරයේ ජීවත් වූ ෆිට්සර්බට් නම් කාන්තාවගේ හදිසි මරණයට හේතු වූයේ දින දෙකක් තිස්සේ නොකඩවා සිනාසීම යි. ඒ වන විට වැන්දඹුවක වූ ඇය 1782 වසරේ දිනක මිතුරියන් කිහිප දෙනෙක් සමඟ “The Beggar’s Opera” නම් ඔපෙරාව නැරඹීම සඳහා ගොස් ඇත. එහිදී ස්ත්‍රී ඇඳුම්වලින් සැරසුණු චාල්ස් බැනිස්ටර් නම් පුද්ගලයා වේදිකාවට පැමිණීමත් සමඟ සියලු දෙනා සිනාසෙන්නට විය.

ෆිට්සර්බට් සහභාගී වූ ඔපෙරාව පිළිබඳ දැන්වීමක් – www.ranker.com

සිනහව පාලනය කරගැනීමට නොහැකි වූ ෆිට්සර්බට් ඔපෙරාවේ දෙවැනි කොටස ආරම්භ වීමට පෙර රඟහලෙන් පිටව ගියා ය. නැවත නිවසට ගිය ඇය නොකඩවා දින දෙකක කාලයක් සිනාසීම හේතුවෙන් මිය ගියා ය. ඇගේ මරණයෙන් පසු පුවත්පතක පළ වූ අවමංගල්‍ය දැන්වීමක සඳහන් වන්නේ බැනිස්ටර් පිළිබඳ සිතුවිලි මතකයෙන් බැහැර කිරීමට නොහැකි වූ නිසා ඇය මිය ගිය බව යි.

තෝමස් උර්ක්හාර්ට්

1660 දී දෙවන චාල්ස් රජු නැවැත සිහසුනට පත් වීම පිළිබඳ පුවත ඇසීමෙන් පසු අධික ලෙස සිනාසීම නිසා තෝමස් මිය ගොස් තිබේ. ස්කොට්ලන්ත ජාතික ලේඛකයෙක් සහ පරිවර්තකයෙක් වූ ඔහු දෙවන චාල්ස් රජුගේ සහ රජ පවුලේ සාමාජිකයන්ගේ විශ්වාසය දිනා සිටි අයෙක් විය.

දෙවන චාල්ස් රජුට සිහසුන අහිමි වීමත් සමඟ සිරභාරයට ගත් තෝමස් පිටුවහල් කිරීමට එවකට පාලකයා නියෝග කළේ ය. එසේ පිටුවහල් කිරීමෙන් වසර කිහිපයකට පසු දෙවන චාල්ස් රජු නැවැත සිහසුනට පත් විය. එම පුවත අසා ඉතා සතුටට පත් වූ ඔහු අධික ලෙස සිනාසීම හේතුවෙන් මිය ගියේ ය.

තෝමස් උර්ක්හාර්ට්ගේ සිතුවමක් – www.farcesofdeath.tumblr.com

පියෙට්‍රෝ අරෙටිනෝ

ඉතාලි ජාතික ලේඛකයෙක් සහ නාට්‍යකරුවෙක් වූ “Pietro Aretino” අධික ලෙස සිනාසීම නිසා මිය ගිය බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. මූලාශ්‍රයන්හි සඳහන් වන ආකාරයට ඔහුගේ මරණය සිදු ව ඇත්තේ 1556 ඔක්තෝබර් 21 දින ය. දිනක් නිවසේ සිටියදී ඔහුගේ සහෝදරිය කළ විහිළුවකට සිනාසීමට ගොස් ඔහු පුටුවෙන් බිමට වැටී ඇත.

ඒ අවස්ථාවේ හිසට සිදු වූ තුවාල නිසා ඔහු මරණයට පත් වූ බවට මතයක් තිබේ. තවත් මතයක් වන්නේ සිනාසීම හේතුවෙන් ඇති වූ ස්වසන අපහසුතා නිසා ඔහු මිය ගිය බව යි. ඔහු මරණයට පත් වූ අවස්ථාව දැක්වෙන “Anselm Feuerbach”ගේ සිතුවමක් පසුකාලීන ව ලොව පුරා ප්‍රසිද්ධ විය.

ක්‍රිසිපස්

සුප්‍රසිද්ධ ග්‍රීක දාර්ශනිකයෙක් වූ ක්‍රිසිපස් ක්‍රිස්තු පූර්ව 206 දී අධික ලෙස සිනාසීම නිසා මිය ගියේ ය. අත්තික්කා ගෙඩි විශාල ප්‍රමාණයක් ආහාරයට ගත් බූරුවෙක් මත් වන අයුරු දැක ඔහු එලෙස සිනාසී තිබේ. අත්තිකාවලට අමතර ව ක්‍රිසිපස්ගේ සේවකයෙක් එම බූරුවාට වයින් ද ලබා දී ඇති බව පැවැසේ.

මත් වූ බූරුවාගේ ක්‍රියාකාරකම් ඉතා අසාමාන්‍ය ස්වරූපයක් ගත් බැවින් ඔහු අධික ලෙස සිනාසී ඇත. ඔහුගේ මරණය අධික ලෙස සිනාසීම නිසා සිදු වූ එකක් බව ඔහුගේ සිසුන් ලියූ සටහන්වලින් තහවුරු වී තිබේ. ඔහුගේ මරණය පිළිබඳ ව අධ්‍යයනය කර ඇති වෛද්‍යවරුන් පසුකාලීන ව පවසා ඇත්තේ නොනවත්වා සිනාසීම හේතුවෙන් ‘asphyxiation’ නම් තත්ත්වය ඇති වී ඔහුගේ හදවතේ ක්‍රියාකාරීත්වය නවතින්නට ඇති බව යි.

ක්‍රිසිපස් – www.allthatsinteresting.com

Zeuxis

Zeuxis යනු ක්‍රිස්තු පූර්ව 15 වැනි සියවසේ ජීවත් වූ සුප්‍රසිද්ධ ග්‍රීක චිත්‍ර ශිල්පියෙකි. දිනක් ඔහු වෙත පැමිණි මහළු කාන්තාවක් ආදරය, සුන්දරත්වය සහ ප්‍රජනනයට අධිපති දේවතාවිය වූ ඇෆ්‍රොඩයිට් දේවතාවියගේ සිතුවමක් ඇඳීමට ඔහුට පැවරුවා ය. එම චිත්‍රය සඳහා නිරූපණ ශිල්පිනිය ලෙස ඇය පෙනී සිටියා ය.

සිතුවම ඇඳ අවසන් කළ Zeuxis ඒ දෙස බලා නොකඩවා සිනාසෙන්නට විය. ඔහු අවට සිටි පුද්ගලයන්ට පවසා ඇත්තේ ආදරය, සුන්දරත්වය සහ ප්‍රජනනයට අධිපති දේවතාවියක් වෙනුවෙන් මහළු කාන්තාවක් පෙනී සිටීම තරම් හාස්‍යජනක දෙයක් තවත් නොමැති බව යි. සිතුවම දෙස බලා පැයකට වැඩි කාලයක් තිස්සේ අධික ලෙස සිනාසුණු ඔහු මිය ගියේ ය.

කවරයේ ඡායාරූපය - අධික ලෙස සිනාසීම නිසා ඇති වූ හෘදයාබාධ සහ ස්වසන අපහසුතා වැනි බරපතල රෝග තත්ත්වයන් නිසා මිය ගිය පුද්ගලයන් කිහිප දෙනෙක් පිළිබඳ ව මේ ලිපියෙන් සොයා බලමු. www.gettyimages.com

මූලාශ්‍ර :
www.historydefined.net
www.history.com
www.allthatsinteresting.com

Related Articles