දින දෙකක් ඇවිළ ගිය චිකාගෝ මහා ගින්න

සිදු වූ විවිධ ව්‍යසනයන් හමුවේ පැවති තත්ත්වයටත් වැඩි දියුණුවක් අත්පත් කරගත් රටවල් පිළිබඳ ව අපි අසා ඇත්තෙමු. හිරෝෂිමා සහ නාගසාකි නගරවලට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරවලින් පසු ජපානය අත්පත් කරගත් සුවිශාල දියුණුව ඊට කදිම උදාහරණයකි.

එවැනි දරුණු ව්‍යසනයකට මුහුණ දී ඉතා කෙටි කලක් තුළ විශාල දියුණුවක් අත්පත් කරගත් අවස්ථාවක් සිහිගන්වන්නකි- අමෙරිකා එක්සත් ජනපදයට අයත් චිකාගෝ නගරය. දින දෙකක් තිස්සේ පැතිර ගිය විශාල ගින්නක් නිසා චිකාගෝ නගරයේ ජීවත් වූ විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් ව දේපළ හානි ද රැසක් සිදු විය. කෙසේ නමුත් ඉතා ටික කලක් ඇතුළත නගරය විශාල වශයෙන් සංවර්ධනය විය. මෙම ලිපිය චිකාගෝ හි මහා ගින්න සහ ඒ සමඟ ඇති වූ පිබිදීම පිළිබඳව යි.

චිකාගෝ නගරය ගින්නෙන් දැවෙන අයුරු – www.sru.edu

1871 ඔක්තෝබර් 8 සිට 10 දක්වා පැවැති චිකාගෝහි ගින්න හේතුවෙන් පුද්ගලයන් 300කට වැඩි ප්‍රමාණයකට දිවි අහිමි වූ අතර ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් ඇතුළු වෙනත් දේපළ ද විනාශ විය. එක්තරා ධාන්‍ය ගබඩාවක් අසල තබා තිබූ ලන්තෑරුමක් එළදෙනක පෙරළා දැමීම නිසා මෙම ගින්න ඇති වූ බව සමහරුන්ගේ මතයයි. කෙසේ වෙතත් තවත් සමහරුන්ගේ මතය වන්නේ එය මිනිස් ක්‍රියාකාරකමක් නිසා ඇති වූ ගින්නක් බව යි.

චිකාගෝ නගරය

අමෙරිකා එක්සත් ජනපදයට අයත් නගර අතරින් තෙවැනියට වැඩි ම ජනගහනයක් සහිත චිකාගෝ නගරය එක්සත් ජනපදයේ ‘Illinois’ ප්‍රාන්තයේ පිහිටි නගර අතරින් ජනගහනය වැඩි ම නගරය ද වේ. සංගණන වාර්තා අනුව 2020 වසරේ චිකාගෝ නගරයේ ජනගහනය 2,746,388 කි. චිකාගෝ නගරය විල් කිහිපයකින් සහ මිසසිපි ගංගාවෙන් වට වී තිබේ. ගින්න ඇති වීමට පෙර එතරම් විශාල ජනගහණයක් සහිත නගරයක් නොවූ නමුත් එම ගින්නෙන් පසුව ක්ෂේත්‍ර කිහිපයක ඇති වූ විශාල පිබිදීමත් සමඟ ඉතා කෙටි කාලයක් තුළ එහි ජනගහනය ශීඝ්‍රයෙන් වැඩි වූ බව කියැවේ.

චිකාගෝ නගරයේ පිහිටීම දැක්වෙන සිතුවමක් – www.123rf.com

ගින්න ඇති වූ අයුරු

1871 ඔක්තෝබර් 8 දින රාත්‍රී 8.30ට පමණ චිකාගෝ නගරයේ වීදියක කෙළවරක පිහිටි කුඩා ධාන්‍ය ගබඩාවක මෙම ගින්න ඇති වූ බව විශ්වාස කෙරේ. අදාළ ධාන්‍යාගාරය අසල පිහිටි මඩුවක් මුලින් ම ගින්නට හසු වූ බව සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ. චිකාගෝහි ගින්න ඇති වූ ආකාරය පිළිබඳව මත ඉදිරිපත් කර ඇති සමහරු පවසන්නේ එම ස්ථානයේ තබා තිබූ ලන්තෑරුමක් එළදෙනක පෙරළා දැමීම ගින්නට හේතු වූ බව යි. තවත් සමහරුන් පවසන්නේ එම ස්ථානය අසල සූදු කෙළිමින් සිටි පුද්ගලයන් පිරිසක ගෙන් එක් අයකු අතින් ලන්තෑරුම පෙරළී ගිය බව යි. කෙසේ වෙතත් ගින්නට බලපෑ නිශ්චිත හේතුව කුමක් ද යන්න මේ වන තෙක් තහවුරු කරගෙන නොමැත.

ගින්න හටහත් ස්ථානයේ දැකිය හැකි සිහිවටන පුවරුවක් – www.wbez.com

වේගයෙන් පැතිර ගිය ගින්න

ගින්න ඇති වූ කාලය වන විට චිකාගෝ නගරය අවට ප්‍රදේශයේ දැඩි වියළි කාලගුණයක් පැවති බැවින් එය ඉතා වේගයෙන් නගරය පුරා පැතිරී යන්නට විය. එදින නගරය මැදින් වේගයෙන් හමා ගිය සුළඟ සහ ගින්න නිසා ජල නළ පද්ධතිවලට සිදු වූ හානිය ද ගින්න විශාල ලෙස පැතිරීමට හේතු වී තිබේ.

ඒ වන විට විශාල වශයෙන් සංවර්ධනය නොවී තිබුණු චිකාගෝ නගරයේ බොහෝ ගොඩනැගිලි දැව භාවිතයෙන් ඉදි කර තිබීම ද ගින්න පැතිරීමට ප්‍රධාන වශයෙන් බලපෑ බව බොහෝ දෙනකුගේ මතය යි. අවසානයේ චිකාගෝ නගරයට අයත් අක්කර 2,000ක පමණ භූමි ප්‍රමාණයක් ගිනිබත් විය.

ගින්න පිළිබඳ පළ වූ පුවත්පත් වාර්තාවක් – www.donaldheald.com

ගින්නෙන් වූ හානිය

ඔක්තෝබර් 9 දින පුරාවටත් ගින්න පැවැති අතර අවසානයේ එය සම්පූර්ණයෙන් නිවා දැමීමට හැකි වූයේ ඔක්තෝබර් 10වැනි දින ය. ගිනි නිවීම් භටයන් එය නිවා දැමීම සඳහා විශාල වෙහෙසක් දැරුවත් එය සාර්ථක නොවී ය. එදින ඇදහැළුණු වර්ෂාව නිසා ගින්න නිවී ගිය බව කියැවේ. ගින්න සම්පූර්ණයෙන් නිවී ගොස් දින කිහිපයක් යන තෙක් නගරය තුළ හා ඒ අවට දැඩි උණුසුමක් පැවති බැවින් කිසිවකුට ඊට ඇතුළු වීමට හැකියාවක් නොවීය. ඒ හේතුවෙන් ගින්න නිසා සිදු වූ හානිය තක්සේරු කිරීම තරමක් ප්‍රමාද විය.

දින කිහිපයකට පසුව අදාළ තක්සේරු කිරීම් සිදු කළ අතර එහිදී අනාවරණය වූයේ ගින්න නිසා 300කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ බව යි. ඊට අමතර ව 100,000කට වැඩි පිරිසකට නිවාස අහිමි විය. විදුලි පහන් කණු 2,000ක් සහ වෙනත් ගොඩනැගිලි 17,500ක් විනාශ වූ අතර ඒවායේ වටිනාකම එවකට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 200ක් පමණ වන බවට ගණන් බලා තිබේ. එය ඒ වන විට නගරයේ සමස්ත වටිනාකමෙන් තුනෙන් එකක ප්‍රමාණයකි.

ගින්න ඇති වූ අයුරු දැක්වෙන සටහනක් – www.rawnidufirehose.com

ගින්නෙන් පසු තත්ත්වය

ගින්නෙන් මාසයකට පසු, 1871 නොවැම්බර් මස ජෝසප් මෙඩිල්, චිකාගෝ හි නගරාධිපතිවරයා ලෙස තේරී පත් විය. ගින්නෙන් නිවාස වූ නගරය යළි ගොඩනැඟීම, ශක්තිමත් ගොඩනැඟිලි ඉදිකිරිම සහ ගිනි නිවීම් සම්බන්ධයෙන් නව නීති රීති පැනවීම වැනි කරුණු ඔහු සිය මැතිවරණ ව්‍යාපාරයේ දී ජනතාවට ලබා දුන් පොරොන්දු අතර විය. ගින්න නිසා මැතිවරණයට අදාළ ලිපි ලේඛන බොහොමයක් විනාශ වී තිබූ බැවින් සමහරුන් එක් වරකට වඩා ඡන්දය ප්‍රකාශ කළ බවත්, එය ඔහුගේ ජයග්‍රහණයට හේතු වූ බවත් කියැ වේ.

ගින්නෙන් විනාශ වූ නගරය – www.abenews.go.com

සංවර්ධනය

චිකාගෝ නගරයේ බොහෝ දේපළවලට ගින්න හේතුවෙන් දැඩි හානි සිදු වී තිබූ නමුත් ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ ඉදිකිරීම් වැනි දේට විශාල හානියක් සිදු වී නොතිබිණි. ඉතා වේගයෙන් නැවැත ඉදිකිරීමේ කටයුතු ආරම්භ වූ අතර නගර නිර්මාණ ශිල්පීහු එය නවීන නගරයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වන සැලසුම් සකස් කළහ.

නගරය ඉතා ඉක්මනින් යළි ගොඩනැඟුණු අතර ඒ සමඟ ම එහි ජනගහණය විශාල වශයෙන් ඉහළ ගියේ ය. ගින්න ඇති වූ කාලය වන විට එහි ජනගහනය 324,000ක් පමණ වූ නමුත් වසර නවයක් වැනි කාලයක් තුළ එය 500,000 දක්වා ඉහළ ගියේ ය. 1890 වන විට එය එක්සත් ජනපදයට අයත් නගර අතරින් වඩාත් සංවර්ධිත නගරයක් බවට පත් වූ අතර, ඒ වන විට එහි ජනගහනය මිලියනයකට අධික විය. 1893 දී චිකාගෝ නගරය සංචාරකයන් ඉලක්ක කරගෙන දැවැන්ත ප්‍රදර්ශනයක් පැවැත්වූ අතර ඊට මිලියන 27.5ක පිරිසක් සහභාගී වූහ.

වර්තමාන චිකාගෝ නගරය/ www.manilawsuits.com

වර්තමාන තත්ත්වය

වර්තමාන චිකාගෝ නගරයේ ගිනි නිවීම් පිළිබඳ පුහුණු මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ 1871 ගින්න මුලින් ම හටගත් ධාන්‍ය ගබඩාව පිහිටි ඉඩමෙහි වීම විශේෂත්වයකි.  අයර්ලන්ත ජාතික කාන්තාවක් වූ එම ඉඩමේ හිමිකාරිය සහ ඇයට අයත් ව සිටි එළදෙනක මෙම ගින්න සම්බන්ධයෙන් චෝදනා ලබා තිබූ බැවින් ඔවුන් එම චෝදනාවලින් නිදහස් කිරීමට ද චිකාගෝහි නගර සභාව මෑතකදී කටයුතු කර තිබේ. ඒ අනුව 1997 වසරේ දී, අදාළ කාන්තාව සහ ඇගේ එළදෙන එම චෝදනාවලින් නිදහස් කිරීමට අදාළ විශේෂ යෝජනාවක් සම්මත විය. කෙසේ වෙතත් ඒ වන විට එම කාන්තාව සහ එළදෙන මියගොස් වසර 100කට ආසන්න කාලයක් ගත වී තිබිණි. 

ගිනි නිවීම් පුහුණු මධ්‍යස්ථානය – www.wbez.com

ලන්ඩනය 1666 දී දවා අළු කළ ලන්ඩන් මහා ගින්න ගැනත් කියවන්න.

 

 

කවරයේ ඡායාරූපය- චිකාගෝ නගරය ගින්නෙන් දැවෙන අයුරු දැක්වෙන සිතුවමක් - www.interactive.wttw.com

මූලාශ්‍ර:

www.history.com

www.abenews.go.com

www.chipublib.com

Related Articles

Exit mobile version