Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආණ්ඩු පෙරළන්න ලංකා ඉතිහාසයේ ගිය පා ගමන් 2ක්

1947 වසරේ ලංකාවේ පළමු මහා මැතිවරණය පැවැත්වුණා. එම මැතිවරණයෙන් පසු ව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහිවුණා. එදා සිට අද දක්වා ගෙවුණු 75 වසරක කාලය ඇතුළත විවිධ ආණ්ඩු  අප රට පාලනය කළා. එයින් සමහර ආණ්ඩු ජනප්‍රසාදය නොමඳ ව දිනා ගනිද්දී තවත් සමහර ආණ්ඩුවලට එරෙහිව ජනතා විරෝධය එල්ල වුණා. ඒ අයුරින් ආණ්ඩුවට එරෙහි ව මහජන විරෝධයක් ගොඩනැගෙද්දී විපක්ෂය වඩාත් ක්‍රියාකාරී වීම සාමාන්‍ය තත්ත්වයක්. 

එවිට ඔවුන් ආණ්ඩුවට විරෝධය දැක්වීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කරනවා. රටේ ප්‍රසිද්ධ  නගර දෙකක් අතර පා ගමන් සංවිධානය කිරීම ආණ්ඩුවට විරෝධය දැක්වීම සඳහා භාවිත කරන ජනප්‍රිය ක්‍රමයක්. මෙරට ඉතිහාසය දෙස ආපසු හැරී බලද්දී ඒ අයුරින් සංවිධානය කෙරුණු ආණ්ඩු විරෝධී පා ගමන් කිහිපයක් අපගේ මතකයට නැගෙනවා. ඒවායින් වඩාත් ජනප්‍රිය පා ගමන් දෙකක් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

1). 1957 කොළඹ-නුවර පා ගමන 

1956 මහා මැතිවරණයෙන් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණු රජයට අති විශාල ජනවරමක් ලැබෙද්දී එක්සත් ජාතික පක්ෂයට හිමිවුණේ ආසන 8ක් පමණ යි. එහි දී ජේ.ආර් ජයවර්ධන වැනි පතාක යෝධයන් පවා පරාජයට පත්වීම සුවිශේෂී සිදුවීමක් වුණා. එකල ජෝන් කොතලාවල සහ ඩඩ්ලි සේනානායක අතර විරසකයක් ඇති ව තිබුණා. එනිසා පක්ෂයේ එකමුතු බව බිඳී ගොස් තිබුණා. එනිසා එක්සත් ජාතික පක්ෂයට යළි කිසිදු දිනක හිස එසවීමට නොහැකි වනු ඇති බව බොහෝ දෙනකුගේ අනුමානය වුණා. 

බණ්ඩාරනායක සහ චෙල්වනායගම් – tamilguardian.com

බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම 

එලෙස කාලය ගතවෙද්දී බණ්ඩාරනායක සහ චෙල්වනායගම් එකතු වී ගිවිසුමක් අත්සන් කළා. 1957 ජූලි 26 වැනිදා අත්සන් කළ එම ගිවිසුමට රට පුරා විරෝධතා මතුවුණා. ඒ පිළිබඳ අවධානයෙන් සිටි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට එරෙහි ව විරෝධය දැක්වීමට සූදානම් වුණා. ඔවුන් ඒ සඳහා ආණ්ඩු විරෝධී පා ගමනක් යාමට තීරණය කළා. එකල එක්සත් ජාතික පක්ෂයේ සිටි මුල් පෙළ නායකයකු වුණු ජේ.ආර් ජයවර්ධන එම පා ගමන සංවිධානය කළා. 

ගිවිසුමට විරෝධය දක්වන්න පා ගමනක් 

එහි දී එක්සත් ජාතික පක්ෂයේ මුල් ම සැලසුම වුණේ කොළඹ සිට අනුරාධපුරය දක්වා පා ගමනින් ගොස් බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමෙන් රට ආරක්ෂා කරන බවට ශ්‍රී මහා බෝධිය අභියස දී පොරොන්දුවක් දීම යි. නමුත් කොළඹ සිට අනුරාධපුරය දක්වා දිවෙන මාර්ගය එතරම් ජනාකීර්ණ නොවීමත් ගමන් කිරීමට ඇති දුර වැඩි නිසාත් පා ගමනේ ගමන් මාර්ගය වෙනස් කළ යුතු බව බොහෝ දෙනකුගේ අදහස වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස පා ගමන කොළඹ සිට මහනුවරට යාමට තීරණය වුණා.පා ගමනින් මහනුවරට  එසේ ගොස් දළදා මාලිගාව ආසන්නයේ ජනහමුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබුණා. 

පා ගමන ඇරඹෙයි 

පා ගමන 1957 ඔක්තෝබර් 3 වැනිදා ආරම්භ වුණා. එම පා ගමන මහනුවර වෙත ඔක්තෝබර් 8 වැනිදා ළඟාවීමට නියමිත ව තිබුණා. ඔක්තෝබර් 8 වැනිදා වප් පොහොය දිනය යෙදී තිබුණු බැවින් විශාල ජනකායක් එකතු කරගෙන දළදා මාලිගාව අසල දී ආණ්ඩුවට එරෙහිව විරෝධය දැක්වීම එක්සත් ජාතික පක්ෂ නායකයන්ගේ අරමුණ වුණා. පා ගමන ආරම්භ කළ මොහොතේ විශාල ජනකායක් එහි රැස්ව සිටියා. ජේ.ආර් ජයවර්ධන, ඩඩ්ලි සේනානායක, ඇම්.ඩී බණ්ඩා, ආනන්ද තිස්ස ද අල්විස්, රණසිංහ ප්‍රේමදාස වැනි නායකයන් එම පා ගමනේ ඉදිරියෙන් ම ගමන් කළා. 

 ජේ.ආර් ජයවර්ධන – ft.lk

ගල්මුල් ප්‍රහාර මධ්‍යයේ පා ගමන ඉදිරියට 

පා ගමන ආරම්භ කළ වැඩි වේලාවක් යන්නට පෙර එහි ගිය උදවියට ගල්මුල් ප්‍රහාර එල්ල වන්නට පටන් ගත්තා. ඒ වාගේම මාර්ගය දෙපස සංවිධානාත්මකව රැස්ව සිටි පිරිස් පා ගමනට සහභාගි වුණු උදවිය ඉලක්ක කරගනිමින් හූ තබන්නට පටන් ගත්තා. පා ගමන්කරුවන් ආරක්ෂා කිරීම සඳහා පොලිසිය එහි දී මැදිහත් වුණේ නැහැ.

ඒ සඳහා ඔවුන්ට ඉහළින් උපදෙස් ලැබී තිබුණා. විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඉදිරියට ගිය පා ගමන පළමු දින රාත්‍රිය ගත කිරීමට කඩවත ප්‍රදේශය තෝරා ගෙන තිබුණා. පළමු දිනයේ එල්ල වුණු ප්‍රහාර හමුවේ බියට පත්වුණු බොහෝ දෙනකු සිය නිවෙස් වෙත ආපසු ගොස් තිබුණා. එනිසා පළමු දිනය අවසන් වෙද්දී වැඩි පිරිසක් එහි ඉතිරි ව සිටියේ නැහැ.

පා ගමන අතරතුර- කඳුළු සලන පාරාදීසය

 

පා ගමන නැවැත්වීමට ආණ්ඩුවෙන් උත්සාහයක් 

අගමැති බණ්ඩාරනායකගේ බල ප්‍රදේශය වුණු අත්තනගල්ල හරහා පා ගමන දෙවන දිනයේ දී  යාමට නියමිත ව තිබුණා. ආණ්ඩු විරෝධී පා ගමනක් අත්තනගල්ල හරහා ගමන් කිරීමෙන්  අගමැතිවරයාගේ කීර්තිනාමයට කැළලක් සිදුවන බව ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන්ගේ අදහස වුණා. එනිසා පා ගමන අත්තනගල්ලට පැමිණීමට පෙර නැවැත්විය යුතු බව ඔවුන්ගේ ඒකමතික තීරණය වුණා.

ඒ අනුව පා ගමන අත්තනගල්ලට පැමිණීමට පෙර නැවැත්වීමේ වගකීම එවකට ගම්පහ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ. ඇස්. ඩී. බණ්ඩාරනායකට පැවරුණා. බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඥාති සොහොයුරකු වුණු ඇස්. ඩී. බණ්ඩාරනායක නොපැකිල ව එම වගකීම භාර ගත්තා.

ඇස්. ඩී. බණ්ඩාරනායක සිය දියණිය සමඟ – dbsjeyaraj.com

 

ඉඹුල්ගොඩ දී උණුසුම් තත්ත්වයක් 

ඔක්තෝබර් 4 වැනි දින කඩවතින් ආරම්භ වුණු පා ගමන ඉඹුල්ගොඩ ප්‍රදේශයට උදෑසන 7.20 පමණ වන විට පැමිණියා. නමුත් ඔවුන්ට ඉඹුල්ගොඩ පසුකිරීමට ඉඩක් නොලැබුණේ වාහන දෙකක් මාර්ගය හරස් කර නතර කර තිබුණු නිසා යි. එම වාහන දෙක අතර තිබුණු හිස් මාර්ග කොටසේ ගම්පහ මන්ත්‍රී ඇස්.ඩී බණ්ඩාරනායක නිදාගෙන සිටියා.

එම වාහනවලට මඳක් පිටුපසින් තවත් විශාල පිරිසක් මාර්ගයේ වාඩි වී සිටියා. ඒ මොහොතේ පා ගමන්කරුවන් සහ ඇස්.ඩී බණ්ඩාරනායකගේ ආධාරකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ මොහොතේ  ඇස්.ඩී බණ්ඩාරනායක අසලට ගිය ජේ.ආර් ජයවර්ධන ඔහුගෙන් කාරුණික ව ඉල්ලා සිටියේ පා ගමනට ඉදිරියට යාම සඳහා මාර්ගයෙන් ඉවත් වන ලෙස යි.

ඉඹුල්ගොඩ දී පා ගමනට බාධා එල්ල වුණු හැටි – කඳුළු සලන පාරාදීසය

 

‘ඉඹුල්ගොඩ වීරයා’

ඒ මොහොතේ සිය හඬ අවදි කළ ඇස්.ඩී බණ්ඩාරනායක සිය ප්‍රතිවාදියා හමුවේ පවසා සිටියේ පා ගමන ඉදිරියට ගියොත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වී ප්‍රදේශයේ සාමයට බාධා එල්ල වීමට ඉඩ තිබෙන බව යි. එනිසා පා ගමන නැවැත්වීමේ  අරමුණ ඇතිව සිය ආධාරකරුවන් සමඟ පැමිණ මාර්ගය අවහිර කළ බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා. එම අවස්ථාවේ ඇතිවුණු උණුසුම් තත්ත්වය නිසා තවත් පා ගමන්කරුවන් රැසක් ආපසු කොළඹට යන්නට පටන් ගත්තා. පා ගමන ඉදිරියට ගියා නම් විශාල ලේ වැගිරීමක් සිදුවනු ඒකාන්ත බව දැන සිටි අගමැති බණ්ඩාරනායක, ඇස්.ඩී.ට තම සතුට පළ කළේ ‘ඉඹුල්ගොඩ වීරයා’ යන උපහාරය පුදමිනි.

එම අවස්ථාවේ තත්ත්වය සමථයකට පත්කිරීම සඳහා පොලිසියට පවා මැදිහත් වීමට සිදුවුණා. ඉන් අනතුරුව දෙපාර්ශවය අතර ඇති වුණු සාකච්ඡාවලින් පසුව ජේ.ආර් ජයවර්ධන සිය පිරිස සමඟින් යළි කොළඹ බලා ගමන් කිරීමට එකඟ වුණා. එදා ජේ.ආර් ජයවර්ධන සංවිධානය කළ පා ගමන අවසන් කිරීමට නොහැකි වුණත් එමඟින් ආණ්ඩුව භීතියට පත්කිරීමට හැකිවුණු බව මෙහි දී කිව යුතුයි. 

2). 1992 පාද යාත්‍රාව 

1989 පෙබරවාරි 15 වැනි දින පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 125ක් ජයග්‍රහණය කළා. ඒ වන විට අප රටේ භීෂණකාරී වාතාවරණයක් පැවතුණා. 1989 නොවැම්බර් මාසයේ ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපෙළ නායකයන් කිහිපදෙනෙක් අල්ලා ගැනීමෙන් පසුව කැරැල්ල අඩපණ වුණා. ඉන් පසුව රටේ පැවති භීෂණකාරී තත්ත්වය ක්‍රමයෙන් පහව ගියා. නමුත් මෙරට අපරාධ රැල්ලෙහි කිසිදු අඩුවීමක් දක්නට ලැබුණේ නැහැ. එම අපරාධවලට ආණ්ඩුවේ ඉහළ නායකයන් සම්බන්ධ බවට එකල විපක්ෂය චෝදනා කළා. 

ප්‍රේමදාස ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් 

ඒ අයුරින් කාලය ගෙවීයද්දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයන් දෙදෙනකු වුණු ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක එවකට ජනාධිපති ධූරය දැරූ රණසිංහ ප්‍රේමදාස සමඟින් විරසක වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ලලිත් සහ ගාමිණී 1991 අගෝස්තු මාසයේ කටයුතු කළා. එම දෝෂාභියෝගය උපක්‍රමශීලී ව ජයග්‍රහණය කළ ප්‍රේමදාස ජනාධිපතිවරයා, ලලිත්, ගාමිණී ඇතුළු පිරිසක් පක්ෂයෙන් නෙරපා දැමුවා. පසුව ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නමින් නව පක්ෂයක් පිහිටුවා ගත්තා.

රණසිංහ ප්‍රේමදාස  – ft.lk

 

ආණ්ඩුවට එරෙහිව මහා පා ගමනක් යාමට යෝජනාවක්  

1991 නොවැම්බර් මාසය උදාවෙද්දී එක්සත් ජාතික පක්ෂයට එරෙහි ව ප්‍රබල මහජන විරෝධයක් එල්ල වෙමින් තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ සිටි ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි ප්‍රබල නායකයන් විපක්ෂට එක් ව සිටීම නිසා විපක්ෂයේ ශක්තිය තවත් වැඩි වී තිබුණා. එනිසා ආණ්ඩුවට එරෙහි ව මහජන විරෝධයක් ගොඩ නැඟීම සඳහා එය කදිම අවස්ථාවක් බව විපක්ෂයේ නායකයන්ට ඒත්තු ගියා. ඒ අනුව කොළඹ සිට රටේ ප්‍රසිද්ධ ස්ථානයක් වෙත පා ගමනක් යාමට විපක්ෂයේ නායකයන් ඒකමතිකව තීරණය කළා.

පා ගමන පිළිබඳ අදහස කරළියට පැමිණීම 

විපක්ෂ කණ්ඩායම් අතර පා ගමන පිළිබඳ සාකච්ඡා 1991 දෙසැම්බර් මාසයේ පැවතුණා. එම සාකච්ඡාවලින් පසුව පා ගමන කොළඹ සිට කතරගම දක්වා ගමන් කළ යුතු බවට තීරණය වුණා. විපක්ෂය කොළඹ සිට කතරගම දක්වා පා ගමනක් යන බව ආරංචි වීමත් සමඟ ම ආණ්ඩුවේ ඉහළ නායකයන්  ඔවුන්ට ඔච්චම් කරන්නට වුණා. එහි දී ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ ස්ථාවරය වුණේ බණ්ඩාරනායක පවුලේ උදවිය අතර ඇති අර්බුද විසඳා ගැනීමට නොහැකි ව පවතිද්දී කොළඹ සිට කතරගම දක්වා පා ගමනක් යාම ඉතාමත් අසීරු කාර්යයක් බව යි. එහි දී එක්සත් ජාතික පක්ෂය අනුමාන කළේ එතරම් දීර්ඝ පා ගමනක් සංවිධානය කිරීමට හැකි උදවිය විපක්ෂයේ නොමැති බව යි. 

පාද යාත්‍රාවේ තේමා පාඨ 

කොළඹ සිට කතරගම දක්වා යන පා ගමන පාද යාත්‍රාව ලෙසින් නම් කිරීමට විපක්ෂය තීරණය කළා. එහි ප්‍රධාන සංවිධායකයා බවට පත්වුණේ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යි. එදා පාද යාත්‍රාව සංවිධානය කෙරුණේ පහත දැක්වෙන ප්‍රධාන පාඨයන් හතර තේමා කරගෙන යි.

1) 1988/89 කැරැල්ල මර්දනය කිරීමේ දී අතුරුදහන් වූවන් පිළිබඳ වගකීම රජය භාරගත යුතුයි 

2) ජීවන වියදම පහත හෙළිය යුතුයි  

3) රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය වහා නතර කළ යුතුයි  

4) උතුරු නැගෙනහිර යුද්ධය සඳහා ස්ථීර විසඳුමක් ගෙන ආ යුතුයි  

ජනතාව වැඩි වශයෙන් සම්බන්ධ කරගැනීමේ අරමුණ ඇති ව එවැනි තේමා පාඨ ඔස්සේ පාද යාත්‍රාව සිදුකිරීමට සංවිධායකයන් තීරණය කළා. විපක්ෂයේ කණ්ඩායම් එකතු වී සංවිධානය කළ එම පාද යාත්‍රාව සඳහා සමසමාජ සහ කොමියුනිස්ට් යන පක්ෂවල සහාය ලැබුණේ නැහැ. එහි දී සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් බැටී වීරකෝන් පවසා සිටියේ හදිසියේ පවත්වන පා ගමන් සඳහා ඔවුන් සම්බන්ධ නොවන බව යි.

පාද යාත්‍රාව පිළිබඳ දැන්වීමක් – facebook.com

 

පාද යාත්‍රාව ආරම්භ වෙයි 

කොළඹ විහාරමහාදේවි උද්‍යානයෙන් 1992 මාර්තු 16 වැනි දින පාද යාත්‍රාව ආරම්භ වුණා. මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ සිදුවුණු පාද යාත්‍රාවේ  ආරම්භය සඳහා අනුර බණ්ඩාරනායක, වික්‍රමබාහු කරුණාරත්න, රාජිත සේනාරත්න, වාසුදේව නානායක්කාර, ජී.අයි.ඩී ධර්මසේකර වැනි නායකයන් සම්බන්ධ වුණා. ඒ වාගේම සැලකිය යුතු තරම් විශාල ජනකායක් පාද යාත්‍රාව සමඟ සම්බන්ධ වුණා.

පාද යාත්‍රාව ආරම්භ කළ අවස්ථාවේ පොලිස් නිලධාරින්ගෙන්  ඊට යම් විරෝධතායක් එල්ල වුණා. ඒ සමඟ ම එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. නමුත් ඒ මොහොතේ වහා ම ක්‍රියාත්මක වුණු මහින්ද රාජපක්ෂ සහ අනුර බණ්ඩාරනායක පොලිස් භට පිරිස් හමුවේ කරුණු පැහැදිලි කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පාද යාත්‍රාවට කිසිදු ගැටලුවකින් තොරව ඉදිරියට යාමට හැකියාව ලැබුණා. 

මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස පාද යාත්‍රාවේ ගමන් කරමින් – ft.lk

 

මහා ජන ගඟක් පාද යාත්‍රාව සමඟ අත්වැල් බැඳගනියි 

කොළඹින් පිටත්වුණු පාද යාත්‍රාව මොරටුව, පානදුර, කළුතර හරහා ගාල්ලට පැමිණෙන විට සැලකිය යුතු ජනකායක් එයට එකතු වී තිබුණා. පාද යාත්‍රාව ගාල්ල පසුකර හම්බන්තොට දෙසට ගමන් කරද්දී තවත් අති විශාල ජනකායක් එයට සම්බන්ධ වුණා. භීෂණ සමයේ වැඩි ම පිරිසක් අතුරුදහන් වුණු දිස්ත්‍රික්ක අතරට මාතර සහ හම්බන්තොට අයත් වුණා.

එනිසා මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක පසුකරමින් ඉදිරියට යද්දී පාද යාත්‍රාවේ ශක්තිය තව තවත් වැඩි වුණා. අතුරුදහන් වුණු දරුවන්ගේ පින්තූර රැගත් මාපියන් මෙන් ම අතුරුදහන් වුණු සිය සැමියන්ගේ ඡායාරූප රැගත් බිරියන් පාද යාත්‍රාවට එකතු ව සිටියා. ඒ අනුව පාද යාත්‍රාව හම්බන්තොට නගරයට පැමිණෙන විට අති විශාල ජනකායක් එහි දක්නට ලැබුණා.

පාද යාත්‍රාවේ නිමාව 

දින 17ක් පුරා ගමනේ යෙදුණු පාද යාත්‍රාව කතරගමට 1992 අප්‍රේල් 1 වැනිදා ළඟා වුණා. පාද යාත්‍රාවේ මුල් කොටස කතරගමට ළඟා වෙද්දී එහි අවසන් කොටස ඊට කිලෝමීටර් 18ක් පමණ දුරකින් පිහිටි තිස්සමහාරාම නගරය හරහා ගමන් කරමින් තිබීම සුවිශේෂී සිදුවීමක් වුණා. එසේ කතරගමට ළඟා වුණු පාද  යාත්‍රාවේ ගමන් කළ උදවිය පොල් ගසා දේව කන්නලව්වක් සිදු කළා. ඒ අයුරින් දින 17ක් පුරා දිස්ත්‍රික්ක ගණනාවක් ආවරණය කරමින් ඉදිරියට ගිය පාද යාත්‍රාව ඉතාමත් සාර්ථක අයුරින් නිමාවට පත්වුණා. 

පාද යාත්‍රාව පිළිබඳ ව එකල පුවත්පත්වල සටහන්ව තිබුණු ආකාරය – twitter.com

පාද යාත්‍රාවෙන් පසුව

පාද යාත්‍රාවෙන් පසුව ප්‍රාණවත් වුණු විපක්ෂය මාස කිහිපයක් ගතවෙද්දී රටේ ප්‍රධාන නගර ආශ්‍රිත ව ජනඝෝෂා නමින් තවත් විරෝධතා ව්‍යාපාරයක් සිදු කළා. එම විරෝධතා හරහා ආණ්ඩුව අඩපණ කිරීමට විපක්ෂයට හැකියාව ලැබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 1993 පළාත් සභා මැතිවරණයේ දී බස්නාහිර සහ දකුණ යන පළාත් සභාවල පාලන බලය විපක්ෂයට හිමිවුණා.

ඉන් වසරකට පමණ පසුව පැවති මහා මැතිවරණයේ දී බල පෙරළියක් සිදුවෙමින් පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්වුණා. ඒ අයුරින් එක්සත් ජාතික පක්ෂ රජය පෙරළා දැමීමට විපක්ෂයට පන්නරය ලැබුණේ 1992 පාද යාත්‍රාව හරහා බව කිව යුතු යි. 

ජනඝෝෂා විරෝධතාවයක් අතරතුර – facebook.com

 

 

 

 

කවරයේ ඡායාරූපය- 1992 පාද යාත්‍රාව අතරතුර- facebook.com 

මූලාශ්‍ර:

divaina.lk

lankadeepa.lk

කඳුළු සලන පාරාදීසය- වික්ටර් අයිවන්

Related Articles