Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය සඳහා වූ සියලු සම්මාන පුරුෂයන් දිනූ අරාබි සම්මාන උළෙල

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පසුගිය දිනෙක සම්මාන ප්‍රදානය කිරීමේ උළෙලක් පවත්වනවා.  ඒ එරට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වර්ධනය කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ පුද්ගලයන් අගය කිරීම සඳහා යි. මෙහිදී අරාබි රටවල දකින්න ලැබෙන එක් සුවිශේෂී කරුණක් ඉස්මතු වී පෙනෙනවා. ඒ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් කැප වී ක්‍රියා කළේයැ යි සම්මාන ලබා ගත් සියලු දෙනා පුරුෂයන් වීම යි!

මෙහිදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා වන ජනාධිපති සම්මානය අංශයන් තුනක් ඔස්සේ ප්‍රදානය කරන අතර, එහිදී සම්මාන ලබාගත් හතරදෙනාම පුරුෂයන් වීම විවාදයට මෙන්ම හාස්‍යයට ද තුඩුදුන් කරුණක්.

ඒ හේතුවෙන් මෙම සම්මාන උළෙල විවිධ රටවල හා විවිධ විචාරකයන්ගේ හාස්‍යයට ලක් වී තිබෙනවා. මේ පුවතත් සමග අරාබිකරය පුරා දකින්න ලැබෙන පුරුෂ මූලික සමාජය පිළිබඳව කතාව නැවතත් කරළියට පැමිණ තිබෙනවා.

තරමක් හෝ වෙනස් එක්සත් අරාබි එමීර් රාජ්‍යය  

ඩුබායි හි පාලකයා (National Post)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය රාජ්‍යයන් හතක එකතුවක්. එය මැදපෙරදිග කලාපයේ ඇති ආර්ථික මධ්‍යස්ථානයන් අතරින් වඩාත් වැදගත් ස්ථානයක් ලෙස ද හැඳින්විය හැකි යි.

සාම්ප්‍රදායික මෙන්ම ගතානුගතික ස්වභාවයකින් යුක්ත වුව ද, කලාපයේ අනෙකුත් අරාබි රටවලට සාපේක්ෂව යම් ප්‍රගතිශීලි ස්වභාවයක් සහිත රටක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය නම් කර දැක්විය හැකි යි.

අනෙකුත් අරාබි රටවලට සාපේක්ෂව අනෙකුත් ආගම්වලට හා සංස්කෘතීන්වලට ඉඩක් ලබා දෙන රටක් වශයෙනුත්, ගල්ෆ් කලාපයේ වඩාත් ලිබරල්වාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් වශයෙනුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රසිද්ධියක් උසුලනවා.

එරට රජයේ උප ජනාධිපති මෙන්ම ඩුබායි හි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් මෙම සම්මාන උළෙලට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අතර, සම්මාන උළෙල පසුගිය ජනවාරි 24 වන ඉරුදින පැවැත්වුණා.

කාන්තා පුරුෂ සමානාත්මතාවය

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සඳහා කටයුතු කරන හොඳම පෞරුෂත්වයට හිමි සම්මානය (cnn.com)

වාර්තාවලට අනුව මෙම රටේ කාන්තාවන් ද අරාබිකරයේ අනෙකුත් කාන්තාවන් මෙන්ම අසාධාරණකම්වලට ලක්වෙන බව සඳහන් කළ හැකි යි. නීතිය තුළ පවා ඔවුන්ගේ අයිතිවාසිකම් පවතින්නේ ඉතා පහළ මට්ටමක යි. සියලු අයිතිවාසිකම් සම්බන්ධ කාරණාවල දී කාන්තාවන්ට ඇත්තේ අවාසිදායක පසුබිමක්. විවාහය, දික්කසාදය හා දරුවන්ගේ අයිතිය සම්බන්ධයෙන් ද කාන්තාවට වඩා වැඩි අයිතිවාසිකම් ප්‍රමාණයක් පුරුෂයන්ට හිමිවෙනවා.

තව ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා සම අයිතිවාසිකම් වෙනුවෙන් කටයතු කළ බොහොමයක් කාන්තා ක්‍රියාකාරිනියන්ට අවසානයේ එම රට අතහැර දමා යාමට සිදු වූ අවස්ථා කිහිපයක් මෑත ඉතිහාසයේ දකින්න ලැබීම ද විශේෂිත කරුණක්.

සම්මාන ප්‍රධානෝත්සවය

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා කටයුතු කරන ෆෙඩරල් රජයේ හොඳම ආයතනය සඳහා වන සම්මානය (cnn.com)

2018 වසර සඳහා පැවති මෙම සම්මාන උළෙලේ දී අංශ තුනක් ඔස්සේ සම්මාන ප්‍රදානය සිදු කරනවා. එහිදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සඳහා කටයුතු කරන හොඳම පෞරුෂත්වය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා කටයුතු කරන ෆෙඩරල් රජයේ හොඳම ආයතනය හා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා හොදම මුලපිරීම යන අංශ ඔස්සේ සම්මාන ප්‍රදානය සිදු කරනවා.

එහිදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සඳහා කටයුතු කරන හොඳම පෞරුෂත්වයට හිමි සම්මානය ලබා ගන්නේ ලුතිනන් ජෙනරාල් ෂෙයික් සයිෆ් නම් හමුදා නිලධාරියා යි. එරට උප අගමැතිවරයා මෙන්ම අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා ලෙස ද ක්‍රියා කරන්නේ ඔහු යි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආරක්ෂක හමුදාවේ සේවය කරන කාන්තාවන් සඳහා හඳුන්වා දුන් මාතෘ නිවාඩු ක්‍රමය උදෙසා මෙම සම්මානය ඔහුට පිරිනැමෙනවා.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා කටයුතු කරන ෆෙඩරල් රජයේ හොඳම ආයතනය ලෙස සම්මාන ලබන්නේ ෆෙඩරල් රජයේ සංඛ්‍යා ලේඛණ අධිකාරිය යි. ඒ වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජෙනරාල් අබ්දුල්ලා නසාර් සම්මාන ලබනවා.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා හොදම මුලපිරීම සම්මානය ලබා ගන්නේ එරට මානව සම්පත් අමාත්‍යංශය යි. ඒ වෙනුවෙන් එහි ඇමතිවරයා වන නසාර් බින් තානි සම්මාන ලබනවා.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හාස්‍යයට ලක් වීම

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා හොදම මුලපිරීමේ සම්මානය (cnn.com)

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් ප්‍රදානය කළ සම්මාන සියල්ල පුරුෂයන් විසින් හිමිකර ගැනීම සමාජ මාධ්‍ය ජාලාවල දැඩි විවේචනයට මෙන්ම හාස්‍යයට ලක් වී තිබෙනවා. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වෙනුවෙන් ක්‍රියා කරන විවිධ ආයතන හා පුද්ගලයන් ට්විටර් පණිවුඩ නිකුත් කරමින් සම්මාන ප්‍රදානය පිළිබඳව විවිධ දේ පවසා තිබෙනවා.

“සම්මාන ලැබූ එක් අයෙක් අළු පැහැති ලෝගුවකින් සැරසී සිටියා. මම හිතන්නේ ඒ කාන්තාවක් විය හැකියි”, ලෙස ද තවත් ට්විටර් පණිවුඩයක, “ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විහිලු කරනවා” යැයි ද සඳහන් වුණා.

එමීර් රාජ්‍යයේ පිළිතුර

සම්මාන අතැතිව (ABC)

මෙය හුදෙක් පිරිමින් ඉලක්ක කරමින් ලබා දුන් සම්මානයක් බවට විවිධ දෙනා පල කරන මතය වැරදි බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රකාශ කර තිබෙනවා. ලබා දුන් සම්මාන තුනෙන් දෙකක්ම ආයතන දෙකකට හිමි වූ බවත්, එම සම්මාන ලබා ගැනීමට ආයතන දෙක නියෝජනය කරමින් එහි ප්‍රධානීන් දෙදෙනා සහභාගී  වූ බවත් වැඩි දුරටත් දක්වා තිබෙනවා.

අරාබි කලාපය තුළ අන් රටවලට වඩා කාන්තාවන් සවිබල ගැන්වීම අතින් තම රට ඉදිරියෙන් සිටින බව උප ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. අරාබි රටවල ශ්‍රම බළකාය සඳහා කාන්තා දායකත්වය 22%ක් වන නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එම අගය 46% ඉක්මවා යන බවත් ලෝක බැංකු වාර්තා උපුටා දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

කවරයේ පින්තූරය - Twitter

මූලාශ්‍රයයන්:

news.com

theguardian.com

nationalpost.com

cnn.com

Related Articles