එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා වන විශ්වීය යාන්ත්‍රණය

අන්තර්ජාතික නීතිය යන්න දේශීය නිතියට ඉහළින් ඇති දෙයක්. මේ නිසයි රාජ්‍යයක් ගිවිසුමකට අත්සන් කළ විට ගිවිසුමේ අඩංගු විධිවිධාන දේශීය නීතියට ඇතුළත් වන්නේ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යටතේ ගොඩනඟන ලද යාන්ත්‍රණය කෙරෙහි නීතිමය බැඳීමක් රාජ්‍යයන් තුළ නොමැත. නමුත් අන්තර්ජාතික ගිවිසුම් වලට අන්තර්ජාතික නීතිය මඟින් පසුබිම සපයන බැවින් ඒවා නීතිමය බැඳීමකින් යුක්ත වේ. අන්තර්ජාතික ගිවිසුම බලාත්මක වන්නේ ගිවිසුමේ සඳහන් වන ආකාරයට රාජ්‍යය විසින් ගිවිසුම පිළිගැනීමෙනි.

ඒ ආකාරයට පිළිගත් ගිවිසුම් 07 ක් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මේ වන විට පවතී.

 

  • ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතීන් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICESCPR)
  • සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICCPR)
  • සියලුම ආකාර වාර්ගික විශේෂීකරන ක්‍රියා පිටුදැකීමේ අන්තර්ජාතික සම්මුතිය
  • සියලුම ආකාර කාන්තා විශේෂිකරන ක්‍රියා පිටුදැකීමේ අන්තර්ජාතික සම්මුතිය (CEDAW)
  • වධහිංසා පැමිණවීම හා කෘර අමානුෂික හෝ අවමන් සහගත අයුරින් සැලකීමේ හෝ දඬුවම් කිරීමේ ක්‍රියාවන්ට එරෙහි අන්තර්ජාතික සම්මුතිය
  • ළමා අයිතිවාසිකම් සම්මුතිය (CRC)
  • ආගමන කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික සම්මුතිය

 

මෙම ගිවිසුම් ක්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණය කිරීම සඳහා සෑම ගිවිසුමකටම අධීක්ෂණ ආයතනයක් තිබේ. අදාළ විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත අයගෙන් සමන්විත වන මේ කමිටුව විසින් පාර්ශව රාජ්‍යයන් විසින් ගිවිසුම් ක්‍රියාවට නැංවීම සම්බන්ධව ඉදිරිපත් කරන වාර්තා සලකා බලා අවසන් නිගමන වලට එළඹීම, අනාගත ක්‍රියාකාරකම් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සිදු කරනු ලබයි.

ආර්ථික, සමාජ හා සංස්කෘතික අයිතීන් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICESCR)

hrc.co.nz

මෙම සම්මුතිය අධීක්ෂණය කිරීම සඳහා ආරම්භක අවස්ථාවේදීම ගිවිසුම මඟින් ආයතනයක් පිහිටුවා තිබුණේ නැත. ගිවිසුමේ සාමාජික රාජ්‍යයන් අදාළ කරුණු සම්බන්ධයෙන් වාර්තා කළේ ආර්ථික සමාජ කවුන්සිලයේ අදාළ විෂය භාර කාර්යාත්මක කමිටුවටයි.

1986 වර්ෂයේ දී ආර්ථික සමාජ සංස්කෘතික අයිතීන් පිළිබඳ කමිටුව පිහිටුවනු ලැබුවේ මේ සඳහායි. කමිටුව සමන්විත වන්නේ විශේෂඥ කණ්ඩායමකිනි. ස්වාධීන කමිටුවක් වන මෙය මඟින් ගිවිසුම සාමාජික රාජ්‍යයන් තුළ ක්‍රියාත්මක වන ආකාරය අධීක්ෂණය කරයි. කමිටුව වසරකට 3කට වරක් ජිනීවා නගරයේදී රැස් වේ. ගිවිසුම යටතේ කෙරෙන පුද්ගලික පැමිණිලි පරික්ෂා කර බැලීම සඳහා යාන්ත්‍රණයක් කමිටුව විසින් තවමත් පත් කොට නොමැත.

සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICCPR)

මානව හිමිකම් කොමිසම මඟින් ගිවිසුම අධීක්ෂණය කරයි. මෙම ගිවිසුමේ අන්තර්ගත අයිතිවාසිකම් ගිවිසුමේ සාමාජික රාජ්‍යයන් විසින් නිසි ලෙස භුක්ති විඳීම සඳහා ඉඩ සලසා ඇද්ද යන්න අධීක්ෂණය කිරීමේ අරමුණින් මෙම කොමිසම පිහිටුවා ඇත. නිල කාලය වසර 04 ක් වන මෙම කමිටුවේ සාමාජික සංඛ්‍යාව 18ක්. මානව හිමිකම් කමිටුව ක්‍රියාත්මක වන්නේ ජිනීවා නගරයේ යි. මෙහි සාමාජිකයන් රාජ්‍ය නියෝජිතයන් ලෙස නොව, ස්වාධීන පුද්ගලයන් ලෙස ක්‍රියා කළ යුතුයි. කමිටුවේ කාර්යයන් පහත පරිදි වේ.

 

  • ගිවිසුම ක්‍රියාවට නැංවීම සඳහා සාමාජික රාජ්‍යයන් ගත් පියවරවල් පිළිබඳ ඉදිරිපත් කරන වාර්තා සලකා බැලීම
  • එක් රාජ්‍යයක් විසින් වෙනත් රාජ්‍යයක් මානව හිමිකම් කඩ කරන බවට කරන චෝදනා සහ පැමිණිලි සලකා බැලීම
  • මානව හිමිකම් කඩ කරන බවට පුද්ගලයන් විසින් හෝ රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉදිරිපත් කරන පෞද්ගලික පැමිණිලි සලකා බැලීම
  • ඉහත කාරණා සම්බන්ධයෙන් කමිටුවේ අදහස් හෝ මත ප්‍රකාශ කිරීම

 

මෙම ගිවිසුමේ අන්තර්ගත වන මානව අයිතිවාසිකම් රට තුළ ක්‍රියාවට නංවමින් ගත් පියවරවල් සහ ඒවායේ ප්‍රගතිය දක්වමින් වාර්තාවක් ගිවිසුමේ සාමාජික රාජ්‍යයන් විසින් වාර්ෂිකව මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කළ යුතු වේ. එම වාර්තාව සාමාන්‍ය හා විශේෂ යනුවෙන් කොටස් 02 කින් සමන්විත වන අතර ගිවිසුමේ අන්තර්ගත අයිතිවාසිකම් භුක්ති විඳීම සඳහා ජාතික මට්ටමෙන් සකස් කර ඇති ආකෘතිය පිළිබඳ දත්ත සහ තොරතුරු සාමාන්‍ය කොටසටත්, ගිවිසුමේ ඒ ඒ වගන්තියෙන් දැක්වෙන අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ගත් පියවරවල්, උසාවි නියෝග හා අයිතිවාසිකම් භුක්ති විඳීමට සපයා ඇති ඉඩ ප්‍රස්ථාවන් විශේෂ කොටසටත් අයත් වේ.

සියලුම ආකාර වාර්ගික විශේෂීකරන ක්‍රියා පිටුදැකීමේ අන්තර්ජාතික සම්මුතිය

1965 වර්ෂයේ මෙම ගිවිසුම බලාත්මක වීම ආරම්භ විය. ගිවිසුමේ ක්‍රියාකාරිත්වය වාර්ගික විශේෂීකරනය කිරීම පිටුදැකීමේ කමිටුව විසින් අධීක්ෂණය කරන අතර කමිටුව සාමාජිකයන් 18 දෙනෙකුගෙන් සමන්විත වේ. එම කමිටු සාමාජිකයන් පත්කරනු ලබන්නේ ගිවිසුමේ පාර්ශව රාජ්‍යයන් විසිනි. වසරකට සති 2-3 පමණ කාලයකට ජිනීවා හිදී රැස්වන මෙම කමිටුවේ කාර්යයන් ඉහතින් සඳහන් කළ මානව හිමිකම් කමිටුවේ කාර්යයන්ට සමාන වේ.

සියලුම ආකාර කාන්තා විශේෂීකරන ක්‍රියා පිටුදැකීමේ අන්තර්ජාතික සම්මුතිය

hrw.org

1981 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ. කාන්තාවන් හා සම්බන්ධව අධ්‍යාපනික, සේවා නියුක්තිය, සෞඛ්‍ය, විවාහය හා පවුල් සම්බන්ධතා යන සියලු ක්ෂේත්‍ර කෙරෙහි ගිවිසුම අවධානය යොමු කරයි. කන්තාවන්ට එරෙහිව පවතින විශේෂීකරන නතර කිරීම මෙන්ම කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා නීති පනවන ලෙස සාමාජික රාජ්‍යයන්ගෙන් අපේක්ෂා කරයි. කාන්තාවන්ට එරෙහිව පවතින සියලුම ආකාර විශේෂීකරනය කිරීම් පිටු දැකීමේ කමිටුව විසින් ගිවිසුමේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කරයි. කමිටු සාමාජිකයන් සංඛ්‍යාව 23ක් වන අතර ඔවුන් පත් කරන්නේ සම්මුතියේ පාර්ශව රාජ්‍යයන් විසිනි. පෞද්ගලික පැමිණිලි රහසිගතව විමර්ශනය කළ හැකි වේ.

වධහිංසා පැමිණවීම හා කෘර අමානුෂික හෝ අවමන් සහගත අයුරින් සැලකීමේ හෝ දඬුවම් කිරීමේ ක්‍රියාවන්ට එරෙහි අන්තර්ජාතික සම්මුතිය

1987 වර්ෂයේ සිට ක්‍රියාත්මකයි. සම්මුතියේ අන්තර්ගත අනෙකුත් කරුණු වලට අමතරව යුද අවස්ථා වලදී වද හිංසා හා දූෂණයන් මේ මඟින් සම්මත කොට ඇත.

ළමා අයිතිවාසිකම් සම්මුතිය

3wnews.org

1990 සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මකයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් ඇති කරගත් ජාත්‍යන්තර සම්මුතීන් අතර සියලුම ජාතින් විසින් සහතික කරන ලද සම්මුතියකි, මෙය. ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව විසින් අධීක්ෂණ කටයුතු කරනු ලබයි. පෞද්ගලික වශයෙන් ඉදිරිපත් වන පැමිණිලි විමර්ශනය කිරීමේ වැඩපිළිවෙළක් නොමැත. එසේ වුවත් පාර්ශවිය රාජ්‍යයන් විසින් ඉදිරිපත් කරන වාර්තා විමර්ශනය කිරීමෙන් අනතුරුව කමිටුවේ මතය දැක්වෙන වාර්තා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ සලකා බැලීම සඳහා ඉදිරිපත් කරනු ලබයි. ළමා අයිතිවාසිකම් සම්මුතිය හා සම්බන්ධ අනුපූරක සම්මුතීන් 02 කි.

 

  • ළමා වෙළෙඳාම, ළමා අපයෝජනය, හා ළමා අසැබි පින්තූර පිළිබඳ ගිවිසුම
  • යුද ගැටුම් සඳහා ළමයින් යොදා නොගැනීම පිළිබඳ ගිවිසුම

 

ආගමන කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අන්තර්ජාතික සම්මුතිය

මෙම සම්මුතිය 1990 දී සම්මත කොට 2003 ජුලි 01 වන දින සිට බලාත්මක කරන ලදි. කමිටු සාමාජිකයන් 10 දෙනෙක් වන අතර රාජ්‍යයන් මඟින් ඉදිරිපත් කරන වාර්තා සලකා බලා ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම කමිටුවේ කාර්යයන් වේ.

කවරයේ කතාව- traeties.un.org

Related Articles

Exit mobile version