වයස අවු: 5ත් – 17ත් අතර කාණ්ඩයේ ළමුන් මිලියන 12ක් පමණ මියන්මාරයේ වාසය කරන අතර එයින් සෑම ළමුන් 10 දෙනෙකුගෙන් ම එක් අයෙකු ළමා මෙහෙකරුවෙකු වේ. ළමා මෙහෙකාර යන වදන ලංකාවේ දී නිවෙස්හි බැලමෙහෙවර කටයුතු ආදි දේ හි ළමුන් යෙදවීමයැ යි කියා සිතුනත් සැබැවින් ම මියන්මාරයේ දරුවන්ගෙන් බොහොමයක් දෙනා ළමා කම්කරුවෝ ය. ඔවුන්ට සිය බඩ වියත සහ සිය පවුල වෙනුවෙන් අධ්‍යාපනය හා ළමා කාලය පසෙකලා බර වැඩ කරන්නට සිදු වී තිබේ.
අනාරක්ෂිත දරුවන්
වැඩබිමේ ආරක්ෂාව, ආරක්ෂක විදි ගැන කිසිදු අවධානයක් හෝ දැනුමක් නැති දරුවන් ලක්ශ 6කට අධික ප්‍රමාණයක් මියන්මාරයේ කම්කරු රැකියාවල නිරත වෙති. ඔවුන් ගොඩනැගිලි ඉදිකිරීම්, මාර්ග ඉදිකිරීම්, පතල්, කර්මාන්තශාලා, කෘෂිකාර්මික වැඩ ආදියේ වැඩිහිටියන් මෙන් රාජකාරි කරන්නේ ඇතැම්විට සිය දෙමාපියන් ද දැනුවත් ව ය. මියන්මාර රජය විසින් ළමා කම්කරු සේවා ලබාගැනීම හාම්පුතුන්ට තහනම් කර ඇත. එහෙත් ඉතා දූෂිත වටපිටාවක තිබෙන මියන්මාරයේ නීතිමය තහනම යනු තවත් එක් වචනමාලාවක් පමණි.
ළමා මෙහෙකාර සේවයට හේතු
ප්‍රධානකොට ම මියන්මාරයේ ළමයින් වැඩබිම්වලට පැමිණීමට හේතුව දුප්පත්කම ය. මියන්මාරයේ දිගුකලක් පවතින හමුදා රාජ්‍යයන් නිසාත්, රෝහින්ග්‍යා කලබල ආදිය නිසාත්, අක්‍රමවත් යටිතල පහසුකම් ආදිය නිසාත් මියන්මාරයේ කර්මාන්තශාලා විවෘත කිරීමට විදෙස් ආයෝජකයින් එතරම් ම කැමැත්තක් නැත. එම නිසා ඒ රටේ ජනතාව බොහෝ දෙනෙක් අන්ත දුප්පත් කමින් පීඩා විදිති. රැකියාවන් තිබුණ ද ඒවායෙන් ජීවිකාව ගෙනියන්නට තරම් මිලක් නොලැබේ. ලාංකික දුප්පතුන් මෙන්, නොමිලේ බෙහෙත් ටික ලැබෙන සෞඛ්‍යය සේවාව, නොමිලේ අකුරු ඉගෙනගන්නට ලැබෙන අධ්‍යාපනය, නොමිලේ ම ලැබෙන රාජ්‍ය සේවාවන් මියන්මාරයේ නැත. එක් යොවුන් වියේ මවක සිය දරුවා ලැබෙන්නට රෝහලට ගාස්තු ගෙවන්නේ මාසෙට සියයට 20% – 30% ගිනි පොලියට ණය ලබාගැනීමෙනි. දරුවා ලැබුණු පසු පළමු මාසයේ දී ම ඇය ඒ ණයෙන් දිනපතා පොලී මුදලවත් ඒ ණය හිමිට ගෙවිය යුතු වන්නේ ය. එවන් ණයබරින් පීඩා විඳින දුප්පත් පවුල්වල දරුවන් ද යාන්තම් අතපය විසිකරගන්නට හැකි අවස්ථාවේ දී ම යම්කිසි ආදායමක් සොයාගන්නට රස්සවක නිරත වෙති.
ළමා මෙහෙකාරයන් ගැන වූ ආකල්පය
ලොකු මහත් වූ කල දරුවන් ඔවුන්ට සැලකිය යුතුයැ යි සම්මතයක් ලංකාවේ දෙමාපියන් අතරේ ද තිබේ. මියන්මාරයේ ඇතැම් දෙමාපියන් දරුවන් යනු ඔවුනගේ ආදායම් මාර්ගයක් සේ සලකයි. ඒ අනුව කුඩා අවදියේ දී ම ඔවුන් ව විවිධ සේවාවන්ට යොමු කරයි. වැඩි ඈතක නොව මියන්මාර වාණිජ අගනුවර වන යැන්ගූන්වල ද, මඳක් නගරයෙන් ඈතට ගිය කල කුණු එකතු කරන දරුවන්, කුඩා කඩවල වැඩ කරන දරුවන්, හෝටල්වල වේටර් වැඩ කරන දරුවන් මෙන්ම පාරේ ඇවිදිමින් වැඩ සොයන දරුවන් ද සොයාගත හැකි ය. මියන්මාර වැසියන්ගෙන් බහුතරයක් තවමත් දරුවන් කම්කරු රැකියාවන්හි නිරත කිරිම වරදක් ලෙස දකින්නේ නැත. එම ආකල්පය නිසා ම රජයේ පාර්ශව යම් උත්සාහයක් ගත්ත ද ළමා කම්කරු සේවාවන් නැවැත්විමට අපහසු වි තිබේ.
කම්කරු රැකියාවේ අයිතිවාසිකම්
සාබියා මියන්මාරයේ යැන්ගූන් හි කුඩා දැරියකි. ඇය කෑම විකුණන කුඩා හෝටලයක වැඩ කරන්නී ය. ඈ පාන්දර 4ට වැඩ ආරම්භ කළ යුතු අතර, ඇගේ සේවාමුරය අහවර වන්නේ රාත්‍රී 11ට ය. එනම් ඇය පැය 24න් පැය 19ක් ම නොකඩවා වැඩ කළ යුතු වන්නී ය. කඩේ මේස පිරිසිදු කිරීම, ආහාර පිළියෙල කිරීම ආදි වැඩ කරමින් සිටින ඈ ඇගේ වයසේ ම අනෙක් දරුවන් මෙන් පාසැල් යන්නට ද කැමති ය. එහෙත් ඇයගේ ළමා ජීවිතයට පාසැල අහිමි ය. ඇයට ඒ සියලු වැඩ රාජකාරි සඳහා මසකට ලැබෙන වේතනය ක්යාට්ස් 60,000කි . එනම් දවසේ පැය 19ක් මාසයක් තිස්සේ සේවය කර ඈ උපයන මුදල ලංකාවේ මුදලින් රු. 6,300ක් තරම් සුළු මුදලකි. ඈ ලබන දිනක වේතනය රුපියල් දෙතුන් සියයකට වැඩි නොවේ.
නීතියෙන් තහනම් රැකියා වපසරියක දී නැවත නීතිමය රැකවරණයක් ලබාගැනීම ප්‍රායෝගික ව අපහසු ය. ළමුන් සේවයේ යෙදවීම මියන්මාරයේ නීතිමය වරදකි. එහෙත් සාමාන්‍යකරණය වී ඇති එම වරද තුළ ළමුන්ගෙන් අසීමිත ව වැඩ ගැනීම, සේවා කාලයක් නොමැති වීම ආදී ගැටලුවලට කිසිදු සරණක් ලබාගැනීමට ඒ දරුවන්ට නොහැකි ය.
වැඩකරන දරුවන් ප්‍රමාණය
මියන්මාරයේ ජනගහනය මිලියන 52.89කි. එයින් දරුවන් මිලියන 12ක් සිටින අතර ඒ දරුවන්ගෙන් මිලියන 1.1ක් පමණ ළමා ශ්‍රමිකයින් ය. මෙම අගය සමස්ත අවුරුදු 17ට අඩු දරුවන්ගෙන් 9.3%ක් පමණ වේ. අවුන් සාන් සුකීගේ රජය ද මියන්මාරයේ ළමා ශ්‍රමික ගැටලුව විසඳීමට මැදිහත් වී ඇති අතර රජයේ මෙන්ම ජාත්‍යන්තර සංවිධානවල මූලික ම අරමුණ වී ඇත්තේ දරුවන් බර වැඩ, අනතුරුදායක වැඩවලින් දුරස් කිරීම යි. එහෙත් සමාගම්, කර්මාන්ත ශාලා වැඩබිම් ආදිය නිරීක්ෂණයට නීති ක්‍රියාත්මක කිරීමට මියන්මාර රජයට ශ්‍රමය සහ වෙනත් සම්පත් අවම බව ඔවුන් ප්‍රකාශ කර සිටී.
වත්මන් දියුණු රටවල විදෙස් ආයෝජකයින් මෙවැනි දරුවන්ගෙන් වැඩගන්නා රටවලට ඇදී ඒමට අකමැති ය. මන්ද, ජාත්‍යන්තර තලයේ දී ඔවුන් සිය භාණ්ඩ නිපදවීමට දරුවන්ගෙන් වැඩගන්නා බව හෙළිවුවහොත් එය එම ව්‍යාපාරවල අලෙවිකරණයට නරක බලපෑම් ඇති වන බැවිනි. එම නිසා කර්මාන්තශාලා ආදියේ වැඩකරන අය අතර දරුවන් අවම කිරීමේ ක්‍රියාවලියකට මියන්මාර රජය අතගසා තිබේ.
බර වැඩ කරන පිරිස
බර වැඩ ලෙස ඉදිකිරීම් වැඩ, පතල් වැඩ, සහ කෘෂිකාර්මික වැඩ බොහෝවිට දරුවන්ට පැවරේ. එවැනි බර වැඩවල නිරත වීමෙන් දරුවන්ගේ ශාරීරක සහ මානසික වර්ධනය අඩාල වේ. මියන්මාර රටේ මෙවැනි බර වැඩවල නිරත ළමා පිරිස ලක්ශ 6ක් පමණ වෙතැ යි ගණන් බලා තිබේ. කර්මාන්තශාලා ඉදිකිරීම් වැඩබිම් ආදියේ දි දරුවන් සේවයෙහි යෙදවීම පාලනය කිරීමේ යම් හැකියාවක් ඇතත්, කෘෂිකාර්මික කටයුතුවලට ගම්බද වටපිටාවන් හි දී දරුවන් තදබල ලෙස යොදාගැනීම පාලනය කිරීමට අපහසු තත්ත්වයකි. බර වැඩ කරන දරුවන්ගෙන් 60%ක් පමණ එසේ කෘෂීකාර්මික වැඩවල නිතර වේ.
නැවත මෙම දරුවන් පුනරුත්ථාපනය කොට අනෙක් දරුවන් මෙන් නිසි කලට පාසැල් අධ්‍යාපනයට යොමු කිරීම ප්‍රායෝගික ව තරමක් අපහසු කාරණයකි. එහෙයින් එම දරුවන්ට කාර්මික, වෘත්තිය අධ්‍යාපන පහසුකම් ලබාදීම කෙරෙහි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ද අවධානය යොමු වී තිබේ.
රටක ජනතාවගෙන් සැලකිය යුතු කොටසකට නිසි ආදායමක් නැති කල්හි හටගන්නා දරිද්‍රතාවය ගැටලු රැසකට හේතුවකි. මියන්මාරයේ ළමා මෙහෙකාර සේවය ඊට නිදසුනකි. ඔවුන්ට ගෞරවනීය ළමා කාලයක් ලබාදීම නීතියට පමණක් ම කළ හැක්කක් නොවේ.
කවරයේ පින්තූරය: ilo.org