මේ සාහිත්‍ය මාසයේ සමාජ මාධ්‍යවල පොතපත ගැන කතාබහ වැඩි වෙලා. ඒ අතර වැඩි ම උනන්දුවක් ඇත්තේ නවකතාවලට යි. රෝග අවදානම නිසාත්, රටේ ලොක්ඩවුන් කිරීම නිසාත් පොත් සාප්පුවලට ගිහින් පොතපත ගැනීමට තිබූ අවස්ථාව අහිමි වෙලා. මේ නිසා වැඩි දෙනෙක් මාර්ග ගත ක්‍රමයට පොත් ගෙන්වා ගෙන කියවන්න පුරුදු වෙලා. මේ වගේ කාලෙක අපේ රටේ බිහිවුණු විශිෂ්ට නවකතා පහක් ගැන කතා කිරීමට අපි හිතුවා.
සිංහල නවකතාවේ පෙරළියක් කළ ගම්පෙරළිය
පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා වැනි ලේඛකයන්ගේ කෘතිවලින් කතාන්තර කලාවක් ව පැවති සිංහල නවකතාව යථාර්ථවාදී කලාවක් බවට පරිවර්තනය වූයේ, මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ ගම්පෙරළිය නවකතාවෙන් පසුව බව විචාරකයන්ගේ පිළිගැනීම යි. අදටත් ගැළපෙන අපූරු කතා තේමාවක් සහිත ගම්පෙරළිය මුලින් ම පළවුණේ 1944 දි යි. මේ වසර වන විට එම නවකතාව බිහි වී වසර 77 ක් පසුවෙලා. එය තුන්ඈඳුතු නවකතාවක පළමු කෘතිය ලෙසයි එළි දකින්නේ. කලියුගය සහ යුගාන්තය යන එහි අනෙක් කොටස් දෙක පසු ව පළ වෙනවා.
1944 වසරේ දී ග්‍රන්ථයක් ලෙස මුද්‍රණය වුව ද ගම්පෙරළිය නවකතාව ලිවීමේ අදහස කතුවරයාට මුලින් ම ඇති ව තිබෙන්නේ 1922 වසරේදී යි. එනම්, ගම්පෙරළිය පළ කිරීමට වසර 22කට පෙර යි. සම්ප්‍රදායික කුලීන පෙලැන්තියේ සංකේතයක් ලෙස නවකතාවේ කියවෙන ‘කයිසාරුවත්තේ මුහන්දිරම් වලව්ව’ කල් යත් ම ගරා වැටෙන ආකාරයත්, එම පන්තියේ බිඳ වැටීමත් මෙහි විදහා දැක්වෙනවා.
ඒ සමඟ නව වාණිජවාදී පන්තිය හිස ඔසවමින්, මුදලට ඇති සැලකිල්ල සමාජයේ ඉහළ නැගීමත් මෙහි චරිත හරහා කතා කරනවා. වලව් රදළ පන්තිය හා වාණිජ පන්තීන් දෙක එකතු වීම නන්දා හා පියල්ගේ විවාහයෙන් කතුවරයා සංකේතවත් කරනවා.
1944 වසරේදී පළවූ මෙම නවකතාව 2018 වසර දක්වා 58 වරක් මුද්‍රණය කර තිබෙනවා. මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය පවසන පරිදි පසුගිය වසර 10 තුළ ඉන් පිටපත් 120000ක් අලෙවි වී තිබෙනවා. ගම්පෙරළිය නවකතාව හැම අවුරුද්දක ම අලුත් මුද්‍රණයක් නිකුත් වන තරම් ඉල්ලුමක් තිබෙන කෘතියක්.
එය පරම්පරාවෙන් පරම්පරාවට පාඨකයන් අතට පත්වන නවකතාවක් බවත් ඒ සඳහා වන පාඨක ඉල්ලුම කිසි දිනෙක අඩු නොවන බවත් මාර්ටින් වික්‍රමසිංහ කෘති ප්‍රකාශයට පත්කරන සරස ආයතනය සඳහන් කර සිටිනවා.
ගම්පෙරළිය 1962 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අතින් සිනමාවට නැගුණු අතර එය ජාත්‍යන්තර කීර්තියක් හිමිකර ගත් සිනමා නිර්මාණයක් බවට පත්වුණා. එම සිනමා පටයට 1963 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේ හොඳ ම චිත්‍රපටයට පිදෙන රජතමයුර සම්මානය හිමි වුණා. පසුව මේ නවකතාව තිස්ස අබේසේකරගේ තිර රචනයෙක් සහ බර්ට්‍රම් නිහාල්ගේ අධ්‍යක්ෂණයෙන් 1987 දී ටෙලිනාට්‍යයක් ලෙසත් නිෂ්පාදනය වුණා.
කේ. ජයතිලකගේ චරිත තුනක්
සිංහල නවකතාකරුවකු හා සාහිත්‍ය විචාරකයකු වන කේ.ජයතිලක උපන්නේ ගම්පහට නුදුරු රදාවානේ කන්නිමහර නම් ගම්මානයෙ යි. අදත් මේ ගම කුඹුරු, බුලත් කොරටු, එළවළු වගාබිම් දැකගත හැකි පිටිසර පෙදෙසක්. කේ. ජයතිලක නවකතා මෙන්ම කෙටිකතා පොත් ද රාශියක් ලියූ මහා ලේඛකයකු ලෙස සම්භාවනාවට පත් ව සිටිනවා. පරාජිතයෝ, චරිත තුනක්, පුංචිරාල, පුංචිරාලගේ මරණය, රාජපක්ෂ වලව්ව, පිතා මහ, පියා සහ පුත්තු, අප්‍රසන්න කතාවක් ඇතුළු නවකතා රාශියක් ඔහු ලියා තිබෙනවා.
ඒ අතර අග්‍රඵලය ලෙස සැලකෙන්නේ චරිත තුනක් නවකතාව යි. හැටේ දශකයේ කොළඹට නුදුරු සියනෑ කෝරළයේ සිදු වෙමින් පැවැති සමාජ විපර්යාසයේ මුහුණුවර මෙම කෘතියේ පිළිබිඹු කෙරෙනවා. කතුවරයාට අවශ් යව තිබුණේ මෙහි චරිත හරහා මනුෂ්‍යත්වය පිළිබඳ මූලික කරුණු හුවා දැක්‌වීමට බව පෙනෙනවා. ඉතා සරල බස් වහරක් ඔස්සේ අක්කර කිහිපයක ඉඩකඩක් තුළ විකාශය වන මේ නවකතාව පිටු 170ක් පමණ වන කෙටි නවකතාවක්.
නවකතාවෙන් කියවෙනුයේ ගොවි පවුලක සිටින සහෝදරයන් තිදෙනකු ගැන යි. වැඩිමහල් සහෝදරයා වන ඉසා ගොවිතැන් කරමින් පවුලේ වගකීම කරට ගන්නවා. දෙවැනියා වන සනා හිතුවක්කාර මුරණ්ඩු ගති පැවතුම් ඇත්තෙක්. බාලයා වන රංජිත් ඉගෙනුමට දක්ෂ එහෙත් පෞරුෂත්වයක් නැති ආත්මාර්ථකාමියෙක්. මේ පුද්ගලයන් තිදෙනා ඔස්සේ ඔවුන්ගේ චිත්තභ්‍යන්තරය විග්‍රහ කිරීමට කතුවරයා දරන උත්සාහ ගන්නේ පොදු මනුෂ්‍ය ස්වභාවයේ එක් පැතිකඩක් විවරණය කිරීමට උත්සාහ කරමින්.
මේ නවකතාව ඇසුරින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නිෂ්පාදනය කළ තිලක් ගුණවර්ධන අධ්‍යක්ෂණය කළ චරිත තුනක් ටෙලිනාට්‍යය 1989 වසරේදී විකාශය වුණා. මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළියට වඩා කේ. ජයතිලකගේ චරිත තුනක් පොත ගම ගැන හොඳ විවරණයක් කරන බව සමහර විචාරකයන් පෙන්වා දෙන කරුණක්.
මළවුන්ගේ අවුරුදු දා ලියූ සරච්චන්ද්‍ර
මනමේ, සිංහබාහු ඔස්සේ දේශීය නාට්‍ය කලාවේ මංපෙත හෙළි කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ලියූ නවකතා කිහිපය ද විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ ලෙස පැසසුමට ලක් ව තිබෙනවා. ඔහුගේ මළගිය ඇත්තෝ (1959), මළවුන්ගේ අවුරුදු දා (1965) යන කාව්‍යාත්මක නවකතා දෙක මෙරට නවකතා කලාව වෙන ම දිශානතියකට රැගෙන ගියා. ඒ අතරින් ද මළවුන්ගේ අවුරුදු දා විශිෂ්ට නවකතාවක් ලෙස ඇගයීමට පත් ව තිබෙනවා.
මළගිය ඇත්තෝ කතාවට පසුබිම් වන්නේ ජපානයේ තෝකියෝ නගරයයි. ලී කැටයම් කැටයම් කලාව හැදෑරීමට ජපානයට යන සිංහල චිත්‍ර ශිල්පියකු වන දෙවෙන්දරා සං ජපානයේ සෞන්දර්යයෙන් වශීකෘත වෙනවා. දෙවෙන්දරා සං තුළ ඇති වූ මනෝභාවයන් ඉතා රමණීයාත්මක ව සේම කාව්‍යාත්මක ව විස්තර කිරීමට මළගිය ඇත්තෝ කතුවරයා සමත් ව තිබෙනවා.
දෙවෙන්දරා සං ජපානයේ දී හමුවන විසූ නොරිකො සං නමැති තරුණිය හා ඇති කරගන්නා ප්‍රේම සබඳතාවත්, ඔවුන් අතර ඇති සංස්කෘතික ඝට්ටනය නිසා ඔහු තුළ ඇති වන චෛතසික ගැටුමත් මළගිය ඇත්තෝ පොතෝ විග්‍රහ වෙනවා.
දෙවෙන්දරා සං වයස අවුරුදු 38ක් පමණ අයකු වන අතර නොරිකො විසි වියැති තරුණියක්. මේ අපූර්ව ප්‍රේමය පරම්පරා ගණනක් තිස්සේ අපේ රසිකයන් රස විඳි බව වැටහෙන්නේ මළගිය ඇත්තෝ හා මළවුන්ගේ අවුරුදු දා නිමිති කොට ගෙන බොහෝ කව් ගී ලියැවී ඇති බව පෙනෙන විට ය. මළගිය ඇත්තෝ මුල් කරගෙන හැත්තෑව දශකයේ මුල් භාගයේ ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ මුලින් ම ගීයක් ලියනවා. නොරිකො හා දෙවෙන්දරා පිළිබඳව සඳහන් නො කර එහෙත් එය පාදක කර ගනිමින් අපූරු ගීයක් රත්න ශ්‍රී විජේසිංහත් රචනා කර තිබෙනවා. මේ ගීය සංගීතවත් කොට ගායනා කළේ විශාරද ගුණදාස කපුගේ යි.
ඔබට යන්නම ඕනෑනම්
ඔබ යන්න ඉතින් නික්මී
කරුමක්කාරයෝ සහ ගුණදාස අමරසේකර
දැනට ජීවත්ව සිටින ජ්‍යෙෂ්ඨත ම ලේඛකයකු වන ගුණදාස අමරසේකරයන්ගේ පළමු නවකතාව කරුමක්කාරයෝ යි. එය එළිදකින්නේ 1955 දීයි. මේ නවකතාව එදත් අදත් හෙටත් රසවිඳිය හැකි විශිෂ්ට රචනයක් ලෙස පැසසුමට ලක් ව තිබෙනවා.
පුද්ගල සබඳතා, ලිංගික සබඳතා මෙන් ම වෙනස් වන ගම ද එහි නිරූපණය වෙයි. මෙය විකාශය වන්නේ විල්සන් නම් චරිතයේ ආත්ම කථනයක් ලෙසයි. හතරවැනි පන්තිය තෙක් අධ්‍යාපනය ලැබූ විල්සන් ජීවිතය ජය ගැනීමට උත්සාහ කරන්නේ ගුණපාල නම් වැඩිමහල් සහෝදරයාත් සෝමා නමැති ඔහුගේ තරුණ බිරියත් ගමට පැමිණීමත් සමඟ යි. පසුව සෝමක්කා සමඟ විල්සන් අතර අයථා සම්බන්ධතාවක් ඇතිවෙනවා.
කරුමක්කාරයෝ නවකතාව දිවෙන්නේ මේ අනියම් පෙම පදනම් කරගෙන යි. වෙනස් වන ගම මෙන් ම සමාජ දේශපාලන ප්‍රවණතා පිළිබඳ සිත්තමක් ද එහි දිව යනවා. අයියාගේ බිරිය සමඟ එක්වීම නිසා තමා නීචයකු වී යැයි විල්සන් සිතන්නට පටන් ගන්නවා. එහෙත් සෝමේ කිසිවක් නොවූ ආකාරයට දිවි ගෙවයි. මේ අතර පියා ද සෝමෙ සමඟ රහසිගත සම්බන්ධතාවක් පවත්වන බවට අපට ඉඟි සැපයෙනවා. මේ අතර සෝමා දරුවකු ලැබීමට යාමේ දී මරණයට පත් වෙනවා.
කරුමක්කාරයෝ නවකතාව ආශ්‍රය කරගෙන තිස්ස අබේසේකර නිර්මාණය කළ චිත්‍රටපය 1980 දී තිරගත වුණු අතර ඒ චිත්‍රපටයත් විශිෂ්ට නිර්මාණයක් ලෙස ඇගයීමට ලක්වුණා. නමුත් මේ නවකතාවට එකල බොහෝ බැණුම් ඇසීමටත් සිදු වුණා. ලංකාවේ මුලින් ම සාහිත්‍ය සම්මානයක් හිමි වූ නවකතාව ලෙස සැලකෙන්නේත් කරුමක්කාරයෝ යි.
හෙවනැල්ල දුටු සිරි ගුණසිංහ
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අංශයේ කථිකාචාර්යවරයකු හැටියට සිය ශාස්ත්‍රීය ජීවිතය ආරම්භ කළ මහාචාර්ය සිරි ගුණසිංහ කලක් එහි සිංහල අංශයේ ද සේවය කළා. 1960 පළවු හෙවනැල්ල සිරි ගුණසිංහගේ පළමු නවකතාව යි. එය එකල සමාජ සංවාදයක මාතෘකාවක් බවට පත් වූ කෘතියක්. එමෙන් ම බොහෝ ඇණුම් බැණුම් විචාරවලටත් එම කෘතිය ලක්වුණා. ප්‍රථම වතාවට විඥානධාරා රීතිය අනුව යමින් රචිත සිංහල නවකතාව ලෙස සැලකෙන්නේ ද හෙවනැල්ල යි. සිරි ගුණසිංහ පළමු නවකතාවෙන් ම මහා නවකතාකරුවන් කීහිපදෙනා අතර සිය නම රැඳවීමට සමත් වුණා.
විශිෂ්ට කවියකු, නවකතාකරුවකු, කලා ඉතිහාසඥයකු ලෙසත් සිරි ගුණසිංහ දස්කම් දක්වා තිබෙනවා. ඔහු, නිදහස් සිංහල කවියේ නිර්මාණාත්මක බව වර්ධනය කිරීමටත් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළා. ඒ, 1956 දී පළ කළ ‘මස් ලේ නැති ඇට‘ කාව්‍ය සංග්‍රහය මගින්. ඔහු හෙවනැල්ල ලිව්වේ කටවහරින්. එමෙන් ම ණ, න, ල, ළ භාවිතයෙන් තොරව යි. කට වහරේ ව්‍යාකරණය ශාස්ත්‍රීය මෙන් ම නිර්මාණාත්මක ලේඛනයට යොදා ගැනීමේ පුරෝගාමියා බවට ද ඔහු එසේ පත් වුණා.
හෙවනැල්ල නවකතාව සිංහල නවකතා ඉතිහාසයේ පළමුවන මනෝවිද්‍යාත්මක නවකතාලෙසත් සැලකෙනවා. මෙහි ප්‍රධාන චරිතය සුකුමාල මනසක් ඇති ආධ්‍යාත්මය කෙරෙහි යොමුවුණු සිතක් ඇති තැනැත්තෙක්. ඔහු බාලකාලයේ යහපත් ගුණධර්ම ඇති ළමයකු ලෙස පැසසුම් ලබනවා. ඔහු මවගෙන් මෙන් ම පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් ද සැමවිට ම උපදෙස් ලබා ගන්නවා. ජිනදාස ඉගෙන ගැනීමටත් දක්ෂයෙක්. ඔහු විශ්වවිද්‍යාලයට සමත් වූ පසු ජීවිතය ගැන අලුතින් සිතීමට පෙලඹෙනවා. ජිනදාසගේ මව ද උපාධි අපේක්ෂකයකු වූ විජේපාල ද, විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක වූ කාන්ති හා පුවත්පත් කලාවේදියකු වූ ජයරත්න යන සෙසු චරිත ද, ජිනදාසගේ චරිතය විකාශය කිරීමට ගුණසිංහ භාවිත කර තිබෙනවා. ජීවිතය වෙනස් කර ගැනීමට නම් ජිනදාසට අතීතයෙන් පලා යා යුතු වෙනවා. එහෙත් තමාගේ හෙවනැල්ලෙන් ඔහුට ගැලවිය නොහැකි වෙනවා.