යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය කියන්නෙ ඇමරිකාවෙ ව.කි.මී. 8983ක භූමි ප්‍රදේශයක පැතිරිලා තියෙන, ලොව ප්‍රථම ජාතික උද්‍යානය. යෙලෝස්ටෝන් කල්දේරාව, උතුරු ඇමරිකානු මහද්වීපයෙ පිහිටන විශාලතම සුපිරි යමහල (එහෙමත් නැතිනම් Supervolcano එක), පිහිටන්නෙ මේ උද්‍යානයට අයත් භූමියේ.
මේ යමහල පසුගිය වසර මිලියන 2 තිස්සේ කීපසැරයක්ම පිපිරෙන්නෙ මහා විශාල හානියක් සිදුකරමින් (“2012” චිත්‍රපටය නරඹපු අයට නම් මේ යමහල විදාරණය වෙන දර්ශනය මතක ඇති). මේ පිපිරීමකින් පිටකරන ශක්තිය කෙතරම් ද කියනවා නම්, යමහල තියෙන්නෙ එක්සත් ජනපදයෙ වුණාට, ලංකාවෙ ඉන්න අපටත් එහි විපාක අත්විඳින්න වේවි.
යෙලෝස්ටෝන් කල්දේරාව සහ යමහල
යමහල පිපිරුනොත් මොනවා වෙයි ද කියලා කතාකරන්න කලින්, මේ යමහල ගැන සුළු විස්තරයක් කළ යුතු යි.
“කල්දේරාවක්” කියන්නෙ ගිනිකඳු පිපිරීමකින් මැග්මා කුටීරයක් හිස්වෙද්දී ඇතිවෙන නිම්න භූමියකට. කුටීරය හිස්වෙද්දී ඊට ඉහළින් ඇති භූමිය පහත්වීමෙන් වර්ග කිලෝමීටර ගණනක් පුරාවට පැතිරෙන නිම්නයක් සෑදෙනවා. යෙලෝස්ටෝන්හි අනතුර තිබෙන්නේ (කි.මී. 72ක් පළලට පැතිරෙන) මේ කල්දේරාවෙ නොවෙයි, ඊට යටින් පිහිටන, මැග්මා වලින් පිරි උණුසුම් කලාපයේ යි. කි.මී. 8ක් පමණ පොළව ගැඹුරේ පිහිටා තිබෙන, කල්දේරාවට වඩා බොහොම ගුණයක් විශාල මේ මහා මැග්මා කුටීරයට, කි.මී. සිය ගණනක් ගැඹුරේ සිට මැග්මා පැමිණෙනවා.
මේ උණුසුම් කලාපයේ වසර මිලියන 18ක් තිස්සේ සිදුවූ භූ විද්‍යාත්මක ක්‍රියා හේතුවෙන් ඇති වූ නිම්නය යි යෙලෝස්ටෝන් කල්දේරාව. එය සහෝදර කල්දේරාවන් 4ක නිර්මාණයක්. මෙහි අවසන් පිපිරුම සිදුවුණේ මීට වසර 640 000කට පමණ පෙර.
මෙය කෙතරම් විශාල ද කිවහොත්, නයගරා දිය ඇල්ල ශතක කීපයක් තිස්සේ යෙලෝස්ටෝන් කල්දේරාවේ හිස් කුටීරය තුළට ගලා හැලුණත් එය පිරවීමට සමත්වන්නේ නැහැ. ඉතින් ඊට යටින් ඇති සක්‍රීය කුටීරය ගැන අමුතුවෙන් කිවයුතු නැහැනේ?
භූ කම්පන, ගිනි කඳු, සහ ගීසර
යෙලෝස්ටෝන් කල්දේරාව ආශ්‍රිත ප්‍රදේශයේ සක්‍රීයතාවය නිසා වසර පුරා භූ කම්පන 1000 – 2000ක් පමණ සිදුවෙනවා. මේ වසරේ (2018) පෙබරවාරියේ පමණක්, ප්‍රබලතාවය 2.9ට අඩු භූ කම්පනයන් 300ක් සිදු වී තිබුණා. යෙලෝස්ටෝන් යමහල පුපුරා යා දෝ කියන සැකය ජනතාව අතර පැතිරෙන්නට මෙයත් එක හේතුවක්.
යෙලෝස්ටෝන්හි සක්‍රීයතාවය නිසා එය ලොව විශාලතම ගීසර භූමිය බවට පත් වී තිබෙනවා. එසේම උණුදිය උල්පත්, සල්ෆර් සහිත උණුසුම් වායු විදින විවරයන්, සහ උණුසුම් මඩ පොකුණු විශාල ප්‍රමාණයක් ද මෙබිමෙහි පිහිටනවා.
පිපිරුණොත්?
යෙලෝස්ටෝන් පිපිරීම ඇදහීමට නොහැකි තරම් විශාල, මුළු ලෝකයේම දේශගුණය වෙනස් කිරීමට වුව සමත්වන සංසිද්ධියක්. එය සිදුවන්නේ මෙසේය යනුවෙන් අනුමාන කර තිබෙනවා.
පිපිරීමට මාස හෝ සති කීපයකට පෙර සිට භූ කම්පන විශාල ප්‍රමාණයක් සිදුවෙන්නට පටන්ගනීවි. යමහල් භූමිය ඉහළට එසවීම ඇරඹෙනු ඇති අතර, අවට ගීසර සහ විවරයන්ගෙන් පිටවන උණුසුම්, ආම්ලික ජල සහ වායු ධාරාවන් ප්‍රමාණය බොහෝ ඉහළ යාවි. අනතුරුව සිදුවන වඩාත් බලවත් භූ කම්පනයකින් යමහලේ ඉහළ ස්ථරය දුර්වල වීමෙන් පිපිරීම ඇතිවෙනවා. එයින් කි.මී. 25ක් පමණ උස මහා ලාවා-අළු ධාරාවක් අහසට විදිනු ඇති! ලාවා බෝම්බ ද පිටකරමින් සිදුවන මේ විදීම ඒ අයුරින් දින ගණනක් පවතිනවා. මේ ධාරාව දුර්වල වූ විට සිදුවන්නේ “පයිරෝක්ලැස්ටික් ෆ්ලෝ” යනුවෙන් හඳුන්වන සංසිද්ධිය ඇතිවීම යි.
“පයිරෝක්ලැස්ටික් ෆ්ලෝ” යනු යමහල් විදාරණයක දී ඇතිවන, සෙල්සියස් අංශක 1000ක් වැනි ඉහළ උෂ්ණත්වයක ඇති අළු, විෂ වායූන්, සහ ලාවා ආදියෙන් සමන්විත වේගවත් වළාවක්. මෙය පැයට කි.මී. 500කට ආසන්න වේගයකින් ගලායනවා. මෙයට හසුවනු ඕනෑම අයෙකු තත්පර කීපයක් තුළ මියගොස්, මමිකරණය වී යනු ඇති (විසුවියස් පිපිරුණු විට පොම්පෙයි වැසියන්ට සිදුවුණේ මෙයයි).
මේ පිපිරීමෙන් ලාවා ගලනු ඇත්තේ කිලෝමීටර 130ක පමණ විශ්කම්භයක පිහිටන භූමියක පමණ යි. පයිරෝක්ලැස්ටික් ධාරාව කි.මී. 100ක් පමණ දුරට විහිද යෑමේ හැකියාව තිබෙනවා. යමහල් අළු වලින් සිදුවිය හැකි හානිය ඊට වඩා විශාල යි.
යමහල් අළු වලින් කුමක් සිදුවේ ද?
යමහල් අළු සෑදෙන්නේ ගල් පතුරු, වීදුරු කැබලි ආදී ද්‍රව්‍යයන්ගේ එකතුවෙන්. යමහලක් පිපිරීමේ දී මේවා ටොන් ගණනින් අහසට විදිනු ලබනවා. යෙලෝස්ටෝන් යමහල පිපිරුණොත් මේ අළු වලින් මහා වළාකුලත් සෑදී පැතිරෙන්නට හැකියි.
එක්සත් ජනපදයම අඟල් කීපයක සිට අඩි කීපයක් දක්වා වූ ගැඹුරු අළු ස්ථරයකින් වැසී යනවා. මේ කඩදාසි පුළුස්සා ලබාගත් සැහැල්ලු අළු මෙන් නොව, ගල් කැබලි සහ වීදුරු පතුරු මිශ්‍ර මේ අළු වලට මිනිසුන්, සතුන්, සහ ශාකයන් මරා දමන්නට, ගොඩනැගිලි කඩා පොඩිකර දමන්නට හැකියි. මේවා ජලයට වඩා 6 ගුණයක් ඝණකම්. ඉතින් මේවා ආශ්වාස කළොත් පෙනහැලි වලට සිමෙන්ති පිරවූවා හා සමාන යි. ජල මූලාශ්‍රයන් භාවිතයට ගත නොහැකි ලෙස දූෂණය වනු ඇති අතර විදුලි බලය ඇනහිටීම අනිවාර්යය යි.
එසේම, මේ අළු පැතිර තිබෙන විට තද වැසි ඇද හැලුණහොත්, ජලය සහ අළු මිශ්‍ර වී සෑදෙන සිමෙන්තිය ගලා යෑමෙන් ගංවතුර වැනි තත්ත්වයක් ඇති වේවි. ගංවතුරකින් ගැලවුණත්, මේ සිමෙන්තියෙන් නම් ගැලවී පණ බේරාගන්නට බැහැ.
ලෝකෙට මොනවා වෙයි ද?
1991 දී පිනාටුබෝ ගිනිකන්ද පිපිරුණු අවස්ථාවේ, ඉන් වසර ගණනක් යනතුරුත් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් පමණ පහත වැටී තිබුණා. ඒ, එම පිපිරීමේ දී වායුගෝලයට නිකුත් කළ සල්ෆර් අංශු අඩංගු වළාකුළු මඟින් හිරු එළිය මුවා කළ නිසා යි. 1815 දී ටැම්බෝරා ගිනිකන්ද පිපිරුණු අවස්ථාවේ දී පෘථිවි දේශගුණය කෙතරම් පහළ වැටුනා ද කිවහොත් ලොව වටා බොහොමයක් වගාවන් විනාශ වුණේ සාගතයක් ඇතිකරවන්නට තරම් බලවත් වෙමින්. වායුගෝලයට ගමන් කරන සල්ෆර් ආදී අපද්‍රව්‍යයන් නිසා ඇතිවන අම්ල වැසි වලින් ශාක වැස්ම පමණක් නොවෙයි, තාජ් මහල් වැනි කිරිගරුඬ නිර්මාණයන් පවා විනාශ වී යාවි.
යෙලෝස්ටෝන් කල්දේරාව පුපුරා ගියහොත්, එම පිපිරීම ටැම්බෝරා හෝ පිනාටුබෝ පිපිරීම මෙන් දහස් ගුණයක් බලවත්. එයින් වායුගෝලයේ අපරිවර්තී ගෝලය තරම් ඉහළට විදින යමහල් වායු ධාරාවන් නිසා අංශක ගණනකින් ගෝලීය උණුසුම පහත වැටෙනවා පමණක් නොව, සූර්යාලෝකය මුවාවීම නිසා දේශගුණ චක්‍රයන් වෙනස් වී, මෝසම් වලට බලපෑම් ඇතිවන්නට පුළුවන්. එසේ වුවහොත් ලංකාවටත් එයින් ගැලවීමක් නැහැ.
මෝසම් වල වෙනස්කම් නිසා නිවර්තන රටක් වන ලංකාවේ වර්ෂාපතනය වෙනස්වෙනවා වගේම, ලෙඩරෝග පැතිරීමත් ඉතා ඉහළ යාවි. වගාවන් විනාශ වී යෑම නිසා ආහාර හිඟ වීමෙන් සාගතයත්, ආර්ථික පරිහාණියත් පැමිණෙනු ඇති. ඒ කෙසේ නමුත්, ජීවය මෙලොවින් තුරන් වී යෑමට තරම් හානියක් යෙලෝස්ටෝන් පිපිරීමෙන් ඇතිවන්නේ නැහැ.
ඒත් මේ සියලු දේ සිදුවන්නට නම් යෙලෝස්ටෝන් යමහල පුපුරා යෑමට අවශ්‍යය යි නේ. ඉතින් එහෙම වේවි ද? එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණායතනය නම් කියන්නේ නුදුරු අනාගතයේ එවැන්නක් සිදුවීමට කිසිදු ඉඩකඩක් නැති බව යි. ඒ නිසා දැන්ම ඉඳලා බයවෙන්න උවමනාවක් නැහැ.
මූලාශ්‍රයයන්:
iflscience.com
express.co.uk
livescience.com
vox.com
Cover image: විලියම් ටර්නර් (1775 – 1851) විසින් සිත්තම් කරන්නට යෙදුණු, ටැම්බෝරා විදාරණය. (BBC)