වර්තමානය වන විට රට මුහුණපා සිටින ආර්ථික අර්බුදය නිසා සමස්ත ශ්‍රී ලාංකික ජනතාව ම ඉමහත් අපහසුතාවකට පත්ව සිටිති. මේ නිසා ඔවුන්ගේ පීඩනය පුපුරා යාමට පටන්ගෙන තිබෙන්නේ විරෝධතා සමඟින් මහමඟට බැසීමෙනි. පෙර නොවූ විරූ අන්දමින් රොද බඳිමින් ඔවුහු සිය ඉල්ලීම් දිනා ගැනීමට පෙරට එමින් සිටිති. මෙතෙක් කලක් ඡන්දදායකයා යන භූමිකාවට පමණක් කොටු කර තැබුණු ඔවුහු තමක් පුරවැසියන් ද වන බව අවබෝධ කර ගනිමික් සිටිති.
විවිධ සටන් පාඨ හා ඉල්ලීම් මුල් කර ගනිමින් ඔවුන් වීථි බැස්සද, සමස්තයක් ලෙස සලකන කල්හී ඔවුන්ගේ අභිප්‍රාය ලෙස ඉස්මතු ව ඇත්තේ කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ පැවත එන ක්‍රමවේදය වෙනස් කිරීම හෙවත් ‘සිස්ටම් එක චේන්ජ්’ කිරීම ය. මෙය පටන්ගත යුත්තේ කොතැනින් ද?
පසුගාමී ආකල්ප හා ‘වෘත්තීය වාදය’
මීට බොහෝ කලකට පෙර අප රට තුළ වැඩවසම් සංස්කෘතියක් පැවැතිණි. එම සංස්කෘතිය තුළ ජාතිය, කුලය හා රැකියාව මුල් කොට ගෙන මහත් වූ බෙදීම් පැවතිණි. රජතුමන්ට අසීමිත බලයක් හිමි ව තිබූ අතර, පිළිවෙළින් රජ වසල ඇමතිවරුන්ටත්, ඉන් අනතුරුව ගම් මුලාදෑනින්ටත් මෙම බලය පැතිර තිබූ අතර, සාමාන්‍ය ජනයා කෙරෙහි අත්තනෝමතික තීරණ ගැනීමේ හැකියාව ඔවුන් සතු ව පැවතුණි. මේ නිසා උසස් යැයි සම්මත රැකියා කළ වුන් සබැඳි ව පරම්පරා හා කුල ගෝත්‍ර නිර්මාණය වූ අතර ඒවා පරම්පරාවෙන් පරම්පරාවට පැවතීගෙන එන ප්‍රවණතාවක් ව පැවතිණි.
21 වන සියවස වන වර්තමානය වන විටත් ශ්‍රී ලාංකිකයන් කෙරෙන් මෙම ‘සාධකය’ සම්පූර්ණයෙන් ඉවත්ව නොතිබීම රට දියුණු නොවීමට විශාල හේතුවකි. උදාහරණ ලෙස ජපානයේ කුඩා දරුවකුගෙන් තමන් වැඩිහිටියකු බවට පත් වූ පසු කුමක් කරන්නට කැමති දැයි ඇසූ විට විවිධාකාරයේ පිළිතුරු ලැබේ. සෙරෙප්පු නිෂ්පාදිකාවක්, බෝනික්කන් තනන්නෙක් ඉන් කිහිපයක් පමණි. කෙසේ නමුත් ශ්‍රී ලාංකික දරුවකුගෙන් එලෙස විමසුවහොත් පිළිතුරු ලෙස ලැබෙන්නේ ජනප්‍රියතම වෘත්තීන් කිහිපයක් සබැඳි ව පමණි.
එතරම් දරුණු ලෙස මෙම ‘වෘත්තීය වාදය’ වැඩිහිටියන්, දරුවන්නේ මනස්වලට කාවද්දා ඇත. එම වෘත්තීන් පමණක් උසස් බවත්, අනෙක් වෘත්තීන් පහත් බවත් සම්මත පරිසරයක මෙහි දරුවන් වැඩෙන අතර, කල් යාමේදී එම ඉලක්ක සාක්ෂාත් කරගත් අය කෙරෙහි ඊර්ෂ්‍යාව පෙරදැරි ව අනෙක් අය කල් ගෙවති. එම ඉලක්ක සාක්ෂාත් කරගත් අය ද උඩඟු වෙති. මෙහි ප්‍රතිඵලය ආතතියෙන් සපිරි, කිසිදු සමබරතාවක් නැති පිරිසක් බිහිවීම යි. සියලු වෘත්තීන් වැදගත් හා සමාන බවට සැලකෙන මට්ටමකට ශ්‍රී ලාංකිකයන්ගේ මනස් පැමිණි කල, ‘සිස්ටම් චේන්ජ්’ වීම ඉබේ ම පාහේ මඟ පෑදෙනු ඇත.
නිකම් දෙනතුරු දත නියවාගෙන බලා සිටීම
මෙරටෙහි නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය වැනි සාධනීය සාධක ගණනාවක් තිබේ. එහෙත් එහි උපරිම පල නෙළගැනීමට නොහැකි තරමට මෙහි ජනයා පසුගාමී ව සිටිති. විශේෂයෙන් රජයේ විශ්වවිද්‍යාලයකට නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් හෙවත්, පොදු ජනයාගේ මුදල් මතින් පත් වූ පසු, සමහරෙක් තමන්ට රැකියාවක් උත්පාදනය කර දීම ද රජයෙහි හෝ පාලකයන්ගේ ‘වගකීමක් හා යුතුකමක්’ ලෙස ඔවුහු සිතති. එය නොලැබුණු විට අරගල ද කරති. දියුණු යැයි සම්මත රටවල මෙම පසුගාමී ආකල්ප නොමැති අතර, තමන්ට එම අධ්‍යාපනය ලබා දුන් පසු ඔවුහු සිය මහන්සියෙන්ම ස්වයං රැකියා හෝ උත්පාදනය කරගනිති. අනෙක් ජනයාට ද සිය දැනුම උපයෝගී කොටගෙන රැකියා උත්පාදනය කර දෙති. මිනිසුන් අරගල කළ යුත්තේ එවැනි ව්‍යාපාර සහ ස්වයං රැකියා උත්පාදනයට අවශ්‍ය පහසුකම් ලබාගැනීමට ය. තමන්ට රැකියාවක් රජයෙන් උත්පාදනය කර නොදී ම සම්බන්ධයෙන් නොවේ.
ශ්‍රී ලාංකිකයන් සමහරක් දෙනාගේ තවත් ‘සිහිනයක්’ වන්නේ රජයේ රැකියාවක් ලබා ගැනීම ය. එය හුදු ‘රට වැසියාට සේවය කිරීමට ‘ එහා ගිය අභිප්‍රායයන්ගෙන් යුක්ත පැතුමකි. සිය රැකියාවේ ආරක්ෂිත භාවය හා විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ හැකියාව යන සාධක ඒ අතර ප්‍රධාන ය.
මෙලෙස රජයේ රැකියාවකට ගිය පසු තමන් උපරිම කාර්යයක්ෂ්මතාවයෙන් කටයුතු කරන්නේ ද යැයි ඔවුන් තමන්ගෙන්ම අසාගත යුතු ය. ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් රජයේ කාර්යයාලයකින් යමක් ඉටු කර ගැනීමට ගිය පසු බොහෝ අපහසුතාවන්ට ලක්වන බව හා අකාර්යයක්ෂ්මතාවයේ ගොදුරක් වන බවට මැසිවිලි නගති. එම අයගෙන් බොහොමයක් දෙනා තමන් රජයේ පුටුවකට ගිය පසු හැසිරෙන්නේ ද එම විලාසයෙන් ම වීම අවාසනාවකි. ‘සිස්ටම් එකෙහි’ මුල ඇත්තේ එතනය. උසස් නිලධාරීන් එයින් තැනෙන අනුරූපක පමණි.
නීතිය පිළිබඳ දැනුම සහ ස්වයං විනය
ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනක් සෑම දෙයකට ම ‘කෙටි ක්‍රම’ සොයා ගැනීමට රුසියෝ වෙති. රැකියාවක් ලබා ගැනීමට දේශපාලනඥයන්ට කත් ඇදීම සහ වැඩ කටයුත්තක් ඉක්මනින් කර ගැනීමට ‘පගාව’ ලබාදීම ද මෙහි යහමින් සිදුවෙයි. මෙම ප්‍රවණතාව දන්නා නිසා එම උසස් බලධරයන් හා ‘පගා කාක්කෝ’ ද ඉතා ඉහළින් වැජඹෙති. මෙහි රැකියා ලබා ගැනීම සහ යම් කාර්යයක් සිදුකිරීම ඉහත ‘පන්දම් හා පගාව’ නොමැතිව නොහැකි යයි යමෙක් තර්ක කරනු ඇත.
මිනිසුන් එකාවන් ව ඊට එරෙහි ව කටයුතු කරයි නම්, අකාර්යයක්ෂ්ම රාජ්‍ය නිලධාරීන් හා බලධාරීන් ඉදිරිපිට සිය කශේරුකාව කෙළින් තබා ගෙන, වැදගත් ලෙස කථා කිරීමේ ස්වයං පෞරුෂය මිනිසුන් ඇතිකරගනී නම් මෙම ප්‍රවණත මඟහැරගත හැකි වනු ඇත. මේ සඳහා ස්වයං විනය හා නීතිය පිළිබඳ දැනුමද අනිවාර්යය වේ.
ඒ නීතියට පිටින් යාමට අප කිසිවකුට අයිතියක් නැත්තා සේම නීතිය නොදැනීම නිසා සමහර තැන් වලදී තමන්ට ම අවාසි සිදුවීම වලක්වා ගැනීම කළ යුතු නිසා ය. අවස්ථාවාදීන් රිංගන්නේ ජනතාවගේ එවැනි දුර්වලතා තුළිනි. අනෙක් අතට මෙරට සියලු පුරවැසියන් මෙහි මූලික නීතිය පිළිබඳ ව දැන සිටිය යුතු බවට උපකල්පනය කෙරෙන නිසා, නීතිය නොදැන සිටීම යමකු සතු දරුණුත ම දුර්වලතාවක් මෙන්ම අතපසුවීමක් වේ.
තමන්ගේ සමීපතමයන් මෙන් ම සහෝදර රටවැසියන්ගේ අභිවෘද්ධිය උදෙසා යමකුගේ ස්වයං විනය පැවතීම අත්‍යවශ්‍ය වෙයි. විශේෂයෙන් තමන් අවට පරිසරය පිරිසුදු ව තබා ගැනීම වැනි මූලික කරුණු පවා මෙරට සැලකිය යුතු පිරිසක් පිළිපදිනු නොපෙනේ. තමන් තැන තැන කුණු දමමින් දියුණු හා පිරිසුදු රටක් බලාපොරොත්තු වීම අමනෝඥ ක්‍රියාවකි. අන් අයට අත දිගුකිරීමට පෙර තමන් සිය විනය හා හැදියාව පවත්වාගත යුතු ය. එවිට ‘සිස්ටම්’ කෙමෙන් කෙමෙන් ‘චේන්ජ්’ වනු ඇත.
පසුවදන
තමන් ජීවත් වන රටෙහි හා තමන්ගේ ජීවන තත්ත්වය උසස් වනු දැකීම කාගේත් පැතුම යි. ඒ සඳහා ‘සිස්ටම් චේන්ජ්’ එකක අවශ්‍යතාව දැනෙයි නම් පළමුවෙන් ම එම කර්තව්‍යය පටන්ගත යුත්තේ තමන්ගෙන් ම ය. එලෙස වෙනස් වීම් සිදු කොට නොගෙන යම් කිසි පද්ධතියක කොටසක් පමණක් වෙනස් කිරීම දීර්ඝ කාලීන ව සාර්ථක නොවේ. එය සාර්ථක වීමට නම් එම පද්ධතියේ මූල පද්ධතියේ පටන් වෙනස් කළ යුතු ය. එම මූල පද්ධතිය ඇත්තේ ඔබේ අපේ නිවස තුළ ය. ඔබේ අපේ හිස් තුළ ය.