අඳුරට එළිය දුන් බ්‍රේල් ක්‍රමය

‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ යන්න අනාදිමත් කාලයක සිට පැවසෙන කියමනක්. අපි කුඩා කාලයේ යම් යම් දේ කියවා අපේ දැනුම තර කරගන්නට මෙන්ම රසවත් නවකතා වැනි දේ කියවන්නත් නොතිත් ආශාවෙන් පෙළුණා. ඒත් මේ සමාජයේ සමහරෙකුට, අපට පොත පත කියවීම සඳහා  පෙනුම ලබා දුන් ඇස් නිරෝගීව පිහිටා නැහැ. සමහරුන්ට උපතින්ම මේ තත්ත්වය ඇති වී තිබෙන අතර තවත් සමහරුන්ට ජීවිතයේ පසුකාලීනව විවිධ හේතු නිසා මෙසේ සිදු වී තිබෙනවා.

පෙනුම සම්බන්ධ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට අතීතයේදී වෙනත් කිසිවෙකුගේ ආධාරයක් නොමැතිව විවිධ දේ කියවන්නට, රස විඳින්නට හැකියාවක් තිබුණේ නැහැ. ඒත් 19 වන සියවසේ කළ එළි බසින ලද ‘බ්‍රේල්’ ක්‍රමය නිසා අද ඔවුනට සාමාන්‍ය පෙනුමැති මිනිසෙකු ලෙසම බොහෝ දේ කියවන්නට, රස විඳින්නට පුළුවන්. මොකක්ද මේ බ්‍රේල් ක්‍රමය? මේ ලිපියෙන් කියවා දැනගනිමු.

shutterstock.com

බ්‍රේල් ක්‍රමය යනු කුමක්ද?

බ්‍රේල් ක්‍රමය තනා ඇත්තේ අතින් ස්පර්ෂ කර කියවීම හෝ ලිවීම සිදු කළ හැකි ආකාරයටයි. අන්ධ පුද්ගලයින්ට පහසුවෙන් ස්පර්ෂ කර හඳුනාගත හැකි, කඩදාසියෙන් ඉහළට ඉපිළුණු හෝ පහළට එබී ගිය තිත් පද්ධතියක් අනුසාරයෙන් මේ ක්‍රමය නිමැවී තිබෙනවා. මේ ක්‍රමයේදී ඉංග්‍රීසි හෝඩිය හා ඉලක්කම් නියෝජනය වන පරිදි විවිධ රටා වලට තිත් පද්ධතීන් ඇඳීම සිදු වෙනවා. ප්‍රශ්නාර්ථ ලකුණ, හර්ෂාදී ලකුණ වැනි සංකේත වලටත් අනන්‍ය වූ තිත් රටා තිබෙනවා.

බ්‍රේල් හෝඩිය-blindfoldgames.org

බ්‍රේල් ක්‍රමයට අනුව සැකසුණු ලියැවිල්ලක් කියැවීමේදී ව්මේ සිට දකුණට පේලි ඔස්සේ දබර ඇඟිල්ල යැවීම සිදු කෙරෙනවා. සාමාන්‍යයෙන් අත් දෙකම මේ සඳහා යොදාගන්නවා. මේ ක්‍රමය ප්‍රගුණ කළ අයෙකුට සාමාන්‍යයෙන් මිනිත්තුවකට වචන 125 ක් පමණ කියැවිය හැකි අතර වචන 200 ක වේගයෙන් කියැවීම සිදු කළ හැකි අ‍යත් ලොව ජීවත් වනවා.

බ්‍රේල් ක්‍රමයේ උපත

අතීතයේ සිටම අන්ධ පුද්ගලයින්ට කියැවීමේ හැකියාව ඇති කිරීමට විව්ධ ක්‍රමවේද අත්හදා බලනු ලැබුවා. කෙසේ නමුත් ඉන් වඩා සාර්ථක ක්‍රමවේදය ලෙස බ්‍රේල් ක්‍රමය ලොව පතළ වුණා. බ්‍රේල් ක්‍රමයට මූලික අඩිතාලම වැටෙන්නට ගන්නේ 19 වන සිය්වසේ මුල් භාගයෙහිදී යි. එවකට ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යයාට සේවය කරමින් සිටි චාල්ස් බාබියර් ‘රාත්‍රී ලිවීමේ ක්‍රමය’ (Night writing method) ලෙස ක්‍රමයක් සොයාගත් අතර මෙහි අරමුණ වූයේ රාත්‍රී කලයේදී හමුදා සෙබලුන්ට සතුරාට නොපෙනෙන පරිදි සන්නිවේදනය කිරීමේ හැකියාව ලබා ගැනීමයි. එක් පේළියකට තිත් දෙකක් වැටෙන පරිදි අඳින ලද සංකේත (තිත්) 12 කින් සැකසුණු පද්ධතියක් වන ‘රාත්‍රී කියැවීමේ’ ක්‍රමය අනුසාරයෙන් බ්‍රේල් ක්‍රමය උපත ලැබුවා.

ලුවිස් බ්‍රේල්

ලුවිස් බ්‍රේල් ක්‍රි.ව 1809 ජනවාරි මස 4 වැනිදා ප්‍රංශයේ උප්පත්තිය ලැබුවා. උපතින් දෘෂ්‍යාබාධිත නොවුණත් ඉතා කුඩා කාලයේදී සිදු වූ අවාසනාවන්ත හදිසි අනතුරක් නිසා ඔහුගේ දෙනෙත් අඳ වෙනවා.

ලුවිස් බ්‍රේල් -thefamouspeople.com

වයස අවුරුදු 11 දී චාල්ස් බාබියර් ගේ රාත්‍රී ලිවීමේ ක්‍රමය ගැන දැනගන්නා බ්‍රේල් එය මඳ වෙනස් කි කිරීමකට භාජනය කළහොත් අන්ධ පුද්ගලයින් සඳහා ඉතා කාර්යක්‍ෂම කියැවීමේ හා ලිවීමේ ක්‍රමයක් තනා ගත හැකි බව ප්‍රත්‍යක්ෂ කරගත්තා. වසරකට පසු ඔහු දෙනෙත් අඳ දරුවන් සඳහා වූ ජාතික ආයතනයට බැඳෙන අතර ඉදිරි වර්ෂ 9 ම ඔහු ගත කරන්නේ මේ ගැන පර්යේෂණ පවත්වමිනුයි. වසර 9 කට පසුව ‘බ්‍රේල් ක්‍රමය’ යනුවෙන් ඔහුගේ නව ක්‍රමය ලෝකයට හඳුන්වා දීම සිදු වෙනවා.

බ්‍රේල් ක්‍රමය සෑදීමේදී සිදු කළ වෙනස්කම්

රාත්‍රී ලිවීමේ ක්‍රමය භාවිතා කිරීම කළේ ඇස් පෙනෙන පුද්ගලයින් නිසා ඔවුන්ව දිවා කාලයේදී පහසුවෙන් තිත් 12ක් සඳහා පුහුණු කළ හැකි වුණා. කෙසේ වෙතත් දෙනෙත් අඳ, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් කියැවීමේ ක්‍රමයක් සාදන විට තිත් 12ක ක්‍රමයක් පැවතීම , එම ක්‍රමය ඉගෙනීමේදී යම් යම් අපහසුතා ගෙන ගෙන දෙන්නක් බව බ්‍රේල් වටහා ගත්තා. වසර ගණනක අත්හදා බැලීමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ඔහු තිත් 6ක් පමණක් භාවිතයෙන් බ්‍රේල් කේතය සාදනවා. මෙමඟින් සාමාන්‍ය ප්‍රමාණයක ඇඟිලි තුඩක් ඇති අයෙකුට එක් වරම එක් අකුරක කේතයම සිය ඇඟිලි තුඩට හසු කරගත හැකි වන නිසා එම අකුර එක්වරම කි‍යැවීමේ හැකියාව ලැබෙනවා. මේ නිසා කියැවීම කාර්යක්‍ෂම වෙනවා.

බාබියර්ගේ රාත්‍රී ලිවීමේ ක්‍රමය -brailleworks.com

ලුවිස් බ්‍රේල්ගේ බ්‍රේල් ක්‍රමයේ ඇති සංවිධානාත්මක බවත් එහි කාර්යක්‍ෂමතාවයත් නිසා ඉක්මනින්ම ලොව පුරා ජනප්‍රිය වූ අතර දෙනෙත් අඳ පුද්ගලයිගේ කියැවීමේ හා ලිවීමේ මූලික ක්‍රමය බවට පත් වුණා.

පසුව සිදු වූ වෙනස්කම්

කාලයාගේ ඇවෑමෙන් බ්‍රේල් ක්‍රමය ලොව පුරාම ජනප්‍රිය වූ පසු එහි කාර්යක්‍ෂමතාවය තවත් වැඩි කර ගැනීමට විවිධ කෙටි ක්‍රම එකතු වීම සිදු වී තිබෙනවා. බ්‍රේල් ක්‍රමය ලොව විවිධ භාෂා වල හෝඩි අනුවත් මේ වන විට සකස් වී තිබෙනවා. ඒ ඒ භාෂා වල වැඩිපුරම යෙදෙන වචන වලට අනන්‍ය වූ බ්‍රේල් කේතයක් සාදනු ලැබීම නිසා ඉතාම කාර්යක්‍ෂම ලෙස වර්තමාන බ්‍රේල් ලියැවිල්ලක් කියවන්නට පිළිවන්. මේ නිසා බ්‍රේල් ක්‍රමයට සාදන ලද ලියැවිල්ලක ප්‍රමාණයත් කුඩා වී එය හසුරුවා ගැනීම පහසු වෙනවා.

ලුවිස් බ්‍රේල් 1853 වසරේ දී මිය යන අතර ඒ වන විට ඔහු 43 වන වියෙහි පසු වුණා. ඔහුගේ මරණයෙන් වසරක් ගත වෙත්ම ප්‍රංශය විසින් බ්‍රේල් ක්‍රමය දෙනෙත් අඳ පුද්ගලයින් වෙනුවෙන් වූ නිළ ලිවීමේ හා කියැවීමේ ක්‍රමය ලෙස ප්‍රකාශ කරනවා. 1860 වසර වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේත් බ්‍රේල් ක්‍රමය නිළ වශයෙන් පිළිගැනීමට ලක් වෙනවා.

දෙනෙත් අඳ පුද්ගලයින්ට සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමේ හැකියාව බ්‍රේල් ක්‍රමය නිසා ලැබුණා Robert -Willett/ newsobserver.com

ලුවිස් බ්‍රේල්ගේ බ්‍රේල් ක්‍රමය නිසා ඉතිහාසය පුරාවට මුළු ගැන් වී සිටි, දෙනෙත් නොපෙනෙන එහෙත් බුද්ධියෙන් පරිපූර්ණ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ඉතා උගත් හා බහුශ්‍රැත පුද්ගලයින් සේ සමාජයේ ඉදිරියට එන්නට හැකි වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පවා ප්‍රසිද්ධ තරඟ විභාග බහුතරයක්ම බ්‍රේල් ක්‍රමය අනුවත් සිදු කෙරෙනවා. සරලවම පවසනවා නම් දෙනෙත් අඳ අයෙකුගේ ජීවන අඳුරට බ්‍රේල් ක්‍රමය විසින් ආලෝකය ලබා දී තිබෙනවා.

කවරයේ පින්තූරය- Youtube

Related Articles

Exit mobile version