“බත උපන්නේ සැළියෙනි” යි කියන්නා වගේ iPhone හැදෙන්නේ චීනයේ හෝ ඇමරිකාවේ් බවයි හැමෝම හිතන්නේ. එයට හේතුව එහි පසුපස සටහන් කර ඇති “Designed by Apple in California. Assembled in China” යන කුඩා අකුරු පෙළ යි.
China යන්න දුටු වහා මෙය හොඳ එකක් නොවේදැ යි බියවන අය ද අනන්ත අප්‍රමාණ වූ කාලයක් තිබුණා. Samsungවලට වඩා Made in Vietnam යන්න දැක බියවීමට හේතුව ද ඒවායේ බාල අනුරූ වෙළඳපොළ සැරිසරන්නට වූ නිසා යි. එනමුත් රටේ නම කුමන ලේබලවලට යටත් වූවත් iPhone චීනයට නෑකම් කියනවා. හැබැයි ජානමය වශයෙන්, චීනයට පමණක්ම නොවෙයි.
“Assembled” යන්නෙහි අරුත
දුරකතන පමණක් නොව නිවාස වැනි ඕනෑම නිෂ්පාදනයක් බිහි කිරීමට මූලික අදියර දෙකක් තිබෙනවා. ඒ සැලසුම් කිරීම (design) සහ සැකසීම (manufacture) යි. මෙය පදනම් කරගත් විට iPhone පසුපස Design යන වචනය තිබෙන නිසා ඒ කැලිෆෝනියාවේ බව සිතාගත හැකියි. නමුත් එහි Manufacturer යන වචනය නැහැ. ඉතින් එය Assembled යන්නට සමාන කොට, “හදන්නේ චීනයේ ය!” කියා සිතෙනවා.
‘නිෂ්පාදනය’ යනු අයිෆෝන් තුළ ඇති උපාංග සැකසීමේ ක්‍රියාවලිය යි. ඇපල් සමාගම iPhone නිර්මාණය කර විකුණන අතර, එහි කොටස් නිෂ්පාදනය නොකරයි. ඒ වෙනුවට, ඇපල් සමාගම එහි විවිධ කොටස් සැකසීම සඳහා ලොව පුරා නිෂ්පාදකයින්ගේ සහාය ලබා ගන්නවා. මේ සඳහා විවිධ කොටස් එනම්, තිර ආරක්ෂක වීදුරුව, කැමරාව ආදිය සඳහා විශේෂඥ දැනුමක් ඇති නිෂ්පාදකයන් වෙත මෙම වගකීම පවරනු ලබනවා.
Assemble හෙවත් එකලස් කිරීම යනු මෙලෙස සකසන ලද විවිධ කොටස් එක්තැන් කොට නිෂ්පාදනය සම්පූර්ණ කිරීම යි. එවිට ක්‍රියාකාරී මට්ටමේ ඇති iPhone එකක් බිහිවෙනවා.
විවිධ කොටස් විවිධ රටවලින්
ඇපල් සමාගම සිය කොටස් ලොව පුරා පිහිටි නිෂ්පාදකයින්ගෙන් ලබා ගනියි. Macworld වෙබ් අඩවිය මෙම නිෂ්පාදන සමාගම් සහ රටවල් හඳුනාගන්නට සමත්වූ අතර ඒ අනුව අදාල කොටස අනුව එහි නිෂ්පාදකයා පහත පරිදි වේ.
- ත්වරණමානය (Accelerometer): ජර්මනියේ බෝෂ් සමාගම, එක්සත් ජනපදයේ ඉන්වෙන්සන්ස් ආයතනය.
- ශ්‍රව්‍ය චිප්සෙට් සහ කෝඩෙක්: එක්සත් ජනපදයේ සිරර්ස් ලොජික් (නිෂ්පාදනය සඳහා බාහිර මූලාශ්‍රිත/outsourced).
- බේස්බෑන්ඩ් ප්‍රොසෙසරය: එක්සත් ජනපදයේ ක්වල්කොම් (බාහිර මූලාශ්‍රිත).
- බැටරි: දකුණු කොරියාවේ සැම්සංග්. චීනයේ හුයිෂෝ දේසෛ බැටරි.
- කැමරා: ජපානයේ සෝනි, එක්සත් ජනපදයේ ඔම්නිවිෂන් විසින් ඉදිරිපස කැමරා චිපය නිපදවන නමුත් නිෂ්පාදනය සඳහා TMSC තායිවාන සමාගමට උප කොන්ත්‍රාත්තු ලබා දේ.
- චිප්සෙට් සහ සකසුව (ප්‍රොසෙසරය): දකුණු කොරියාවේ සැම්සංග්, තායිවානයේ TMSC සහ එක්සත් ජනපදයේ ග්ලෝබල් ෆවුන්ඩ්‍රීස් සමාගම්.
- පාලක චිප්: එක්සත් ජනපදයේ PMC සියෙරා සහ බ්‍රෝඩ්කොම් කෝපරේෂන් (බාහිර මූලාශ්‍රිත).
- තිරය: ජපානයේ ‘ජැපෑන් ඩිස්ප්ලේ’ සහ ෂාප් සමාගම, දකුණු කොරියාවේ LG ඩිස්ප්ලේ සමාගම.
- DRAM: තායිවානයේ TSMC. දකුණු කොරියාවේ එස්.කේ. හයිනික්ස් ආයතනය.
- ඉලෙක්ට්‍රොනික මාලිමාව: ජපානයේ ඇල්ප්ස් ඉලෙක්ට්‍රික් සමාගම.
- ඇඟිලි සලකුණු සංවේදකය: ඔටෙන්ටෙක් සමාගම. එය චීනයේ නිපදවන නමුත් එය නිෂ්පාදනය සඳහා තායිවානයේ සහාය ලබාගනී.
- ෆ්ලෑෂ් මතක ධාරිතාව: ජපානයේ ටොෂිබා සහ දකුණු කොරියාවේ සැම්සංග්.
- විභ්‍රමණේක්ෂය (Gyroscope): ප්‍රංශයේ සහ ඉතාලියේ STMicroelectronics.
- ප්‍රේරක දඟර (audio): ජපානයේ TDK.
- ප්‍රධාන චැසි එකලස් කිරීම: චීනයේ ෆොක්ස්කොන් සහ පෙගට්‍රොන්.
- මිශ්‍ර-සංඥා චිප් (NFC වැනි): නෙදර්ලන්තයේ NXP සමාගම.
- ප්ලාස්ටික් කොටස් (iPhone 5C සඳහා): සිංගප්පූරුවේ Hi-P සහ ග්‍රීන් පොයින්ට් සමාගම්.
- රේඩියෝ සංඛ්‍යාත මොඩියුල: තායිවානයේ වින් සෙමිකන්ඩක්ටර්ස් ආයතනය, ඇමරිකාවේ ඇවගෝ ටෙක්නොලොජීස් සහ ට්‍රයික්වින්ට් සෙමිකන්ඩක්ටර් ආයතනය. LTE සඳහා එක්සත් ජනපදයේ ක්වල්කොම්.
- මතුපිට සහ වීදුරු (තිරය සඳහා): එක්සත් ජනපදයේ කෝනිං (ගොරිල්ලා ග්ලාස්). GT ඇඩ්වාන්ස්ඩ් ටෙක්නොලොජීස් සමාගම තිරයේ නිල් මැණික්මය ස්ඵටික (sapphire – ආරක්ෂාව සඳහා කෘත්‍රීමව සැකසූ දැඩි ස්ඵටික) කොටස් නිපදවයි.
- අර්ධ සන්නායක: එක්සත් ජනපදයේ ටෙක්සාස් ඉන්ස්ටෘමන්ට්ස්, ෆෙයාර්චයිල්ඩ් සහ මැක්සිම් ඉන්ටග්‍රේටඩ් ආයතන.
- Touch ID: තායිවානයේ TSMC සහ Xintec සමාගම්.
- ටච්ස්ක්‍රීන් පාලකය: එක්සත් ජනපදයේ බ්‍රෝඩ්කොම් (බාහිර මූලාශ්‍රිත).
- සම්ප්‍රේෂක සහ විස්තාරණ මොඩියුල: එක්සත් ජනපදයේ ස්කයිවර්ක්ස් සහ කොර්වෝ (නිෂ්පාදන සඳහා බාහිරින් ලබා ගත්).
මේ අනුව පැහැදිලි වන්නේ චීනය තම නාමය බාහිරින් අලවා ගන්නට සමත් වුවත් එහි අභ්‍යන්තරයට නෑකම් කියන රටවල් බොහොමයක් සිටින බව යි.
එකලස් කිරීමට චීනය ම තෝරාගත්තේ ඇයි?
ඇමරිකාව ලොව බලවත්ම රට වශයෙන් තමා ඉක්මවා යන්නට වෙර දරන චීනය වැනි රටක් මත යැපෙන්නේ ඇයි ද යන ගැටළුව මේ සම්බන්ධව නිතැතින් ම මතු වන්නක්.
“චීනයේ නිෂ්පාදන කටයුතු ඉහළ මට්ටමක තිබෙනවා. පරිගණක සහ රොබෝ විද්‍යා ලෝකයේ පැතිකඩක් ලෙස චීනය හඳුන්වන්න පුළුවන්. එය ලොව වෙනත් තැනක සොයා ගන්නට අපහසු යි. නිවැරදි සහ ගුණාත්මක බවින් යුත් එම හැකියාවන් අපේ ව්‍යාපාරයට බොහොම වැදගත්”, ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් පවසන්නේ එලෙස යි.
ඔහු තවදුරටත් දක්වන්නේ “අපි චීනය සමග කටයුතු කරන්නට කැමති අංක එකේ හේතුව එහි සිටින ජනතාව යි. චීනයට හොඳ කුසලතාවන් තිබෙනවා. වඩාත්ම සිත්ගන්නාසුළු දේ නම්, iOS හි App Store එකට Apps සකසන චීන developersලා මිලියන 2 කට ආසන්න සංඛ්‍යාවක් සිටීම යි” කියා යි.
ඇමරිකාවට වඩා චීනය සතු මෙවලම් ඉංජිනේරුවන් සංඛ්‍යාවේ බහුලත්වය මෙයට බලපාන තවත් කරුණකි. ටිම් කුක් විසින්ම දක්වන ආකාරයට ඇමරිකාවේ සිටින මෙවලම් ඉංජිනේරුවරු එක්තැන් කළහොත් එය කුඩා රැස්වීමක් බඳු වනු ඇති බවත්, චීනයේ අයව ගෙන්වුවහොත් ඔවුන්ව එක්තැන් කරන්නට පාපන්දු ක්‍රීඩාංගණ දෙකක්වත් අවශ්‍ය වනු ඇති බව යි. චීනයේ අධ්‍යාපන ක්‍රමය මඟින් වෘත්තීය පුහුණුවෙන් සපිරි ශ්‍රම බලකායක් වර්ධනය කරන්නට මහත් පිටිවහලක් සපයන බව ද ඔහු පවසනවා.
එකලස් කිරීම
නිෂ්පාදන ආයතන විශාල සංඛ්‍යාවක තැනෙන කොටස් අවසානයේ නතර වන්නේ චීනයේ කම්හල්වලට හිමිකම් කියන තායිවාන ආයතන දෙකක යි. ඒ, Foxconn සහ Pegatron යන ආයතන යි. Foxconn යනු ඇත්තටම එහි ව්‍යාපාර නාමය යි. හොන් හයි ප්‍රිසිසිෂන් ඉන්ටස්ට්‍රි (Hon Hai Precision Industry) පුද්. සමාගම නම්වන එය බොහෝ කාලයක පටන් ඇපල් සමාගමේ iPod, iPhone, සහ iPad සැකසීම සඳහා ද දායකත්වය ලබා දෙනවා. චීනයට අමතරව ඔවුන් තායිලන්තය, මැලේසියාව, චෙක් ජනරජය, ද. කොරියාව, සිංගප්පූරුව මෙන්ම පිලිපීනයේ ද අරක්ගෙන සිටිනවා.
මේ අතර පෙගාට්‍රන් ආයතනය තම කම්කරුවන්ගෙන් පමණ ඉක්මවා (පැය 12-16ක්) වැඩ ගන්නා බවත් ආහාර ගැනීමටවත් නැඟිට යන්නට ඉඩ නොදෙන බවත්, දැඩි පීඩනය නිසා සේවයේ නියුතූ වූවන් සජීවී ඉලෙක්ට්‍රෝන උපාංග වෙත හේත්තු වීමෙන් (නිදිකිරා වැටීමෙන්) ජීවිත හානි පවා සිදුවන බවත් BBC කළ රහස් වාර්තාවකින් හෙළි වුණා.
පසුබිම කෙසේ වුවත් ඇපල් සමාගමට අවශ්‍ය ප්‍රතිදානය (ගුණාත්මක බව, ඉල්ලුමට සරිලන සැපයුම, ආර්ථික ලාභ) හොඳින් ලැබෙන නිසා ඇමරිකාව තුළ ම නිෂ්පාදනය කරනවාට වඩා බාහිර මූලාශ්‍රිතව නිෂ්පාදන කටයුතු සිදුකිරීම වඩාත් හොඳ ක්‍රමය බවට පත්වෙනවා. ඉතින් ඔබ ඊළඟ වතාවේ iPhone එකක් අතට ගනිද්දී එහි බාහිර ඇති ඇමරිකාව සහ චීනය පමණක් නොව, එයට දායක වූ ලොව රටවල් විශාල සංඛ්‍යාවක දක්ෂ කම්කරුවන් සහ ඉංජිනේරුවරුන් සිතට නඟාගන්න. එය ඔවුන්ට උපහාරයක් වේවි.