Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මරණය පෙනි පෙනී ජීවිතය ලද, කර්ක් බ්ලඩ්ස්වර්ත්

ලොව ඉතා සූක්ෂම ලෙස නීතිය හා සාමය රකින රටවලින් පවා ඒවා ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන බරපතල වැරදීම් වාර්ථා වෙනවා. මහා බ්‍රිතාන්‍යය උඩු යටිකුරු කළ තිමති එවන්ස් සිද්ධිය පසුගිය ලිපියකින් අපි ඔබ වෙත ගෙන ආවා.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ කර්ක් බ්ලඩ්ස්වර්ත් සිද්ධියත් තිමති එවන්ස් සිද්ධිය මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන අයවලුන් විසින් ඉතා බරපතල ලෙස ‘වරද්දාගත්’ අවස්ථාවක් ලෙස ඉතිහාසයේ ලියැවී තිබෙනවා. කෙසේ නමුත්, කර්ක්ගේ වාසනාවට ඔහු නිදොස් කොට නිදහස් කරන විට ජීවතුන් අතර සිටින්නට සමත් ව සිටියා. තමන් නොකළ වරදකට මෙලෙස සිරබත් කමින් සිටි ඔහු වෙත අවසානයේ දෛවය කාරුණික වන තුරු ඔහුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වූ පොරොත්තු ලේඛනයේ පවා සිටින්නට සිදුවුණා.

වියපත් කර්ක්, සිරගත් වූ අවස්ථාවේ ඩී ගත් තමන්ගේම පින්තූරයක් අතැති ව- Mladen Antonov/AFP/Getty Images

ඝාතන චෝදනාව හා මරණයට නියම වීම

1962 වසරේ ඔක්තෝබර් මස 31 වන දා උපන් කර්ක් බ්ලඩ්ස්වර්ත්ට එරෙහිව 1984 වන තුරු කිසිදු නීතිමය චෝදනාවක් තිබුණේ නැහැ. ඔහුගේ නෑදෑ පිරිස හා හිතමිතුරන් අතර ඔහු පරසිදු ව සිටියේ නිහතමානී හා නිවුණු මිනිසෙකු ලෙස යි. ප්‍රශස්ත මට්ටමකින් අධ්‍යාපනය හැදෑරූ කර්ක් ඉක්මනින් විවාහයකුත් කරගන්නවා. 22 වැනි වියට එළැඹි ඔහුගේ අනාගතය දීප්තිමත් එකක් වන ලකුණු පෙනෙන්නට තිබුණා. එනමුත් හදිසියේ ම 1985 වසරේ එක් දිනෙක ඔහුගේ ලෝකය උඩු යටිකුරු වී ගියා.

1984 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් හි නව හැවිරිදි දැරියක ඝාතනය කෙරෙනවා. ඇය ව ලිංගික අඩත්තේට්ටමට ලක් කර දස වධ දී, අනතුරුව ගෙල සිර කොට ගලකින් හිසට පහර දී මරා දමා තිබූ අතර, ඝාතකයා කවුරුන්දැ යි එක්වර ම හඳුනාගන්නට පොලිසිය සමත් වූයේ නැහැ.

මේරිලන්ඩ් හි පොලිස් නිලධාරීන් වහ වහා ඝාතකයා සොයා සිය පරීක්ෂණ මෙහෙයවීමට පටන් ගත් අතර, ඝාතනය ඇසින් දුටුවේයැ යි කියන්නෙකු ඔහුගේ හැඩරුව පොලිසියට පවසන්නට ඉදිරිපත් වුණා. ඇසින් දුටු සාක්ෂ්‍යකරුට අනුව ඝාතකයා අඩි 6 යි අඟල් 5ක පමණ උසකින් යුතු, සුදු ජාතිකයෙකු වූ අතර අක්බමරු රන්වන් පැහැ හිසකෙස් හා විශාල උඩු රැවුලක් ද සහිත තරබාරු අයෙකු වුණා. කර්ක් අඩි 6ක් පමණක් උස් වූ රතු පැහැති හිසකෙස් දැරූ සිහින් අයෙකු වූ අතර, ඇසින් දුටු සාක්ෂ්‍යකරුගේ විස්තරයට කිසි ලෙසකින් සමාන වූයේ නැහැ.

සිරගත වූ කර්ක් බ්ලඩ්ස්වර්ත්- filmstreams.org

මේ හැඩරුවට අනුව චිත්‍රයක් සකසාගත් පොලිසිය එය ඇමෙරිකාව පුරා ප්‍රසිද්ධ කළත් සතුටුදායක තොරතුරක් සොයාගන්නට අපොහොසත් වුණා. ඔවුනට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබෙන්නේ මේ අතර යි. එයින් පැවසෙන්නේ ඝාතනය සිදු වූ දින එම දැරිය සමග කර්ක් බ්ලඩ්ස්වර්ත් සිටි බව යි. පැටලී තිබූ නූල් බෝලයේ කෙළවරක් සොයමින් සිටි පොලිසියට මෙම තොරතුර මරු කතරට වන් දිය පොදක් වැනි වුණා. වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සඳහා වහා ම කර්ක් අත්අඩංගුවට ගැනෙන අතර, ඔහුගේ පින්තූර යොදාගෙන පර්යේෂණ කටයුතු ඉදිරියට මෙහෙයවන්නට තීරණය කෙරෙනවා. එහි දී කර්ක්ගේ අවාසනාවට තවත් පස් දෙනෙක් තමන් කර්ක් වැන්නෙක් දැරිය සමග දුටු බවට පවසනවා. කෙසේ නමුත් හඳුනාගැනීමේ පෙරෙට්ටුවේ දී ඉන් දෙදෙනෙක් කර්ක් හඳුනාගැනීමට අපොහොසත් වෙනවා.

කර්ක් බ්ලඩ්ස්වර්ත්ට එරෙහිව ඉදිරිපත් වූ තවත් සාක්ෂ්‍යයක් වූයේ ඝාතනය සිදු වූ තදාසන්න දිනක ඔහු සිය බිරිඳ සමග තමන් අතින් බලවත් වරදක් වූ බවත්, ඒ නිසා ඔහුත් බිරිඳත් අතර වූ සම්බන්ධය පළුදු විය හැකි බවත් ප්‍රකාශ කර තිබීම යි. මෙය තහවුරු කරගැනීම සඳහා සාක්ෂ්‍ය ලබා ගැනීමට ඔහුගේ බිරිඳ ද උසාවියට ඉදිරිපත් කෙරුණු අතර, ඇය එහි දී ඔහු එවැන්නක් ප්‍රකාශ කළ බව පිළිගන්නවා. මීට අමතර ව ඔහු ‘ගලක්’ භාවිතා කිරීම පිළිබඳ ව ද පොලිසිය හා ප්‍රකාශ කර තිබුණා.

කර්ක් බ්ලඩ්ස්වර්ත්ට එරෙහිව කිසිදු භෞතික සාක්ෂ්‍යයක් හමු නොවුණ ද, වාචික සාක්ෂ්‍ය සියල්ල ම තිබුණේ ඔහුට එරෙහිව යි. ඒ අනුව ඒවා සලකා බලා ඇමෙරිකානු අධිකරණය ඔහුට මරණ දඬුවම ලබා දී ඊට දිනයක් නියම කිරීම සඳහා වූ පොරොත්තු ලේඛනයට දමනවා.

තීන්දුව අභියෝගයට ලක් කිරීම හා නිදහස ලැබීම

තීන්දුව ලැබුණු විගස කර්ක් බ්ලඩ්ස්වර්ත් එය අභියෝගයට ලක් කරනවා. තමන් අතින් ‘ගලක්’ සම්බන්ධ ව කියැවුණේ කම්පනයට පත් ව සිටින අවස්ථාවක දී පොලිසිය විසින් ගලක් පෙන්වීම නිසා බවත්, බිරිඳ හා තමන් අතර වූ සංවාදය ආහාර ගැටළුවක් අරබයා සිදුවූවක් බවත් අභියාචනයක් ඉදිරිපත් කරමින් කර්ක් කියා සිටිනවා. මේ අතර පොලිසියටත් දැරියගේ ඝාතනය සම්බන්ධ ව තවත් සැකකරුවෙකු පිළිබඳ ව ඉව වැටී තිබුණා. මේ හේතුව නිසා කර්ක්ගේ අභියාචනය සලකා බැලූ අධිකරණය ඔහුට එරෙහිව වූ මරණ දඬුවම සිර දඬුවමක් දක්වා අඩු කරනවා.

මේරිලන්ඩ් හි මරණ දඬුවම අහෝසි කළ දා කර්ක් (දකුණුපස සිට දෙවැනියා)- Patrick Semansky, AP

1990 දශකය ආරම්භය වන විට කර්ක් බ්ලඩ්ස්වර්ත් ඩී.එන්.ඒ තාක්ෂණය පිළිබඳ දැනුවත් වෙනවා. මෙය තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කර ගැනීමට සුදුසු ම මඟයැ යි නිර්ණය කළ ඔහු, ඝාතන සිද්ධිය අරබයා ඩී.එන්.ඒ පරීක්ෂණයක් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. 1992 වසරේ දී ඇමෙරිකානු රජය ඊට එකඟ වන අතර, ඝාතන සිද්ධියේ දී හමු වූ භාණ්ඩ හා මරණ පරීක්ෂණයේ දී යොදාගෙන සුරැකි ව තැබුණු මියගිය දැරියගේ සිරුරු කොටස් සහිත කදාවක් ඇසුරෙන් ඩී.එන්.ඒ පරීක්ෂණයක් පවත්වනවා. මෙහි දී ඔප්පු වන්නේ කර්ක් කිසි ලෙසකින් මේ ඝාතනයට සම්බන්ධ නොමැති බව යි.

ඩී.එන්.ඒ පරීක්ෂණ ප්‍රතිඵල සලකා බලා 1993 වසරේ දී කර්ක් බ්ලඩ්ස්වර්ත්ට සම්පූර්ණ නිදහස් ලැබෙනවා. කර්ක් ඩී.එන්.ඒ පරීක්ෂණ ආධාරයෙන් මරණ දඬුවමෙන් ගැලවුණු ප්‍රථම ඇමෙරිකානු ජාතිකයා යි. කෙසේ නමුත්, මේ වන විට ඔහුට සිය දිවියෙන් වසර 9ක් අහිමි ව තිබූ අතර, ඉන් දෙකක් ඔහු ගත කර තිබුණේ මරණයට නියම වූ අපරාධකරුවෙකු ලෙස යි.

නිදහසෙන් පසු ජීවිතය

කර්ක් ඝාතනය වූ දැරියගේ පින්තූරයක් අතැති ව- Getty Images

සිරගත කෙරෙන විට භද්‍ර යෞවනයෙකු ව සිටි කර්ක් චෝදනාවන්ගෙන් නිදහස් වන විට පරිණත අයෙකු වී සිටියා. නිදහසෙන් පසු ඔහු තමා මෙන්ම වැරදි තීරණ හේතුවෙන් සිරගත වූ අය වෙනුවෙන් ක්‍රියාකාරී ව කටයුතු කිරීමට තීරණය කළා. තම අත්දැකීම පිළිබඳ ව වූ පොතක් ද එළිදැක්වූ ඔහු, මේරිලන්ඩ් හි මරණ දඬුවම ලබා දීම අහෝසි කිරීමටත් පුරෝගාමී ව කටයුතු කළා. පසුකාලීන ව ව්‍යාපාරිකයෙකු වශයෙන් ද ඔහු සාර්ථකත්වයක් පෙන්නුම් කළා.

Related Articles