පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට පමණක් නෙමෙයි මුළු මහත් ලෝකයටම මුහුණ දෙන්නට සිදු වුණේ ඉතාමත් උණුසුම් කාලගුණයකට. ඒ අතරවාරයේ ගිනිකඳු පිපිරීමක් සිදු වුණා ඇයි අසන්නට ලැබුණොත් අපි කොයි කාගෙත් පළමු සිතුවිල්ල වන්නේ එය ගෝලීය උෂ්ණත්වය තවත් අංශක කිහිපයකින් ඉහළ දැමීමට දායක වන්නට ඇති බව යි. නමුත් ගිනිකඳු පිපිරීමක් නිසා සාගර උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් පමණ පහළ ගොස් ඇති අවස්ථාවක් ගැන යි අද අපි මේ කතා කරන්නේ.
දැනට සති කිහිපියකට පමණ පෙර ඇමෙරිකානු භූ විද්‍යා සංගමය, අදින වසර 630,000 කට පමණ පෙර සිදු වූ සුපිරි විදාරණයන් (super-eruptions) දෙකක් ගැන පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මෙය පෘථිවි ඉතිහාසයේ දැක ගැනීමට ලැබෙන දෙවැනි විශාලතම කල්දේරාව හෙවත් සුපිරි යමහල බිහි කළා. මේ ලිපිය මහා විනාශයකට අත වනන යෙලෝස්ටෝන් කල්දේරාව සහ එහි සුපිරි විදාරණයන් හේතුවෙන් ගෝලීය උෂ්ණත්වයට සිදු වූ බලපෑම ගැන යි.
යෙලෝස්ටෝන් හි සැඟවුණු යමහල
වයඹ දිග ඇමෙරිකා එක්සත් ජනපදයේ වයෝමින්ග්, මොන්ටානා සහ ඉඩාහෝ ප්‍රාන්ත පුරා පැතිරී පවතින යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය, ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රථම ජාතික උද්‍යානය ලෙස ස්ථාපිත කර ඇත්තේ 1872 වර්ෂයේ දී යි. යෙලෝස්ටෝන් ජාතික උද්‍යානයේ වයඹ දිග කෙළවරේ සැතපුම් 34 x සැතපුම් 45 ක පමණ සුවිසල් භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතින සුපිරි යමහලක් හෙවත් කල්දේරාවක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.
භූ විද්‍යාඥයින් විශ්වාස කරන අන්දමට යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය තුළ දක්නට ලැබෙන යමහල් සෑම එකක් ම පාහේ නිර්මාණය වී ඇත්තේ වසර මිලියන 2.1 ක කාලයක් ඇතුළත සිදු වූ දැවැන්ත විදාරණයන් ත්‍රිත්වයක් හේතුවෙන්. ඒ අනුව යෙලෝස්ටෝන් කල්දේරාව බිහි වීම සඳහා පාදක වී ඇත්තේ අදින් වසර 630,000 කට පමණ පෙර දී සිදු වූ ‘ලාවා ක්‍රීක් විදාරණය’ ලෙස හැඳින්වෙන පිපිරීම යි. භූ විද්‍යාඥයින්ගේ මතය අනුව යෙලෝස්ටෝන් කල්දේරාවේ උණු ලක්ෂ්‍යය (hotspot) නිර්මාණය වී ඇත්තේ පෘථිවියේ ශිලා ගෝලය, ඉහළ ප්‍රවාරය (upper mantle) සමග ප්‍රතික්‍රියා කිරීම හේතුවෙන් හෝ වසර මිලියන ගණනාවක් තිස්සේ පහළ ප්රවාරයේ සිදු වන ලෝදිය උණු වීමේ ප්‍රතිඵලයක් ලෙස යි.
කල්දේරාව බිහි කළ නිවුන් සුපිරි විදාරණයන්
නමුත් 2017 ඔක්තෝබර් 26 වැනි දින ඇමෙරිකානු භූ විද්‍යා සංගමය පර්යේෂණ පත්‍රිකාවක් නිකුත් කරමින් සඳහන් කළේ අදින් වසර 630,000 කට පෙර දැනට පෘථිවිය මත ඇති දෙවැනි විශාලත ම කල්දේරාව ලෙස සැලකෙන යෙලෝස්ටෝන් කල්දේරාව බිහි කළේ තනි විදාරණයක් නොව එක පිට එක සිදු වූ සුපිරි විදාරණයන් ද්විත්වයක් බව යි. ඔවුන් මෙම සොයා ගැනීම සිදු කර ඇත්තේ සැන්ටා බාබරා ද්‍රෝණියේ රොන් මඩ අතර සැඟ වී තිබුණු යමහල් අළු ස්තර ද්විත්වයක් අධ්‍යයනය කිරීමෙන් අනතුරු ව යි.
එසේ ම යෙලෝස්ටෝන් කල්දේරාව නිර්මාණය කළ මෙම සුපිරි විදාරණයන් ද්විත්වය, සාගර උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් පමණ පහළ දැමීමට දායක වී තිබෙන බව පැවසෙනවා. භූ විද්‍යාඥයින් මෙම නිගමනයට පැමිණ ඇත්තේ ෆෝරාමිනිෆෙරා ජීවීන්ගේ කවච තුළ ඇති සමස්ථානික ගණනය කිරීම මගින්. සාගරය මතුපිට පා වෙමින් ප්‍රභාසංස්ලේෂණයේ යෙදෙන ජීව විශේෂයක් ෆෝරාමිනිෆෙරා ලෙස හැඳින්වෙන අතර ඔවුන් විවිධ අනුපාතයන් සහිත ඔක්සිජන් සමස්ථානික අවශෝෂණය කිරීම මගින් තමන්ගේ කවචය නිර්මාණය කිරීම සිදු කරනවා. මෙම සමස්ථානික අනුපාතයන්, ලෝකය වටා පවතින සම්මත තත්ත්වයන් සමග සැසඳීමෙන් විද්‍යාඥයින්ට සාගර මතුපිට උෂ්ණත්වය ගණනය කිරීමට හැකි යි.
නැවත විදාරණයක් සිදු වන්නේ කවදා ද?
භූ විද්‍යාඥයින් පවසන්නේ නැවත වරක් යෙලෝස්ටෝන් කල්දේරාවේ විදාරණයක් ඇති වන කාල වකවානු ගැන අනාවැකි ඉදිරිපත් කිරීම අතිශය දුෂ්කර බව යි. නමුත් මෑත කාලීන ව කල්දේරාව අවට ප්‍රදේශයේ භූ චලන ඇති වීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති අතර කල්දේරාව යටින් ඇති ලෝදිය කුටි තුළ ද්‍රව මැග්මා චලනයන් ද භූ විද්‍යාඥයින් නිරීක්ෂණය කර තිබෙනවා. නමුත් න්‍යායාත්මක ව යෙලෝස්ටෝන් හි ලෝදිය කුටි සම්පූර්ණයෙන් ම පිරී යාම සඳහා වසර දහස් ගණනක් වුවත් ගත විය හැකි යි.
නමුත් වසර කිහිපයකට පෙර යෙලෝස්ටෝන් කල්දේරාවේ උන්නතාංශය (elevation) වසරකට අඟල් 2.8 කින් පමණ ඉහළ යන බව භූ විද්‍යාඥයින්ගේ අවධානයට ලක් වී තිබෙනවා. එය, මැග්මා පිරී ගිය ලෝදිය කුටි පිටත භූමිය ක්‍රමයෙන් උඩට ඔසවන බවට ලකුණක්. මේ අනුව යෙලෝස්ටෝන් කල්දේරාව මහා පිපුරුමකට සූදානම් වන බව පැවසීමේ වරදක් නැහැ.
නමුත් කලින් සඳහන් කළ පරිදි ම යෙලෝස්ටෝන් කල්දේරාව පුපුරා යන්නේ කවදා දැයි නිශ්චිත ව සඳහන් කිරීමේ හැකියාවක් නැහැ. භූ විද්‍යාඥයින්ගේ අනාවැකි අනුව ඉදිරි වර්ෂ 50 – 100,000 අතර කාල සීමාවේ ඕනෑ ම අවස්ථාවක එය පුපුරා යා හැකි යි. එවැනි පුපුරා යාමක් සිදු වුණොත් විශාල වශයෙන් ජීවිත සහ දේපළ හානි සිදු විය හැකි නිසා නාසා ආයතනය යෙලෝස්ටෝන් කල්දේරාවේ සිදුරු විද පීඩනය අවම කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. නමුත් දැනට පවතින තාක්ෂණික දැනුම හමුවේ ඉදිරි වසර 50 ඇතුළත එවැනි උපක්‍රමයක් භාවිතා කළ නොහැකි බවයි වාර්තා වන්නේ. තත්ත්වය එසේ තිබිය දී යෙලෝස්ටෝන් කල්දේරාව පුපුරා ගියහොත් එයින් සිදු විය හැකි විනාශය අති මහත් වන බව ඔබට අමුතුවෙන් පැවසිය යුතු නැහැ නේද?
කවරයේ පින්තූරය : © Cooperative Institute for Research in Environmental Sciences