Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අනාගත පාරිසරික අවදානමක් ගෙනෙන විදුලි වාහන බැටරි

“ජෙනරල් මෝටර්ස්” යනු අමෙරිකා එක්සත් ජනපදය මූලික කර ගත් බහු ජාතික මෝටර් රථ නිෂ්පාදන ආයතනයක්. පසුගිය කාලය තුළ ඔවුන් “ෂෙව්රලට් බෝල්ට්” නමැති මෝටර් රථ මාදිලිය නිපදවීම හරහා සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර ගත්තා. ඒ විදුලි මෝටර් රථ නිෂ්පාදනය අතින් ඔවුන් ටෙස්ලා සමාගමට පවා අභියෝගයක් එල්ල කළ නිසා යි. නමුත්, “ජෙනරල් මෝටර්ස්” සමාගමේ විදුලි මෝටර් රථ ආකෘතියේ යම් ගැටලුවක් තිබුණා. කලාතුරකින් ඔවුන්ගේ ඇතැම් මෝටර් රථ ගිනි ගැනීම් වලට ලක් වීම ඊට හේතුව යි.

ගෝලීය වශයෙන් සමාගම එවැනි ගිනි ගැනීම් 13 ක් තහවුරු කරගත් අතර, LG Chem ආයතනය අදාළ මෝටර් රථ මාදිලිය උදෙසා නිෂ්පාදනය කළ ලිතියම්-අයන් විදුලි කෝෂවල තිබූ ගැටලුවක් ඊට හේතු වූ බව “ජෙනරල් මෝටර්ස්” සමාගම සොයා ගත්තා. ගැටලුකාරී වාතාවරණයෙන් පසු ලොව පුරා අලෙවි ව තිබූ “ෂෙව්රලට් බෝල්ට්” වාහන 141,000 ක් 2017 සිට නැවත ගෙන්වීමට සමාගම කටයුතු කළ අතර, ඒවා නිවැරදි කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ඔවුන් ආරම්භ කළා.

EV බැටරියක ඇතුළත ව්‍යුහය – www.wired.com 

ගැටලුව අතරින් තවත් ගැටලුවක්

පොසිල ඉන්ධන දහනයෙන් ක්‍රියාත්මක වන වාහන තුළ ඇති කුඩා ප්‍රමාණයේ ඊයම්-අම්ල බැටරි මෙන් නොව, විදුලි මෝටර් රථ තුළ ඇති ලිතියම්-අයන් බැටරි (EV බැටරි ලෙසත් හඳුන්වනවා) ඇසුරු ම මෝටර් රථයේ රෝද අතුර (wheelbase) පුරා විහිදී තිබෙනවා. බරින් ඉතා වැඩි මෙම ඇසුරුම් තුළ සියුම් බැටරි කෝෂ සිය ගණනක් අඩංගු වෙනවා. “ජෙනරල් මෝටර්ස්” සමාගම මුහුණ දුන් ගැටලුව හමුවේ එම බැටරි කෝෂ අලුත්වැඩියා කිරීම පහසු කටයුත්තක් නොවෙයි. ඒවා අනතුරුදායක විය හැකි අතර, වැරදි ලෙස හැසිරවීමෙන් හානිකර ගිනි ගැනීම් ඇති විය හැකි යි.

 තාක්ෂණික ගැටලුව විසඳීම උදෙසා ඔවුන් කලක පටන් ක්‍රියාත්මකව සිටියත්, නොවිසඳුණු තවත් එක් ගැටලුවක් තිබුණා. විදුලියෙන් ක්‍රියා කරන මෝටර් රථවල බැටරි නැවත භාවිත කිරීම හෝ අලුත්වැඩියා කිරීමට නොහැකි වූ විට ඒවා පරිසරයෙන් ඉවත් කරන්නේ කෙසේ ද?  සැබැවින් ම එය නවමු ආකාරයෙන් මිනිසා හමුවට පැමිණි ප්‍රබල පාරිසරික ගැටලුවක්.

භාවිතයෙන් ඉවත් කළ EV බැටරි අනාගත පාරිසරික ගැටලුවක් බවට පත් විය හැකි යි – www.bbc.com 

අනාගත ප්‍රවණතාව

 පොසිල ඉන්ධන දහනයෙන් ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික වාහන හරහා සිදුවන පාරිසරික හානිය ගැන අප බොහෝ දුරට දැනුවත්. ඊට විසඳුමක් ලෙස පැමිණි විදුලි මෝටර් රථවලිනුත් පාරිසරික ගැටලු හට ගන්නේ නම්, අනාගතයේ දී විදුලියෙන් ක්‍රියා කරන වාහනත් සාර්ථක නොවිය හැකි යි. 

“මෙම කර්මාන්තය වර්ධනය වන වේගය අතිශයින් බියජනක යි.”

බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ පෝල් ඇන්ඩර්සන් දරන්නේ එවැනි අදහසක්. 2030 වනවිට යුරෝපයේ පමණක් විදුලි මෝටර් රථ මිලියන 30 ක් පමණ බලාපොරොත්තු වන පසුබිමක පෝල් ඇන්ඩර්සන්ගේ බිය සාධාරණ බව සිතිය හැකි යි. උතුරු අමෙරිකානු කලාපය තුළත් විදුලි මෝටර් රථ වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. විදුලියෙන් ක්‍රියා කරන වාහන හරහා වායු දූෂක විමෝචනය නොවුණත්, අනාගත ප්‍රවණතාව හමුවේ භාවිතයෙන් ඉවත් වූ බැටරිවලට අත්වන ඉරණම ගැන විමසීමක් සිදු කළ යුතුම යි. ඉදිරි වසර 10-15 ඇතුළත විදුලි මෝටර් රථ විශාල සංඛ්‍යාවක බැටරි සිය ජීවිත කාලය අවසන් කිරීමට නියමිත නිසා ඉවත් වන බැටරි ප්‍රතිචක්‍රීකරණය කිරීමේ සැලසුමක් ලෝකයට නිතැතින් ම අවශ්‍ය වෙනවා. 

EV බැටරි සමඟ කටයුතු කිරීම බොහොම ප්‍රවේසමෙන් කළ යුතු යි. කාලයත් විශාල වශයෙන් වැය වෙනවා – www.bbc.com 

සහායට පැමිණි SNT

 ජෙනරල් මෝටර්ස් සමාගමට සිය තාක්ෂණික ගැටලුව විසඳන අතරතුරේ දී ඉවත් කරන EV බැටරි නිසි පරිදි පරිසරයට මුදා හරින ක්‍රමවේදයකුත් අවශ්‍ය වුණා. අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග මෙන්ම ලිතියම්-අයන් බැටරි විෂ සහිත වන අතර, ඉක්මනින් පැතිර යන විනාශකාරී ගිනි ගැනීම්වලටත් හේතු වෙනවා. “ස්පයර්ස් නිව් ටෙක්නොලොජීස් (SNT)” ආයතනය සහයට පැමිණියේ එවිටයි.

විදුලි මෝටර් රථවලින් ඉවත් කරන දෝෂ සහිත බැටරි සුරක්ෂිතව ප්‍රවාහනය කිරීම, පරික්ෂා කිරීම, කොටස්වලට වෙන් කිරීම, නවීකරණය හා ගබඩා කිරීම වැනි සේවා SNT ආයතනය මඟින් සැපයෙනවා. ඔක්ලහෝමා නගරයේ පිහිටුවා ඇති ඔවුන්ගේ ප්‍රධාන ගබඩාව තුළ දැනටමත් එවැනි බැටරි විශාල සංඛ්‍යාවක් ගබඩා කර තිබෙනවා. නමුත්, අනාගත ප්‍රවණතාව හමුවේ විදුලි වාහනවල ලිතියම්-අයන් බැටරි මිලියන ගණනක් ඉදිරි දශක කිහිපය තුළ පරිසරයට එකතු වීම සිදු වේවි. මේ හේතුව නිසා සුරක්ෂිතව බැටරි ගබඩා කිරීම පමණක් ඉදිරියේ දී ප්‍රමාණවත් වන්නේ නැහැ. 

“ෂෙව්රලට් බෝල්ට් EV” වාහනයක් බැටරි දෝෂ නිසා ගිනිගෙන ඇති අයුරු – www.cnbc.com 

තිරසාර විසඳුමක් කරා..

විදුලියෙන් ක්‍රියා කරන වාහන කොතරම් පරිසර හිතකාමී වුවත්, ඒවායේ බැටරි වල ලිතියම්, කොබෝල්ට් වැනි මූල ද්‍රව්‍ය අඩංගු වන අතර, එම මූලද්‍රව්‍ය නිස්සාරණය කර ගැනීමේ දී සිදුවන පාරිසරික හානිය ඌන පූරණය වන්නේ නැහැ. එනම්, විදුලි වාහන නිපදවීමේ දී වක්‍රාකාරයෙන් පාරිසරික හානියක් සිදු වෙනවා. අදාළ මූල ද්‍රව්‍ය නිධිගත ව පවත්නා රටවලින් ඒවා නිස්සාරණය කර ගැනීමේ දී ජලය වැනි අත්‍යවශ්‍ය සම්පත් පමණට වඩා වියදම් වීම හෝ දූෂණය වන අතර, ගෝලීය කාබන් විමෝචනයටත් දායකත්වය සපයනවා. මීට අමතර ව, දුප්පත් රටවල ශ්‍රම අපයෝජනය සඳහා අනියම් දායකත්වයක් විදුලි වාහන නිෂ්පාදනය හරහා සිදු විය හැකි යි.

භාවිතයෙන් ඉවත් කළ EV බැටරි වල අඩංගු මූල ද්‍රව්‍ය නැවත ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට හැකි නම්, ඒ ගැටලුවලට එක්වර ම විසඳුමක් ලබා ගැනීමට හැකි වේවි. SNT ආයතනය දැනටමත් ඒ සඳහා පිඹුරුපත් සකසමින් සිටින අතර, ඔක්ලහෝමා නගරයේ පිහිටා ඇති ගබඩාව තුළ ඇති EV බැටරි ඒ සඳහා යොදා ගැනීම ඔවුන්ගේ අරමුණ යි. ලිතියම්, කොබෝල්ට් වැනි මුල ද්‍රව්‍ය මිල අධික හෙයින්, මෙය ඉතා කාලෝචිත ක්‍රියාදාමයක් ලෙස සැලකිය හැකි යි. අනාගතයේ දී විදුලි වාහන හරහා එකතු වන විද්‍යුත් අප ද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ පසුබිමකුත් එයින් සැකසෙනවා.

විදුලි මෝටර් රථයක ව්‍යුහය – afdc.energy.gov 

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සිවිල් හා පාරිසරික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇලිසා කෙන්ඩල්ගේ මූලිකත්වයෙන් මෙම ලෝහ නිස්සාරණයේ සාර්ථකත්වය න්‍යායාත්මකව අධ්‍යනය කිරීමක් සිදු කළා. 2040 දී අනුමාන කරන EV බැටරි අවශ්‍යතාවයෙන් අඩකටත් වඩා සෑහෙන කොබෝල්ට්, ලිතියම් සහ නිකල් ප්‍රමාණයක් භාවිතයෙන් ඉවත් කළ EV බැටරි හරහා ලබාගත හැකි බව එහිදී අනාවරණය වුණා. ඒ අනුව වේගයෙන් ජනප්‍රිය වන විදුලි වාහන හමුවේ පුළුල් ආරෝපණ මධ්‍යස්ථාන, පුහුණුව ලත් කාර්මික ශිල්පීන්, ශක්තිමත් බලශක්ති ජාලයක් මෙන් ම, කාලය ඉකුත් වන ලිතියම්-අයන් බැටරිවලට ම වෙන් වූ නවීන ප්‍රතිචක්‍රීකරණ පද්ධතියක වර්ධනයක් ඉදිරියේ දී සිදු වේවි. නමුත්, ඊට පෙරාතුව විසඳා ගත යුතු ප්‍රායෝගික ගැටලු රාශියක් තිබෙනවා.

අභියෝග එමට යි.

විදුලි වාහනවල භාවිතයෙන් ඉවත් කළ බැටරි සඳහා වර්තමානයේ අනුගමනය කරන්නේ ඉතා සරල ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාදාමයක්. බැටරි කැබලි කිරීම සහ තාපය හෝ රසායනික ද්‍රව්‍ය මඟින් තවදුරටත් බිඳ හෙළීම එහි දී සිදු කෙරෙනවා. බැටරිවලින් වටිනා ද්‍රව්‍ය නිස්සාරණය කරමින් ප්‍රතිචක්‍රීකරණය කිරීම තවමත් පවතින්නේ මිල අධික සහ දුෂ්කර ක්‍රියාවලියක් ලෙසට යි. මෑත අධ්‍යනයකට අනුව ලෝහ නිස්සාරණය හරහා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ සමස්ත පිරිවැයෙන් 40% ක් ම වෙන් වන්නේ ප්‍රවාහනයට යි.

වොක්ස්වැගන් ආයතනයට අයත් ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රාගාරයක් – www.bbc.com 

EV බැටරි ඇසුරුම් ප්‍රවාහනය කිරීම කොතරම් දුෂ්කර ද යත්, ඒවා ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානවලට ගෙන ඒම සඳහා විශේෂයෙන් සකස් කළ බහාලුම් අවශ්‍ය වෙනවා. ආරක්ෂිත ව ඒවා හැසිරවීමත් අභියෝගාත්මක යි. පාරිසරික සුරක්ෂිතතාව සහ අනාගතයේ දී පරිසරයට එකතු වීමට නියමිත EV බැටරි සංඛ්‍යාව සම්බන්ධයෙන් ලෝහ නිස්සාරණ ක්‍රියාදාමය හොඳ විසඳුමක් වුවත්, පිරිවැය සැලකීමේ දී එය ව්‍යාපාරයක් ලෙස පවත්වා ගෙන යෑමේ ප්‍රායෝගික ගැටලු තිබෙනවා.

දැනට, EV බැටරි ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් ලාභ ලැබිය හැකි එක ම ද්‍රව්‍ය වන්නේ කොබෝල්ට් නම් රසායනිකය යි. කොබෝල්ට්, දුර්ලභ හා මිල අධික ද්‍රව්‍යයක් වීම ඊට හේතුව යි. EV බැටරිවලින් ලෝහ නිස්සාරණය කිරීම සඳහා විශාල ශ්‍රම සම්පතක් අවශ්‍ය වන අතර, වගකීමෙන් සහ ආරක්ෂිත ව ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට ඇතුළත් කරගත යුතු නිසා අවශ්‍ය තාක්ෂණික පසුබිමත් ඉතා සංකීර්ණ යි. 

වෙළඳපොළ ආකෘතීන් අනුව ලිතියම්-අයන් බැටරිවලට ඇති ඉල්ලුම විචලනය වන අයුරු – smartcity.lv 

 මේ කරුණුවලට ප්‍රවාහන පිරිවැය එකතු වූ විට තවමත් EV බැටරිවලින් ලෝහ නිස්සාරණය කිරීම ආර්ථිකමය වශයෙන් ප්‍රතිලාභ අත්කර දෙන කර්මාන්තයක් නොවෙයි. කෙසේ නමුත්, අනාගත පාරිසරික අවදානම සලකා උද්ගත ව ඇති ප්‍රතිලාභමය ගැටලු විසඳීමට පියවර ගැනීම ඉතා වැදගත්. SNT ඇතුළු ක්ෂේත්‍රය තුළ සිටින ආයතන දැනටමත් එම ප්‍රායෝගික ගැටලු විසඳීම සඳහා පර්යේෂණ පවත්වමින් සිටිනවා.

කවරයේ ඡායාරූපය: 2030 වනවිට යුරෝපයේ පමණක් විදුලි මෝටර් රථ මිලියන 30 ක් පමණ බලාපොරොත්තු විය හැකි යි.  wonderfulengineering.com

මූලාශ්‍ර: 

www.wired.com

www.gm.com

www.cnbc.com

www.intersolar.us

www.spiersnewtechnologies.com 

Related Articles