ඇන්කෝර්: අග්නිදිග ආසියාවේ විස්මය ජනක ආරාම සංකීර්ණය

ඇන්කෝර් යනු උතුරු කාම්බෝජයේ පිහිටි අග්නිදිග ආසියාවේ වැදගත් ම පුරාවිද්‍යාත්මක ස්ථානවලින් එකකි. එය වනාන්තර භූමි ප්‍රදේශය ද ඇතුළු ව කිලෝමීටර් 400 ක භූමිභාගයක පිහිටයි. ඇන්කෝර් පුරාවිද්‍යා උද්‍යානය තුළ පිහිටි විවිධ නිර්මාණවලින් ශේෂ වූ නටබුන් අතර 9 වන ශතවර්ෂයේ සිට 15 වන ශතවර්ෂය දක්වා ඛමර් අධිරාජ්‍යයේ විවිධ අගනගරවල විස්මය ජනක ගොඩනැංවීම් ද පවතියි.

ඒවාට ප්‍රසිද්ධ ඇන්කෝර් වට් (Angkor Wat) විහාරය සහ ඇන්කෝර් තෝම් (Angkor Thom) හි මූර්ති සැරසිලි සහිත Bayon පන්සල ද ඇතුළත් වේ. ඇන්කෝර් ඉපැරණි පුරාවිද්‍යා භූමිය, ඇන්කෝර් වට් විහාරය සහ ඇන්කෝර් තෝම් විහාරය ද ඇතුළත් ව ඉතා විශාල භූමි භාගයක පිහිටි විහාර ආරාම සංකීර්ණයක් ලෙස නිර්වචනය කළ හැකි ය.

ඇන්කෝර් ආරාම සංකීර්ණය වෙත වැඩම කරන බෞද්ධ භික්ෂූන් වහන්සේ දෙනමක්- whc.unesco.org 

 

පිහිටීම

කාම්බෝජයේ සියම් රීප් පළාතේ ඇන්කෝර් පුරාවිද්‍යා උද්‍යානය පිහිටා ඇත. ඛමර් අධිරාජ්‍යයේ විවිධ අගනගර 9 වන සිට 15 වන සියවස දක්වා මෙහි සමෘද්ධිමත් ව පැවතිණි. එහි පාලකයෝ මියන්මාරයේ (බුරුමය) සිට වියට්නාමය දක්වා විහිදුණු අධිරාජ්‍යයක් පාලනය කළහ. වනාන්තර ප්‍රදේශ සහ අලුතින් සොයාගත් “උප නගර” ඇතුළුව ඇන්කෝර් භූමිප්‍රදේශය වර්ග කිලෝමීටර 400 කට වඩා ආවරණය කරයි. එය ඉතිරි ව ඇති පන්සල් සහ ව්‍යුහ සිය ගණනකින් එකක් පමණකි. දැවැන්ත ඇන්කෝර් වට් යනු කාම්බෝජයේ සියලු ම පන්සල් අතරින් වඩාත් ප්‍රසිද්ධියට සහ ගෞරවයට පාත්‍ර වූ ස්ථානය වේ.

12 වන සියවසේ දී එය හින්දු දෙවියන් වන විෂ්ණු සඳහා කැප කළ අධ්‍යාත්මික නිවහනක් ලෙස ඉදිකර ඇත. එවකට කාම්බෝජයේ ඉතිහාසය, පුරාවෘත්ත සහ විවිධ සංකල්ප මෙම විහාර බිත්ති මත පෙළගස්වා ඇති ආකාරය දැකිය හැකි ය. එය කලාත්මක නිධානයන්ගෙන් සමන්විත විස්මිත වාස්තුවිද්‍යාත්මක නිර්මාණයක් ලෙස අදටත් සිත්ගන්නා අයුරින් විරාජමාන ය. එමඟින් ඇන්කෝර් හි අනෙකුත් ප්‍රදේශවල පැවති එවැනි කලා අතීතය පිළිබඳ විමසීමට විද්වතුන්ට වටිනා කවුළුවක් විවර කර දෙයි.

ඉතිහාසය

12 වන සියවසේ මුල් භාගයේදී හින්දු කෝවිලක් ලෙස ඉදිකළ අක්කර 400 කට වඩා පැතිරී ඇති ඇන්කෝර් වට් ලොව විශාලත ම ආගමික ස්මාරකය ලෙස සැලකේ. කලාපයේ බැවහර ඛමර් භාෂාවෙන් එහි නම “ආරාම නගරය” ලෙස නිර්වචනය කෙරෙයි. වර්ෂ 1113 සිට 1150 දක්වා කලාපය පාලනය කළ II වන සූර්යවර්මන් අධිරාජ්‍යයා ඔහුගේ අධිරාජ්‍යයේ රාජකීය ආරාමය සහ දේශපාලන මධ්‍යස්ථානය ලෙස එය ඉදිකළ බව සඳහන් ය. II වන සූර්යවර්මන් අධිරාජ්‍යයා හින්දු භක්තිකයකු වශයෙන් සැලකේ.

ටා ප්‍රොම් ආරාමය – www.worldatlas.com 

හින්දු දෙවි කෙනකු වන විෂ්ණු දෙවියන්ට මුලින් කැප කළ ඇන්කෝර් වට්, 12 වන සියවසේ අග භාගය වන විට බෞද්ධ විහාරස්ථානයක් බවට පත් විය.  12 වන සියවස අග වන විට එය බෞද්ධ ස්ථානයක් ලෙස සැලකුණ ද, නව අධිරාජ්‍යයා වන VII වන ජයවර්මන් ගේ මඟපෙන්වීම අනුව, මෙම ඓතිහාසික අඩවියට සැතපුම් කිහිපයක් උතුරින් පිහිටි  ඇන්කෝර් තෝම් වෙත සහ ඔවුන්ගේ රාජ්‍ය දේවාලය ද, අගනුවර බයන් (Bayon) වෙත ද පසුව ගෙන ගොස් ඇත. 

 

ඇන්කෝර් බලප්‍රදේශය පිළිබඳව විවිධ මත සහ නිර්නායක විද්වතුන් අතරින් පැන නැගී ඇත.  ඇන්කෝර් සියවස් ගණනාවක්, ඛමර් රාජධානියේ කේන්ද්‍රස්ථානය විය. සිත් ඇදගන්නසුලු ස්මාරක, විවිධ පුරාණ නාගරික සැලසුම් සහ විශාල ජලාශ සමඟින්, මෙම අඩවිය සුවිශේෂී ශිෂ්ටාචාරයකට සාක්ෂි සපය යි. ඛෙමර් ගෘහනිර්මාණ ශිල්පයේ ආදර්ශ වන ඇන්කෝර්වට්, බයන්, ප්‍රීච්කහාන් සහ ටා ප්‍රොම් වැනි විහාරස්ථාන ඒවායේ භූගෝලීය සන්දර්භයට සමීපව සම්බන්ධ වී ඇත.

අනුප්‍රාප්තික අගනගරවල දක්නට ඇති ගෘහනිර්මාණ ශිල්පය සහ සැලසුම් ඛමර් අධිරාජ්‍යය තුළ ඉහළ මට්ටමේ සමාජ පිළිවෙළක් පැවති බවට සාක්ෂි දරයි. එබැවින් ඇන්කෝර් යනු සංස්කෘතික, ආගමික සහ සංකේතාත්මක වටිනාකම් මෙන්ම ඉහළ වාස්තුවිද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක සහ කලාත්මක වැදගත්කමක් ඇති ප්‍රධාන අඩවියකි. එවකට උද්‍යානය ජනාවාස වී තිබී ඇති අතර, ඇන්කෝර් යුගය දක්වා දිවෙන බොහෝ ගම් උද්‍යානය පුරා විසිරී ඇත. එහි ජනගහනය කෘෂිකර්මාන්තයේ  නිරත ව, සහල් වගා කිරීම සිදුකොට තිබිණි.

Preah-Khan ආරාමයේ සිංහ රූප – www.renown-travel.com 

 

ඇන්කෝර් සංකීර්ණය 9වන සිට 14 වන සියවස දක්වා ඛමර් කලාවේ සමස්ත පරාසය ම නියෝජනය කරන්නකි. අවිවාදිත කලාත්මක විශිෂ්ට නිර්මාණ එයට ඇතුළත් වේ. ඇන්කෝර් හි වර්ධනය වූ ඛෙමර් කලාවේ බලපෑම අග්නිදිග ආසියාවේ බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත වූවකි.  9 වන හා 14වන සියවස්වල ඛමර් අධිරාජ්‍යය අග්නිදිග ආසියාවේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇත. එය කලාපයේ දේශපාලන හා සංස්කෘතික සංවර්ධනයෙහි සාධනීය කාර්යභාරයක් ද ඉටු කළේ ය. එම ශිෂ්ටාචාරයේ ඉතිරි ව ඇත්තේ ගඩොලින් හා ගල්වලින් තැනූ සංස්කෘතික ව්‍යුහයන්ගේ අතීත පොහොසත් උරුමය යි.

ඇන්කෝර් සංකීර්ණයට ඛමර් යුගයේ සිට සියලු ම ප්‍රධාන වාස්තු විද්‍යාත්මක ගොඩනැගිලි සහ ජල විද්‍යාත්මක ඉංජිනේරු පද්ධති ඇතුළත් වන අතර මේ “බරායි” සහ ඇළ මාර්ග බොහොමයක් අදටත් එහි පවතී. එය එදා පැවති නගරවල තේජස පිළිබිඹු කරයි.

බයන් ආරාමයේ ඉදිරිපස – www.lonelyplanet.com

 

නිර්මාණ ආකෘතිය සහ පසුබිම

හින්දු සහ බෞද්ධ යන දෙඅංශයේ ම මූලධර්මවලට අනුව දෙවියන්ගේ නිවහන වන මහාමේරු පර්වතය නියෝජනය කිරීම සඳහා දේව මාලිගාවේ සැලසුමට එය ආරෝපණය කොට ඇත. එහි කුළුණු පහ මේරු කන්දේ කඳු මුදුන් පහ ප්‍රතිනිර්මාණය කරයි. පහතින් ඇති බිත්ති සහ දිය අගල අවට කඳු වැටි සහ මුහුද සංකේතවත් කරයි. 

පුළුල් දිය අගලකින් වට වූ අඩි 15ක් උස පවුරක් නගරය, විහාරය සහ නිවැසියන් බාහිර සතුරු ආක්‍රමණයෙන් ආරක්ෂා කර ඇත. එම බළකොටුවේ අවශේෂ බොහෝමයක් තවමත් පවතී. විහාරස්ථානයට ඇතුළු වන ප්‍රධාන පිවිසුම් ස්ථානය වූයේ වැලිගල් පාලමකි. මෙම බිත්ති ඇතුළත ඇන්කෝර් වට් අක්කර 200 කට වඩා වැඩි ප්‍රදේශයක් පුරා විහිදේ. මෙම ප්‍රදේශයට දේව මාලිගාවට උතුරින් පිහිටි නගරය, විහාර ව්‍යුහය සහ අධිරාජ්‍යයාගේ මාලිගය ඇතුළත් වූ බව විශ්වාස කෙරේ.

එකල සම්ප්‍රදායට අනුකූල ව, නගරයේ පිටත බිත්ති සහ දේව මාලිගාව පමණක් වැලිගල්වලින් සාදා ඇත. ඉතිරි ව්‍යුහ ලී සහ අනෙකුත් ද්‍රව්‍යවලින් ඉදිකර ඇත. එබැවින් විහාරස්ථානයේ සහ නගර පවුරේ කොටස් පමණක් අද ඉතිරි ව ඇත. දේව මාලිගාව තවමත් තේජාන්විත ව දිස් වන ව්‍යුහයකි: එහි උසම ස්ථානයේ ප්‍රධාන සිද්ධස්ථානයට ඉහළින් ඇති කුළුණ, අඩි 70 කට ආසන්න උසකින් යුක්ත වේ. හින්දු සහ බෞද්ධ ඇදහීම්වල වැදගත් දෙවිවරුන් සහ චරිත මෙන්ම එම සම්ප්‍රදායයවල ප්‍රධාන සිදුවීම් නියෝජනය කරන දහස් ගණනක ආකෘතිවලින් විහාර බිත්ති සරසා ඇත.

ඇන්කෝර්වට් ආරාමයේ දර්ශනයක් – www.remotelands.com 

 

අද ඇන්කෝර් සංකීර්ණය

අවාසනාවකට මෙන්, ඇන්කෝර්වට් තරමක් මෑතක් වන තුරු – 1800 ගණන් දක්වා භාවිතයේ පැවතිය ද, වනාන්තරයට වැසී යාමේ සිට භූමිකම්පා සහ යුද්ධය දක්වා වූ විවිධ ව්‍යසන හමුවේ සැලකිය යුතු හානියක් මෙම ආරාම සංකීර්ණයට සිදු විය.

20 වන ශතවර්ෂයේ වැඩි කාලයක් කාම්බෝජය ලෙස හැඳින්වෙන ප්‍රදේශය පාලනය කළ ප්‍රංශ ජාතිකයන්, 1900 ගණන්වල මුල් භාගයේදී සංචාරක කටයුතු සඳහා එම ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට කොමිසමක් පිහිටුවී ය. මෙම කණ්ඩායම එහි ක්‍රියාත්මක පුරාවිද්‍යා ව්‍යාපෘති ද අධීක්ෂණය කළේ ය. ප්‍රංශ පාලනය යටතේ එහි ප්‍රතිසංස්කරණ කටයුතු කොටස් වශයෙන් සිදු කර ඇත. 

ආරාමය තුළ සිටින භික්ෂුවක් – www.lonelyplanet.com

1970 ගණන්වල කාම්බෝජය කුරිරු සිවිල් යුද්ධයකට ඇද වැටුණු විට, ඇන්කෝර් වට්, වෙත හානි සිදු විය.අත්තනෝමතික ඛමර් රූජ් පාලන තන්ත්‍රය පුරාණ නගරයට ආසන්න ප්‍රදේශයේ අසල්වැසි වියට්නාමයේ හමුදා සමඟ සටන් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එහි පිටත බිත්තිවල වෙඩි උණ්ඩ වැදුණු සලකුණු තිබේ. එතැන් සිට, කාම්බෝජ රජය විවිධ වෙනස්කම්වලට භාජනය වීමත් සමඟ, ඉන්දියාවේ, ජර්මනියේ සහ ප්‍රංශයේ නියෝජිතයන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව, දැනට පවතින ප්‍රතිසංස්කරණ ප්‍රයත්න සඳහා දායක වී ඇත.

ඇන්කෝර් වට් 1992 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කර ඇත. එකල ඇන්කෝර්වට් වෙත පැමිණි අමුත්තන් සංඛ්‍යාව දහස් ගණනින් වුවද, වර්තමානයේ සෑම වසරක ම අමුත්තන් 500,000 ක් පමණ එහි එයි.  

කවරයේ ඡායාරූපය- ඇන්කෝර් විහාර ආරාම සංකීර්ණයට ඉහළින් හිරු උදාවේ දසුනක් -  www.remotelands.com 

මූලාශ්‍ර:

www.history.com

whc.unesco.org

Related Articles

Exit mobile version