දකුණු ඇමරිකාවේ හදවත ලෙසින් හැඳින්වෙන ඇමසන් ගංගාව (ඇමසන් ගඟ ගැන මිනිත්තුවේ කෙටි වීඩියෝවක් මෙතැනින් බලන්න) ඇන්ඩීස් කඳුවැටියෙන් ආරම්භවී රටවල් 6ක් හරහා කි.මී 6400ක දුරක් ගෙවා දමමින් අත්ලාන්තික් සාගරයට එකතුවෙනවා. පේරු, බ්‍රසීලය, ඉක්වදෝරය, කොළොම්බියාව, වෙනිසියුලාව, සහ බොලිවියාව යන රටවල් පෝෂණය කරන ඇමසන් ගංගාව දිග ප්‍රමාණයෙන් දෙවැනි වන්නේ නයිල් ගංගාවට පමණ යි. වර්තමානය වන විට ඇමසන් ගංගාව කුමක්දැ යි බොහෝදෙනෙකු දන්නවා. නමුත් 16 වන සියවසේ දී මෙම සුවිසල් ගංගාව පිළිබඳව දැන සිටියේ ඇමසන් ද්‍රෝණියේ ජීවත්වුණු ස්වදේශික ජනකොටස් පමණ යි. ලෝකයෙන් සැඟව තිබුණු මේ මහා ජලකඳ පිළිබඳව මුලින්ම ලොවට අනාවරණය කළේ ෆ්රැන්සිස්කෝ ඩි ඔරෙලානා නම් ස්පාඤ්ඤ දේශ ගවේශකයා යි.
ෆ්රැන්සිස්කෝ ඔරෙලානා ජීවිතයේ මුල් අවධිය
ක්‍රි. ව. 1511 දී ස්පාඤ්ඤයේ ටෘජිලෝ ප්‍රදේශයේ උපත ලද ඔරෙලානා කුඩා කාලයේ සිටම දේශ ගවේශන කටයුතුවලට උනන්දුවක් දැක්වූවා. ඒ, එම අවධිය වන විට ක්‍රිස්ටෝපර් කොළොම්බස් වැනි ස්පාඤ්ඤ දේශ ගවේශකයන් ලතින් ඇමරිකාවේ නව රටවල් සොයාගනිමින් සිදුකළ පෙරළිය නිසා යි. ඔරෙලානා නවයොවුන් වියට එළඹෙන විට ඔහු උපන් ප්‍රදේශයේම ඉපදී කිහිපවරක් දකුණු ඇමරිකානු ප්‍රදේශවල ගවේශන කටයුතු කළ පුද්ගලයෙකු හමුවුණා. ෆ්රැන්සිස්කෝ පිසාරෝ නම් වුණු ඔහු දකුණු ඇමරිකාව ගැන ඔරෙලානාට විස්තර කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔරෙලානා ද පිසාරෝ සමග දකුණු ඇමරිකාවට යාමට තීරණය කළා.
පිසාරෝගේ හමුදාවට එක්වීම
1531 වසරේ දී පමණ දකුණු ඇමරිකාව බලා ගිය පිසාරෝගේ කණ්ඩායමට ඔරෙලානාත් ඇතුළත් වුණා. පිසාරෝ දකුණු ඇමරිකාවට ගියේ පේරු රාජ්‍යය අල්ලාගැනීම සඳහා යි. ඒ වන විට පේරු රාජ්‍යයේ ඉන්කා නම් ශිෂ්ටාචාරය පැවතුණා. පිසාරෝ ඇතුළු පිරිසේ අරමුණ වුණේ ඉන්කාවරුන් පරාජය කරමින් ඔවුන්ගේ ප්‍රදේශය යටත්කර ගැනීම යි. එම මෙහෙයුම සඳහා පිසාරෝට සහාය දුන් අනිත් පුද්ගලයා වුණේ ඩියාගෝ ද අල්මාග්‍රෝ යි. ඔහුත් තරුණ වියේ දීම දකුණු ඇමරිකාවට පැමිණි පුද්ගලයෙක්. අල්මාග්‍රෝටත් සැලකිය යුතු පිරිස් බලයක් තිබුණා. ඒ අනුව පිසාරෝ සහ අල්මාග්‍රෝ ඇතුළු පිරිස ඉන්කාවරුන් පරාජය කිරීමේ සටන ආරම්භ කළා.
ඒ වන විට ඇටහෝල්පා නම් අධිරාජ්‍යයා ඉන්කා ප්‍රදේශවල පාලකයා ලෙසින් කටයුතු කළා. පිසාරෝ ප්‍රමුඛ පිරිස කළේ උපක්‍රමශීලීව ඉන්කා අධිරාජ්‍යයාව ඔවුන්ගේ ග්‍රහණයට නතුකර ගැනීම යි. තමා උගුලකට හසුවුණු බව තේරුම්ගත් ඉන්කා අධිරාජයා සිය වස්තුව පිසාරෝට ලබා දී ජීවිතය බේරාගැනීමට උත්සාහ කළා. නමුත් වස්තුව ලබාගත් පිසාරෝ ඇටහෝල්පා අධිරාජයා සහාසික ලෙස ඝාතනය කරවනු ලැබුවා. ඉන්පසු ඔවුන් ඉන්කා අධිරාජ්‍යයේ සියලුම වස්තුව කොල්ලකෑවා. ඉන්කා ප්‍රදේශ මෙසේ යටත්කර ගැනීමෙන් පසුව පිසාරෝගේ සේනාව සහ ඉන්කා වැසියන් අතර සටන් ඇතිවුණා. එම සටන්වලින් ඉන්කාවරු විශාල ප්‍රමාණයකට මරණය උරුමවුණා.
පිසාරෝ සහ ඔරෙලානා හිතවත්වීම
ඉන්කා අධිරාජ්‍යයාව මරාදැමීමෙන් පසු පිසාරෝ සහ අල්මාග්‍රෝ අතරේ වස්තුව බෙදීගියා. නමුත් එම අවස්ථාවේ දී සමානව වස්තුව බෙදී නොයාම හේතුවෙන් පිසාරෝ සහ අල්මාග්‍රෝ අතර යම් අමනාපයක් ඇතිවුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පිසාරෝගේ පිරිස සහ අල්මාග්‍රෝගේ පිරිස අතර දරුණු සටනක් ඇතිවුණා. ඒ වන විට තරුණ වියේ පසුවුනු ඔරෙලානා සටනට දක්ෂයෙකු වුණා. එනිසා ඔහු පිසාරෝ වෙනුවෙන් අල්මාග්‍රෝ ඇතුළු පිරිස සමග සටන් කළා. දක්ෂ ලෙස සටන් කළ ඔරෙලානා තරුණයා කෙරෙහි පිසාරෝගේ සිතේ යම් පැහැදීමක් ඇතිවුණා. ඒ වන විට 22 හැවිරිදි වියේ පසුවුණු ඔරෙලානා දක්ෂයෙකු බව පිසාරෝට තේරුම් ගිය නිසා ඔහුව ලා කුලාටා නම් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා ලෙසින් පත්කරනු ලැබුවා.
ගවේශන කටයුතු අතරතුර හමුවුණු ගංගාව
දකුණු ඇමරිකාවේ ප්‍රදේශ යටත්කර ගැනීමෙන් පසුව එහි වූ ස්වභාවික සම්පත් සිය රටට ගෙනයාම ස්පාඤ්ඤ ජාතිකයන්ගේ අරමුණ වුණා. එම නිසා එකල කුරුඳු මහද්වීපය ලෙසින් හැඳින්වුණු ප්‍රදේශය සොයා ගවේශක කණ්ඩායමක් යැවීමට පිසාරෝ තීරණය කළා. කුරුඳු මහද්වීපය සොයා ගිය ගවේශක පිරිසේ නායකත්වය ඔහුගේ ඥාති පුත්‍රයෙකු වුණු ගොන්සාලේස් පිසාරෝට ලබාදෙන විට උප නායකත්වය ඔරෙලානා තරුණයාට ලබාදුන්නා. එම මෙහෙයුම සඳහා ස්පාඤ්ඤ භටයන් 200ක් සහ ස්වදේශිකයන් 1000කට අධික පිරිසක් සහභාගි වුණා. ඔරෙලානා භටයන් 50 දෙනෙකු සමග නැපෝ නම් ගංගාවේ අතු ගංගාවක් වුණු කොකා ගංගාවේ පහළ ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතුවල නිරත වුණා. ඔරෙලානා ඇතුළු පිරිස කොකා ගංගාව දිගේ ඉහළට ගොස්, එය නැපෝ ගංගාවට එකතු වන ස්ථානය සොයාගැනීමට සමත්වුණා.
ගවේශනයෙන් පසුව ඔරෙලානා ඇතුළු කණ්ඩායම තමන් දුටු දේ පිසාරෝට පවසා සිටියා. පිසාරෝ අණකර සිටියේ නැපෝ ගංගාව අවසන් වන තැන සොයාගන්නා ලෙස යි. පිසාරෝගේ නියමය පරිදි ඔරෙලානා ඇතුළු පිරිස නැපෝ ගංගාවේ ගවේශනය සඳහා පිටත්ව ගියා. නැපෝ ගංගා ප්‍රදේශය ඔවුන්ට ආගන්තුක වුණු නිසා වැඩිපුර භටයන් රැගෙන යාමට සිදුවුණා.
ගෝත්‍රිකයන් සමග සිදුකළ සටන්
නැපෝ ගංගාවේ ඉවුරු ඝන වනාන්තරයෙන් වැසී තිබුණා. එම වනාන්තරයේ දරුණු වන සතුන් ජීවත්වුණු නිසා ගවේශක කණ්ඩායමට බලාපොරොත්තු නොවුණු ආකාරයේ විපත්වලට මුහුණදෙන්නට සිදුවුණා. නමුත් ඔරෙලානා ඇතුළු පිරිස එම බාධක හමුවේ නොසැලී ඉදිරියට ගියේ නැපෝ ගංගාවේ අවසානය සොයාගැනීමට යි. වන සතුන්ගෙන් බේරී ඉදිරියට ගිය ඔරෙලානාගේ කණ්ඩායමට ඔමාගුවාස් නම් ගෝත්‍රයේ මිනිසුන් සමගින් සටන් කරන්නට සිදුවුණා. එම සටන්වල දී දෙපාර්ශවයටම සැලකිය යුතු තරම් හානියක් සිදුවුණා.
ඔමාගුවාස් ගෝත්‍රිකයන්ගෙන් බේරී පළාගිය ගවේශක පිරිසට මචිපාරෝගේ නම් තවත් ගෝත්‍රිකයන් පිරිසක් හමුවුණා. ඔවුන් ද ඔරෙලානාගේ භටයන්ට ප්‍රහාර එල්ලකළා. එම සටනින් ද ජයගත් ඔරෙලානා ඇතුළු පිරිස නැපෝ ගංගාව දිගේ තවත් දුරට ගමන් කළා. කිසිදු උපද්‍රවයකින් තොරව දින ගණනාවක් ගමන් කළ පිරිසට ටැපුයාස් නමින් තවත් ගෝත්‍රික පිරිසක් හමුවුණා. එම ගෝත්‍රයේ සිරිත්වලට අනුව කාන්තාවන් සටන් කළේ පිරිමින් සමග යි. එම නිසා ටැපුයාස් ගෝත්‍රික කාන්තාවන් පිරිසක් ගවේශක පිරිස සමග සටනට පැමිණියා. ටැපුයාස් ගෝත්‍රික කාන්තාවන් සටනට දක්ෂයින් වූ නිසා දෙපාර්ශවය අතර ද්වන්ධ සටනක් පැවතුණා. අවසානයේ ටැපුයාස් ගෝත්‍රිකයින් ද පරාජය කළ ඔරෙලානා ඇතුළු පිරිස ගංගාව දිගේ ඉදිරියටම ගමන් කළා
සුවිසල් ගංගාවක් හමුවෙයි
ටැපුයාස් ගෝත්‍රිකයන් පරාජය කරමින් නැපෝ ගංගාව දිගේ ඉදිරියට ගිය පිරිසට අදහාගත නොහැකි දර්ශනයක් දක්නට ලැබුණා. ඒ, නැපෝ ගංගාව අවසානයේ දී අති විශාල ගංගාවකට එකතුවුණු ආකාරය යි. එම සුවිසල් ගංගාව දැකීමෙන් පුදුමයට පත්ව සිටි ඔරෙලානා ඇතුළු පිරිස ඒ අවට ප්‍රදේශය නිරීක්ෂණය කළා. ඇත්ත වශයෙන්ම මෙතරම් විශාල ගංගාවක් ඔවුන් ඊට පෙර දැක තිබුණේ නැහැ. තමන් සියලු බාධක ජයගනිමින් සොයාගත් ඒ විශාල ගංගාවට සුදුසු නමක් යෙදීමට එහි සිටි පිරිස කල්පනා කළා.
ගංගාවට ඇමසන් යන නම තබයි
ඔරෙලානා ඇතුළු පිරිස මහා ගංගාව සොයාගැනීමට පෙර ටැපුයාස් ගෝත්‍රික කාන්තාවන් සමග සටන් කළ බව ඔබට මතක ඇති. ඔවුන් ග්‍රීක පුරාවෘත්තවල එන ඇමසන් නම් කාන්තා රණශූරියන් (ඇමසන් රණශූරියන් ගැන දැනගන්න කැමති නම් මේ ලිපිය කියවන්න: පුරාණ ලෝකයේ රණශූර කාන්තාවෝ: ඇමසන්) මෙන් දිස්වුණු නිසා ගවේශක පිරිසේ නායක ඔරෙලානා එම මහා ගංගාවට “ඇමසන්” යන නම දුන්නා. සිය ගවේශන කටයුතු සාර්ථකව නිමාවට පත්කළ ඔරෙලානා යළි ස්පාඤ්ඤය බලා යාමට තීරණය කළා.
ඔරෙලානාගේ අවසානය
ස්පාඤ්ඤ ගිය ඔරෙලානා රජතුමා හමුවී, තමන්ට හමුවුණු සුවිසල් ගංගාව පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළා. එම තොරතුරු ඇසීමෙන් රජතුමා ද මවිතයට පත්වුණා. එනිසා ඔහුට යළි ඇමසන් වෙත යාමට සිදුවුණේ රජතුමා නියම කළ පරිදි ගංගාව ගැන වැඩිදුරටත් සොයාබැලීමට යි. නමුත් එම ගවේශනයේ දී ගෝත්‍රිකයන් එල්ලකළ ප්‍රහාර හමුවේ ඔහුගේ පිරිසට කරදර රැසකට මුහුණදෙන්නට සිදුවුණා. ඔරෙලානාගේ ආධාරකරුවන් 17ක් විෂ ඊතල වැදී මියගියා. එසේම ඔරෙලානා ද එම ඊතල ප්‍රහාර හමුවේ දැඩිලෙස අසනීප වුණා. මාස කිහිපයක් ඔත්පලවී සිටි මෙම ගවේශකයා ක්‍රි. ව. 1546 දී මරණයට පත්වුණා.
ෆ්රැන්සිස්කෝ ඔරෙලානා සිහිවීම පිණිස පසු කලෙක ඉක්වදෝරය සහ පේරු යන රටවල ප්‍රදේශයන් 2ක් ඔරෙලානාගේ නමින් නම්කරනු ලැබුවා. එසේම ඇමසන් ගංගාවේ අතු ගංගාවක් ද ඔරෙලානාගේ නමින් නම්කර තිබෙනවා.