ශෝකාන්තයක් වූ පාරාදීසයක කතාව: නාඋරු

ශාන්තිකර සාගරය පුරා පැතිරුණු දූපත් අතරේ, කුඩා නමුත් විශේෂ එක් දූපතක් තිබෙනවා. එය ඉතා කුඩා බිම්කඩක් වුණත්, එහි ඓතිහාසික පසුබිම සුවිශේෂී වූ එකක්. එහි ඉතිහාසය තුළින් අපට උගත හැකි පාඩම සර්ව කාලීන යි, යථාර්තවාදී යි. මෙම දූපත එක්තරා කාලසීමාවක මිහිපිට පාරාදීසයක් තරමට බැබළුණු තැනක්. නමුත් අද සරණාගත කඳවුරක්. කලකට ඉහත ශාන්තිකර සාගරය මැද යෙහෙන් වැජඹුණු නාඋරු නම් මේ පාරාදීසය සරණාගත කඳවුරක් වැනි තැනකට ඇද වැටුණේ කොහොම ද? මේ ඒ පිළිබඳව ඔබව අතීතයේ සිට වර්තමානය දක්වා ගෙන යන චාරිකාවේ ආරම්භය යි.

පාරාදිසය දුටු සාමකාමී කපිතාන්

ඕස්ට්‍රේලියාව සහ හවායි දූපත් අතර පිහිටා ඇති නාඋරු දූපත ලෝකයේ තරමක් හුදෙකලා වූ තැනක්. ඒ නිසාම මේ බිම්කඩ යුරෝපීයන්ගේ දෑස් මානයෙන් කාලාන්තරයක් තිස්සේ සැඟවී තිබුණා. නමුත් 1798 නොවැම්බර් 8 වන දින බ්‍රිතාන්‍ය නෞකාවක් වූ ස්නෝ හන්ටර් චීන මුහුදට යමින් සිටිය දී, මේ දිවයින ඔවුන්ගේ නෙත ගැටුණා. ඒ වනතුරු මේ පාරාදීසය ගැන යුරෝපීය වාර්තාවක් තිබුණේ නැහැ. මිත්‍රශීලී සහ සාමකාමී ජන කොටසක් වූ නාවුරුවාසීන් “ස්නෝ හන්ටර්” නැවේ නැවියන්ට ආචාර කිරීම සඳහා නැව අසලට යාත්‍රා කළා. නමුත් ස්නෝ හන්ටර් නෞකාවේ නායක ජෝන් ෆියර්න් තම මිනිසුන්ට නැවෙන් බැස යාමට ඉඩ දුන්නේ නැහැ. ඒ වගේම කිසිම දූපත් වැසියෙක් නෞකාවට ගොඩවීමට උත්සහ කළෙත් නැහැ. සෞම්‍ය සමුදුරු සුළඟෙන් නිරතුරුවම සැනසෙන, හරිත පැහැයෙන් වැසුණු, සුළඟ හමුවේ එක තාලෙට පැද්දෙන තාල වර්ගයේ ශාකවලින් පිරුණු සහ සුදු පැහැ වැල්ලෙන් වැසුණු වූ වෙරළ තීරය දුටු කපිතාන් ෆියර්න්, මෙම දූපත Pleasant Island (ප්‍රසන්න දූපත) ලෙස නම් කළා.

නාඋරු දූපතේ පිහිටීම/britannica.com

ස්නෝ හන්ටර් කාර්ය මණ්ඩලයේ අහඹු හමුවීම එකල නාඋරු වැසියන්ට පුදුමයට කාරණයක් වන්නට ඇති. අවශේෂ ලෝකයාගෙන් බලපෑම් නොමැති එකල, දූපත්වාසීන්ගේ ජීවිතය බොහෝ දුරට සාමකාමී හා සාමාන්‍ය එකක් වුණා. ඔවුන්ට තිබූ බරපතලම ගැටළුව වුණේ වර්ෂාපතනය ඇතිවන කාලවල දී දූපතේ පවතින නොගැඹුරු කලපුවකින් පැමිණි ස්වභාවික ආපදා පමණ යි. කෙසේ නමුත් වසර දහස් ගණනක් තිස්සේ මෙම දූපත් වැසියන් බොහෝ දුරට සොබාදහම සමග සමබරව හා ස්වයංපෝෂිතව ජීවත් වීමට සමත් වී වුණා. ස්නෝ හන්ටර් නෞකාවේ කපිතාන් ෆියර්න් විසින් මෙම දිවයින “ප්‍රසන්න දූපත” ලෙස නම් කර එම පණිවිඩය යුරෝපාකරය කරා ගෙන ගියත්, දූපත්වාසීන්ගේ ජීවිතවල ස්ථාවරත්වයට බාධාවක් වුණේ නැහැ. නමුත් එය අනාගතයේ දී ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවෙන අඳුරු කාල පරිච්ඡේදයක පෙර නිමිත්තක් බවට පත් වුණා.

පාරාදීසය කැළඹෙයි!

එකල ඕස්ට්‍රේලියාවේ සිට සැතපුම් 900ක් පමණ නැගෙනහිරින් පිහිටි නෝෆෝක් දූපත බ්‍රිතාන්‍යන් විසින් පවත්වා ගෙන ගියේ දණ්ඩන නියම වූ වැරදිකරුවන් රඳවා තබා ගන්නා කොලනියක් ලෙස යි. මෙවැනි රැඳවුම් ස්ථානවලින් පලා යන ඇතැම් පුද්ගලයන් පැසිපික් සයුරේ පාළු දූපත්වල සැඟවෙනවා. මෙලෙස පලා ගිය ජෝන් ජෝන්ස් නැමැත්තෙක් වර්ෂ 1830 දී පමණ නාඋරු දූපතට පැමිණෙනවා. මෙම තැනැත්තා නාඋරු වෙරළ තීරය කුරිරු ලෙස පාලනය කිරීමට පටන්ගත් අතර දූපත අසලින් ගමන් කරන නෞකා සමග වෙළෙඳ සබඳතා පැවැත්වීමට පටන් ගන්නවා. ඔහු එලෙස එම නෞකා අයත් තැරැව්කාර සමාගම් සමග දුම්කොළ, මත්පැන්, රයිෆල් වැනි ආයුධ හුවමාරු කරගනිමින් ගණුදෙනුවේ යෙදුණා. අවසානයේ ජෝන් ජෝන්ස් නාඋරු දූපතේ ස්වදේශික නායකයන් සමග ද ගැටෙන්නෙ ගත්තා. නමුත් වර්ෂ 1841 දී දූපතේ සිට සැතපුම් 185ක් පමණ දුරින් පිහිටි බනබා දූපත වෙතට මෙම කරදරකාරී විදේශිකයා පිටුවහල් කිරීමට නාඋරු ස්වදේශිකයන් සමත් වෙනවා.

නමුත් මේ නොඉඳුල් පරිසරයට තවත් වැඩිකල් නිදහසේ සිටීමට අවකාශ ලැබෙන්නේ නැහැ. වර්ෂ 1842 දී නොෆෝක් දූපතෙන් පැන ආ විලියම් හැරිස් නැමැත්තෙක් නාඋරු වෙතට පැමිණෙනවා. නමුත් ජෝන් ජෝන්ස් මෙන් ඔහුට අවශ්‍ය වුණේ හුදෙකලා දූපතකට වී නෞකා සමග තැරැව්කාරකම් කරන්න නොවේ. ඔහුට අවශ්‍ය වුණේ වඩා නිදහස්, පහසු ජීව්තයක් ගත කිරීමට යි. ඉතින් ඔහු නාඋරුවාසීන් සමග ගණුදෙනු කළේ වෙනස්ම ආකාරයකට. ඔහු නාඋරු සමාජයට සම්බන්ධ වී, නාඋරු ජාතිකයෙකු සමග විවාහ වෙලා විශාල පවුලක් ඇති කළා. ඒ වගේම දූපත අසලින් ගමන් කරන නෞකා මඟහැරීමට ඔහු නාඋරු වැසියන්ට උදව් කළා. මේ සාමකාමී දිවිපෙවෙත නිසා විලියම් හැරිස් අවුරුදු 50ක පමණ කාලයක් දූපතේ වාසය කිරීමට සමත් වෙනවා. කෙසේ නමුත් මෙවැනි ආගන්තුකයන්ගේ පැමිණීමත් සමග වසර දහස් ගණනක් තිස්සේ දූපත්වාසීන් පවත්වා ගෙන ගිය සරල, සාම්ප්‍රදායික ජීවන රටාවට බලපෑම් ටිකෙන් ටික එල්ල වෙන්න පටන් ගන්නවා.

නාඋරු ස්වදේශිකයන්ගේ ඓතිහාසික ඡායාරූපයක්/ ecoticias.com

එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1870 පමණ වන විට ස්වදේශිකයන් බොහෝ දෙනෙකුට තුවක්කු තිබූ අතර ඔවුන් දුම් පානය කරමින්, මත්පැන් පානය කරමින් අවිධිමත් ජීවිතයක් ගත කිරීමට පටන් ගත්තා. දූපත් වැසියන් මෙම මත්පැන්, ආයුධ ලබා ගත්තේ ඔවුන්ගේ මේ සරුසාර බිමේ වැඩුණ එළවළු, පළතුරු සාලින් ගිය නෞකාවල නාවිකයන් සමග හුවමාරු කර ගැනීමෙනුයි.

 එලෙස බීමතින් සිටි අවස්ථාවක සිදුවුණ ආරවුලක දී දූපතේ ප්‍රධානියෙකු වෙඩි තබා ඝාතනයට ලක්වෙනවා. එයින් පසු කලක් “ප්‍රසන්න දූපත” ලෙසින් ගෞරව ලැබූ මේ පුංචි බිම්කඩ ප්‍රචන්ඩත්වය, පළිගැනීම්වලින් අප්‍රසන්න වීමට පටන් ගන්නවා. ස්වදේශිකයන් සතුව තිබූ ගැටුම් නිරාකරණය කිරීමේ සම්ප්‍රදායන් දියුණු වෙනවාට වඩා වේගයෙන්, ගෝත්‍ර සහ පවුල් අතර වන ආරවුල් දියුණු වෙනවා. අසල්වැසියන් එකිනෙකා මරා දමුණු අතර ගැටුම් ලේ වැගිරීම් උග්‍රවෙනවා. මේ කලබලකාරී වාතාවරණය අතරතුරේ, වර්ෂ 1881 දී, බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් නෞකාවක් නාඋරු අසල නැංගුරම් දැමූ අතර, විලියම් හැරිස් නෞකාවට ගොඩ වූයේ දිවයිනේ සිවිල් යුද්ධයක් ඇති වූ බව කපිතාන්ට දැනුම්දීම සඳහා‍ යි. එවිට කපිතාන්, “පැනගිය වැරදිකරුවෙක් දූපතක රජ කෙනෙක් වෙලා” යැයි සිය බලඇණියට දනුම් දුන් බව ඉතිහාසයේ සඳහන්. 

මෙම නෞකාව දූපත අසලට එන සමය වන විට ස්වදේශිකයන් බේබදු ජීවිතයක් ගත කිරීමට තරම් පහත් තත්ත්වයට වැටී තිබුණු අතර, එකල බ්‍රිතාන්‍යයේ යටත්විජිතකරණයට ඉමහත් සේවාවක් සැපයූ රාජකීය නාවික හමුදාවට, සිවිල් යුද්ධය ඇතිවුණු මේ දූපතේ කිසි වටිනාකමක් තිබුණේ නැහැ. මෙම සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස දූපතේ ජනගහනය 1400 සිට 900 දක්වා අඩු වුණා. කලබලකාරී වාතාවරණය මැද ජර්මානුවන්ගේ ඇල්ම බැල්ම මේ දූපත කෙරෙහි යොමු වූ අතර වර්ෂ 1888 දී ජර්මානුවන් පැමිණීමත් සමග මේ යුද්ධය අවසන් වුණා. පසුව ඒ වනවිටත් ජර්මනිය සතුව තිබූ මාර්ෂල් දූපත් සමූහයේ ස්ථාපිත කොට තිබූ ජර්මානු පරිපාලනයට මේ දූපතත් ඇතුළත් කරගත්තා.

දූපතේ ෆොස්ෆේට්  සම්පතේ භාවිතය දැක්වූ පැරණි සිතියමක් / thereader.mitpress.mit.edu

නිධානයක් සොයාගැනේ

නාවුරු දූපතේ උපායමාර්ගික වටිනාකමක් ඇතැ යි කියා එකල පැසිෆික් සාගරයේ අණසක පතුරවා සිටි යටත්විජිත බලවතුන් සිතුවේ නැහැ. නමුත් වර්ෂ 1899 දී එක් දිනක භූ විද්‍යාඥයෙකු වූ ඇල්බට් එලිස් විසින් දූපතෙන් පාෂාණයක් වැනි යමක් සොයාගැනෙනවා. ඔහු මෙය රැගෙන ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පිහිටි, පැසිපික් දූපත්වල වැවිලි කර්මාන්තයේ යෙදෙන ආයතනයක් වෙතට රැගෙන යනවා. නමුත් එම සමාගමෙන් ඔහුට ලැබෙන්නේ උදාසීන ප්‍රතිචාරයක්. සමාගමට අනුව එය පාෂාණීභූත වූ ලී කැබැල්ලක් පමණ යි. නමුත් මෙම පිළිතුරෙන් ඇල්බට් එලිස් සෑහිමට පත් නොවූ අතර ඔහු මෙම පාෂාණ කැබැල්ල ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ෆොස්ෆේට්වලින් පොහොසත් පාෂාණයක් බව සොයා ගන්නවා. ඒ පාෂාණය පැමිණි ප්‍රභවය සොයාගත හැකි නම් සැබවින්ම එය ධන නිධානයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. 

ෆොස්ෆේට් යනු පොහොර නිපදවීමට ගන්නා අමුද්‍රව්‍යයක්. කලකට ඉහත ජෝන් ෆියර්න් නම් කපිතාන් විසින් නාඋරු දූපතේ සශ්‍රීකත්වය දැක එය Pleasant Island ලෙස නම් කළ හේතු සාධකයේ විද්‍යාත්මක පදනම වූයේ, වසර දහස් ගණනක් තිස්සේ නාඋරු ඇකයේ සැඟව තිබූ මෙම දැවැන්ත ෆොස්ෆේට් නිධිය යි.     

වර්ෂ 1901 දී නාවුරු වෙත නැවත යාත්‍රා කළ එලිස්, මුළු දිවයිනෙන් 80%ක ප්‍රමාණයකින් ආවරණය වී ඇති මධ්‍යම සානුව ෆොස්ෆේට්වලින් පොහොසත් බව සොයා ගත්තා. මෙම කොටස හැඳින්වූයේ “ටොප්සයිඩ්” නමින්. පැසිෆික් ෆොස්ෆේට් සමාගම ලෙසින් හැඳින්වූ සමාගමක්, 1905 දී නාඋරු දිවයිනේ පතල් කැණීම සඳහා ජර්මනිය සමග ගිවිසුමක් ඇති කරගෙන, වසරකට පසු කැණීම්වලින් ලබාගත් පළමු ෆොස්ෆේට් තොගය නැව්ගත කළත්, එම නෞකාව ඕස්ට්‍රේලියාවට ඔබ්බෙන් කුණාටුවකට අසුවී මුහුදුබත් වූ බව සඳහන්. නමුත් එයින් දුර්මුඛ නොවූ සමාගම දශකයක් ඇතුළත ෆොස්ෆේට් ටොන් සිය ගණනක් මේ අපූරු බිම්කඩෙන් සූරාගත්තා.

පොස්පේට් කැණීම පැරණි ඡායාරූපයක සටහන් වී ඇති අයුරු/ ww8-america.blogspot.com

නාඋරු ස්වදේශිකයන් කවදාවත් මේ “ටොප්සයිඩ්” නමින් හඳුන්වන ප්‍රදේශයේ තම වාසස්ථාන සාදා ගත්තේ නැහැ. ඔවුන් වඩාත් කැමති වුණේ සිසිල් වෙරළ තීරය ආශ්‍රිතව ජීවත් වෙන්න. ඒ නිසාම මේ ෆොස්ෆේට් නිධිය පිහිටා තිබෙන කොටස විවිධාකාර වූ ජීවින්ගෙන් ගහණ, ජෛව විවිධත්වයෙන් අනූන තැනක් වුණා. නමුත්  පතල් කම්කරුවෝ මෙහි වූ දුර්ලභ පර්ණාංග, ගස් වැල් ඉවත්කර, මතුපිට පස් යටින් ඇති පැරණි කොරල්වල වලවල් හාරා මේ ෆොස්ෆේට් සම්පත ඉවත් කරගත්තා. ඔවුන් මෙහි වූ සුවිශේෂ පාරිසරික පද්ධතිය ගැන බිඳක්වත් අවධානය යොමු කළේ නැහැ. අවසානයේ මෙම කැණීම් සිදුකරන ප්‍රදේශය දහස් ගණන් කැඩුණු පැරණි කොරල්වල කැබලි, අතරින් පතරවල ගොඩැලිවලින් ගහණ විපරීත භූමියක් බවට පත් වුණා.

ෆොස්ෆේට් නිධානය පිටුපස වූ ශාපය

පළමු ලෝක යුද්ධයේ ආරම්භක සමයේ දී නාඋරු දූපතේ හිමිකාරීත්වය ජර්මනියෙන් ඕස්ට්‍රේලියාවට මාරු වුණ අතර එයින් පසු මෙම ෆොස්ෆේට් කැණීම වඩාත් දියුණුවට පත්වුණා. ඒ අනුව පතල් කැණීම් ආශ්‍රිතව යටිතල පහසුකම් ගොඩනැගීම, පතල් යාන්ත්‍රණය කිරීම, සහ අපනයන ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කිරීමට පටන් ගත්තා. 1920 ගණන්වල මුල් භාගය වන විට නාඋරු වසරකට ෆොස්ෆේට් මෙට්‍රික් ටොන් 200,000ක් අපනයනය කරමින් සිටියා. මෙම ෆොස්ෆේට් ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ, සහ මහා බ්‍රිතාන්‍යයේ ගොවීන්ට සහනාධාර ලෙස ඉතා අඩු මිලක් යටතේ ලබාදීමට වෙළඳ සමාගම් සහ පරිපාලනය කටයුතු කළා.

විදේශිකයන්ගේ සම්පත් සූරාකෑමට යටවී දුර්භාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයක් ගත කරමින් සිටි නාඋරු වැසියන්ට ජීවිතවලිනුත් වන්දි ගෙවීමට සිදු වුණේ වර්ෂ 1942 දී ජපානය නාඋරු ආක්‍රමණය කළ නිසයි. එම ආක්‍රමණය අතරතුර කාලයේ දී දූපතේ ෆොස්ෆේට් කැණීම තාවකාලිකව ඇණහිටි අතර, ආක්‍රමණය අවසන් වන විට නාඋරු වැසියන් 600කටත් වඩා අඩු ප්‍රමාණයක් පමණයි දිවයිනේ ඉතිරිව සිටියේ. වැසියන්ගෙන් හතරෙන් එකක්ම ඒ වනවිට මිය පරලොව ගොස් තිබුණා. දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමගම එක්සත් ජාතීන් විසින් නාඋරු දිවයින ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, සහ නවසීලන්තය යන රටවල භාරකාරත්වය යටතට පත් කළා.

දෙවන ලෝක යුධ සමයේ නාඋරු දූපතට පහර දුන් අයුරු/ worldwarphotos.info

යුධමය වාතාවරණය සමහන් වීමත් සමගම නාඋරු ෆොස්ෆේට් කර්මාන්තය පුනර්ජීවනයක් ලැබූ අතර වසර කිහිපයකට පසු අපනයන වෙන කවරදාටත් වඩා වැඩි වුණා. ක්‍රමානුකූලව ඉහළ ගිය අපනයනයත් සමගම ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ගොවීන් 1963 වර්ෂය වන තෙක් වෙළඳපල මිලට වඩා බෙහෙවින් අඩු ගෙවීමක් සිදු කරමින් මෙම ෆොස්ෆේට් මිලට ගැනීම සිදු කළා. වර්ෂ 1968 දී නාඋරු නිදහස ලබන විට, පොස්පේට් මෙට්‍රික් ටොන් මිලියන 35කට වඩා වැඩි ප්‍රමාණයක් එහි වෙරළ තීරයෙන් ඉවත්ව ගොස් තිබුණා.

වර්ග කිලෝමීටර 21ක පමණ වපසරියක් ඇති, ලොව තෙවනුවට කුඩාම රාජ්‍යය සහ ලොව කුඩාම ජනරජය වන නාඋරු දිවයිනේ අද තත්ත්වය දක්වා වූ කතාව සැකෙවින් දිග හැරිය හැකි වුවත්, මෙම ලිපිය කොටස් දෙකක් යටතේ පළ කරනු ලබන්නේ, මෙම පුංචි දූපතේ ඉතිහාසයෙන් අපට උගත හැකි පාඩම් රාශියක් ඇති නිසයි. සම්පත් අවභාවිතය සහ දුර්වල කළමණාකාරීත්වය නිසා රටකට සිදුවිය හැකි විපත්තිදායක බලපෑම් පැත්තෙන් ලෝකය තුළ නාඋරු කියන්නේ දර්ශීය උදාහරණයක්. නමුත් නිදහසෙන් පසු ඔවුන්ට දෙවෙනි අවස්ථාවක් ලැබුණා. ඔවුන් එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ලබා ගත්තා ද?

අප දෙවෙනි ලිපියෙන් එය සොයා බලමු.

thereader.mitpress.mit.edu/dark-history-nauru/

theguardian.com/world/2018/sep/04/corruption-incompetence-and-a-musical-naurus-riches-to-rags-tale

Related Articles

Exit mobile version