වෛරසයක භයානකබව වර්තමානය වන විට අප කවුරුත් අත්විඳිමින් සිටියි. මුළු ලෝකය ම වෙළා ගත් කොරෝනා හෙවත් SARS-COVID 2 වසංගතය මීනිස් ජීවිත ලක්ෂ ගණනක් බිලි ගනිමින් කෝටි ගණනකට අධික පිරිසකට ආසාදනය වෙමින් තව දුරටත් පැතිරෙමින් පවතියි. අතරම මෙම වසංගතය හේතුවෙන් රටවල් බොහෝ ගණනක් අකර්මණ්‍ය තත්ත්වයට වැටී ඇත. තවත් මිනිසුන් කෝටි ගණනකගේ රැකියා ද, ව්‍යාපාර ද අහිමි කරමින් ඉතා අවාසනාවන්ත ලෙස මිනිස් වර්ගයාට මෙන් ම ලෝක ආර්ථිකයට ද පහර ගසමින් සිටී. 2019 වර්ෂයේ දී චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වී පසු ව ලෝකය පුරා ම ව්‍යාප්ත වූ මෙම වයිරසයේ අවසානයක් තවමත් පෙනෙන්නට නොමැත. මෙලෙස ලෝක ඉතිහාසය පුරාවටම විටින් විට මෙවැනි වසංගතවලට මුහුණ දීමට පෘථිවි වාසීන්ට සිදු වී තිබේ.
වෛරසයක් යනු…..
“වෛරස යනු ඇසට නොපෙනෙන තරමේ ඉතා කුඩා පරපෝශීන් විශේෂයකි. මෙම පරපෝශිතයන් බැක්ටීරියාවන්ට වඩා කුඩා වන අතර ධාරක ශරීරයක් නොමැතිව වර්ධනය වීමට හෝ වර්ගයා බෝ කිරීමේ හැකියාවක් නොමැත. නමුත් වෛරසය ඉතා ඉක්මනින් ම ජීවියාගෙන් ජීවියාට සම්ප්‍රේෂණය වේ. එය සම්ප්‍රේෂණය වන ඇතැම් පුද්ගලයන්ට මරණය පවා අත් කර දීමට මෙම ඇසට නොපෙනෙන කුඩා පරපෝෂිතයන්ට හැකියාවක් ඇත.”
ග්ලැසියර තුළ සැඟ ව ඇති වෛරස සහ බැක්ටීරියා
වර්තමානයේදී ඉතා බහුල ව සිදුවන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් වසර දහස් ගණනක් පුරාවට ග්ලැසියර තුළ සිර වී ඇති භයානක වෛරස සහ බැක්ටීරියා නැවත මතුවීමේ ඉඩක් පවතින බවට විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත. මෙම ඇතැම් වෛරස තවමත් හඳුනා නො ගත් ඉතාමත් ම භයානක මට්ටමේ වෛරස බවත් පර්යේෂකයන් පෙන්වා දෙයි.
ටිබෙට් දේශයේ අයිස් ස්ථරවල සිදු කළ පරීක්ෂණය
1992 දි හා 2015 දී ටිබෙට් දේශයෙන් ලබා ගත් අයිස් හරයන්වල සාම්පල දෙකක් චීන ජාතික විද්‍යාඥයන් පිරිසක් විෂ්ලේශනය කරන්නට විය. මෙයින් එක් හරයක් වසර 520 ක් හා අනෙක වසර 15,000 ක් පමණ පෙර මිදුණු කොටස් වේ. එහි තිබී වෛරස 32 ක් පමණ හමු වී ඇති අතර ඉන් 4ක් ම අප දැනටමත් හඳුනා ගෙන ඇති වෛරස කාණ්ඩවලට අයත් ඒවා බව විද්‍යාඥයන් පවසයි. එයින් 28 ක් ම මීට පෙර හමු නොවූ වෛරස බව ඔවුහු ප්‍රකාශ කළහ. මින් අදහස් වන්නේ වසර සිය දහස් ගණනකට පෙර පෘථිවියේ ජීවත් වූ හඳුනා නොගත් තවත් වෛරස රැසක් ම ග්ලැසියර දිය වීමත් සමඟ නැවත මතු විය හැකි අවදානමක් පවතින බවයි.
ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාවේ නැවත පැමිණීම
2016 වර්ෂයේ රුසියාවේ සයිබීරියාවේ යමාල් පෙනින්සියුලා නම් ප්‍රදේශයේ දී අවුරුදු 12 ක කුඩා දරුවකු ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව ආසාදනය වීමෙන් මිය ගියේ ය. එම ප්‍රදේශයේ ම තවත් විසි දෙනකු පමණ මෙම බැක්ටීරියාව ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කර තිබිණි.
වසර 75 කට පමණ පෙර දී මෙම බැක්ටීරියාව ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් පසු ව හිම ස්ථරයකින් වැසී ගිය පිනි මුවකුගේ මළ කුණක් 2016 ගිම්හාන සෘතුවේ දී පවතින උෂ්ණත්වයත් සමඟ හිම ස්ථරය දිය වී මෙම මළ කුණ නැවත මතුපිටට පැමිණ ඇත. ඒ තුළ තිබුණු ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව අසල තිබූ ජල මූලාශ්‍රයකට එකතු වී ඇති බව පසු ව අනාවරණය විය. එම ජල මාර්ගය අසල තණබිම් වල සිටි තවත් පිනි මුවන් 2000 කට පමණ මෙම බැක්ටීරියාව ආසාදනය වී තිබිණි. මෙම චක්‍රය ඉතා ඉක්මනින් ම හඳුනා ගත් නිසා එය මිනිසුන් අතර ව්‍යාප්ත වීම අවම කර ගැනීමට හැකි විය.
20 වන සියවසේදී පමණක් ඇන්ත්‍රැක්ස් බැක්ටීරියාව හේතුවෙන් පිනි මුවන් මිලියනයකට අධික ප්‍රමාණයක් මිය ගොස් ඇත. මෙම පිනි මුවන් බොහොමයකගේ මළ සිරුරු මිහිදන් වී ඇත්තේ පොළොව මතුපිටට ආසන්නයේ ය. උතුරු රුසියාව පුරා මෙම සොහොන් බිම් 7000 කට අධික ප්‍රමාණයක් විසිරී ඇත. ආක්ටික් වෘතයේ ලොව අනෙක් කලාපයන්ට වඩා තුන් ගුණයක වේගයෙන් උෂ්ණත්වය වර්ධනය වීම හේතුවෙන් අයිස් තුළ සැඟ වී ඇති මෙම වෛරස හා බැක්ටීරියා කොයි මොහොතක හෝ නැවතත් මතු විය හැකි බවට විද්‍යාඥයන් අනතුරු අඟවයි.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ භයානක පැතිකඩ
සාමාන්‍යයෙන් පෘථිවියේ උෂ්ණත්වය වැඩි වෙනවාත් සමඟ ම සෑම ගිම්හාන කාලයකදී ම සෙන්ටි මීටර 50 ක පමණ ඝණකම අයිස් ස්ථර දියවීම සිදු වේ. වර්තමානයේ දී ඉහළ යන අධික ගෝලීය උෂ්ණත්වයත් සමඟ ඉතා පැරණි අයිස් ස්ථර පවා නිරාවරණය වීමේ අවදානමක් පවතී. මෙම අයිස් ස්ථර බැක්ටීරියාවන්ට සහ වෛරසවලට වසර දස දහස් ගණනකට වුවත් විනාශ නොවී පැවතීමට සුදුසු ස්ථාන වේ. ඇතැම් වෛරස සහ බැක්ටීරියා වසර මිලියන ගණනක් පුරා විනාශ නොවී මෙම අයිස් තුළ සිර වී ඇත. මෙම අයිස් ස්ථර දියවී යාම නිසා ඉතා භයානක වෛරස හා බැක්ටීරියා රැසක් ම නිරාවරණය වීම තුළ අනාගතයේ දී විශාල විනාශ සිදුවිය හැකි බව විද්‍යාඥයන් අනතුරු අඟවයි.
ඇලස්කාවේ සහ ඇන්ටාර්ක්ටිකාවේ සිදු කළ පරීක්ෂණ
නාසා ආයතනය ඇලස්කාවේ හිමෙන් මිදුණු විලක 2005 දී සිදු කළ පරීක්ෂණයකින් එහි තිබී වසර 32,000 ක් පමණ පැරණි බැක්ටීරියාවක් හමු විය. ඉන් වසර දෙකකට පමණ පසු ඇන්ටාක්ටිකාවේ බීකන් සහ මුලින්ස් නිම්නයේ සිදු කළ පරීක්ෂණයක දී එහි ග්ලැසියර තුළ සැඟ ව සිටි වසර මිලියන 8 ක් පමණ පැරණි බැක්ටීරියාවක් හමු විය. එම පරීක්ෂණයේදී ම හෙළි වූයේ මෙම බැක්ටීරියාව වසර 100,000 කට පමණ ඉහතදී ද මතු වී ඇති බව යි. කෙසේ නමුත් අයිස් තුළ සැඟ ව ඇති සියලු ම බැක්ටීරියාවන්ට නැවත පැමිණීමේ හැකියාවක් නොමැති බවට ද විද්‍යාඥයන් අදහස් දක්වයි.
සියවස් ගණනාවක සිට ම විවිධ වසංගත හේතුවෙන් මිය ගිය මිනිසුන්ගේ සහ සත්වයන්ගේ මළ සිරුරු මෙසේ අයිස් ස්ථර තුළ මිහිදන් වී ඇත. 1918 වසරේ දී පැතිරුණු ස්පැනිෂ් උණ වසංගතය ට හේතු වූ වෛරසයේ RNA කොටස් ඇලස්කාවේ අයිස් ස්ථර තුළ සොහොන් බිම්වල තිබී සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි විය. මෙලෙස ම වසූරිය සහ මහාමාරිය වැනි මාරාන්තික වෛරස සහ බැක්ටීරියා සයිබීරියාවේදී ද හමු වී ඇත.
දිගින් දිගට ම මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වන ගෝලීය උෂ්ණත්වය හේතුවෙන් මෙලෙස වසර මිලියන ගණනකට පෙර ලොවෙන් සැඟ වී ගිය භයානක උවදුරු නැවත වතාවක් මතු වීම තුළ මිනිසාගේ මෙන් ම අනෙකුත් ජීවීන්ගේ ද ජීවිතවලට තර්ජන එල්ල වී ඇත. මෙම වාතාවරණය හමුවේ කොරෝනා වසංගතයෙන් පීඩා විඳින මිනිසාට ඉතා නුදුරේදී ම මෙයටත් වඩා ඉතා භයානක වසංගතවලට මුහුණ දීමට සිදුවනු නොඅනුමාන බවට විද්‍යාඥයන් අදහස් දක්වයි.