Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රටෙන් 90%ක් වනයෙන් වැසුණු සුරිනාමය

ලෝකයේ වඩාත් ප්‍රචලිත වූ සංචාරක ගමනාන්ත අතරින් දකුණු ඇමරිකා මහද්වීපයේ බ්‍රසීලය, ආර්ජන්ටිනාව, පේරු වැනි රාජ්‍යයන් ඉදිරියෙන්ම සිටිනවා. විවිධත්වයෙන් අනූන වූ සංස්කෘතීන්, ඉන්කා වැනි ලෝක ප්‍රසිද්ධ ශිෂ්ඨාචාරයන්, ඇමසෝන් වනාන්තරය වගේම, මේ මහද්වීපයේ රටවල් බොහෝමයක් පාපන්දු ක්‍රීඩාවෙන් ලෝකය පුරා තම අණසක පතුරුවා තිබෙන නිසා, දකුණු ඇමරිකානු රටවල් බොහෝමයක් ගැන අපි යම්තරමකින් හෝ දැනුවත්. මීට අමතරව හියුගෝ චාවේස්ගේ පාලන තන්ත්‍රය සහ තෙල් සම්පත නිසා වෙනිසුවෙලාවත්, කෝකේන් සම්බන්ධ සිද්ධීන් නිසා කොළොම්බියාවත් ලෝකය තුළ වැඩියෙන්ම කතා බහට ලක් වූ දකුණු ඇමරිකානු රාජ්‍යයන්.

මේ සියළු දකුණු ඇමරිකානු පතාකයන් අතර ප්‍රකට සංචාරක ගමනාන්තයක් වන හෝ, ලෝකයේ අවධානය වැඩිපුර හිමි නොවුණ ප්‍රකට රාජ්‍යයක් ලෙස සුරිනාමය හැඳින්විය හැකියි. නමුත් සුරිනාමය කියන්නේ ලෝකය තුළ වැදගත් භූමිකාවක් නිහඬවම ඉටුකරගෙන යන දකුණු ඇමරිකානු රාජ්‍යයක්. එම නිසා මෙම ලිපියෙන් සුරිනාමය ගැන වැදගත් තොරතුරු කිහිපයක් ගෙන එනවා.  

සුරිනාමයේ පිහිටීම/birdingreports.nl

භූගෝලීය තොරතුරු

සුරිනාමය, දකුණු ඇමරිකා මහද්වීපයේ උතුරු වෙරළ තීරයට මායිම් වූ රාජ්‍යයක්. ඒ අනුව උතුරින් අත්ලාන්තික් සාගරයටත්, නැගෙනහිරින් තවමත් ප්‍රංශයෙන් පූර්ණ නිදහස නොලැබූ ප්‍රංශ ගයනාවටත්, දකුණින් බ්‍රසීලයටත්, බටහිරින් ගයනාවටත්, සුරිනාමය මායිම් වෙනවා. භූමි ප්‍රමාණය අනුව සුරිනාමය දකුණු ඇමරිකාවේ කුඩාම ස්වාධීන රාජ්‍යය වන අතර සංඛ්‍යාත්මකව එය වර්ග කිලෝමීටර් 163,270ක් පමණ වෙනවා.

සුරිනාමයේ පවතින්නේ නිවර්තන දේශගුණයක්. ‍රටේ වඩාත් ජනාකීර්ණ වූ උතුරු ප්‍රදේශයේ ඍතු හතරක් දක්නට ලැබෙනවා. දෙසැම්බර් මුල සිට පෙබරවාරි මුල දක්වා සුළු වැසි සමයක් ද, පෙබරවාරි මුල සිට අප්‍රියෙල් අග දක්වා සුළු වියළි කාලයක් ද, උතුරු ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. මෙම ප්‍රදේශයේ ප්‍රධාන වැසි සමය සහ ප්‍රධාන වියළි සමය පිළිවෙලින් අප්‍රේල් අග සිට අගෝස්තු මැද දක්වා සහ අගෝස්තු මැද සිට දෙසැම්බර් මුල දක්වා ද වෙනවා.

රටේ අගනුවර වන පැරමැරිබෝහි දිවාකල උෂ්ණත්වය සෙල්සියස් අංශක 21-32 අතර අගයක පවතින නමුත් උණුසුම්ම මාසය වන සැප්තැම්බරය සහ ශීතලම මාසය වන ජනවාරිය අතර උෂ්ණත්ව වෙනස අංශක තුනක් පමණ යි. නිවර්තන වැසි වනාන්තර බහුල රටක් නිසාම රට පුරා සාපේක්ෂව සැළකිය යුතු වාර්ෂික වර්ෂාපතනයක් දක්නට ලැබෙනවා. වැඩිම වර්ෂාපතනය රටේ මධ්‍යම සහ ගිණිකොණ දෙසට ලැබෙන අතර අගනුවර ආශ්‍රිතව පමණක්, වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2400ක් ලෙස සඳහන් වෙනවා.

ඉතිහාසයෙන් බිඳක්

සුරිනාමයේ මුල් වැසියන් ලෙස හඳුනාගැනෙන්නේ “සුරිනන් ඉන්දියානුවන්” නමැති ජන කොට්ඨාශය යි. සුරිනාමය ලෙස මෙම රටට නම ලැබීමට හේතුවුණෙත් මේ ජන කොට්ඨාශය නිසා යි. නමුත් දහසය වැනි සියවස වන විට වෙනත් දකුණු ඇමරිකානු ස්වදේශික ගෝත්‍ර (රතු ඉන්දියානු ගෝත්‍ර) සුරිනාම් භූමිය තුළ ජනාවාස ඇතිකිරීමට පටන් ගත්තා. යටත්විජිතකරණයට ලක්වූ දකුණු ඇමරිකානු රටවල් සැළකීමේ දී, සුරිනාමයේ යටත්විජිත අවධිය තරමක් වෙනස් වූ ස්වභාවයක් උසුලනවා. බොහෝමයක් දකුණු ඇමරිකානු රටවල් ස්පාඤ්ඤය යටතට පත්වුණත්, සුරිනාමය බොහෝ කලක් යටත්විජිතයක් ලෙස පවත්වාගෙන යාමේ අවස්ථාව හිමිවුණේ ලන්දේසින්ට යි. කෙසේ නමුත් සුරිනාමය මුලින්ම ගවේශනය කිරීමේ ගෞරවය හිමිවන්නේ ස්පාඤ්ඤවරුන්ට යි. ක්‍රිස්තු වර්ෂ 1602 වන විට ලන්දේසි ජාතිකයන් සුරිනාමය තුළ පදිංචි වීම ඇරඹුවත්, පසුව ඉංග්‍රීසින්ගෙන් ද බලපෑම් ඇතිවීමට පටන්ගත්තා. එහෙත් පසුව ඇති කරගත් බ්‍රෙඩා ගිවිසුමට අනුව වර්ෂ 1667 දී ඉංග්‍රීසින් විසින් ලන්දේසීන්ට සුරිනාමයේ ස්වෛරීභාවය පැවරුවා. නමුත් යටත්විජිතකරණය වඩාත් සක්‍රීය ලෙස පැවතුණේ සුරිනාමයේ වෙරළාශ්‍රිත ප්‍රදේශය ආශ්‍රිතව පමණක් බව ඉතිහාස වාර්තාවල සඳහන් වෙනවා. 

සංස්කෘතික විවිධත්වයෙන් අනූන රටක් තමයි සුරිනාමය/worldnomads.com

 ලන්දේසීන් සුරිනාමය තුළ පවත්වාගෙන ගිය කෝපි, උක් වැනි වාණිජ වගාවන් සඳහා අප්‍රිකාවෙන් ගෙන්වන ලද වහලුන්ගේ සේවය ලබාගත්තා. වර්ෂ 1863 දී වහල්භාවය අහෝසි කර දමන තෙක්ම මෙම අප්‍රිකානුවන් සුරිනාමයේ වාණිජ වගාවන් වෙනුවෙන් දහඩිය වැගිරුවා. පසුව මෙම අප්‍රිකානුවන් රට අභ්‍යන්තරයේ ඝන වනාන්තරය තුළට පලාගොස් තම අප්‍රිකානු සංස්කෘතිය යළි වැළඳගනිමින් නිදහසේ ජීවත්වීමට පටන්ගත්තා. මෙලෙස පලා ගිය අප්‍රිකානුවන් “බුෂ් නීග්‍රෝවරුන්” ලෙස ලන්දේසීන් හැඳින්වූවා. 1870න් පසු මෙම වතුවල සේවය සඳහා ඉන්දියානුවන් සහ වර්තමාන ඉන්දුනීසියාවේ ජාවා දූපත් වැසියන් සුරිනාමයට ගෙන ඒමට ලන්දේසීන් කටයුතු කළා. මෙම විජාතිකයන්ගේ පැමිණීම නිසා සුරිනාමය පසුකලෙක බහු සංස්කෘතික රටක් බවට පත්වුණා.  

සාමූහිකත්වයෙන් විචිත්‍ර වූ රටක්

සුරිනාමය කියන්නේ රටේ භූමි ප්‍රමාණයට සාපේක්ෂව ඉතා අඩු ජනගහනයක් වෙසෙන රටක්. සංඛ්‍යාත්මකව එය 607,600ක් පමණ වෙනවා. නමුත් සුරිනාමය කොතරම් අවම ජනගහනයක් වෙසෙන රටක් ද යන්න ගැන අදහසක් ගැනීමට නම් එහි ජන ඝනත්වය සැළකිල්ලට ගතයුතු වෙනවා. සුරිනාමයේ ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 3.5ක් පමණ යි. මෙම කුඩා රටේ ජනගහනයෙන් අඩකට වඩා ජීවත් වන්නේ අගනුවර වන පැරමැරිබෝ ආශ්‍රිතව යි.

ඉතිහාසය තුළ යටත්විජිතකරණ බලපෑමෙන් සුරිනාමයට පැමිණි විවිධ ජන වර්ගවලින් සුරිනාමයේ සංස්කෘතිය හැඩගැන්වී තිබෙනවා. සුරිනාමයේ විශාලතම ජන වාර්ගික කණ්ඩායම ඉන්දු-පාකිස්ථාන සම්භවයක් සහිත (පොදුවේ හින්දුස්ථානි ලෙස හඳුන්වන) පුද්ගලයින්ගෙන් සමන්විත යි. එය ප්‍රතිශතයක් වශයෙන් 27.4%ක් වුවත්, සුරිනාමය තුළ කිසිම ජන වර්ගයක් සැළකිය යුතු ලෙස ප්‍රමුඛ වෙන්නේ නැහැ. මීට අමතරව වහල් සේවයට අප්‍රිකාවේ සිට ගෙන ආ අයවලුන්ගෙන් පැවතෙන “මැරූන්ස්” නමැති ජන කොට්ඨාශයත්, ක්‍රෙයෝල්ස් නම් මිශ්‍ර ජන වර්ගය සහ ඉන්දුනීසියාවේ ජාවා දූපත් වැසියන් ගෙන් පැවත ගෙන එන ජාවානීස් ජාතිකයනුත් සුරිනාමයේ දිවි ගෙවනවා. බහුවාර්ගික රටක් වුවත්, ජාතීන් අතර ගැටීම් නැති බොහොම සාමකාමී රටක් ලෙස සුරිනාමය හැඳින්වෙනවා. උදාහරණයක් ලෙස යුදෙව් භක්තිකයන්ගේ සිද්ධස්ථනයක් ආසන්නයේම මුස්ලිම් පල්ලියක් පවත්නා ලෝකයේ අල්පතර වූ ස්ථාන අතර පැරමැරිබෝ අගනුවරත් එකක්. 

සුරිනාමයේ සංස්කෘතික සංහිඳියාව පෙන්වන ආහාරය, “පොම්”/thefooddictator.com

ජන වර්ග කිහිපයක සුසංයෝගය නිසාම රට තුළ පුළුල් භාෂා විවිධත්වයක් ද දක්නට ලැබුණත්, සුරිනාමය තමාගේ නිල භාෂාව ලෙස හඳුන්වන්නේ ලන්දේසි භාෂාව යි. ඔවුන් එම භාෂාව තමාගේ උරුමයක් ලෙස සළකන අතර ලන්දේසි භාෂාව කතා කරන අනෙකුත් රටවල් සමග සබඳතා පවත්වා ගෙන යෑමට ලන්දේසි භාෂා සංගමයකට ද බැඳී සිටිනවා. අද වනවිට ස්වාධීන ජාතියක් වුණත්, සුරිනාමයේ පරිපාලනය තවමත් නෙදර්ලන්තය සමග ශක්තිමත් සබඳතා පැවැත්වීමට කටයුතු කරනවා. රූඩ් ගුලිට්, නයිජල් ඩි ජොං වැනි සුරිනාම් සම්භවයක් සහිත පාපන්දු ක්‍රීඩකයන් නෙදර්ලන්ත කණ්ඩායම නියෝජනය කිරීම මෙම සමීපත්වයට උදාහරණයක්.

ලන්දේසීන් අමතක නොකරන පැරමැරිබෝ

පැරමැරිබෝ අගනුවර පිහිටි ඓතිහාසික වටිනාකමක් ඇති ප්‍රදේශය දකුණු ඇමරිකාවේ පිහිටි සංස්කෘතිමය වශයෙන් වඩාත් සිත්ගන්නා සුළු ප්‍රදේශයක් ලෙස සැළකෙනවා. දහහත්වන හා දහඅටවන සියවස්වල ලන්දේසි යටත්විජිත යුගයේ බොහෝ ගොඩනැගිලි තවමත් මෙහි දැකගත හැකියි. මුල් ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය පැරණි ගොඩනැඟිලිවල තවමත් දැකිය හැකි වන අතර වර්තමානයේ පවා සුරිනාමයේ ගෘහ නිර්මාණ ශිල්පය ලන්දේසි ශෛලියට අනුගතවීමේ නැඹුරුතාවයක් තිබෙනවා. පසුකලෙක පැරමැරිබෝවේ මෙම ප්‍රදේශය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කර තිබෙනවා.

සංස්කෘතික සබැඳියාව පෙන්වන ආහාරය, “පොම්”

සුරිනාමයට පැමිණෙන ඕනෑම කෙනෙක් බුක්තිවිඳිය යුතු සුවිශේෂී ආහාරයක් තමයි “පොම්” කියන්නේ. එම ආහාරය සුරිනාමය පිහිටුවීමට උපකාරී වූ යුදෙව් සහ ක්‍රෙයෝල් සම්භවයක් ඇති මිනිසුන්ගේ සංස්කෘතික සම්මිශ්‍රණය විදහා දක්වන සංකේතයක් ලෙස හඳුනාගැනෙනවා. මේ ආහාරය මස් ස්වල්පයක් සහ ටේයර් නම් දේශීය පැළෑටිවලින් ආවරණය කොට, කුකුල් මස් සමග සැන්ඩ්විච් එකක් ආකාරයෙන් සකසාගනු ලබනවා. පසුව තක්කාලි, ළූණු, සාදික්කා, සහ තෙල්වලින් සාදන ලද සෝස් එකකින් සැන්ඩ්විචයක් ලෙස සකසාගත් “පොම්” ආවරණය කොට උඳුනක් මත පිසගන්නවා. මෙම ආහාරය සුරිනාම ජාතිකයන් උපන්දින සැමරුම් වැනි විශේෂ අවස්ථා සැමරීමේ දී සකසාගන්නවා.

ලන්දේසී ගෘහ නිර්මාණ ශිල්පය රැක ගැනීමට වෙහෙසෙන පැරමැරිබෝ නගරය/davidsbeenhere.com

ආර්ථිකමය කරුණු කෙටියෙන්

සුරිනාමයේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් ඛනිජ සම්පත් මත රඳා පවතිනවා. ඛනිජ තෙල්, රත්‍රන්, ඇලුමීනියම් ලබාගන්නා ඛනිජය වන බොක්සයිට් මෙන්ම, කෘෂිකර්මාන්තය සහ මුදල් ප්‍රේෂණය මඟින් සුරිනාමයේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. සුරිනාමයේ වෙළඳ සහකරුවන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ස්විස්ටර්ලන්තය, ලිච්ටෙන්ස්ටෙයින්, එක්සත් ජනපදය, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, නෙදර්ලන්තය, බෙල්ජියම සහ චීනය විශේෂ ස්ථානයක් ගනු ලබනවා.

(ලිච්ටෙන්ස්ටයින් ගැන කියවන්න – කැමති නම් කුළියටත් ගත හැකි රට, “ලිච්ටෙන්ස්ටයින්”)

අධික වන ගහණයක් සහ නොයෙකුත් ස්වාභාවික සෞන්දර්යෙන් යුතු ස්ථාන රාශියකින් සුරිනාමය සමන්විත වුවත්, සංචාරක කර්මාන්තය එරට තුළ වර්ධනයවීමට පටන් ගත්තේ 21 වන සියවසේ මුල්භාගය තුළ යි.

භූමියෙන් 90%ට වැඩියෙන් ඇත්තේ වනාන්තරයි

සුරිනාමය සම්බන්ධයෙන් අවධානයට ලක්කළ යුතු වැදගත්ම කාරණය වන්නේ, එහි ඇති අධික වන ඝනත්වය යි. සුරිනාමයත්, සුවිශාල ඇමසන් වනාන්තරයේ කොටසකට උරුමකම් කියනවා. නමුත් සුරිනාමයට අයත් මෙම වැසි වනාන්තර පද්ධතිය මිනිස් බලපෑම හමුවේ අවදානමට පත් වී ඇත්තේ ඉතාම අඩුවෙන්. සුරිනාමයේ භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර මිලියන 15.3ක්ම නතු වී ඇත්තේ මහා වනාන්තරයට යි. එය ප්‍රතිශතාත්මකව භූමි ප්‍රමාණයෙන් 94%ට ආසන්න අගයක්.

90%කට වඩා වන වැස්මක් සහිත රාජ්‍යයක් ලෙස සුරිනාමය හැඳින්වෙනවා/conservation.org

වර්තමාන ලෝකය තුළ උද්ගතව පවතින දැවැන්ත වන විනාශය හමුවේ මෙවැනි වන වැස්මක් සහිත රටක් තිබීමත් පුදුමයට කාරණාවක්. සුරිනාම්හි වනගත භූමියෙන් 91.4%ක් ප්‍රාථමික වනාන්තර වෙනුවෙන් වෙන්වන අතර 8.5%ක ප්‍රමාණයක් නැවත පුනර්ජනනය වූ වනගත භූමීන් වෙනවා. වන වැස්මෙන් 0.1%ක් නැවත රෝපණය කර තිබෙනවා. බොහෝවිට රටේ මධ්‍යම කොටස අතීතයේ මෙන් නොවෙනස්ව තවමත් වනාන්තරයට නතුව තිබෙන අතරවාරයේ පැරමැරිබෝ වැනි වෙරළාශ්‍රිත නගර ආසන්නව රටේ ජනගහණය පැතිරගොස් තිබෙනවා. මෙම ජනගහණයේ විෂම පැතිරීමත් සුරිනාමයේ වන ගහණය ඉතිහාසයේ සිටම ආරක්ෂාවීමට හේතු වී තිබෙනවා. 2004-2013 අතර කාලයේ මෙම වන වැස්මෙන් මිනිස් පරිභෝජනය සඳහා යොදාගෙන ඇත්තේ හෙක්ටයාර 16,000ක් පමණ යි.

වර්තමානයේ සුරිනාමය සතු මෙම පුළුල් වන වැස්ම ගෝලීය වශයෙන් සුවිශාල මෙහෙවරක් නිනඬවම සිදු කරගෙන යනවා. දැනට ඇස්තමේන්තුගත කර ඇති පරිදි වාර්ෂිකව කාබන් ටොන් මිලියන අටකටත් වඩා අවශෝෂණය කරගැනීමේ හැකියාවක් මෙම වන වැස්ම සතු යි. පසුගිය වකවානුවේ බ්‍රසීලය කේන්ද්‍ර කරගනිමින් ඇමසෝන් වනාන්තරයේ ඇතිවූ දැවැන්ත වන විනාශය හමුවේ එරට ජනපති බොල්සොනාරෝගේ අදූරදර්ශී ක්‍රියාකලාපය හා සැසඳීමේ දී ඇමසෝන් වනය සම්බන්ධයෙන් සුරිනාමයේ ක්‍රියාපිළිවෙත ප්‍රශංසනීය බව කිව හැකියි. එහෙත් සුරිනාම් ආර්ථිකයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ඛනිජ සම්පත් කැණීම හමුවේ ඉදිරියේ දී තත්ත්වය වෙනස්වීමටත් ඉඩ තිබෙනවා.

Cover photo: සුරිනාම කොඩිය/flagpedia.net

මූලාශ්‍රයයන්: tripsavvy.com

infoplease.com/

nationsencyclopedia.com/

forestlegality.org/

Related Articles