‘සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ’ යන කියමන කුඩා කළ සිට අපි කවුරුත් අසා ඇති. කෙතරම් තාක්ෂණික අතින් දියුණු වුව ද, සමහර ස්වභාවික ආපදාවලින් සම්පූර්ණයෙන් ගැලවීමට අද වන විටත් මිනිස් වර්ගයාට ඉඩ ලැබී නැහැ. මෙලෙස සිදුවන ස්වභාවික විපත් අතරට භූ කම්පන, සුනාමි, සුළි සුළං වැනි දේ ඇතුළත්.
ස්වභාවික ආපදා අතරට ගැනෙන ‘ලැව් ගිනි’ අනෙකුත් ස්වභාවික ආපදා අතරින් සුවිශේෂී එකක් වන්නේ, මෙවැන්නක් ඇති වීමට ස්වභාවික තත්ත්ව හා සම ව මිනිස් ක්‍රියාකාරකම් ද ඍජු ව දායක වන නිසා යි. ශ්‍රී ලංකාව වැනි හොඳින් වර්ෂාව ලැබෙන රටවල ඒ තරම් සුලබ නොවූවත් ඕස්ට්‍රේලියාව හා ඇමෙරිකා එක්සත් ජනපදය වැනි දියුණුයැ යි සම්මත රටවල්වල පවා වියළි පෙදෙස් හි මේවා නිතර ම පාහේ ඇති වෙනවා. මේවා සමහරක් වර්ග කිලෝමීටර සිය ගණනක වනාන්තර, වගාබිම් මෙන්ම අනෙකුත් දේපළ ද විනාශ කිරීමට සමත්.
ලැව් ගිනි පිළිබඳ මූලික තොරතුරු
ලැව් ගින්නක් හට ගන්නේ යම් ආකාරයකින් ගිනි පුළිඟුවක්, ගිනි ඇවිලී පැතිරීමට සුදුසු සාධක තෘප්ත කරන පරිසරයකට මුසුවීම නිසා යි. ලොව පැන නඟින ලැව් ගිනි බොහොමයක් හටගන්නේ වනාන්තර පෙදෙස්වල යි. මේ නිසා මේවා කැලෑ ගිනි ඇතුළු නම් රාශියකින් හඳුන්වනවා. ලැව් ගිනිවල ආරම්භය, විශාලත්වය, හා පැතිරී යන ස්වභාවය අනුව විවිධාකාරයෙන් කාණ්ඩගත කොට තිබෙනවා. මේ සියල්ලක් ම පාහේ පාලනයට අපහසු, ප්‍රචණ්ඩකාරී ඒවා වෙනවා.
ලැව් ගිනි සමග විශාල තාපයක් ද ජනනය වන නිසා සමහර විටෙක තාප විකිරණයෙන් පවා ගින්න තවත් තැනකට ජනිත කරවිය හැකියි. මේ නිසා ගංගාවක් වැනි ස්වභාවික බාධකයක් වුව ද සමහර අවස්ථාවල දී ලැව් ගිනි පැතිරීම වැළක්වීමට සමත් වන්නේ නැහැ. ඇන්ටාක්ටිකාව හැර ලොව අනෙකුත් සියලු මහාද්වීප තුළ තැනින් තැන, විටින් විට ලැව් ගිනි ඇති වෙනවා.
ලැව් ගිනි සඳහා ජනනය සඳහා අවදානම් සාධක
ලැව් ගිනි පැන නැඟීම සඳහා අවශ්‍ය වන මූලික ගිනි පුළිඟුව විවිධාකාරයෙන් පරිසරයකට ලැබිය හැකියි. වියළී ගිය වනාන්තරයකට පතිත වන අකුණු පහරක් හෝ ගස් දෙකක් එකට ඇතිල්ලීම නිසා පැන නඟින ගිනි පුළිඟුවක් ලොව පුරා ඇතිවන ලැව් ගිනි රාශියකට පූර්විකාව සපයනවා. මීට අමතර ව ගිනිකඳු පිපිරීම හේතුවෙන් ජනනය වන තාපය හෝ ලාවා ද, ලැව් ගින්නක් ඇති කිරීමට සමත් සාධක අසල ඉහළින් ම වෙනවා.
ලැව් ගින්නක් ජනනය වීමට උරදෙන ස්වභාවික සාධක ඉහත පරිදි වෙන විට ලොව ඇති වන බොහෝ ලැව් ගිනිවල ආරම්භය සනිටුහන් කරන්නේ මිනිසුන් විසිනුයි. කැලෑ ගිනි තබන්නන්ගේ නොසැලකිලිමත් ක්‍රියා නිසා හටහන්නා ලැව් ගිනි හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ හා ඕස්ට්‍රේලියාවේ අතීතය පුරා ම මහා විනාශ සිදු වුණා. මීට අමතර ව දල්වා ඉවතලන දුම්වැටි වැනි හේතු නිසා ද ලැව් ගිනි ඇති වෙන්නට පිළිවන්.
ලැව් ගිනි පැතිරීම සඳහා වූ සාධක
ගිනි පුළිඟුවක් ජනනය වූ පමණින් විශාල, පැතිරෙන ගින්නක් ඇති වන්නේ නැහැ. මුලින්ම ඇති වන ගින්න ඉක්මනින්, ප්‍රචණ්ඩ ව පැතිරී යන්නට ඒ අවට පරිසරය සාධක කිහිපයක් තෘප්ත කළ යුතු යි. විශේෂයෙන් හොඳින් ගින්න පැතිරීම සඳහා අවට පරිසරයේ යහමින් ඔක්සිජන් තිබිය යුතු අතර, ඉන්ධන ලෙස හොඳින් ගිනි ගන්නා වියළි කොළ, ගස්වල කඳන් වැනි දේ ළඟ ළඟ පිහිටා තිබිය යුතු යි. ප්‍රශස්ත උෂ්ණත්වයක් පැවතීම ද ගින්න යුහුසුලු ව පැතිරීමට උරදෙනවා. වේගයෙන් හමන සුළං ගිනි නිවීමට සමත් වූවත්, මධ්‍යස්ථ වේගයක් දරන සුළඟ ඉතා හොඳින් ගින්නක් පතුරවා හරිනවා.
‘ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා’ වගේයැ යි පැරණි කියමනක් තිබෙනවා. පිදුරු ඉහත කී අවශ්‍යතා රාශියක් තෘප්ත කරනවා, ඒවා ගොඩගැසූ පසු අතරින් පතර වායු අවකාශ තිබීම නිසා පිදුරු ගොඩවල් පුරාවට ම හොඳ ඔක්සිජන් සැපයුමක් තිබෙන අතර, ඒවා වියළි ගුණයෙන් ද යුක්ත වෙනවා. අව්වට භාජනය වීම නිසා ඒවා තුළ තාපය ද ජනනය වී තිබිය හැකියි. මිනිසුන් විසින් වගා බිම්වල අස්වැන්න නෙලා ගොඩගසා තබන මේ පිදුරු ගොඩවල් ද ලැව් ගිනි පැතිරීමට ‘ඉතා සුදුසු’ ඒවා වෙනවා. සමහර විටෙක මේවා ගිනි තැබීම ද සිදුකෙරෙන නිසා වගා බිම් ලැව් ගිනි ජනනය හා පැතිරීම යන දෙකට ම ඉතා සුදුසු පසුබිමක් සපයනවා.
ගින්න නිවීම හෝ පාලනය කිරීම
ලැව් ගින්නක් පාලනය කිරීම හෝ නිවා දැමීම පහසු වෙන්නේ නැහැ. එය සිදුකිරීමට අවතීර්ණ වීම සඳහා ලොව පුරා ගිනි නිවන්නන් අනුගමනය කරන ක්‍රමවේයක් තිබෙනවා. මෙවැනි ගින්නක් පාලනය කිරීම පහසු වන්නට නම් මුලින්ම එයට උරදෙන සාධකවලින් එකක් ඉවත් කළ යුතු යි. මින් ඔක්සිජන් හා තාපය ඉවත් කරනවාට වඩා පහසු ‘ඉන්ධන ප්‍රභව’ ඉවත් කිරීම යි. මේ සඳහා ගුවනින් ජලය ඉසීම හා තදාසන්න ගස් හා වගාවන් ඉවත් කිරීම ඉවත් කිරීම සිදුකෙරෙනවා. ජලය ඉසීමෙන් පරිසරය තෙත් වීම ගින්න පැතිරීමට බාධාවක් වන අතර විසාල පෙදෙසක ගස් ඉවත් කර දැමීමෙන් විකිරණයෙන් හෝ ගින්න පැතිරීමේ අවදානම අඩු කරනවා. ගින්න පැතිරීම පාලනය වූ පසු බොහෝ විට දැනටමත් ගින්න පැතිරී ඇති ප්‍රදේශය සම්පූර්ණයෙන් පාහේ ගිනිබත් වූ පසු ස්වභාවිකව ම එය සමනය වෙනවා.
ලැව් ගිනිවල වාසිදායක පැත්ත
ලැව් ගින්නක් ඇති වීම බොහෝ කොට ම ඉතා විනාශකාරී මෙන්ම පාඩු ඇති කරන සංසිද්ධියක් වුවද, ස්වභාවික ව ඇති වන මෙවැනි ගිනිවලින් යම් යම් වාසි ද නොසැලසෙනවා නොවේ. මෙවැනි ගින්නක් තුළින් වනාන්තරය තුළ ගොඩගැසී ඇති කොළ රොඩු දහනය වී නව ශාකවල වර්ධනයට අවශ්‍ය ඉඩ කඩ පෑදී යන අතර, ඓන්ද්‍රීය ද්‍රව්‍ය වියෝජනය වී ඒවා ශාකවලට පහසුවෙන් අවශෝෂණය කරගත හැකි තත්ත්වයට පත් වෙනවා. මීට අමතර ව මේවා මඟින් ආක්‍රමණශීලී ශාක හා සතුන් විනාශ වීම ද සිදුවෙනවා. මේ හේතුවෙන් අනෙකුත් ශාක හා සතුන්ගේ පැවැත්මට එය හිතකර වෙනවා.