විනාඩි 30න් රටවල් තුනක් හරහා පාගමනින් යා හැකි ෂෙන්ගන් ගිවිසුම

 ජාත්‍යන්තර ගුවන් තොටුපළවල ද, ලෝකය පුරා ඇති ඒ ඒ රටවල් නියෝජනය කරන තානාපති මහකොමසාරිස් කාර්යාලවල ද, නිදහස් සංචරණයට කැමති විවිධ දෙස් විදෙස් සංචාරකයන් අතර ද භාවිත වන වචනයක් තිබේ නම් එය ෂෙන්ගන් වීසා බලපත්‍රය නම් වචනයයි. ෂෙන්ගන් වීසා බලපත්‍රය යනු යුරෝපයේ සම්මුතිගත, ඒ ඒ රටවල් අතර අභ්‍යන්තර දේශ සීමා නීතිරීති රහිත,පරීක්ෂා කිරීම් රහිත, කිසිදු බලපත්‍රයක් – ලියවිල්ලක් නොමැති ව නිදහස් සංචරණයට ලබා දී ඇති අසීමිත නිදහස සඳහා වූ බලපත්‍රයයි. 

ෂෙන්ගන් වීසා බලපත්‍රය පිළිබඳ හෙඳින් අසා හුරු පුරුදු ඇතිමුත්, ෂෙන්ගන් යනු ලෝකයේ කුඩා රටක පිහිටි ඉතා ම කුඩා ගමක් නමක් බව බොහෝ අය නොදන්නවා විය හැකියි.

ෂෙන්ගන් ගම පිහිටි ලක්සම්බර්ග් රාජ්‍යය

බෙල්ජියම, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල්වලින් වට වී ඇති යුරෝපයේ පිහිටි කුඩා ම රාජ්‍යයක් වන ලක්සම්බර්ග් පිහිටා තිබේ. එහි සිට පා ගමින් යාහැකි තරම් දුරකින් ඇත්තේ ප්‍රංශය සහ ජර්මනිය යි. ලක්සම්බර්ග් හි වැසියන්ගෙන් බොහෝ දෙනෙක් ප්‍රංශ, ජර්මානු සහ ලක්සම්බර්ග් යන භාෂා ත්‍රිත්වය බහුල ව භාවිත කරති. එහි ජනගහනය 523,000 වේ. ලක්සම්බර්ග් රාජ්‍යයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 2,586 (වර්ග සැතපුම් 999) තරම් කුඩා බිම් ප්‍රමාණයකි. ප්‍රධාන ආගම ක්‍රිස්තියානි ධර්මය වන අතර ආයු අපේක්ෂාව අවුරුදු 78 (පිරිමින්), අවුරුදු 83 (කාන්තාවන්) අතර වේ. භාවිත මුදල් ඒකකය යුරෝ ය.

ෂෙන්ගන් කුඩා නගරය – liveworkplaytravel.com

 

ෂෙන්ගන් ගමේ පිහිටීම

ෂෙන්ගන් යනු ලක්සෙම්බර්ග්, ජර්මනිය සහ ප්‍රංශයේ දේශ සීමා වෙන් කෙරෙන මායිම් ත්‍රිකෝණයේ හෙවත් තුන්මුල්ලක, මොසෙල් ගං ඉවුරේ පිහිටි ගමකි. මොසෙල් ගඟ බටහිර ඉවුරේ ෂෙන්ගන් ගම හා නැගෙනහිරින් ප්‍රංශය ලෙස බෙදී යයි. ෂෙන්ගන් යනු යුරෝපයේ සුරංගනා කතාවනට පාදක වූ ගමකි. එහි හරිත මිදි වතු, උදාසීන ගං ඉවුරු පුරා පිහිටා ඇත. මෙම කුඩා ගමේ බේකරියක්, සිල්ලර බඩු හා චීන අවන්හලක් සහ කෞතුකාගාරයක් ද පිහිටා ඇත. නිද්‍රාශීලී ගමක් වුව ද, එය තවමත් යුරෝපයේ දේශ සීමා පිටුවහල් කළ ස්ථානය ලෙස හැඳින්වේ. ෂෙන්ගන් ගිවිසුම අත්සන් කළ ඓතිහාසික ස්ථානය අසල, සියලු ජාතීන්ගේ ධජ ඉතා අලංකාර ලෙස ලෙළදෙයි. ඒ අසල ම දේවානගරි අක්ෂරයෙන් ‘සාමය’ යනුවෙන් ලියා ඇති සමරු පලකයක් ඇත.

මොසෙල් ගඟ සහ ෂෙන්ගන් පාලම – commons.wikimedia.org

1985 – 1990 ෂෙන්ගන් ගිවිසුම සහ ෂෙන්ගන් ප්‍රඥප්තිය

ෂෙන්ගන් ගිවිසුම සහ ෂෙන්ගන් ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේ සම්මුතිය අත්සන් කරන ලද්දේ මෙහි දී ය. ෂෙන්ගන් ගිවිසුමේ අත්සනින් පසුව යුරෝපයේ නිදහස් චරණයේ සන්නාමය බවට ෂෙන්ගන් පත් ව ඇත.වර්තමානයේදී ෂෙන්ගන් ගම්මානයේ එකිනෙකට සමීප ස්ථාන කීපයක පවත්වාගෙන යන යුරෝපීය ෂෙන්ගන් කෞතුකාගාර තුළ ගිවිසුමට පෙර ඒ ඒ රටවල නිල ලාංඡන සහ ගිවිසුමේ සිහිවටන ප්‍රදර්ශනය කෙරෙමින් තිබේ. ලක්සම්බර්ග් සිට, මොසෙල් පාලම හරහා මාර්ගය වක්‍ර ය. ගඟේ අනෙක් පැත්තේ යුරෝපීය රටවල් දෙකක් ඇත. දකුණු පසින් ප්‍රංශය සහ වම් පසින් ජර්මනිය යි. දෙවන ලෝක සංග්‍රාමය හා සීතල යුද්ධය අතරතුර මේ දේශ සීමා දැඩි ලෙස ආරක්‍ෂා විය. ෂෙන්ගන් හි කඩසාප්පු ඇත්තේ ඉතාම ස්වල්පයකි.

එබැවින් එය සත්‍ය වශයෙන් ම එය තවමත් ඉතා ම කුඩා ගම්මානයකි. එය නිසැකව ම වයින් රසවතුන්ට සහ බියර් ලෝලීන්ට සිහින දේශයකි. ෂෙන්ගන් කාසල් ඓතිහාසික බළකොටුව එහි ප්‍රසිද්ධ ස්ථාන ය. ප්‍රංශ ලේඛක වික්ටර් හියුගෝ වරක් එම ස්ථානයට ගිය අතර එහි සුන්දරත්වය දැක විස්මයට පත්වූ බව කිය යි. ෂෙන්ගන් මාලිගා ඉතිහාසය 1390 තරම් ඈත අතීතයට දිවෙයි. එය 19 වන සියවසේ දී සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කර ඇත. මාලිගාව ලෝක යුද්ධ දෙකෙන් ම නොනැසී පැවතුණ ද, ඒ වනවිට එහි කොටසක් ප්‍රතිසංස්කරණය කළ යුතු ව තිබිණි. ෂෙන්ගන් ගම්මානය එක්සත් ජනපදයේ යුරෝපයේ ප්‍රතිරූපකයක් වුව ද යථාර්ථයේ දී එය ඉඳුරා ම වෙනස් යථාර්තයක් පිලිබිඹු කරයි.

ෂෙන්ගන් ගිවිසුම ෂෙන්ගන් ගමේ සමරු පලකය – m.bpb.de 

 

ෂෙන්ගන් ගිවිසුම යනු කුමක්ද?

1985 ජුනි 14 වන දින අත්සන් කළ ෂෙන්ගන් ගිවිසුම, යුරෝපීය රටවල් බොහොමයක් ඔවුන්ගේ අභ්‍යන්තරික ජාතික දේශ සීමා අහෝසි කිරීමට සහ දේශ සීමා රහිත යුරෝපයක් බල ගැන්වීමට “ෂෙන්ගන් ප්‍රදේශය” ලෙස හැඳින්වීමට මඟ පෑදූ ගිවිසුමකි. මුල දී යුරෝපා සංගම් රටවල් පහක් ලක්සම්බර්ග් හි අත්සන් කළ මෙම ගිවිසුම, සාමාජික රටවල් අතර අභ්‍යන්තරික දේශ සීමා පාලනය අවසන් කළ
ලෝකයේ විශාලත ම ප්‍රදේශවලින් එකකි.

යම් සංචාරකයකුට කිසිවකුගේ බාධා කිරීමකින් තොර ව උපරිම විනාඩි 30 ක තුළ ලක්සම්බර්ගයේ රටේ සිට මොසෙල් ගඟේ පාලම මතින් පා ගමනින් ජර්මනියට අයත් භූමියට පිවිස එතැනින් හැරී ප්‍රංශයට අයත් භූමියට පිවිසිය හැකි දේශසීමා නීති බල නොපවත්වන තැනකි. විනාඩි 30ක් ඇතුළත ඉහත රටවල් තුනක භූමි හරහා පාගමනින් ගොස් නැවත කලින් සිටි මොසෙල් ගඟේ පාලම අසලට ම ඔබට පැමිණිය හැකි ය.

ෂෙන්ගන් ගිවිසුමේ ඉතිහාසය

යුරෝපීය රටවල් අතර නිදහස් සංචර‍ණය සඳහා වන සංකල්පය ඉතා පැරණි වන අතර එය මධ්‍යතන යුගයේ දී ද, යම් පමණකට සංවාදයට බඳුන් ව තිබුණු බවට ශාක්ෂි සොයාගත හැකි ය. නූතන යුගයේ දී, දෙවන ලෝක සංග්‍රාමයෙන් අනතුරු ව එහි ප්‍රතිඵලයක් ලෙස යුරෝපයේ ඇද වැටීම සිදු වූ දා සිට ම මෙම අදහස විකාශනය වෙමින් පැවතිණි. මේ සම්බන්ධයෙන් ගත් සංයුක්ත ක්‍රියා මාර්ගවල ආරම්භය සිදු වූයේ 80 දශකයේ දී ය. එයට හේතුව යුරෝපය ප්‍රතිවිරුද්ධ කොටස් දෙකක් දීර්ඝකාලීන සංවාදයක සහ සදාකාලික විවාදයක සිර වී සිටිමින්, එක් පාර්ශවයක් රටවල් අතර අභ්‍යන්තර දේශ සීමා පරීක්ෂාවකින් තොර ව නිදහස් යුරෝපයක් පිළිබඳ අදහස දැරූ අතර අනෙක් පාර්ශවය එයට සම්පූර්ණයෙන් ම විරුද්ධත්වය පාමින් තර්ක ඉදිරිපත් කිරීම ය.

ප්‍රංශය සහ ජර්මනිය යනු නිදහස් සංචරණ සංකල්පය සම්බන්ධයෙන් මූලික පියවර ගත් පුරෝගාමී රටවල් දෙක යි. ඊටත් වඩා සංයුක්ත පියවර සහිත ව විවාදයට තුඩු දුන් සංකල්පය ඊළඟ මට්ටමට ගෙන යාමට ද ඔවුහු පොදුවේ එකඟ වූහ. 1984 ජුනි 17 වන දින ෆොන්ටයින්බ්ලූ හි යුරෝපීය කවුන්සිලයේ රාමුව තුළට ඉහත සඳහන් මාතෘකාව මුලින් ම ගෙන ආවේ මෙම රටවල් දෙකයි. එහිදී පුරවැසියන්ගේ නිදහස් සංචරණය සඳහා අවශ්‍ය කොන්දේසි ඔවුහු සියල්ලෝ ම අනුමත කළහ. මෙම කාර්යයේ උච්චත ම අවස්ථාව ලෙස, රටවල් අතර අභ්‍යන්තර දේශසීමා ක්‍රමයෙන් අහෝසි කිරීම සහ බාහිර දේශ සීමා පාලනය කිරීම ආවරණය වන පරිදි “ෂෙන්ගන් ගිවිසුම” අත්සන් කළේ 1985 ජුනි 14 වැනි දා ය. ගිවිසුම අත්සන් කළේ ප්‍රංශය, ජර්මනිය, බෙල්ජියම, ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තය යන යුරෝපීය රටවල් පහ අතර ය. අත්සන් තැබීම සිදුවූයේ දකුණු ලක්සම්බර්ග් හි කුඩා ගමක් වන ෂෙන්ගන් හි මොසෙල් ගංගා ඉවුරේදී ය.

ෂෙන්ගන් ගිවිසුම අත්සන් තැබීම- කැතරින් ලලුමියර්(ප්‍රංශය), වොල්ඩෙමර් ෂ්රෙකන්බර්ගර් (ජර්මනිය), පෝල් ඩි කීර්ස්මකර් (බෙල්ජියම), රොබට් ගොබෙල්ස් (ලක්සම්බර්ග්) සහ විම් වැන් ඊකෙලන් (නෙදර්ලන්තය) – schengenvisainfo.com 

 

ෂෙන්ගන් නිදහස් සංචරණ කලාපය

දැනට ෂෙන්ගන් ගිවිසුමේ සාමාජිකත්වය දරන රටවල් 26 කි. ඒ ඔස්ට්‍රියාව, බෙල්ජියම, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, අයිස්ලන්තය, ඉතාලිය, ලැට්වියාව, ලීච්ටන්ස්ටයින්, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මෝල්ටාව, නෙදර්ලන්තය, නෝර්වේ , පෝලන්තය, පෘතුගාලය, ස්ලොවැකියාව, ස්ලොවේනියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ ස්විට්සර්ලන්තයයි.මෙම ලැයිස්තුවෙන් රටවල් හතරක් එනම්, ලිච්ටෙන්ස්ටයින්, ස්විට්සර්ලන්තය, අයිස්ලන්තය සහ නෝර්වේ යන රටවල් යුරෝපා සංගමයේ ඍජු සාමාජිකයන් නොවේ. එබැවින්, ඔවුන් නිල වශයෙන් හැඳින්වෙන්නේ යුරෝපා සංගමයේ ෂෙන්ගන් ක්‍රියාකාරකම් හා සම්බන්ධ රටවල් ලෙස ය.

ෂෙන්ගන් නිදහස් වීසා කලාපය – liveworkplaytravel.com 

 

යුරෝපයේ රටවල් 26 ක් සඳහා ලෝකයේ ඕනෑම රටකින් ලබාදන වීසා බලපත්‍රය ෂෙන්ගන් නම් වෙයි. මෙම රටවල් හැරුණු විට ෂෙන්ගන් ප්‍රදේශයට, ප්‍රංශයට අයත් කැරිබියානු දූපත් සහ යුරෝපීය කුඩා රාජ්‍ය තුනක් වන මොනාකෝ, සැන් මරිනෝ සහ වතිකානු නගරය ද ඇතුළත් ය. අයර්ලන්තය සහ එක්සත් රාජධානිය මෙම සම්මුතියෙන් ඉවත්වීමට සාකච්ඡා කළ ද, ඔවුන් තවමත් ෂෙන්ගන් ප්‍රදේශයේ අනෙකුත් යුරෝපා සංගම් සාමාජික රටවල් සමඟ ක්‍රමානුකූල රෙගුලාසි අනුගමනය කරයි. ෂෙන්ගන් කලාපයේ බාහිර මායිම් කිලෝමීටර 50,000 ක දුරක් කරා විහිදෙයි. එයින් 80% ක් ජලයෙන් සහ 20% ක ගොඩබිම් භූමි ප්‍රමාණයකින්ද සමන්විත වේ. මෙම ප්‍රදේශය ගුවන්තොටුපළ සහ නාවික වරායන් සිය ගණනක්, ගොඩබිම් හරස් ස්ථාන, කිලෝමීටර 4,312,099 ක භූමි ප්‍රමාණයක් සහ පුරවැසියන් 419,392,429 ක ජනගහනයකින් සමන්විත වෙයි.

ඔබ ෂෙන්ගන් වීසා ලබාගත්තොත්, වීසාව භාවිත කරන පළමු වතාවේ එහි සඳහන් මුල් රටට පළමුවෙන් ඇතුළු වී ෂෙන්ගන් වීසාව භාවිත කර තිබිය යුතුයි. ඉන් පසු අනිත් ඕනෑම ෂෙන්ගන් රටකට ඇතුළු විය හැකියි.

කවරයේ ඡායාරූපය - මොසෙල් ගඟ සහ ෂෙන්ගන් ගම ගුවනට දිස් වන හැටි - getty images.com 

 මූලාශ්‍ර:

schengenvisainfo.com

bbc.com 

ec.europa.eu 

youtube.com 

economictimes.indiatimes.com 

 

Related Articles

Exit mobile version