නව කොරෝනා වෛරසය හා සම්බන්ධ සිදුවීම් කියන්නේ, අද වන විට මුළු මහත් ලෝකයේම අංක එකේ මාතෘකාව බවට විවාදයක් නැත. SARS-CoV-2 ලෙසට මෙම වෛරසය නම් කර ඇති අතර, ඒ මඟින් ඇති කරන රෝගය කොවිඩ්-19 ලෙස හඳුන්වයි. ලෝකයේ සෞඛ්‍ය, සමාජයීය, ආර්ථික, සංස්කෘතික, පාරිසරික මෙන්ම දේශපාලන ගැටළු රාශියකට මඟ පාදා ඇති, පියවි ඇසට නොපෙනෙන කොරෝනා වෛරසය නිසා බලපෑමට ලක් නොවූ ක්ෂේත්‍රයක් ලොව කොහෙවත් නැති තරම් ය. අපමන පීඩාවට පත්ව සිටින මිනිසුන්ගේ සිත්වල බලාපොරොත්තු දල්වමින් වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය මිනිස් සිරුර තුළ නිපදවීමට සමත් එන්නත් එකින් එක එළිදැක්වෙන කාලයක, ලොව නන් දෙසින් මේ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයන් ඇතිවෙමින් තිබෙන බවට වාර්තාවීම කාගෙත් සිත් තුළ යලිත් ප්‍රශ්නාර්ථ මතු කිරීමට සමත්ව ඇති කරුණකි.
මෙසේ එකම වෛරසයේ නව ප්‍රභේදයන්, නැතිනම් නව මාදිලි, යනු මොනවා ද, ඒවා ඇතිවන්නේ කෙසේ ද යන්න පිළිබඳ අවබෝධයක් ලබාගැනීම වැදගත් ය. සැබැවින්ම මෙසේ නව ප්‍රභේදයන් ඇතිවෙමින් විකෘති හට ගනිමින් පැවතීම වෛරස්වලට පොදු ලක්ශණයක් වන අතර, එකී ක්‍රියාවලිය තමන්ගේ වාසියට හරවාගැනීමට පවා අද වන විට මිනිසාට හැකිව තිබේ.
වෛරස යනු සරල ආයතන ය. මේවා බලශක්ති උත්පාදන පද්ධතියක් නොමැති, ඉතා සීමිත ජෛව සංස්ලේෂක හැකියාවන් ඇති, පරපෝෂිත ලක්ෂණ සහිත, වර්ගකිරීම්වල දී ජීවී කාණ්ඩවලට ද නැති නම් අජීවීන් ලෙස වර්ග කරන්නේ ද යන්න පවා මුල්කාලයේ සැක මතුකිරීමට හේතු වූ කොට්ඨාසයකි. කෙසේ නමුත් ධාරක සෛලයක් තුළ දී ගුණනය හේතුකොට මේවා ජීවීන් ලෙසට වර්ග කර ඇතැ යි සරලවම පැහැදිලි කළ හැකිය.
ජානමය වශයෙන්, වෛරසවලට සෛල හා සමාන බොහෝ ලක්ෂණ ඇත. වෛරස විකෘතිවලට භාජනය වේ. විවිධ වෛරස්වල ජානවලට නැවත එක් වී නව පරම්පරාවක් ඇති කළ හැකිය. වෛරස ප්‍රවේණික ප්‍රකාශනය නියාමනය කළ හැකිය. වෛරස ජාන නිෂ්පාදන අන්තර්ක්‍රියා කළ හැකිය. සෙසේම, වෛරසයක ජානමය ද්‍රව්‍ය වෙනස් කිරීම වෛරස ප්‍රෝටීනවල ක්‍රියාකාරිත්වයේ වෙනස්කම්වලට ද තුඩු දිය හැකිය. එවැනි වෙනස්වීම් හේතුවෙන් නවතම වෛරස් හෝ එම වෛරසයේම වෙනත් ප්‍රභේදයන්/මාදිලි ඇතිවිය හැකිය.
වෛරස්වල ජානමය වෙනස්කම් මඟින් නව ප්‍රභේද ඇතිවන අතර, එය සිදුවන ප්‍රධාන යාන්ත්‍රණ දෙකකි.
1. විකෘති (mutation)
2. ප්‍රතිසංයෝජනය (recombination)
විකෘති
වෛරස්වල විකෘති ඇතිවීමට යාන්ත්‍රණ තුනක් බලපායි.
(1) න්‍යෂ්ටික අම්ල මත භෞතික විකෘති (UV ආලෝකය, එක්ස් කිරණ)
(2) න්‍යෂ්ටික අම්ල සෑදෙන භෂ්මවල ස්වාභාවික හැසිරීමෙන්.
(3) න්‍යෂ්ටික අම්ල ප්‍රතිවලිත කරන එන්සයිමවල බිඳ වැටීම හරහා.
පළමු යාන්ත්‍රණ දෙක සියලුම වෛරස්වල එක හා සමානව ක්‍රියා කරයි; එබැවින් භෞතික විකෘතිවල බලපෑම සහ නියුක්ලියෝටයිඩවල ස්වාභාවික හැසිරීම සාපේක්ෂව සමාන වේ.
ඒ අනුව වෛරසවල විකෘති හටගැනීමේ ආකාර වෙනස් වීමට මූලික වශයෙන් හේතු වන්නේ, ඒවා ධාරක සෛල තුළ දී ගුණන ක්‍රියාවලියට අවැසි එන්සයිම ආධාරයෙන් ප්‍රවේණී කේතය නිපදවීමේ දී, නයිට්‍රජනීය භෂ්ම අනුපිලිවෙල හරහා පිටපත් කිරීමේ දී සිදුවන වෙනස්කම් ය. එන්සයිම මඟින් ඉහළ විශ්වසනීය ප්‍රවේණි කේතවලට අදාල පිටපත් සෑදීමට හැකියාවක් සහිත වෛරස්වලට සාපේක්ෂව අඩු විකෘති අනුපාත ඇත.
වෛරසවල ප්‍රවේණී ද්‍රව්‍ය ලෙස DNA අණු හෝ RNA අණු පැවතිය හැකිය. කොවිඩ් 19 රෝගයට තුඩු දෙන නව කොරෝනා වෛරසය තුළ මෙසේ ප්‍රෝටීනවලින් ආවරණය වූ ගෝලාකාර ව්‍යුහයක් තුළ RNA අණුවක් පවතී. DNA වෛරස්වල විකෘති අනුපාතයට වඩා RNA වෛරස්වල වඩා වැඩි විකෘති වීමේ අනුපාතයක් ඇත. එම හේතුව නිසා අපට කෙටි කාලයක් තුළ නව කොරෝනා වයිරසයේ ප්‍රභේද කීපයක් පැතිරීමට මුහුණ පෑමට සිදුව ඇත.
සිදුවන සියලුම විකෘති වෛරස් ගහනයේ නොපවතී. වෛරස් ගුණනය වීමේ ක්‍රියාවලිය වැනි අත්‍යවශ්‍ය කාර්යයන්ට බාධා කරන විකෘති ඉක්මනින්ම නැති වී යයි. ප්‍රවේණි කේතයේ අතිරික්තය නිසා බොහෝ විකෘති උදාසීන වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වෛරස ප්‍රෝටීනවල වෙනසක් සිදු නොවනු ඇත. අත්‍යවශ්‍ය වෛරස ක්‍රියාකාරිත්වයන් අඩපණ නොකරන විකෘතිවලට පමණක් වෛරස ගහනයක පැවතිය හැකිය.
විකෘතිවල බලපෑම
විකෘතියක් ඇති වීම යනු ජීවියෙක් ගේ පවතින තත්ත්වයේ වෙනස් වීමක් වුවත්, එයට හානිකර නොවන විකෘති වෛරසයට වැදගත් විය හැකිය. නිදසුනක් ලෙස, වෛරසයකට ධාරක ආරක්‍ෂාව ඉක්මවා යාමට සහ කලින් එයට විරුද්ධව ප්‍රතිශක්තිය තිබූ පුද්ගලයින් තුළ රෝග ඇති කිරීමට හැකියාව ඇත. එසේම විකෘතියට පත් වෛරසයට නව ප්‍රතිදේහජනක නිර්ණායක නිර්මාණය කළ හැකිය.
විකෘතිවලින් එන්නත්??
විකෘති සහිත වෛරස තුළ අඩු ව්‍යාධිජනකතාව, වෙනස් වූ ධාරක පරාසය/ධාරකයා හෝ වෙනසට ලක්වූ ඉලක්ක සෛල තිබීම සිදුවූවත්, නොවෙනස්ව පවතින ප්‍රතිදේහජනකතාවයකින් යුක්ත විය හැකිය. එවැනි වෛරස සමහර විට එන්නත් ලෙස භාවිතා කළ හැකිය. වඳුරු වකුගඩු සෛල තුළ පෝලියෝ වයිරස වැඩීමෙන් පෝලියෝ වයිරසයට එන්නත නිපදවා ඇති අතර, එහිදී ඇතිවූ විකෘති වෛරස තේරීමේ ක්‍රියාවලියෙන් මිනිස් සිරුරට හානිදායක නොවන, එහෙත් ප්‍රතිදේහ නිපදවීමට හැකිවන සේ අනුවර්තනය කර විචල්‍ය පෝලියෝ වයිරස නිපදවා එන්නත් ලෙස භාවිතයට ගනී.
ප්‍රතිසංයෝජනය
ප්‍රතිසංයෝජනය යනු ධාරක සෛලයක් සංයෝජනය කිරීමේ දී අදාළ වෛරස දෙකක් අතර ජානමය ද්‍රව්‍ය හුවමාරු කිරීම යි.
වෛරස් ප්‍රතිසංයෝජනය සිදුවන්නේ විවිධ ප්‍රභේදයන් දෙකක වෛරස් එකම ධාරක සෛලය ආසාදනය කර ගුණනය වීම, නැතහොත් ප්‍රතිවලිත වීම, අතරතුර වයිරස් වර්ග දෙකෙහි ප්‍රවේණික ද්‍රව්‍ය අන්තර්ක්‍රියා කර දෙමව්පිය වයිරස්වල සමහර ජාන ඇති වෛරස පරම්පරාව ජනනය වීමෙනි. ප්‍රතිසංයෝජනය සාමාන්‍යයෙන් සිදුවන්නේ එකම වෛරස් වර්ගයේ සාමාජිකයන් අතර වේ. (උදා: ඉන්ෆ්ලුවෙන්සා වෛරස් දෙකක් අතර හෝ හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරස් දෙකක් අතර). වෛරස සඳහා ප්‍රතිසංයෝජනය වීමේ යාන්ත්‍රණ දෙකක් ඇත. ස්වාධීන එකතුව සහ අසම්පූර්ණ සම්බන්ධතාවය මෙම යාන්ත්‍රණ දෙක යි.
- ස්වාධීන එකතුව මඟින් ප්‍රතිසංයෝජනය
ඛණ්ඩනයට ලක් වූ ජාන සහිත වෛරස අතර ස්වාධීන එකතුවකින් ප්‍රතිසංයෝජනය සිදුවිය හැකිය. විවිධ ජාන කොටස් එකතු වී නව ප්‍රතිදේහජනක නිපදවීමට සමත් සහ නව ධාරක සෛල ආසාදනය කිරීමේ හැකියාවක් සහිත වෛරස් ප්‍රභේද ඇතිවීම සිදුවිය හැකිය.
- අසම්පූර්ණ ලෙස සම්බන්ධිත ජාන ප්‍රතිසංයෝජනය
එකම න්‍යෂ්ටික අම්ලයක ඇති ජාන නැවත එක්වීමකට භාජනය වීම මෙමඟින් සිදුවේ. මෙය තරමක් දුර්ලභ ය.
ප්‍රතිසංයෝජනය කිරීම හරහා එන්නත් හා ජාන චිකිත්සාව
වසූරිය තුරන් කිරීමේ දී පොක්ස් වයිරස් කාණ්ඩයේ DNA වෛරසයක් වන වැකීනියා වෛරසය සජීවී එන්නතක් ලෙස භාවිතා කිරීමට ජාන ප්‍රතිසංයෝජන තාක්ෂණය ඉවහල්ව ඇත. සාමාන්‍ය මිනිස් ජාන රැගෙන යන ප්‍රතිසංයෝජන වෛරස ද සංවර්ධනය වෙමින් පවතී. එවැනි වෛරස ජාන චිකිත්සාව සඳහා ප්‍රයෝජනවත් වනු ඇතැ යි අපේක්ෂා කෙරේ. ජාන චිකිත්සාව සඳහා ඉලක්කගත රෝග ලෙස දියවැඩියාව, සිස්ටික් ෆයිබ්‍රෝසිස්, දැඩි ඒකාබද්ධ ප්‍රතිශක්ති ඌනතා සින්ඩ්‍රෝමය (severe combined immunodeficiency – SCID) යනාදිය හැඳින්විය හැකිය.
මෙසේ අද ලෝකයම අර්බුදයකට ලක් කරමින් කොරෝනා වෛරසය නව ප්‍රභේද ඇති කරන වටපිටාවක, එසේ ප්‍රභේද හටගැනීම වෛරසවල ලක්ෂණයක් බවත්, එම ක්‍රියාවලිය පාදක කරගනිමින් මිනිසා ඉතිහාසය පුරා අභියෝග ජයගෙන ඇති බවත් සිහිපත් කළ යුතු ය. මන්දයත් කොවිඩ් 19 රෝගී තත්ත්වයට වඩාත්ම සාර්ථක විසඳුම කළු වළාවක රිදී ඉරක් මෙන් අර්බුදය තුළම සැඟවී තිබිය හැකි නිසාවෙනි.