කුවේණියගේ දරුවන්ගෙන් පැවත එන බවට කියවෙන අපේ ආදිවාසී ජනතාව ඔවුන්ටම ආවේණික ජීවන රටාවක් ගත කරමින් අදටත් අප අතර සිටිනවා. කාලයත් එක්ක විවිධ සමාජීය පෙරැලි වලට මුහුණ දුන්නත් ඔවුන් තමන්ගේ අනන්‍යතාවය කෙසේ හෝ රැක ගන්නවා. ආදිවාසීන්, එහෙමත් නැත්නම් “ස්වදේශිකයින්” ලොව පුරා විවිධ පරිමාණයන්ගෙන් විසිරී සිටිනවා. ඇමරිකානු රතු ඉන්දියන්වරු, අප්‍රිකාන සූලු ගෝත්‍රිකයින් ඒ අතරින් ඉතා ප්‍රසිද්ධයි. කෙසේ වෙතත්, මේ ලිපිය ලියැවෙන්නේ ආදිවාසීන් ගැන නම් නොවෙයි. අසාධාරණයන් රැසකට ලක් වුණු ඔස්ට්‍රේලියානු “ඇබොරිජිනියන්” ගෝත්‍රික දරුවන් සහ, තම නිසිඳෙන ධෛර්‍යය නිසාම විශාල බාධකයක් ජයගත් ඇබොරිජිනියන් දැරියන් තිදෙනෙකු ගැනයි මේ ලිපිය ලියැවෙන්නේ.
ඇබොරිජියන් උරුමය කරුමයක් වූ හැටි
1869 වසරේ ඔස්ට්‍රේලියානු රජය විසින් Aborijinial Protection Act හෙවත් ඇබොරිජිනියන්වරුන් සුරැකීමේ පනත නමින් පනතක් එරට වික්ටෝරියා කොලනිය තුළ පනවනු ලබනවා. 1886 වසරේදී Half-Cast Act හෙවත් අර්ධ-ස්වදේශීය පනත නමිනුත් පනතක් බටහිර ඔස්ට්‍රේලියාව තුල පැනවෙනවා. ඔස්ට්‍රේලියාවේ ස්වදේශිකයන් වන ඇබොරිජිනියන්වර්න්ගේ වාසස්ථාන, රැකියා සහ විවාහ නියාමනය කිරීමයි මේ පනත් වල අරමුණ වන්නේ. 1930 සමය වන විට ඔස්ට්‍රේලියානු රජය මේ අර්ධ-ස්වදේශිකයින්, එහෙමත් නැත්නම් සුදු ජාතික පියවරුන්ට දාව ඇබොරිජිනියන් මවුවරුන්ට බිහි වන දරුවන්ගේ අනාගතයම වෙනස් කරන්නට හේතු පාදක වන තීරණයක් ගනු ලබනවා. ඒ, අර්ධ-ස්වදේශික දරුවන් සමාජය තුල හෑල්ලුවට ලක් වීම වැළැක්වීම සඳහා ඔවුන්ගේ පැවැත්ම රජය විසින් නියාමනය කළ යුතු බවට යි.
මේ අර්ධ-ස්වදේශී දරුවන් සමාජය තුළ නිදහසේ සිටීම සීම කළ යුතු බවට රජයෙන් නීති පනවනු ලැබුවේ හේතූන් තුනක් මතයි. ඒ, අඩක් සුදු හම ඇති දරුවන් කළු ජනතාවගෙන් බේරා ගැනීම, ස්වදේශිකයින්ගේ ලේ සමග “සුදු” ලේ මිශ්‍ර වීම මගින් ස්වදේශිකයන්ගේ උත්තරීතර බව වැඩි වී ඔවුන් තව තවත් අයිතිවාසිකම් ඉල්ලා සිටීම අනාගතයේදී වැළැක්වීම සහ අර්ධ-ස්වදේශී දරුවන් එකිනෙකා හා විවාහ කර දීම මගින් ඔවුන්ගේ “කළු” ජාන සහ සමේ පැහැය කාලයාගේ ඇවෑමෙන් මකා දැමීමේ අවශ්‍යතාවය යන තර්ක තුනයි. මේ හේතු සාධාරණීකරණය කිරීමට යාම දැන් අනවශ්‍ය වුවත්, මෙවැනි නීති කොපමණ ඒ වකවාණුව තුල ලොව පුරා යටත් විජිත තුළ බලපැවැත්වෙන්නට ඇත්දැයි නම් සිතා බැලිය යුතු කරුණක්.
මොලී ක්‍රෙයිග් යනු එවැනි අර්ධ-ස්වදේශික දැරියක්. ඇය වාසය කළේ බටහිර ඔස්ට්‍රේලියාවේ ජිගලෝන්ග් නැමති ගම්මානයේ යි. ඇගේ පියා සුදු ජාතික නිවාස තනන්නෙක්. මව ස්වදේශික ඇබොරිජිනියන් කාන්තාවක්. මොලීට අවුරුදු දහහතරක් පමණ වන විට සුදු ජාතික ආණ්ඩු ප්‍රතිපත්තිය යටතේ මොලීව වගේම ඇගේ අට හැවිරිදි සොහොයුරිය වන ඩේසි සහ ඔවුන් දෙදෙනාගේ ඥාති සොහොයුරිය වන ග්‍රේසිව බලහත්කාරයෙන් රැගෙන යන්නේ ජොගලෝන්ග් ගම්මානයෙන් සැතපුම් 1,600ක් පමණ දුරින් පිහිටා ඇති මුවර් රිවර් නිවාස සංකීර්ණය වෙතයි.
ඩොරිස් පිල්කින්ටන් හෙවත් නුගී
අර්ධ-ස්වදේශික දරු දැරියන් සිය මවුවරුන්ගෙන් වෙන්කොට, ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමයි සුදු ජාතිකයින්ගේ අරමුණ. මෙකී පාසල් අධ්‍යාපනය තුළ සාම්ප්‍රදායික හැසිරීම්, හැඳි ගෑරුප්පු භාවිතය වැනි දේවල් මේ දරුවන්ට ඉගැන්වෙනවා. මේ පාසල් වධකාගාර නොවෙයි. දරුවන් බලහත්කාරයෙන් රැගෙන යාම සහ බලහත්කාරයෙන් ඔවුන්ට මේවා පුරුදු පුහුණු කිරීම නිසාම එම පාසල් දරුවන්ට වධකාගාර බඳු වෙනවා. මොලීගේ ඒකායන අරමුණ වන්නේ මෙතැනින් තම සොහොයුරියන් සමගින් පැන ගැනීමයි. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් ඔවුන් එක් දිනක මුවර් රිවර් නිවාසයෙන් පැන යනවා. මේ දැරියන් සොයා යන්නට සුදු ජාතිකයින් ඔවුන් පසුපස එවන්නේත් තවත් ඇබොරිජිනියන් ජාතිකයෙක්වමයි.
මොලීගේ පියා ඇයට පවසා ඇති Rabbit-proof Fecne හෙවත් හාවුන්ට බැඳි වැට සොයා ගතහොත්, එම වැට දිගේ විත් නැවතත් තම ගම්මානයට යා හැකි බව විශ්වාස කරන මොලී තම සොහොයුරියන් දෙදෙනා සමගින් ගමන් අරඹනවා. මේ තිදෙනා කාන්තාර වැනි ප්‍රදේශ පසු කරමින් ගිරි දුර්ග මාර්ගයන් ඔස්සේ මේ වැට සොයා යනවා. එකිනෙකා කරේ තබාගෙන යමින්, කුරුළු බිත්තර සොයා ඒව බිඳ බොමින් මේ තිදෙනා හාවුන්ට බැඳි වැට සොයා දිවා රෑ නොබලා ගමන් කරනවා. සිරුර පුරා ඇති වන තුවාල වල වේදනාව නොතකමින් මේ සොයුරියන් තිදෙනා දින හා සති ගණනාවක් මුළුල්ලේ ඇවිද යනවා.
මොලී හා ඇගේ සහෝදරියන් නොදන්නා කරුණ වන්නේ තමන් සැතපුම් එක්දහස් හයසියයක් පයින්ම ගමන් කර ඇති බවයි. මුළු දුරින් අඩක් පමණ ගතවත්ම ඔවුන්ට වැට හමු වුණත්, තවත් සැතපුම් අටසියයක් පමණ වැට දිගේ ගමන් කරන්නට ඔවුන්ට සිදු වෙනවා. දුර ගැන වැටහීමක් නොමැති වුවත් කෙසේ හෝ ජිගලොන්ග් ගම්මානය සොයා ඇවිද යන මේ දැරියන් අතරමගදී එකිනෙකාගෙන් වෙන්වන්නේ ග්‍රේසිට තම මව සිටිනා විලූනා නගරය වෙත යාමට අවශ්‍ය බව ඇය කියා සිටිනා නිසයි. විලූනාව බලා තනිව යන ග්‍රේසි නැවතත් සුදු ජාතිකයින් අතට පත් වනවා. මොලී හා ඩේසිව නැවත ඇයට හමු වන්නේ නැහැ. නමුත් මොලී කෙසේ හෝ තම සොයුරිය සමගින් ජිගලෝන්ග් ගම්මානය බලා ගමන් කරන්නේ හාස්කමක් බඳු වීර චාරිකාවක් නිම කරමිනුයි.
ෆිලිප් නොයිස් නම් අධ්‍යක්ෂකවරයා විසින් මේ වීර චාරිකාව අළලා 2002 වසරේදී චිත්‍රපටයක් නිපදවනු ලැබුවා. බොහෝ ඔස්ට්‍රේලියානු ජාතිකයින් විසින් නැවත සිහි කිරීමට අකමැති අතීතයකින් සැදුම් ලද චිත්‍රපටයක් වුණත් රසික හා විචාරක පැසසුම් වලට මේ චිත්‍රපටය පාත්‍ර වුණේ නිසඟයෙන්මයි. චිත්‍රපටයේ ප්‍රධාන භූමිකා රඟපාන්නේත් ඇබොරිජිනියන් දැරියන් විසින්ම වීමත් විශේෂත්වයක්.
“Follow the Rabbit-proof fence” චිත්‍රපටය
IMDB චිත්‍රපට දර්ශකයේ 7.5ක අගයක් ලබා තිබෙන මේ චිත්‍රපටය ගෝල්ඩන් ග්ලෝබ් ඇතුළු සම්මාන 25කට නිර්දේශ වී, ඉන් සම්මාන 23ක්ම ලබා ගත්තා. චිත්‍රපටය රූගත කරද්දී මේ දරුවන් පැහැරගෙන යාමේ දර්ශන වැනි සංවේදී දසුන් රූගත කෙරුණු අවස්ථා වලදී පරිවර්තන කටයුතු සඳහා සහභාගී වී සිටි ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් පවා ඉතා සංවේදී වූ බව චිත්‍රපටයට සමගාමීව තැනුණු වාර්ථාමය චිත්‍රපට තුළ සඳහන් වී තිබෙනවා. සැබවින්ම කිසිදු පදනමක් නොමැති නීති නිසාවෙන් මෙවන් දරුවන්ගේ එක් පරම්පරාවක් සම්පූර්ණයෙන්ම තමන්ට අහිමි වූ බව ඔස්ට්‍රේලියානුවන්ට අකමැත්තෙන් හෝ පිළිගන්නට සිදු වී තිබෙනවා.
සැතපුම් දහස් ගණනක් ගෙවා මේ දැරියන් තිදෙනා තම මව සොයා ආවේ හාස්කමකින් මෙන් වුණත්, අමිහිරි සත්‍යය වන්නේ, ඔවුන් තරම් වාසනාවන්ත නොවුනු තවත් ඔස්ට්‍රේලියානු අර්ධ-ස්වදේශී දරුවන් විශාල ප්‍රමාණයක් තම මවුවරුන්ගෙන් වෙන්ව එවැනි නිවාස වල තනිව සිටි බවයි. මේ නිවාස වධකාගාරයක් බඬු නොවුණත්, ඒ අත්දැකීම පුංචි දරුවන්ට දරාගන්න පුළුවන් දෙයක් නම් නොවෙයි. මොලීගේ අප්‍රතිහත ධෛර්යය සහ ප්‍රඥාව නිසා අපමණ දුක් ගැහැට විඳ හෝ ඔවුන් තම ආදරණීයයන් සොයා ආ බව නම් අවිවාදයෙන්ම පිළිගත යුතු වන්නේ ඒ නිසයි. ඔස්ට්‍රේලියාව තුල මෙම නීති තවත් දිගු කාලයක් පැවතීමෙන් අනතුරුව, 1970 සමය වන විට ඉවත් කරනු ලැබුවා. නමුත් ඒ වන විට මේ දරුවන් ඔස්ට්‍රේලියාවට අහිමි වූ පරම්පරාවක් හෙවත් stolen generation එකක් බවට පත් ව හමාරයි.
2004 වසරේ පෙබරවාරි මස දිනක ජිගලෝන්ග් හිදීම මොලී ක්‍රෙයිග් තම නින්දේම මෙලොව හැර ගියේ තවත් පරම්පරා ගණනාවකට අමතක නොවන ආකාරයේ වීර කාව්‍යයක ප්‍රෞඩ රචිකාවක් වශයෙනුයි.
කවරයේ ඡායාරූපය – www.youtube.com
තොරතුරු උපුටා ගැනීම –
www.rogerebert.com, www.imdb.com වෙබ් අඩවි ඇසුරින් සහ පද්මා ගුණසේකර විසින් “හාවුන්ට බැඳි වැට” නමින් සිංහලට පරිවර්තනය කරන ලද, ඩොරිස් පිල්කින්ටන්ගේ “Follow the Rabbit-proof Fence” කෘතිය ඇසුරිනි.