වලව්වක් යැයි කියන සැණින් අපේ මතකයට සාමාන්‍යයෙන් එන්නේ කන්ද උඩරට ප්‍රදේශය වුවත්, සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ද පැරැණි ප්‍රභූ පවුල්වලට සෙවණ දුන් වලව් කිහිපයක් ම පිහිටා තිබේ. ඒ අතර ඇහැළේපොළ මහ අදිකාරම විසූ ඇහැළේපොළ වලව්ව, මඩුවන්වෙල රටේ මහත්මයා විසූ මඩුවන්වෙල වලව්ව, රත්නපුර ඇලපාත වලව්ව, ඇමටියගොඩ වලව්ව සහ ලොව ප්‍රථම අගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය උපත ලැබූ බලංගොඩ මහවලතැන්න වලව්ව වැනි ඒවා ප්‍රධාන තැනක් ගනී.
ඉහත කී වලව්වලට අමතර ව රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති තවත් සුවිශේෂී ප්‍රභූ පවුලකට අයත් වලව්වක් ලෙස කළු ගං මිටියාවතේ පිහිටි ඉද්දමල්ගොඩ වලව්ව හැඳින්විය හැකි ය. ඉද්දමල්ගොඩ වලව්වේ ජීවත් වූ කැපී පෙනෙන චරිත ලෙස සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ධූරය දැරූ ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ සහ සුන්දරත්වයෙන් අග තැන්පත් ඉද්දමල්ගොඩ කුමාරිහාමි වැනි අය ය.
වර්තමානයේ ද ඉද්දමල්ගොඩ වලව්වත් එහි මුල් ස්වරූපයෙන් ම දැකිය හැකි වීම විශේෂත්වයකි. සබරගමු පළාතේ පමණක් නොව රටේ ම ප්‍රකට ප්‍රභූවරුන්ට සෙවණ දුන් ඉද්දමල්ගොඩ වලව්ව සහ එහි ජීවත් වූ කැපී පෙනෙන චරිත කිහිපයක් හා සබැඳි සිදුවීම් කිහිපයක් පිළිබඳ ව මෙම ලිපියෙන් සොයා බලමු.
ඉද්දමල්ගොඩ පරපුර
සබරගමුවේ පැරැණි ප්‍රතාපවත් පරපුරක් වන ඉද්දමල්ගොඩ පරපුරේ වඩාත් ප්‍රසිද්ධ සාමාජිකයන් ලෙස ඉද්දමල්ගොඩ කුමාරිහාමි සහ ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ හැඳින්විය හැකි ය. මේ ඉද්දමල්ගොඩ පරපුරට රත්නපුර සහ අල්පිටිය ඇලපාත වලව්වල ජීවත් වූ ඇලපාත පරපුර, එක්නැළිගොඩ වලව්වේ ජීවත් වූ එක්නැළිගොඩ පරපුර, බලංගොඩ මහවලතැන්න වලව්වේ ජීවත් වූ මහවලතැන්න පරපුර, මොළමුරේ පරපුර, කොළොන්න මඩුවන්වෙල වලව්වේ ජීවත් වූ මඩුවන්වෙල පරපුර, එල්ලාවල මුත්තෙට්ටුගම පරපුර යනාදී ප්‍රභූ පවුල් ගණනාවක් සමග ඥාති සබඳතා තිබූ බව කියැ වේ.
ඉද්දමල්ගොඩ රටේ මහත්මයා
මෙරට හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයකු වූ ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි ඔහුගේ පෞද්ගලික සටහන්වල ඉද්දමල්ගොඩ රටේ මහත්මයා පිළිබඳ ව සඳහන් කර ඇත. ඔහු සිංහල ජන ප්‍රධානීන් අතර කැපී පෙනෙන කෙනකු වූ බවත්, ඉතා ධනවත් ඉඩම් හිමියකු බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇත. 1870 දශකයේ දී සිරිලකට සැපත් වූ එවකට එඩිංබරෝ ආදිපාදවරයා පිළිගැනීම වෙනුවෙන් පැවැත්වූ ලබුගම ඇත්ගාල සංවිධානය කිරීමෙහි ලා ප්‍රමුඛ ස්ථානය ගෙන ඇත්තේ ද ඉද්දමල්ගොඩ රටේ මහත්මයා ය.
සබරගමු දිසාවේ රටේ මහත්මයා ලෙසත්, ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙසත් කටයුතු කළ ඉද්දමල්ගොඩ රටේ මහත්මයා සිංහල ජන සමාජයේ පමණක් නොව බ්‍රිතාන්‍ය පාලකයන් අතර ද ගෞරවයට ලක් වූ අයකු බව කියැ වේ. විහාරගම් සහ දේවාලගම් පාලනය කිරීම ඒ ඒ ආයතනවලට ම භාර දිය යුතු බව ඉද්දමල්ගොඩ රටේ මහත්මයා බ්‍රිතාන්‍ය නිලධාරීන් ඉදිරියේ නිතර ම කියා ඇත. පොත්පත් මුද්‍රණය කිරීමේ වුවමනාව ද ඔහු තුළ විශාල වශයෙන් තිබී ඇත.
ඉද්දමල්ගොඩ කුමාරිහාමි
මෙම වලව්වේ වාසය කළ වංශවත් කුල කාන්තාවක් වූ ඉද්දමල්ගොඩ කුමාරිහාමි, ආගමට දහමට ද ළැදි, රූපශ්‍රීයෙන් අගතැන්පත් කාන්තාවක් වූ අතර ඇය හා සම්බන්ධ ජනප්‍රවාද ද රැසක් තිබේ.
එඩින්බරෝ ආදිපාදවරයාට ලබුගම ඇත්ගාල නැරඹීමට රූස්ස ගසක් උඩ තැනූ මැස්සක් මත විශේෂ නිරීක්ෂණ මැදිරියක් සාදා ඇත. එම විශේෂ මැදිරියට රාජකීය අමුත්තා සමඟ පැමිණි සම්භාවනීය පිරිස හැරුණු විට ඇත්ගාලේ ප්‍රධාන සංවිධායකයා වූ ඉද්දමල්ගොඩ රටේ මහත්මයාගේ පවුලේ අයට ද ඇතුළු වීමට අවසර ලැබී තිබේ.
ඒ අවස්ථාවේ දී ගස උඩ තනා ඇති නිරීක්ෂණ මැදිරියට නඟින්නට ඉද්දමල්ගොඩ කුමාරිහාමි සහ ඇගේ මව කැඳවාගෙන ආවේ සේසත් සහ මුතුකුඩ රැගත් ආවතේවකරුවන් සමඟ බව කියැවේ. සිය මව සමඟ පැමිණි රූසිරියෙන් පිරි දියණිය වෙත සියලු දෙනාගේ ම අවධානය යොමු වී ඇත.
ඉද්දමල්ගොඩ කුමාරිහාමිගේ පැමිණීම සහ රූ සිරියෙන් හෙබි කුමාරිහාමි දැක එඩින්බරෝ ආදිපාදවරයා පුදුමයට පත් වූ අයුරු දුටු ඉංග්‍රීසි ජාතික වාර්තාකරුවා එය විස්තර කර ඇත්තේ පහත පරිදි ය.
“මේ ඇත්ගාල නැරඹීමට ආ විශේෂ අමුත්තන් අතුරින් රජ කුමරුන්ගේ නිරීක්ෂණ මැදිරියට පිවිසීමට ඉද්දමල්ගොඩ රටේ මහත්මයාගේ භාර්යාවට ද අවසර ලැබිණි. එතුමිය එහි පැමිණියේ සිය දියණියත් සමඟ ය. ඇත්ගාලට වඩා මේ දෙපළට රාජ කුමාරයා බලාගැනීමට අවශ්‍ය වූ බව නොරහසකි. තරුණ ඉද්දමල්ගොඩ කුමාරිහාමි මනාව වැඩුණු අඟපසඟින් හෙබි රූමතියකි; එමෙන් ම විශාල බූදලයකට උරුමක්කාරියකි. දහඅට වැනි වියට පා තබා ඇති මේ රූමතියගේ දෙඅත් හා රූ සපුව මූර්ති කලාකරුවකුට කදිම ය. උරහිස් මතට වැටී ඇති ඇගේ නිල්වන් කෙස් කලඹත්, තැනින් තැනින් දඟර වැටී එල්ලෙන කියඹුවැල්වලත් ඇත්තේ හරි ම අපූරුවකි. මුතුමැණික් ඔබ්බවා ගණ රනින් කළ මාල වළලු අබරණින් සැරසී සිටි ඈ දකින ඕනෑම කුමරියක් ඉරිසියාවෙන් ඉපිල යනු නියත ය.”
එවක කවීන් ඉද්දමල්ගොඩ කුමාරිහාමි පිළිබඳ ව නිරන්තරයෙන් කවි පබැඳූ බවත්, ඇය නිරන්තරයෙන් ජනතාවට උදව් උපකාර කළ අයෙකු බවත් මූලාශ්‍රයන්හි සඳහන් වේ. ඒවායේ තවදුරටත් සඳහන් වන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ඇතුළු විවිධ ඉංග්‍රීසි ජාතික නිලධාරීන් ඇයට බැල්ම හෙළූ බැවින් ඇගේ පියා වූ ඉද්දමල්ගොඩ රටේ මහත්මයා ඇය කන්ද උඩරට ප්‍රභූ පවුලක සිටි, ඇයට වඩා වසර ගණනාවකින් වැඩිමහල් පුද්ගලයකුට විවාහ කර දුන් බවකි.
වලව්ව හා එහි ගෘහ නිර්මාණ ශිල්පය
ඉද්දමල්ගොඩ පරපුරට අයත් මෙම නිවස කබොක් ගල් සහ මැටියෙන් ඉදි කර තිබෙයි. එහි සිංහල සහ ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයන්ට අයත් ලක්ෂණ දක්නට ලැබේ. වලව්ව වටා කබොක් ගලින් කළ මිටි තාප්පයක් දැකගත හැකි ය. එහි සමාන දුරින් තනා තිබූ විශාල කුළුණු කිහිපයක් වර්තමානයේ දී ද දැකගත හැකි ය.
සාම්ප්‍රදායයික වලව්වක ලක්ෂණ ඒ අයුරින් ම දක්නට හැකි ඉද්දමල්ගොඩ වලව්වේ, ඉදිරියෙන් ම විශාල ප්‍රමාණයේ කුළුණු පහළොවකට වැඩි සංඛ්‍යාවකින් දරා සිටින දිගු විවෘත ආලින්දයක් දැකගත හැකි ය. ඊට පසුපසින් එම කුළුණුවලට වඩා උසින් යුතු කුළුණු කිහිපයකින් දරා සිටින තවත් විවෘත ආලින්දයක් දැකගත හැකි ය. ගෙබිම කොටසක් කළුගල් අතුරා ඔපදමා තිබෙනු දැකිය හැකි ය. එහි තවත් කොටසක ගෙබිම, මැටියෙන් තනන ලද පිඟන් ගඩොල් වැනි යමක් යොදාගෙන සකස් කර තිබෙනු ද දක්නට ලැබේ.
නිවසට ඇතුළු වන ස්ථානයේ ඇති ප්‍රධාන උළුවස්ස සහ අනිකුත් සියලු ම දොර සහ ජනෙල් උළුවහු ඉතා විශාල ප්‍රමාණයේ ඒවා වන අතර ඒවා උසින්ද ඉතා වැඩි ය. වර්තමානය වන විට වලව්වේ වහලයේ එක කොටසක පැරැණි සිංහල උළුත්, අනික් කොටසේ සෙවිලි තහඩුත් සෙවිලි කර තිබෙනු දැකිය හැකි ය.
වලව්ව තුළ විශාල ප්‍රමාණයේ කාමර ගණනාවක් පිහිටා ඇති අතර නිවසට ඇතුළු වන ස්ථානයේ පිහිටි දොරටුවක් සහ නිවසේ පසුපසින් පිටවිය හැකි ස්ථානයක් එකිනෙකට මුහුණ ලා පිහිටා තිබීම විශේෂ ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකි ය.
පැරැණි පොත් එකතුවක් ද සහිත පුස්තකාලයක් වලව්ව තුළ අද ද දැකගත හැකි ය. වලව්වේ පසුපසට වන්නට ද දිගු කොරිඩෝවක් පිහිටා තිබේ. එම කොටසේ කණු සඳහා දැවයෙන් කළ කණු භාවිත කර තිබෙන අතර වර්තමානය වන විට නම් ඒවා තරමක් දිරාපත් ව තිබේ. වලව්වට ජලය ලබාගත් ළිඳ ද වර්තමානයේ දී පවා ඊට පසුපසට වන්නට දැක ගත හැකි ය.
වර්තමාන තත්ත්වය
වර්තමානය වන විට ඉද්දමල්ගොඩ වලව්ව එම පරපුරේ ඥාතීන් සතු ව පවතියි. ඉද්දමල්ගොඩ කුමාරිහාමිගේ මී මිණිබිරියක හා ඇලපාත වලව්වෙන් පැවැත එන ඇගේ ස්වාමිපුරුෂයා මේ වන විට වලව්වේ ජීවත් වේ. ඔවුන් වලව්වේ ඉපැරැණි ස්වරූපයට හානියක් නොවන සේ වලව්ව පවත්වාගෙන යාමට විශාල ප්‍රයත්නයක් දරයි. දිනයක් සහ වේලාවක් නිසි පරිදි වෙන් කරවාගෙන ඔබට ද මේ ඓතිහාසික ඉද්දමල්ගොඩ වලව්ව නැරැඹීමට යා හැකි ය.