ආකර්ෂණීයයි කියන ලේබලය නොවැදුණු දෙයක් වුණත් ආකර්ෂණීය විදිහට ඉදිරිපත් කරන්නට කලාකරුවකුට හැකියාව තියනවා. බහුතරක් පිළිගන්න ආකර්ෂණීය රාමුවෙන් මිදී නව මාන සොයා යන කලාකරුවන් බිහිවෙන්නේ බොහො ම කලාතුරකින්. ජොහැනස් වර්මීර් කියන්නේ ඒ වගේ කලාතුරකින් දකින්නට ලැබෙන සිත්තරෙක්.
තමන්ගේ පින්සල් තුඩෙන්, වර්ණ වෙනුවට “ආලෝකය” පාලනය කළ ඔහු ඉතිහාසය හඳුන්වන්නේ Master of Light හෙවත් ආලෝකයේ මහදුරු නමින්. භෞතික දේ මතට පතිත වෙන සූර්‍යාලෝකය මඟින් ඇති කරන සෙවණැලි, හැඩතල, ආලෝක රේඛා යොදා ගනිමින් සිය නිර්මාණවලට නව පණක් ලබා දුන් වර්මීර් උපත ලැබුවේ නෙදර්ලන්තයේ (ඕලන්දයේ) ඩෙල්ෆ්ට් නම් නගරයේ වර්ෂ 1632 දී යි.
වෘත්තියෙන් Caffa නම් තත්ත්වයෙන් උසස් සැටින් රෙදි වියන්නකු සහ කලාකෘති අලෙවිකරුවකු වුණ වර්මීර්ගේ පියාට හැකියාව ලැබෙනවා තම දරුවන්ට යහපත් ළමා කාලයක් ලබා දෙන්න. වර්මීර්ට වයස අවුරුදු 9ක් ලත් තැන ඔහුගේ පියා ඩෙල්ෆ්ට්හි වෙළඳ චතුරශ්‍රයෙන්, “මෙකලන් (Mechelen)” නමින් හැඳින්වූ ලැබූ තානායමකින් සමන්විත විශාල නිවසක් මිල දී ගන්නේ සිය පවුල වෙනුවෙන්. ඔහු 1652 දී මියයන අතර ඔහුගේ අභාගයෙන් පසු තානායමේ හිමිකාරිත්වය සහ කලාකෘති අලෙවියේ වගකීම පැවරෙන්නේ තරුණ වර්මීර්ට.
ජොහැනස් වර්මීර් කලාකරුවාගේ ආගමනය
පියාගේ අහිමි වීමෙන් වසරක් ගිය තැනඩෙල්ෆ්ට් නගරය මූලික කරගනිමින් ජොහැනස් වර්මීර් නම් කලාකරුවාගේ ආගමනය 1653 වර්ෂයේ දී සිදුවෙනවා. එකල ඔහුගේ සිතුවම් දෙස බැලූ කල කෙනකුට වැටහෙන්නේ ඔහු ඊට පෙර කලාවේ නිරත වී සිට ඇති බව යි. ඉතිහාසය වර්මීගේ අතීතය පිළිබඳ සපයන්නේ ඉතා අවම තොරතුරු ප්‍රමාණයක්. ඔහු කිනම් වයසක දී, කෙසේ, කවරකුගෙන් චිත්‍ර කලාව හැදෑරුවාදැයි කිසිදු නිශ්චිත සඳහනක් නැහැ.
1640 දශකය අගභාගයේ සහ 1650 දශකය මුල්භාගයේ, ඩෙල්ෆ්ට් නගරය හා සබැඳි කිසිදු ලේඛනයක වර්මීර් පිළිබඳ කිසිදු සටහනක් නොමැති වීම නිසා ම, එකල සිටි බොහෝ ලන්දේසි කලාකරුවන් මෙන් ඔහුත් ඉතාලියට, ප්‍රංශයට හෝ බෙල්ජියමේ කලාපයක් ලෙස සැලකූ ෆ්ලාන්ඩර්සයට ගමන් කළ බව අනුමාන කරනවා. ඇතැමුන් පවසන්නේ ඔහු නෙදර්ලන්තයේ යූට්‍රෙක්ට් හෝ ඇම්ස්ටර්ඩෑමය වැනි නගරයක පිහිටි කලා ආයතනයකින් චිත්‍ර ශිල්පය හදාරා ඇති බවට අනුමාන කළ හැකි බව යි.
කෙසේ නමුත් Guild of Saint Luke නමින් හැඳින්වූ ඩෙල්ෆ්ට් හි වෘත්තිමය වෙළෙඳ සංගමයේ 1653 වසරේ අග සමයේ දී ලිපිලේඛනවල වර්මීර් හඳුන්වා දී ඇත්තේ “මහා සිත්තරෙක්” ලෙස යි. මෙම වෘත්තීය වෙළඳ සංගමය, ඩෙල්ෆ්ට් හී විසූ කලාකරුවන් (artists) සහ ශිල්පීන්ගේ (artisans) වාණිජ සහ නිෂ්පාදන කටයුතු නියාමනය සිදුකර ඇත. චිත්‍රශිල්පීන්, රෙදිපිළි වියන්නන්, පොත් අලෙවිකරුවන්, මූර්ති අඹන්නන්, කැටයම්කරුවන් ආදී වෘත්තීන් ගණනාවක් සඳහා මොවුන් ඉතා විශාල බලපෑමක් එල්ල කර ඇති බව කියවේ.
බයිබලයේ සිදුවීම් සහ පුරාවෘත්ත
ඒ අනුව ඔහු 1650 දශකයේ මුල් අවධිය වන විට සිය උපන් නගරය කේන්ද්‍රකොට ගනිමින් සිය කලා හැකියාව ප්‍රදර්ශනය කළ බව පිළිගත හැකි යි. මුල් වකවානුවෙ දී බයිබලයේ සිදුවීම් සහ පුරාවෘත්ත විශාල සිතුවම්වලට නැඟි වර්මීර් ඉන් අනතුරුව නගර සිතුවම් සහ ආරක දර්ශන (Genre scenes) හෙවත් එදිනෙදා ජීවිතයේ අවස්ථා සහ සංසිද්ධීන් සිතුවමට නැඟීම කෙරෙහි යොමු වෙනවා.
ආරක දර්ශන කලාවේ දී ඔහු දැක් වූ අතිවිශිෂ්ට හැකියාව නිසාම ඉතා කෙටි කාලයකින් ඩෙල්ෆ්ට් නගරය පුරා ජනප්‍රිය වෙන වර්මීර්ගේ කලා ජීවිතයේ සාර්ථක ම දශකය ලෙස සලකන්නේ 1660 යි. 1662 වර්ෂය වන විට “සිත්තරුන්ගේ සංසදයේ” සභාපති ලෙස පත්වෙන ඔහු, අවස්ථා 4ක දී ම Guild of Saint Luke වෙළඳ සංගමයේ සභාපති බවට පත් වී තිබෙනවා.
කලා ජීවිතයේ අසීමිත කීර්තියක්
ජොහැනස් වර්මීර් සිය කලා ජීවිතයේ අසීමිත කීර්තියක් හිමි කර ගැනීමට සමත් වෙන්නේ ඉතා සීමිත නිර්මාණ ප්‍රමාණයකින් වීම විශේෂත්වයක්. අවුරුදු 43ක් වූ ඔහුගේ කෙටි ජීවිත කාලය තුළ දී නිම කළ නිර්මාණ පිළිබඳ නිවැරදි ගණනයක් නැතත්, එය 50කටත් අඩු, සුළු ප්‍රමාණයක් බව විශ්වාස කරනවා. ඊට හේතුව ලෙස සලකන්නේ, සිතුවමේ ඉතා සුළු තොරතුරුවලට පවා අවධානය යොමු කරමින්, එක් නිර්මාණයක් වෙනුවෙන් ඔහු විශාල කාල වේලාවක් වැය කිරීම යි.
එම සිතුවම් අතුරින් වර්තමානය වන විට සොයාගත හැකි වී ඇත්තේ සිතුවම් 36ක් පමණයි. (ඇතැම් මූලාශ්‍රවල මෙය 34ක් සහ 35ක් ලෙස ද සඳහන් වේ).
වර්මීර්ගේ පෞද්ගලික ජීවිතය
වර්මීර් වර්ෂ 1653 දී, මරියා තින්ස් නම් ඩෙල්ෆ්ට් හි විසූ ධනවත් වැන්දඹුවගේ දියණිය, කැතරිනා බොල්නස් සමඟ අතිනත් ගන්නවා. එම විවාහයෙන් අනතුරුව ඔහු කතෝලික ආගම වැලඳ ගන්නා අතර මුල් කාලීන ව ඔහු අතින් නිර්මාණය වූ බයිබල් සිතුවම් සැලකෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස යි. විවාහයෙන් කෙටි කලකට පසු ව මරියා තින්ස් සතු වූ විශාල නිවසේ පදිංචියට යන වර්මීර්, ඔහුගේ මරණය තෙක් නිර්මාණ කටයුතුවල නිරත වන්නේ එහි සිට යි. වර්මීර්ට දා ව කැතරිනා දරුවන් 15දෙනකු බිහි කරන නමුත් ඔවුන් අතරින් සිවු දෙනෙක් බෞතීස්ම කිරීමටත් ප්‍රථම මියයනවා.
එක් නිර්මාණයක් වෙනුවෙන් අධික කාලයක් වැය කරන වර්මීර් වැනි අයකුට මේ සා විශාල පවුල් සංස්ථාවක් සිතුවම්වලින් නඩත්තු කිරීම කිසිසේත් ම ලේසිපහසු කටයුත්තක් වුණේ නැහැ. ඔහුගේ අසීරු ජීවිතයට සහනයක් වුණේ ඩෙල්ෆ්ට් හි ධානපතියෙක් ලෙස සැලකූ පීටර් වෑන් රැල්වන්. ඒ වර්මීර්ගේ සිතුවම් මිලට ගැනීමෙන් සහ නිර්මාණ සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමෙන්.
1672 වර්ෂයේ දී සිදුවන ප්‍රංශ ආක්‍රමණය සහ ඒ සමඟ ම හටගන්නා ප්‍රංශ-ලන්දේසි යුද්ධය, ඩෙල්ෆ්ට් නගරය ඇතුළු සමස්ත ඕලන්දයට ම එල්ල කරන්නේ මරු පහරක්. රට ම දැඩි ආර්ථික අවපාතයකට ගොදුරු වෙන මොහොතක එයින් ගැළවෙන්න වර්මීර්ගේ පවුලට හැකියාව ලැබුණේ නැහැ. විකුණා ගත නොහැකි නිර්මාණ, පවුල් බර සහ අධික ණය තුරුස්වලින් හෙම්බත් වුණ වර්මීර් දැඩි මානසික පීඩනයකට පත්වෙන්නේ ඉතා කෙටි කාලයක් තුළ දී.
ජොහැනස් වර්මීර් නම් ශ්‍රේෂ්ඨ සිත්තරා මරණය කරා රැගෙන යන්නටත් ඒ කඩා වැටීම සමත් වෙනවා. ඩෙල්ෆ්ට් නගරයට පමණක් සීමා වූ වර්මීගේ ජනප්‍රියතාව ඔහුගේ අභාවයත් සමඟ ම වියැකී යනවා. ඉන්පසු දශක කිහිපයක් පුරා යටපත් වී තිබූ ජොහැනස් වර්මීර් නාමය, ඔහුගේ නිර්මාණවලින් අභාසය ලැබූ ප්‍රංශ කලාකරුවන් යළිත් කරළියට රැගෙන එන්නේ 19 ශතවර්ෂයේ දී.
Girl with a Pearl Earring (මුතු කරාබුව පැළඳි යුවතිය)
1665 වර්ෂයේ දී නිමවුණ Girl with a Pearl Earring නම් ඔයිල් සායම් සිතුවම සැලකෙන්නේ වර්මීර්ගේ වඩාත් අවධානයට පාත්‍ර වුණ නිර්මාණය ලෙස යි. එය කොතරම් ජනප්‍රිය ද යත් ලොව පුරා කලාකාමීන් එය හඳුන්වන්නේ “Mona Lisa of the North” යන නමින්. කහ සහ නිල් පැහැයෙන් යුත් සාළුවකින්, හිසකෙස් නොපෙනෙන සේ හිස වසා සිටින සුන්දර යුවතියකගෙන් හැඩවුණ එහි, වැඩි අවධානයක් දිනා ගන්නේ ඇයගේ එක් කනක බැබලෙන ප්‍රමාණයෙන් විශාල මුතු කරාබුවයි.
ආලෝකයේ මහැදුරු (Master of Light) යන සිය අන්වර්ථ නාමයේ නිරවද්‍යතාව නැවත නැවත ඔප්පු කරන්නට මෙම නිර්මාණයෙන් වර්මීර්ට හැකියාව ලැබිල තියෙනවා. හිරු එළියට නිරාවරණය වූ යුවතියගේ තොල්,සම සහ මුතු කරාබුව ආලෝකය වැදී බබළන අපූරුව ඔහු සිය පින්සල් තුඩට හසු කරගෙන ඇති ආකාරය ලොව පුරා සිත්තරුන් මවිත කරවනසුලු යි.
පරිකල්පිත තරුණියට පණ දීම
එකිනෙකට නොගැළපෙන ආකාරයේ ඇඳුම් පැළැඳුම්වලින් සැරසී, මුතු කරාබුවක් පළඳා සිටින යුවතිය, වර්මීර්ගේ පරිකල්පනයක් බව සලකනවා. ඒ පරිකල්පිත තරුණියට පණ දී, ඇගේ කතාව ලොවට රැගෙන එන්නට ට්‍රේසි ශිවැලියා (Tracy Chevalier) නම් අමෙරිකන්-බ්‍රිතාන්‍ය කතුවරයා පසුව සමත් වෙනවා, ඒ Girl with a Pearl Earring නමින් රචිත කෘතියෙන්. 1999 වසරේ දී බ්‍රිතාන්‍යයේ දීත්, 2000 වසරේ දී අමෙරිකාවෙත් ප්‍රකාශයට පත්වෙන ඇගේ කෘතිය ලොවපුරා අතිශය ජනප්‍රියතාවයට පත්වන්නේ නොසිතූ අයුරින්.
වර්මීර්ගේ නිවසේ සේවයට පැමිණෙන අවුරුදු 16ක් වයසැති ග්‍රීට් නම් තරුණිය සහ වර්මීර් අතර හට ගන්නා හෘදයාංගම සබඳතාවක් ගැන අනාවරණය කරමින් ලියවුණු එය, 2003 වසරේ දී එනමින් ම චිත්‍රපටියට නැඟෙන්නේ ජනප්‍රිය හොලිවුඩ් නිළි ස්කාලට් ජොහැන්සන් ග්‍රීට් ලෙස ප්‍රධාන භූමිකාව රඟ දක්වමින්. 2004 වසරේ පැවති ඇකඩමි (ඔස්කාර්) සම්මාන උළෙලේ දී අංශ තුනකින් නාම යෝජනා දිනාගැනීමට Girl with a Pearl Earring චිත්‍රපටය සමත් වුණා.
Girl with a Pearl Earring චිත්‍රපටිය
අප ආදරේ, සතුට, දුක, වේදනාව, කලකිරීම, වෛරය, අනුකම්පාව, සැනසීම වගේ සිය දහස්ගාණක් හැඟීම් කලවම් වුණ මිනිසුන් ය. ඒ හැඟීම් ය ඇත්තට ම අපිව ජීවත් කරවන්නෙ. හැඟීම් කියල දෙයක් මේ ලෝකෙ නොතිබුණේ නම්, අප නිකම් ම නිකම් හුස්ම ගන්න මස් වැදලි විතරක් වෙන්නට තිබුණා. මිනිස්සු,තමන්ට පණ දෙන හැඟීම්වලට නම් දෙනව. ‘ආදරය’ ‘සතුට’ ‘දුක’ කියල ඒවා වර්ග කරනව. ඒත් එහෙම නමක් දෙන්න,වර්ග කරන්න බැරි හැඟීම් කොටසකුත් මේ ලෝකෙ තියනව. හරියට ‘Girl with a pearl earring’ කතාවේ වර්මීර් සහ ග්‍රීට් අතර තිබුණ සම්බන්දෙ වගේ.
වර්මීර්,හදවතේ කලාව තිබුණ මනුස්සයෙක්; ලෝකේ පින්සල් තුඩෙන් දැකපු සිත්තරෙක්. එයාගෙ නැන්දම්මා,මරියා තින්ස්,කලාව තියෙන්නෙ සල්ලි හම්බකරන්න කියල හිතපු,හැම කෙනෙක්ව ම පාලනය කරන්න උත්සහ කරපු ගෑනියෙක්. වර්මීර්ගේ බිරිය, කැතරිනා, එයා දැනගෙන හිටිය එක ම දේ නෝක්කාඩු ස්වරෙන් චෝදනා කරන්න විතරමයි.
ඒත් ග්‍රීට්! එයා දැනගෙන හිටියා ජනෙල් වීදුරු වලින් ගලන එළියට පුළුවන් කියල, සිතුවමක පාට වෙනස් කරන්න. එක ම එක හැඩතලේක පුංචි වෙනසකින් මුළු චිත්‍රයක් ම වෙනස් කරන්න පුළුවන් කියලත්. සුදු පාටට පේන වලාකුළු අස්සෙ නිල්, අළු, කහ වගේ ගොඩක් පාට හැංගිල තියනව කියලත්. පාටක් තවත් පාටක් එක්ක මිශ්‍ර වෙලා මැවෙන තවත් අමුතු පාටක අපූරුව විදින්නත්…
ජීවිතේ එක මොහොතක අපි හැමෝට ම ඕන වෙනව අප තේරුම් ගන්නට පුළුවන් තවත් ජීවිතයක්, සමාන රහක් තියෙන මනුස්සයෙක්. කලාවක වටිනාකම නොදන්න නගරෙක, ගෙදරක හිර වුණු වර්මීරුත්, සහෘදයෙක් තමන්ගෙ ජීවිතේට එනකන් බලන් ඉන්න ඇති. ඒ අඩුව පුරවන්න පුළුවන් වුණේ, වර්මීර්ට ළමයි 15ක් දුන්න කැතරිනාට නෙමෙයි, චිත්‍ර කාමරේ දූවිලි පිහිදැම්ම ග්‍රීට්ට.
තමන්ට අයිති මුතු කරාබු පළන්දල, වර්මීස් ග්‍රීට් චිත්‍රෙට නඟල කියල දැනගත්ත මොහොතේ කේන්තියෙන් වගේ ම වේදනාවෙන් කැකෑරෙන කැතරිනා,වර්මීර් ගෙන් අහනව,”ඇයි ඔයාට කවදාවත් හිතුන් නැත්තෙ මාව අඳින්න” කියල. වර්මීර් දෙන්නෙ හරි කෙටි උත්තරයක්, “ඔයාට මේවා තේරෙන් නැහැ”. ඒ උත්තරෙන් අසරණ වුණ කැතරිනා ග්‍රීට් දිහාට ඇඟිල්ලක් දික් කරල ඊළඟට අහන්නෙ, “මේකිට ඒවා තේරෙනවද ?” කියල. වර්මීර් උත්තරක් දෙන්නෙ නෑ ඒ ප්‍රශ්නෙට. ඒත් ඒ නිශ්ශබ්දතාව ඇතුළෙ හැංගිල තිබුණ උත්තරේ “ඔව්” කියල කැතරිනා තේරුම් ගන්නව.
තමන්ගේ කලාවට ඇඟිලි ගහන්න කාටවත් ම ඉඩ නොදුන්න වර්මීර්, ග්‍රීට්ට ඉඩදෙනව තමන්ගෙ ලෝකෙට එන්න. හැමෝට ම සාමාන්‍ය වැඩකාරියක් වුණ ග්‍රීට්,වර්මීර්ගෙ ලෝකෙ ඇතුළෙ දි “විශේෂ” කෙනෙක් බවට පත්වෙනව. ග්‍රීට්, වර්මීර්ගෙන් දකිනව තමන්ට වටිනාකමක් දුන්න,තමන් විශ්වාස කරන පිරිමියෙක්. මුතු කරාබු දාන්න කන විදිනකොට දැනෙන වේදනාව, තොල් දෙක හපා ගෙන දරාගන්න ගමන්, ග්‍රීට් වර්මීර් ගේ ඇස්වලට එබිල බලනව.
වේදනාවෙන් පෙඟුණු ඒ ඇස් දෙකේ තියෙන්නෙ, තමන්ට හදවතේ විශේෂ තැනක් දුන්න පිරිමියා වෙනුවෙන් ඕන වේදනාවක් දරාගන්න පුළුවන් කියල කියන විදිහෙ බැල්මක්. චිත්‍රය අදින මුළු වෙලාවෙ ම ග්‍රීට්ගෙ ඇස් තියෙන්නෙ වර්මීර් දිහාට හැරිලා. යන්තමට ඇරිච්ච තොල්, වේදනාව, සතුට,බය, ආදරේ පිරුණ ඇස්, මොනවද කියන්න හදනව වර්මීර්ට.