
ලස්සන වෙන්න කවුරුත් කැමතියි. තමන් වෙසෙන සමාජ තලයේ කඩවසම් තරුණයෙක් හෝ ලස්සන තරුණියක් වන්නට බොහෝ දෙනා පෙරුම් පුරනවා. ඒත් මේ ලස්සන මනින්නට නිශ්චිත මිණුම් දණ්ඩක් තිබෙනවාද? ලෝකයේ විව්ධ ප්‍රදේශ වල විවිධ ජාතීන් අතර හා රටවල් අතර භාෂාව, සංස්කෘතිය, රූප ස්වභාවය පමණක් නොව සිතුම් පැතුම් වලත් වෙනස් කම් තිබෙනවා. ඉතින් ඔවුන් යමෙකුගේ ‘ලස්සන‘ අර්ථකථනය කරන ආකාරයත් එකිනෙකට වෙනස් වෙන්නට පිළිවන්. මේ අතරින් සමහර රටවල් වලට හෝ ජාතීන්ට අයත් පුද්ගලයින්, කෙනෙක්ගේ ‘ලස්සන’ දකින ආකාරය ඉතා පුදුමය දනවනවා.
අපිළිවෙල දත් – ජපානය

dailymail.co.uk
සාමාන්‍යයෙන් ඉතා පිළිවෙලට ඇති සුදුවන් දත් දෙපෙළක් හිමි වීම කෙනෙක්ගේ රූප සම්පත්තිය තව දුරටත් වැඩි කරන බව පිළිගැනීම යි. ඒ කෙසේ නමුත් ජපානයේ ජනතාව නම් දත් හා රූපය පිළිබඳව දක්වන්නේ වෙනස් ආකල්පයක්. ජපානයේ වෙසෙන ජනයා යම් පුද්ගලයෙක්, විශේෂයෙන් තරුණියක් සතුව අපිළිවෙළට පිහිටි දත් හෝ නළ දත් පිහිටීම ඇයගේ රූප සොබාවය වැඩි දියුණු කිරීමට දායක වන බව විශ්වාස කරනවා. නළ දත් ඇති අයෙකු සිනාසෙන විට එහි හුරුබුහුටි බවක් ඇති බවට ඔවුන් සලකනවා. මේ නිසා ජපානයේ දන්ත වෛද්‍යවරුන්ට ඇත්තේ ඉතා වැඩි ඉල්ලුමක්. (1)
මුහුණේ කැළල තිබීම – බටහිර අප්‍රිකාව හා නවගිනියාව

Eric Lafforgue/dailymail.co.uk
කැළැල් වලින් තොර මුහුණක් හා සුසිනිඳු සමක් තිබීම ඉහළ රූප සම්පත්තියකට හේතු වන බව සාමාන්‍ය ලෝක සම්මතයයි. ඒ කෙසේ නමුත් බටහිර අප්‍රිකාවේ සමහර ගෝත්‍ර හා නවගිනියාවේ සමහර ජන වර්ග වලට අයත් ජනයා නම් එසේ සිතන්නේ නැහැ. කැළැල් නොමැති සමට වඩා කැළැල් සහිත සම රූප ලක්ෂණින් පරිපූර්ණ බව සිතන ඔවුන් පිරිමි ළමුන් හා ගැහැණු ලමුන් වැඩිවිය පැමිණීමේදී ඔවුන්ගේ මුහුණ හා සිරුරේ සම කඩතොළු කර විවිධ රටා අඳිනවා. මේ ‘පච්චා’ කාන්තාවකගේ රූ සපුව වඩ වඩාත් ඔප් නන්වන බවට ඔවුන් විශ්වාස කරනවා. එසේම පිරිමි ළමුන්ගේ පෞරුෂත්වයටත් එය වැදගත් යැයි ඔවුන් සිතනවා. (2)
හෘද හැඩැති මුහුණ – දකුණු කොරියාව

realstylenetwork.com
දකුණු කොරියාව තුළ ප්ලාස්ටික් සැත්කම් ඉතාම සාමාන්‍ය දෙයක් ලෙස සැළකෙනවා. දකුණු කොරියාවේ ප්‍රධාන නගර වල මුහුණට කෙරෙන ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ දැන්වීම් සුලභ ලෙස දැකිය හැකියි.
දකුණු කොරියාව තුළ තරුණියකට ‘හෘද හැඩැති මුහුණක්’ තිබීම ඉතා සුන්දර පිහිටීමක් ලෙස සැළකෙනවා. මේ නිසා දකුණු කොරියානු තරුණියන් සිය හකු තුනට කපා එහි මැද කොටස ඉවත් කර අනෙක් කොටස් දෙක නැවත යා කරන ඉතා සංකීර්ණ සැත්කම් වලට පවා සැදී පැහැදී සිටිනවා. මේ මඟින් හෘද හැඩැති මුහුණක් ලැබුණත් සැත්කමින් පසු දිගු කාලයක් ඝණ ආහාර නොගෙන ඉඳීමේ කටුක අත්දැකීමටනම් ඔවුනට මුහුණ දීමට සිදු වෙනවා. (1)
ස්ථුලතාවය – මොරිටානියාව

answersafrica.com
සිහින් ඉඟ සුඟ හා ක්‍රීඩාශීලී දේහයක් ලබා ගැනීමට ලොව පුරා තරුණියන් වෙහෙසෙන විට මොරිටානියාවේ තරුණියන් නම් එසේ වෙහෙසෙන්නේ නැහැ. ඒ වෙනුවට වැඩිපුර ආහාර ගෙන ස්ථුලත්වයට පත්වීමට නම් ඔවුන් උත්සාහ කරනවා. ඒ මොරිටානියාවේ වැසියන් ස්ථුලත්වය ශෝභමාන වීමේ සංකේතයක් ලෙස සලකන නිසායි. කොටින්ම සිහින් මොරිටානියානු තරුණියන්ට මනමාලයන් සෙවීම ද උගහටයි. මොරිටානියාවේ තරුණියන් වෙනුවෙන් තැණුනු විශේෂ ‘කැලරි ගොවිපොලවල්’ එහි පිහිටා තිබෙනවා. යම් තරුණියකට තමන් සිහින් වැඩියැයි සිතුණහොත් ඒවාට ගොස් දිනකට කැලරි 16000 ක් පමණ ශරීරගත වන ලෙස ආහාර ගත හැකියි. ඒ කෙසේ නමුත් මේ පිළිගැනීම නිස බොහෝ මොරිටානියානු තරුණියන් උදරාබාධ වලට ගොදුරු වෙනවා. (2)
නාසයේ පැලැස්තර ඇලවීම – ඉරානය

Barcroft/metro.co.uk
ඉරානය තුල නාසය සඳහා කෙරෙන ප්ලාස්ටික් සැත්කම් වලට ඇත්තේ ඉහළ ඉල්ලුමක්. ඉරාන තරුණ තරුණියන් ඍජු නාසයක් ලබා ගැනීම සඳහා හැකි සෑම උත්සාහයක්ම දරන්නේ ඉරානය තුල එවැනි නාසයක් තිබීම ශෝභමාන වීමට දැඩි රුකුලක් ලෙස සලකන නිසායි. අනෙක් විශේෂම කාරණය වන්නේ නාසය සඳහා සැත්කමක් නොකල ද නාසය මත පැලැස්තර කැබැල්ලක් අලවාගෙන සිටීමේ අරුම පුදුම විලාසිතාවක්ද ඉරාන තරුණ ප්‍රජාව අතර තිබීමයි. (1)
සුදුමැලි සම – චීනය / තායිලන්තය සහ දකුණු ආසියානු රටවල්

stylecraze.com
මේ විශ්වාසය නම් ශ්‍රී ලංකාවටත් ඒ තරම් අරුම පුදුම දෙයක් නොවෙයි. උප්පත්තියෙන්ම තළෙළු පැහැති මනරම් සමකට උරුමකම් කිව්වත් ශ්‍රී ලංකාවද ඇතුළු බොහෝ ආසියානු රටවල ජනයා ‘සුදු’ හෙවත් සුදු මැලි වීම රූමත් බවේ ලක්ෂණයක් ලෙස සලකනවා. මේ නිසා විරංජක ගුණ සහිත හෙවත් සමේ මෙලනින් වර්ණකය පුළුස්සන සුදු වීමේ ක්‍රීම් වර්ග මේ රට වල ඉතා ප්‍රචලිතයි. මීට අමතරව අව්වේ යාමේදී සම අව පැහැ ගැන්වීම වැළැක්වීමට මේවායේ තරුණියන් හැකි සෑම දෙයම සිදු කරන අතර යුරෝපීයයන් සමෙහි පැහැය දුඹුරු කර ගැනීමට මුහුදු වෙරළ වල ‘අව්ව තැපීම’ විකාරරූපී දෙයක් ලෙස සළකනවා. (2)
උස් වූ නළල

East news & Rogier van der Weyden
අප්‍රිකාවේදී හමුවන ‘ෆුලා’ නම් ගෝත්‍රිකයන් කාන්තාවකගේ රූමත් බව මනින්නේ අමුතුම ආකාරයටයි. කාන්තාවක් උස් වූ නළල් තලයකට උරුමකම් කියනවානම් ඇය රූමත් බවේ ප්‍රතිමූර්තියක් බව ඔවුන් විශ්වාස කරනවා. මේ නිසා මේ ගෝත්‍රයේ තරුණ කාන්තාවන් ඔවුන්ගේ හිසෙහි ඉදිරිපස ඇති කෙස් ඉවත් කර උස් නළල් තලයක් තමන්ටත් ඇති බව පෙන්වීමට උත්සාහ කරනවා. මේ ආකාරයටම මධ්‍යතන යුගයේ යුරෝපයේ කාන්තාවන්ද සිය හිසෙහි කෙස් ඉවත් කර්ගෙන ඇත්තේ ‘ලස්සන’ වීම හා සමාජයේ පිළිගැනීමට ලක් වීම සඳහායි.(1)
දිගු ගෙලක් තිබීම -බුරුමය

ianrobertknight.com
නැඟෙනහිර බුරුමයේ (වර්තමාන මියන්මාරය) වෙසෙන ‘කායන්’ නම් ජන කොට්ඨාසයක ගැහැනුන් හඳුන්වන්නේ ‘ජිරාෆ් කාන්තාවන්’ ලෙසයි. දිගු ගෙලක් තිබීම රූමත් බවේ ලක්ෂණයක් ලෙස එහි ජනයා විශ්වාස කරන නිසා ගැහැණු දරුවන්ගේ ගෙල වටා කුඩා කළ සිටම පිත්තල වළලු දැමීම සිදු කරනවා. රූමත් බවට අමතරව කායන් ගෝත්‍රිකයින්ගේ පුරාවෘතයකට අනුව මේ වළලු ඒවා පැළඳි කාන්තාවන් කොටීන්ගෙන් ආරක්ෂා කරන බවට විශ්වාසයක් එම වැසියන් තුල පවතිනවා. වර්තමානය වන විට වැඩිමනක්ම මේවා භාවිත කෙරෙන්නේ එම ගෝත්‍රයේ අනන්‍යතාවය ලොවට කියා පෑමටයි. (2)
යා වූ ඇහිබැම -තජිකිස්තානය

pinterest.com
තජිකිස්ථානයේ සමහර ප්‍රදේශ වල ජනයා තමන් සතුව යා වූ ඇහිබැම තිබීමෙන් සිය රූමත් කම වැඩි වන බව සිතනවා. මීට අමතරව ඔවුන් එය වාසනාවේ සංකේතයක් ලෙස ද සලකනවා. මේ නිසා තජිකිස්තානු තරුණියන් තම ඇහි බැම යාවී නොතිබුණද රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතයෙන් එය එසේ පෙනෙන පරිදි සකස් කර ගන්නට විශාල උනන්දුවක් දක්වනවා. (1)
කවරයේ පින්තූරය – civicmediaproject.org
මූලාශ්‍ර