ලෙඩ කෑම තුනක සුපිරි ගුණේ

අද අපේ වැඩිදෙනෙක් එළවළුවල ගුණයට වඩා පෙනුමට මුල් තැන දෙන බව පේනවා. මේ නිසා අතීතයේ පටන් භාවිත කළ එළවළු වර්ග රැසක් අද ආහාරයට ගන්නේ කලාතුරකින්. වැඩිදෙනෙක් ඒවා ආහාරයට නොගන්නේ කිසි රහක් නෑ. දිය රහයි, ලෙඩ කෑම කියමින්. ඒත් අපේ අම්මලා, ආච්චිලා මේ එළවළු තුනපහ අඹරා දමා ඉතා රසට උයන්නට ක්‍රම දැන සිටියා. මේ විදිහට ආහාර තේරීම නිසා අපට ගුණදායක එළවළු රාශියක් මඟ හැරෙනවා. ඒ වගේ මඟහැරෙන එළවළු වර්ග තුනක් ගැන කියන්නයි, මේ ලිපිය ලියන්නේ.

පතෝල

පතෝල කරල්- organicfacts.net

රහක් ගුණක් නැති දෙයක් හැඳින්වීමට සමහරු කියන්නේ හරියට පතෝල වගේ කියලයි. ඒත් පතෝලවල ගුණ දන්නවා නම් කවුරුවත් එහෙම කියන්නේ නැති බව ස්ථිරයි.  පතෝල ග්‍රෑම් 100ක සියයට 95ක්ම තිබෙන්නේ ජලයයි. ග්‍රෑම් 100ක අඩංගු ශක්තිය කිලෝ කැලරි 55ක්. ආයුර්වේදයේ කෝශාතකී නමින් හැඳින්වෙන පතෝල ආසියාව, ඔස්‌ට්‍රේලියාව, අප්‍රිකාව සහ ශාන්තිකර සාගරයට අයත් රටවලත් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙත් හොඳින් වැවෙනවා‌.

ව්‍යංජනයක් ලෙස මෙන්ම සලාදයක් ලෙස අමුවෙන්ද පතෝල සකස් කර ගත හැකියි.  පිසූ විට එක ගුණයකුත් අමුවෙන් කන විට තව ගුණයකුත් මෙම එළවළුවේ තිබෙනවා.

ඉහළ ප්‍රතිශක්තියක්

පතෝල මල්- Wikipedia.org

ආයුර්වේදයට අනුව මෙයින් වාතය සහ පිත සමනය කරනවා. හොඳින් බඩගින්න ඇති කර ආහාර ජීරණයට උදව් කරනවා.  මේරූ පතෝල ඇටවල උදරයේ පණුවන් නසන ගුණ අඩංගුයි. දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පතෝල සියලුම ආකාරයේ උණ රෝගවලට ඉතා ඉහළ ප්‍රතිශක්‌තිකරණයක්‌ ඇති කරන ආහාරයක්‌. අදින් දශක කිහිපයකට පෙර කෙනෙකුට‌ උණ හටගත් විට මුලින්ම දෙන ආහාරයක්‌ වන්නේ කිරට සෑදූ පතෝල සහ බත්. පතෝලවල තිබෙන කෙඳි සහිත කොටස්‌ නිසා ආහාර දිරවීමට ඉතා පහසුයි. ඒ වගේම එමගින් ශරීරයේ අභ්‍යන්තරය සිසිල් වෙනවා.

පතෝල වැලක්- Wikipedia.org

අධික වමනයටත් පතෝල යුෂ ඉතාම ගුණයි. පතෝල යුෂ කෝප්ප භාගයක්‌ මී පැණි හැන්දක්‌ සමඟ මිශ්‍ර කර වමනය කරන රෝගියාට දුන් විට වමනය නවතිනවා. පතෝල වැලක්‌ ගෙන කුඩා කැබලිවලට කපා සම්පූර්ණ රැයක්‌ වතුරේ පොඟවා උදේට එයින් වතුර කෝප්ප දෙකක්‌ පෙරා පානය කළාම මුත්‍රා දැවිල්ල නැතිව යනවා. සමේ කුෂ්ටවලටත් අත් බේතක් ලෙස පතෝල යොදා ගත්තා. පතෝල අඹරා කුෂ්ටය මත දවසට දෙවරක්‌ ආලේප කළාම කුෂ්ටය සුව වෙන බව විශ්වාස කළා. පතෝල මලබද්ධයටත් ගුණදායකයි.

මිරිස් බහුල ආහාර නිතර ගන්නා අම්ල පිත්ත හෙවත් ගෑස්ට්‍රයිටිස් ඇති අයටත් මින් ලැබෙන්නේ ලොකු සහනයක්. කහ උණ රෝගයට වගේම දියවැඩියාවටත් මෙය ගුණදායක එළවළුවක් වශයෙන් සැලකෙනවා. හදවතේ විඩාව අඩුකර කර රුධිර පීඩනය සමනය කිරීමටත් පතෝල උපකාර කරනවා. බටහිර පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ මෙහි ප්‍රතිශක්තිකරණ ගුණාංග ද ඇති බවයි.

චව් චව්

චව් වගාවක්- Wikipedia.org

මෙම එළවළුව අයත් වන්නේ වට්‌ටක්‌කා, පුහුල්, අයත් වන කුකබිටේසි කුලයටයි. චව් චව් මධ්‍යම අමෙරිකාවේ උපත ලබා ඇති දියර එළවළුවක්. එහි සියයට 94%ක්ම ජලය අඩංගුයි. ඒ වගේම ශක්තිය ඉතා අඩුවෙන් ඇති අතර “චව් චව්” ග්රෑම් 100ක අඩංගු ශක්තිය කිලෝ කැලරි 16ක් පමණයි.  මේ නිසා සිරුරේ බර වැඩි වීම පාලනයට වගේම කොලෙස්ටරෝල් අඩු කිරීමටත් මෙය අනර්ඝ බව පෝෂණවේදීන් කියනවා. “චව් චව්” ග්‍රෑම්  100ක ‍පොටෑසියම් මිලිග්‍රෑම් 155ක් අඩංගු  වෙනවා.  තන්තුවලින් පරිපූර්ණ ආහාරයක් වන “චව් චව්” ගෙඩියක ආහාරමය තන්තු ග්‍රෑම් 3, 4ක් පමණ අඩංගුයි.

පිළිකා අවදානම පලවා හරී

වච්වලින් සැකසූ ආහාර-  nishaskitchen.blogspot.com

“චව් චව්”වල විටමින් ඊ කාණ්ඩයට අයත් තයමින්,රයිබෝප්ලෙවින්, නියැසින්, පැන්ටොතෙනික් අම්ලය, පිරිටොක්සින් ආදී විටමින් ‍බහුලව අඩංගු බව හෙළි වී තිබෙනවා. “චව් චව්” ග්‍රෑම් 100කින් ගැබිනි මවකට දිනකට අවශ්‍ය ෆෝ‍ලේට් අවශ්‍යතාවෙන් 25%ක් ලැබෙනවා. ඒ වගේම  පිළිකා අවදානම වළක්වන්නටත් වයසට යාම පාලනය කරන්නටත් මෙය අනගි එළවළුවක්. සාමාන්‍ය චව් ගෙඩියක ආහාරමය තන්තු ග්රෑම් 3.4 ක්‌ පමණ තිබෙන අතර, එය අපගේ දෛනික ආහාරමය තන්තු අවශ්‍යතාවයෙන් සියයට 14 ක්‌ පමණ වෙයි. ආහාරවල තිබෙන කොලෙස්‌ටරෝල් සහ සීනී අවශෝෂණය පාලනය කිරීමට ඉවහල් වන ආහාරමය තන්තු මෙහි තිබෙනවා. ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට මෙන්ම මහ බඩවැලේ පිළිකා තත්ත්වයන් හට ගැනීම අවම කිරීමත් චව් අනුභවයෙන් සිදුවෙනවා. මළ බද්ධය සහ අර්ශස්‌ රෝගය වැළැක්‌වීමට සහ පාලනය කිරීමටත් චව් අනුභවය හේතු වෙන බව හෙළි වී තිබෙනවා.

චව්වල සෝඩියම් ඇත්තේ ඉතාම  සුළු වශයෙන්. චව් ග්රෑම් සියයක පොටෑසියම් මිලි ග්රෑම් 154 ක්‌ පමණ තිබෙනවා. පොටෑසියම් බහුල ආහාර අනුභව කිරීම හදවත ආරක්‌ෂා කර ගැනීමටත්, රුධිර පීඩනය යහපත් මට්‌ටමක පවත්වා ගැනීමටත් හේතු වෙනවා.  නිදන්ගත වකුගඩු රෝගීන් හට පොටෑසියම් අධික ආහාර ලබා ගැනීම සෞඛ්‍යයට අහිතකර නිසා එවැනි රෝගීන් සහ හන්දිගත රූමැටික්‌ රෝගීන්ට චව් අනුභවය එතරම් සුදුසු වන්නේ නැහැ. ප්‍රබල ප්‍රතිඔක්‌සිකාරකයක්‌ වන විටමින් සී වලින් ද චව් පොහොසත්.

ඉන්දුනීසියාවේ අධික රුධිර පීඩනය සමනය කිරීමට දෙහි යුෂ දැමූ, චව් යුෂ කෝප්ප 2 බැගින් (උදේ, සවස) සතියක්‌ බොන්නට දීම සම්ප්‍රදායික වෙදකමක්.

චව් ගෙඩිය මෙන්ම එහි ඇටයද ආහාරයට ගත හැකියි. චව් ඇටය තුළ සාමාන්‍යයෙන් ශාක ආහාර තුළ සුලබව හමු නොවන අත්‍යවශ්‍ය ඇමයිනෝ තිබෙනවා. සංතෘප්ත මේදය හෝ කොලෙස්‌ටරෝල් මෙහි අඩංගු වන්නේ නැහැ.

එළබටු

එළබටු ගසක්- galayanajeevithaya.blogspot.com

සොලනේසියේ කුලයට අයත් එළබටු ශාකය බොහෝ ‍‍‍ඖෂධීය ගුණයන් සහිත ශාකයක්.  ඖෂධ සඳහා එළබටු  ගසේ පංචාංගයම ගන්නවා. මින් ත්‍රිදෝෂ සමනය කරන අතර, දීපත පාචන ග්‍රාහී ගුණයන්ගෙන් යුක්‌ත බව ආයුර්වේදයේ සඳහන් වෙනවා. අප රටේ වියළි කලාපයේ පහසුවෙන් වැවෙන බෝගයක් වන මෙය හේන් වගාවේ  ප්‍රධාන එළවළුවක්. තෙත් කලාපයේ වුවත් එළබටු වගාකළ හැකියි.

නිවර්තන කලාපීය ආසියාතික රටවල පැතිර තිබෙන එළවළුවක් වන මෙය ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව වැනි රටවල බහුලව පැතිර තිබෙනවා. එළබටු පැළෑටියේ වඩාත් ප‍්‍රසිද්ධව ඇත්තේ එළබටු ගෙඩියයි.  එහි ප්‍රෝටීන්, පිෂ්ඨය, පොස්පරස්, යකඩ අඩංගු වෙනවා. එළබටුවල කැල්සියම් ඉතා ඉහළ මට්ටමක පවතිනවා.

එළබටුවල විශේෂ ලක්ෂණයක් නම් වා පිත් හා සෙම් යන ති‍්‍රදෝෂයම සමනය කිරීමේ හැකියාවක් ඊට තිබීමයි. එළබටු කොළ කැඳ වශයෙන්ද ඉතා සුදුසු යි. තලන බටු වශයෙන්ද හැඳින්වෙන එළබටු ව්‍යාංජන වශයෙන් ආහාරයට ගැනීම අද දකින්න ලැබෙන්නේ අඩුවෙන්. මෙම ගෙඩිය තලා ඇට ඉවත් කර පිස ගත යුතු නිසා සමහර ගෘහණියන් ඒ වැඩේට කම්මැලියි.

සෙම නසයි

ආහාරයට සූදානම් කරන එළබටු   speciallyproduce. Com

එළබටු මුල් බෙහෙත්වලට බහුලව යොදාගන්නවා. කැස්ස, ඇදුම හා පපුවේ වේදනා ආදියට කෙරෙන ආයුර්වේද ප‍්‍රතිකාරවලදී එහි මුල් භාවිත  කරනවා. දශමූලාරිෂ්ටය සකස් කිරීමේදී ද බටු මුල් යොදා ගන්නවා. එළබටු කැඳ පාදවල දැවිල්ලට හා සිරුරේ පලුවලට සහනයක් ලබා දෙනවා. පත‍්‍ර යුෂ සිරුරේ වේදනාවන් සමනය කිරීමට යොදා ගන්නවා. එළබටු ගෙඩියේ යුෂ උගුරේ වේදනා කැසීම් ආදියට යොදා ගන්නා බව පැවසෙනවා. කැස්ස සහ ඇදුම සඳහා එළබටු ගෙඩියේ ඇට යොදා ගන්නවා. බටු තෙල් ආයුර්වේදයේ සෙම් රෝග සඳහා යොදා ගන්නවා. දද, කැසිලි, කුෂ්ඨ ආදී රෝග වලටද එළබටු ඉතා ගුණදායකයි.

ලිංගික ශක්තිය වඩවයි

ඖෂධ නිපදවීමට වියළාගත් එළබටු- kisalaya.com

එළබටු ඉහළ වාජීකරණ ඖෂධයක්. ලිංගික ශක්‌තිය වර්ධනය කරන එය ඇදුම රෝගීන්ට ද සුදුසුයි. එළබටු ගෙඩි තලා වියළා ගෙන දුම් ඇල්ලීමෙන් අර්ශස්‌ ගෙඩිවල වේදනාව හා ඉදිමුම ඉවත්වන බව ආයුර්වේදයේ සඳහන්.

නොමේරූ ගෙඩි තුන්දොස සමනය කරනවා. විස නසනවා. එළබටු දළුවලින් පොල්කිරි නොයොදා සකස් කළ කැඳ බීමට දීම කල්ගත කැස්සට සුදුසු බව සඳහන්.

ගෙඩි එළවළු අතර වැඩිම කැල්සියම් ප්‍රතිශතයක් අන්තර්ගත වනුයේ එළබටු ගෙඩිවල ය.විශේෂයෙන් ම ශ්වසන පද්ධතියේ සෙම රැස් වීමෙන් ඇතිවන ආබාධ සමනය කිරීමට එළබටුවල ඖෂධීය ශක්තිය බෙහෙවින් උපකාරී වෙනවා.

ආශ්‍රිත මූලාශ්‍ර

www.doa.gov.lk

http://bfnsrilanka.org/images/About/articles/elabatu.pdf

ආයුර්වේද දෙපාර්තමේන්තු පත්‍රිකා

https://www.organicfacts.net/health-benefits/vegetable/snakegourd.html

පුවත්පත් ලිපි

Related Articles

Exit mobile version