ලොව පුරා සාහිත්‍ය රසිකයන් මහත් උනන්දුවෙන් දෑස් දල්වා සිටි 2021 බූකර් සාහිත්‍ය සම්මානය දකුණු අප්‍රිකානු ලේඛක ඩැමොන් ගැල්ගට් ගේ The Promise නව කතාවට හිමි විය. මෙවර බූකර් සම්මාන අවසන් වටය සඳහා ගැල්ගට් ගේ The Promise සමඟ අනුක් අරුද්ප්‍රගාසම් ( ශ්‍රී ලංකාව )- A Passage North, පැට්‍රිශියා ලොක්වුඩ්- No One Is Talking About This, නාඩිෆා මොහමඩ්- The Fortune Man, රිචර්ඩ් පවර්ස්- Bewilderment, මැගී ෂිප්ස්ටෙඩ්- Grate Circle යන කෘති ඇතුළත් ව තිබිණි.
පහත එන්නේ, ඩැමොන් ගැල්ගට් සහ ඔහුගේ සම්මානිත කෘතිය The Promise පිළිබඳ සැකැසුණු ලිපියකි.
දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයේ උච්චත ම සමයේ යුරෝපීය මවුපියනට දාව ප්‍රිටෝරියා හි ඉපිද හැදී වැඩුණු ඩැමොන් ගැල්ගට් ගේ නම ලෝකය මුල්වරට හඳුනා ගන්නේ 1982 වසරේ පළ වූ A Sinless Season කෘතියෙනි. එකල ඔහු ගේ වයස 17 කි. මේ වන විට ඔහු The Promise ද ඇතුළු ව නවකතා නවයක් දායාද කර තිබේ. ඒ අතරින් බොහොමයක් වර්ණභේදවාදී සමය පදනම් ව තිබීමට හේතුව වන්නේ ද වර්ණභේදවාදී සමාජ පරිසරය ඔහු තුළ ඇති කළ කම්පනය යි. ඇතැම් තැනෙක සඳහන්ව ඇති ආකාරයට හෙතෙම සමරිසියෙකි. කෙසේ වුව ඔහු ගේ කෘතිවලින් වැඩි පංගුව පුරුෂ මූලික සම්බන්ධතා කේන්ද්‍ර කර ගනී.
ගැල්ගට් ගේ සම්මාන පෙළහර
ගැල්ගට් කුඩා කල පිළිකා රෝගයකින් පීඩා වින්දේ ය. පිළිකාව සමඟ කළ සටන සහ ඉන් ඇතිවූ ක්ෂතිය ඔහු ගේ දෙවන නව කතාව Small Circle of Being (1988) හි ආඛ්‍යාන ගත ව තිබේ. 1991දී පළ වූ ඔහුගේ තෙවන කෘතිය The Beautiful Screaming of Pigs දකුණු අප්‍රිකාවේ ඉහළ ම සාහිත්‍ය සම්මානය CNA ත්‍යාගයෙන් පිදුම් ලැබී ය. ගැල්ගට් ගේ කෘති නාමාවලියට 1998 මොන්ට්‍රියල් සිනමා උළෙල හි හොඳ ම චිත්‍රපටය ලෙස පිදුම් ලද The Quarry- 2003 ( තිර රචනය ) , The Good Doctor – 2003 , The Impostor- 2008 , In a Strange Room- 2010 , Arctic Summer- 2014 ඇතුළත් ය.
ඒ අතරින් The Good Doctor පොදුරාජ්‍ය මණ්ඩල ලේඛක සම්මානයේ අප්‍රිකානු කලාපීය හොඳ ම කෘතිය ලෙස සම්මානයට පාත්‍ර වූවා සේ ම , 2003 බූකර් සම්මානයටත් 2005, ජාත්‍යන්තර ඩබ්ලින් සාහිත්‍ය සම්මානයටත් කෙටි ලේඛන ගත විය. ඔහු ගේ The Impostor ද 2009 පොදුරාජ්‍ය මණ්ඩලීය ලේඛක සම්මාන අප්‍රිකානු කලාපීය හොඳ ම කෘති අතරට ලේඛන ගත විය. Arctic Summer 2015 වෝල්ටර් ස්කොට් ත්‍යාගය සඳහා කෙටි ලේඛන ගත විය. ඒ අනුව මෙවරත් ඇතුළුව ගැල්ගට් තෙවරක් බූකර් සම්මානය සඳහා කෙටි ලේඛනගත ව තිබේ. ඒ, පළමු වර The Good Doctor- 2003, දෙවන වර In a Strange Room- 2016 සහ මෙවර The Promise වශයෙනි.
පොත් උපදින්නෙ කරදරකාරී අදහස් ගොන්නකින්
ගැල්ගට් ගේ හොඳ ම නාට්‍ය අතරින් කිහිපයක් ලෙස ; Echoes of Angers , Party for Mother , Alive and Kicking , සහ The Green’s Keeper විචාරකයෝ හඳුන්වති.
The Guardian හි හෙප්ෂිබ් ඇන්ඩර්සන්, ගැල්ගට් සමඟ කළ සාකච්ඡාවක දී The Promise ඉපදුණේ කෙසේ දැයි නැඟූ පැනයට ගැල්ගට් දුන් පිළිතුර මෙසේය;
” පොත් උපදින්නෙ ඔබ කාලයක් දරාගෙන ඉන්න, ඔබට කරදර කරන අදහස් ගොන්නකින්. මේ පොතේ විශේෂිත රචනා ශෛලිය ඔපමට්ටම් වුණේ, පොඩි බීමකුත් සහිත දිවා භෝජනයක දී මිතුරෙක් කීවා, එයා සහභාගි වුණු පවුලේ මළගෙවල් හතරක කතාවකින්. එක් විශේෂිත පවුලක් ගැන කතාවක් කීම රසවත් වෙයි කියල ඒ කතාව නිසා මට හිතුණා. අන්තිම කාලෙ අසනීප ව ඉද්දි බලා කියා ගත් කළු ජාතික කාන්තාවකට ඉඩම් කෑල්ලක් පරිත්‍යාග කරන්න කියල තමන්ගෙ අම්ම පවුලේ අයගෙන් ඉල්ලීමක් කළා ය කියල තවත් මිතුරෙක් කීවම The Promise මගේ හිතට ආව.”
චිත්‍රපට ආකෘතියක කතාවක්
The Promise ඊට ම ආවේණික රචනා ශෛලියකින් ලියැවීමට හේතුව කුමක් ද? යන පැනයට ඔහු දුන් පිළිතුර වූයේ ; “කතාව ලියන්න පටන් ගත්තට සතුටුදායක වුණේ නැහැ. ඒ නිසා මං චිත්‍රපටයක් ලියන්න ගත්තා. පස්සෙ ලියන්න ගත්ත ම නව කතාවට පොඩි හැඩගැසීමක් ලොකු තැන්පත් ගතියක් ආව. කතාව චිත්‍රපට ආකෘතියකට ගන්න මට පුළුවන් වුණා.” යන්න ය.
නව කතාව ගොඩනැඟීමට ප්‍රිටෝරියා නගරය පාදක කර ගත් හේතුව කුමක් ද? යන ඇන්ඩර්සන් ගේ පැනයට ගැල්ගට් දුන් පිළිතුර මෙසේ ය;
” ඒක මගේ ශික්ෂණය අවදි කර ගැනීමේ මඟක්. 1960, 70 , 80 කාලයේ ප්‍රිටෝරියා කියන්නෙ, කෙනකු ගේ බාල කාලය ගත කරන්න හොඳ තැනක් නෙමෙයි. එය එක් පැත්තකින් වර්ණභේදවාදී පාලන කේන්ද්‍රයක්, අනෙක් පැත්තෙන් ගතානුගතික ක්‍රිස්තියානිය. ඒ දෙක ම මැද්දෙ අමතක නොකළ හැකි ප්‍රචණ්ඩත්වය. “
දකුණු අප්‍රිකාවේ ලේඛකයකු වශයෙන් එහි දේශපාලන, සදාචාරාත්මක අපේක්ෂා සාකච්ඡා කරන්නේ කෙසේ දැයි එහි දී ඇසූ කල ඔහු මෙසේ පිළිතුරු දෙයි.
” මා වරප්‍රසාද ලත් දරුවකු වූ නිසාත්, මට සුවපහසු ළමා කාලයක් තිබුණු නිසාත් මගේ මුල් කෘතිවල දකුණු අප්‍රිකාවේ යථාර්ථය මඟහැර යන ස්වරූපයක් තිබුණා වැනි අදහසක් විවේචනවල තිබුණා. එ් අදහස් නිසා මට කම්පනයක් දැනුණා. එය සත්‍යයක් බව මා දන්නවා. මං හිතන ආකාරයට ප්‍රබන්ධයක ආකර්ෂණීය බව ඇති වන්නේ, එයින් ඉතිහාසය පැහැදිලි කරන නිසා නෙමෙයි; ඉතිහාසයේ යම් කාල වකවානුවක ජීවත් වන මිනිස් වර්ගයා ඒ තත්ත්වය සංජානනය කර ගන්නේ කොහොමද යන්න පැහැදිලි කිරීම මඟින්. ඒ නිසා නිර්මාණයක් නිශ්චිත ස්ථානයක පිහිටුවීම අභියෝගාත්මකයි. “
බූකර් සම්මානයේ දී The Promise කෘතිය ප්‍රශංසාවට ලක් කෙරුණේ , “ෆල්ක්නර්රියානු ප්‍රමෝදය සමඟ නබකොවියානු යථාතථ්‍යය තුලනය කරන එහි අසාමාන්‍ය ආඛ්‍යාන රටාව 21 වන සියවසේ නව කතාවේ සීමා පුළුල් කරමින් සශ්‍රීක කරන්නේ ය” යනුවෙනි.
සාහිත විචාරකයෝ ගැල්ගට් ගේ පර්යේණාත්මක ප්‍රබන්ධය එනම්, The Promise වර්ජිනියා වුල්ෆ්, ජේම්ස් ජොයිස්, විලියම් ෆල්ක්නර්ට සමාන කරති. තවත් අය කියන්නේ ඔහු සමකාලීන දකුණු අප්‍රිකානු ලේඛක ජේ. එම්. කොඑට්සිට ණයගැති බව යි.
ආඛ්‍යානමය ගමන් රථයක්
The Promise කෘතිය පිළිබඳ New York Times ග්‍රන්ථ විචාරයක සඳහන් වූයේ, ගැල්ගට් යනු තමා ගොඩනඟන චරිතවල වගකීම් විරහිත බව සහ ආත්ම වංචාව සිත් කා වදින ලෙස ගොනු කරන ප්‍රමුදිත උපහාස රචකයෙක් යනුවෙනි.
එය වනාහි පවුලේ වීර කාව්‍යයක් ප්‍රවාහනය කිරීමට ගැළපෙන කදිම ආඛ්‍යානමය ගමන් රථයකි. ඔහු ගොතන්නේ දකුණු අප්‍රිකාවේ සාමාන්‍ය සුදු ජාතික පවුලක් මුල් කර ගත් කතාවක් වුව, වර්ණභේදවාදය අවසන් කර සමාජ සමානාත්මතාව උදා කිරීමේ පොරොන්දුවත්, කළු ජාතික සේවක සැලොමේට නිවෙසක් ලබා දීමේ පොරොන්දුවත් (The Promise) කඩවීම කතාවෙන් නිරූපණය වන බව The New York Times හි අදහස යි.
බීබීසී විචාරක රෙබෙකා ජෝන්ස් කියන්නේ, The Promise තමා කියවූ හොඳ ම නවකතා අතරින් එකක් බව යි.
” එක් අතකින් එය, දසක හතරක කාලයක් තුළ දකුණු අප්‍රිකාවේ පවුලක් දුර්වල වී බිඳවැටෙන ආකාරය නිරූපණය කරන අප ඇද බැඳ ගන්නා වීර කාව්‍යයක්. එය සිද්ධි (ලිංගික කටයුතු , මත්ද්‍රව්‍ය , වෙඩිතැබීම්) වලින් සංතෘප්තයි වගේම නාටකීය අවස්ථා , විසංවාද සහ මරණයත් අඩංගු යි. එසේම මනෝභාව සැහැල්ලු කරන බලාපොරොත්තු විරහිත හාස්‍යජනක සිදුවීම් බහුලයි. එය මා සිනහ ගැස්සුවා. “ජෝන්ස් කියයි.
වටහා ගැනීමට බොහෝ දේ ඇති කෘතියක්
රෙබෙකා ජෝන්ස් තවදුරටත් කියන්නේ, වර්ණභේදවාදී රාජ්‍යයක සිට බහු ජනවාර්ගික ප්‍රජාතන්ත්‍රවාදයක් දක්වා වන බාධක සහිත විකාශනයේ කතාව ද ඉන් නිරූපණය වන බව යි. එසේම එය ශිල්පීය වශයෙන් ද අතිශය ඉහළ බව ඇය ගේ අදහසයි.
බූකර් සම්මාන විනිසුරු මඩුල්ලේ ප්‍රධානී මායා ජැසනොෆ් The Promise හඳුන්වන්නේ ශිල්ප දැක්වීමක් වශයෙනි.
” මෙය ප්‍රවේණිය සහ උරුමය පිළිබඳ කෘතියක්. දසක ගණනක ප්‍රත්‍යාවේක්ෂණයකට ආරාධනා කරන කෘතියක්. එය , දකුණු අප්‍රිකාවේ පසුගිය වසර හතළිහක ඉතිහාසය විස්මය ජනක කදි ම රචනා පැකේජයකින් සම්බන්ධ කරන සාරවත් තේමාවක් සහිත අසාමාන්‍ය කතාවක්. කතා කීමේ කලාවේ විශිෂ්ට නිපුණතා එකට ගොනු කරන්නට එය සමත් වෙලා තියෙනවා. සාරවත් අදහස්වලින් පරිපූර්ණ එය සාහිත්‍ය රටාවට සහ ආකෘතියට විශේෂ සැලකිල්ලක් දෙමින් ලියැවුණු වටහා ගැනීමට බොහෝ දේ ඇති කෘතියක්.” ජැසනොෆ් පෙන්වා දෙයි.
ඩැමොන් ගැල්ගට්ට පෙර බූකර් ලේඛනයේ දකුණු අප්‍රිකාවේ නම සටහන් කළ නව කතාකරුවන් දෙදෙනෙකි. එනම් , නඩින් ගෝඩිමයර් සහ ජේ. එම්. කොඑට්සි ය.
” මං දේවල් දිනන්න පුරුදු වුණු කෙනෙක් නෙමෙයි. ඒ නිසා දේවල් මගේ පැත්තට හැරෙද්දි මා තරම් කිසිවෙක් මවිතයට පත් වන්නේ නැහැ.” බූකර් සම්මානය ගැන අදහස් විමසූ බීබීසී ගුවන්විදුලියට, ගැල්ගට් කීවේ එසේ ය. බීබීසීය කියූ ආකාරයට අනුව සම්මාන උත්සවයේ ගැල්ගට් සිටියේ සතුටට පත්ව නොව විමතියට පත්ව ය. සම්මානය පිළිබඳ ආරංචිය ගැන විමසූ විට ගැල්ගට් පිළිතුරු දුන්නේ ; ” ඒ ගැන හෙට අහන එක වඩා හොඳයි. මොකද මං ඉන්නෙ ස්නායු හිරිවැටිල.ඇත්තෙන්ම මං මේ තැනට එන්න (සම්මානය ලබන්න) බලාපොරොත්තු වුණේ නැහැ .” යනුවෙනි.
මෙයට පෙර දෙවතාවක් සම්මානය සඳහා කෙටි ලේඛන ගත වීමෙන් තම ජීවිතයෙන් වසර කිහිපයක් නාස්ති වූ බව පවසන ගැල්ගට් , බූකර් සැම විට ම තමා පොඩි ට්‍රික් එකකට අසු කරන බව කියයි.
” සතියක් තිස්සෙ ඔබ ජයග්‍රාහකයන් හය දෙනෙක් අතරින් කෙනෙක්. ඉන් පස්සෙ එක වර ම අවධානය වෙන අතකට ගිහින් එක් කෙනෙක් විතරක් ජයග්‍රාහකය වෙනව. අනිත් හැමෝම පරාජිතයො.”
ලෝක පූජිත සම්මානයක් ගැන එතරම් සැහැල්ලුවට කතා කරන්න හැකි ඩැමොන් ගැල්ගට්ට පමණක් ම විය හැකි ය. ඔහු මහා ලේඛකයකු වන්නේ ද ඒ ආකාරයෙන් සිතන නිසා ම නොවේ ද?