නත්තල් මාසය ආරම්භ වන විට ම මඩකළපුවේ පෘතුගීසි බර්ගර් ජනතාව නත්තල සැමරීමට සූදානම් වෙනවා. ඔවුන් වාර්ෂික ව පවත්වන විශාල ම උත්සවය තමයි නත්තල කියන්නේ. එය මඩකළපුවේ තන්ඩන්වේලි දේවස්ථානය මුල් කරගෙන තමයි සමරන්නේ. බර්ගර් හෙවත් ලංසි කියලා පොදුවේ අපි හඳුන්වන්නේ පෘතුගීසින් සහ ලන්දේසීන්ගෙන් පැවත එන ජනතාව යි.
ලංකාව සියවස් තුනක් යටත් කරගෙන සිටි මේ යුරෝපීය ජාතීන් ඉංග්‍රීසින් රට යටත් කර ගැනීමෙන් පසු ව රටින් පිටත් ව ගියත් සෑහෙන පිරිසක් ලංකාවේ නැවතී මෙරට පුරවැසියන් බවට පත්වුණා. මේ අතරින් පෘතුගීසින්ගෙන් පැවත එන බර්ගර් ජනතාව වැඩි සංඛ්‍යාවක් ජීවත් වන්නේ මඩකළපුවෙ යි. මේ නත්තල් මාසේ ඔවුන් සොයාගෙන ගිය ගමනක සටහනක්.
පදිංචිය කොතැනද?
මඩකළපුවේ අදත් කතෝලික ජනතාව විශාල සංඛ්‍යාවක් ජීවත් වෙනවා. මේ නිසා මඩකළපුවට රදගුරු පදවියක් ද ක්‍රියාත්මක යි. මේ අතර සිටින පෘතුගීසි බර්ගර්වරුන් කොළඹ අවට සිටින බර්ගර් ජනතාව මෙන් මිශ්‍ර වූ ජනතාවක් නොවේ. ඔවුන් තමන්ගේ ආවේණික සංස්කෘතික අංග ආරක්ෂා කිරීමට කැපවුණු පිරිසක් ලෙස හැඳින්විය හැකි යි.
මඩකළපුව නගරයේ සිට නව කල්ලඩි පාලම, උප්පොඩි, තිරුචෙන්දූර්, කල්ලඩි, මුගාවතුරම් යන ප්‍රදේශ පසුකරමින් කිලෝ මීටර තුනක් පමණ ගමන් කළ විට ලන්දේසි කපොල්ල (Dutch Bar) නම් මුහුදු වෙරළ හමුවෙනවා. මේ වෙරළ අවට බිම් පෙදෙස මෙරට වෙසෙන පෘතුගීසි බර්ගර් ජනයාගෙන් වැඩි කොටසකගේ වාස භූමිය බවට පත් ව තිබෙනවා. 2004 සුනාමි ව්‍යසනයෙන් මේ පෙදෙසට විශාල හානියක් වුණු පසු බර්ගර්වරුන් පිරිසක් කළපුව සහ වෙරළ අතර පිහිටි පනිච්චේරිවලට ගොස් පදිංචි වුණා. මඩකළපුවේ පෘතුගීසි බර්ගර් ජන සංඛ්‍යාව 2000ක් පමණ වන බවයි පැවසෙන්නේ.
ලංකාවේ බර්ගර් ජනතාව
ශ්‍රී ලංකාවේ ජන සංයුතියේ බර්ගර්වරුන් සැලකෙන්නේ සුළු ජන කොටසක් ලෙසින්. ඔවුන් සමස්ත ජන ගහනයෙන් 0.3% ක් තරම් වූ සුළු ප්‍රමාණයක් බව ජන සංගණන වාර්තාවල සඳහන් වෙනවා. එහෙත් අද වන විට එය 0.2% ක් දක්වා පහළ බැස ඇති බව පැවසෙනවා. මේ අතරින් පෘතුගීසි බර්ගර් සුළු ජන සංඛ්‍යාව උතුරු නැඟෙනහිර වර්ගවාදී අර්බුදයට මෙන් ම 2004 සුනාමි ව්‍යසනයට ද ගොදුරුවීමෙන් පීඩාවට පත් වුණා.
බර්ගර් නම් ජන පිරිසගේ සම්භවය මෙරට සිදුවන්නේ 1505 දී සහ 1658 දී මෙරටට පැමිණි පෘතුගීසි හා ලන්දේසි යන යුරෝපීය ආක්‍රමණියන්ගෙන්. ඒ අනුව පෘතුගිසි බර්ගර් (Portuguese Burghers) හා ලන්දේසි බර්ගර් (Dutch – Burghers) නමින් ජන කොටස් දෙකක් මෙරට පදිංචි වී ලාංකිකයන් බවට පත් වෙනවා.
මෙරට කුළුබඩු වෙළෙඳාමේ බලය ලබා ගැනීමට පැමිණ මුහුදුබඩ පෙදෙස් අත්පත් කර ගත් පෘතුගීසින් මෙරට කාන්තාවන් විවාහ කර ගෙන පදිංචි වී තිබෙනවා. පසුව 1658 දී මුහුදුබඩ පෙදෙස් ලන්දේසීන් ලබා ගත් පසුව පෘතුගීසින් මව්රට වූ පෘතුගාලයට යාම සිදුවෙනවා. තවත් සෑහෙන පිරිසක් මෙරට පදිංචි වී සිංහල හා දෙමළ කාන්තාවන් විවාහ කරගෙන ලංකාවට හුරු වෙනවා. පෘතුගීසි බර්ගර්වරුන් නමින් හැඳින්වෙන්නේ ඔවුන්ගෙන් පැවත එන්නන්.
පෘතුගීසි බර්ගර්වරුන්ට කුඩම්මාගේ සැලකිලි
මෙසේ පෘතුගීසි ජාතිකයන් ලංකාවේ ජන සමාජයට එකතු වීමෙන් බිහිවුණු ජන වර්ගය ඔවුන් හඳුන්වන්නේ මෙස්ටිකෝ (Mestiços) කියල යි. එහි පෘතුගීසි අරුත මිශ්‍ර ජනතාව යන්න යි. පෘතුගීසි ජනතාව සිංහල හා දෙමළ ජනතාව අතර මිශ්‍රවීමෙන් තමයි මෙස්ටිසෝ ප්‍රජාව බිහි වී තිබෙන්නේ. ඔවුන් වර්තමාන පෘතුගීසි බර්ගර්වරුන්ගේ මුතුන් මිත්තන් ලෙස සැලකෙනවා. ඔවුන් මුල් කාලයේ හඳුන්වා ඇත්තේ සිංහල භාෂාවෙන් “තුපාසි” ලෙසත්, දෙමළ භාෂාවෙන් “තුප්පයි” කියන වචනයත් යොදා ගැනීමෙනු යි.
පෘතුගීසි බර්ගර්වරුන්ට සිංහල ජාතිකයන්ගේ, ලන්දේසීන්ගේ සහ ඉංග්‍රීසීන්ගේත් අඩත්තේට්ටම් සිදුවුණු බව පැවසෙනවා. ලන්දේසීන්ගේ පාලනය 1658 දී ස්ථාපිත වුණු බවට මෙස්ටිසෝ හෙවත් පෘතුගීසි බර්ගර්වරුන්ට කුඩම්මාගේ සැලකිලියි හිමිවුණේ. ඔවුන් ජීවන වෘත්තිය අහිමි ව ආර්ථික ගැටලුවලටත් මුහුණ දුන්නා. කෙසේ වුවත් තමන්ට එල්ල වුණු බාධා මැද්දේ ඔවුන් පෘතුගීසි භාෂාව, සිරිත් විරිත් සහ කතෝලික ඇදහීම් දිගට ම පවත්වා ගෙන යාමට කැප වී සිටියා. ඔවුන් සමාජ හා ආර්ථික අවාසි මධ්‍යයේ වුව ද, දිගට ම ඔවුන්ගේ පෘතුගීසි භාෂාව හා සිරිත් විරිත් මෙන් ම කාතෝලික ආගමික ඇදහිලි පවත්වා ගෙන ගොස් තිබෙනවා. අදත් ඔවුන් අතර පුරාණ සංස්කෘතික ලක්ෂණ සෑහෙන දුරට දැකගත හැකි යි.
මඩකළපුවේ බර්ගර්වරු
මේ වන විට මඩකලපුවෙහි පෘතුගීසි බර්ගර්වරුන් 2000ක් පමණ ජීවත් වෙනවා. ඔවුන් පෘතුගීසි හා ලන්දේසි නම් භාවිත කරන අතර වෙන ම ජන ප්‍රජාවක් ලෙස ජීවත්වෙනවා. මඩකළපු පෘතුගීසි බර්ගර් ජනතාව ලෙස රට පුරා ම ජීවත්වන පිරිස 18000ක් ලෙස ඔවුන්ගේ බර්ගර් සංගමයේ සඳහන් වෙනවා.
දැඩි ලෙස කතෝලික දහම අදහන මේ පිරිස සමේ වර්ණය හා භාෂාව අනුව අවට දිවි ගෙවන සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාවගෙන් එක්වර ම වෙන් කොට හඳුනාගත නොහැකි යි. එයට හේතුව මේ බොහෝ දෙනෙක් සිංහල හා දෙමළ භාෂාව චතුර කතා කරන්නට දැන සිටීම යි. මඩකළපුවේ බර්ගර්වරුන් අතරින් වැඩි දෙනෙක් ජීවත් වෙන්නේ කොළඹ නගරයට ආසන්න ව විවිධ වෘත්තින්වල නියුක්තව යි. තවත් පිරිසක් ත්‍රිකුණාමලය, අක්කරෙයිපත්තු, මන්නාරම ආදී පෙදෙස්වල ජීවත් වෙනවා. මේ නිසා මඩකළපුවේ දි සමස්ත පෘතුගීසි ජන සංඛ්‍යාව ම දැක ගන්න බැහැ.
භාෂාව පෘතුගීසි
පෘතුගීසි ක්‍රියොල් (Creole Language) භාෂාව මඩකළපුව බර්ගර්වරුන්ගේ මවු භාෂාව ලෙස සැලකෙනවා. වර්තමානයේ දී ඉංග්‍රීසි, ද්‍රවිඩ මෙන් ම සිංහල භාෂාව ද ඔවුන් භාවිත කරනවා.
ඔවුන් අතරින් මඩකළපුවේ ජීවත්වන්නන් පෘතුගීසි මුතුන් මිත්තන් ලබා දුන් දක්ෂතාවන්ගෙන් වගා කර ගත් ජීවන වෘත්තින්වල යෙදෙනවා. සපත්තු සෑදීම, මැහුම් දැමීම, වඩු කර්මාන්තය, කම්මල් කර්මාන්තය, පෑස්සුම් ශිල්පය, පින්තාරුකරණය, ඇඳුම් මැසීම, යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කිරීම වැනි කාර්මික වෘත්තින්වලයි ඔවුන් වැඩිපුර නියැළෙන්නේ. මේ නිසා පසුකාලීන ව ඔවුන් පසුව “මයික්‍රෝ බර්ගර්” හෝ “කාර්මික බර්ගර්” ලෙස හැඳින්වීමත් සිදුවුණා. විවේකීව නිවසේ සිටින බර්ගර් කාන්තාවන් ලේස් රේන්ද හා බීරළු රේන්ද ගෙතීම සිදු කරනවා. එය අමතර ආදායමක් ලබාදෙන ගෘහ කර්මාන්තයක් වශයෙන් ද ප්‍රකට යි.
කොළඹ බර්ගර්වරු මෙන් මඩකළපුවේ බර්ගර්වරුන් ධනවතුන් නොවේ. මේ නිසා එදිනෙදා ලැබෙන සුළු ආදායමකින් ජීවත්වීමට ඔවුන්ට සිදු ව තිබෙන බවයි පේන්නේ.
කතෝලික බර්ගර් සංගමය
කතෝලික බර්ගර් යූනියන් නමින් හැඳින්වෙන පෘතුගීසි බර්ගර් සංගමයක් මඩකළපුවේ පවතිනවා. එය සිය ජනතාවගේ උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කිරීමේ වගකීම කරට ගත් සංවිධානයක්. පෘතුගීසීන් රට අතහැර ගොස් සියවස් තුනකට වැඩි කලක් ගෙවුණත් අදත් එම සංගමයේ රැස්වීම් පෘතුගීසි ක්‍රෙයොල් භාෂාවෙන් බිඳී පැමිණි පත්වා නම් භාෂාවෙන් තමයි පවත්වන්නේ. ඔවුන් ඉංග්‍රීසියෙන් කතා කරනුයේ අමතර සිංහල වචනත් භාවිත කරමින්.
මේ මඩකළපුවේ පෘතුගීසි බර්ගර්වරු තම උපන්බිම වර්ණනා කරන ගීයක්:
තෑර ඉස්ටි තෑර තොස්ස බැටිකොලෝ තෑර
දෙසීය නසන්ස් තෝදුෂු කුගවියේ
ඩය ඉස්ටි තෑර තේං නොස්ස ග්‍රාං දේස
ජේසිස් තේ කාන්ත – ඉස්ටි තෑර
එහි අරුත මෙසේයි:
මේ ප්‍ර දේශය අපේ මඩකළපු පියස යි. එයට කැමැත්තෝ එහි දුව එනවා. මේ ප්‍රෞඪ භූමිය දෙස නෙත් යොමන්න. එහි මාළුවෝ ගී කියනවා.
දහසය වැනි සියවසේ පෘතුගාලයේ උපත ලබන බයිලා සංගිතය හා කපිරිඤ්ඤා සංගීතය මෙරට ප්‍රචලිත කිරීමට දායක වූව බර්ගර්වරුන් ලෙස සැලකෙනවා. බයිලා සංගීතයෙන් යුක්තව සාදවලින් යුත් උත්සව අවස්ථා මේ සමාජයේ නිතර දැකගත හැකි යි. ක්‍රියෝල් භාෂාව භාවිත කරමින් ඔවුන්ට ම ආවේණික වූ බයිලා ගීත ගැයීම ද සිදුවෙනවා.