ව්‍යාපාර කළමනාකරණය සඳහා වූ ජාතික ආයතනයේ (NSBM) අලුත් ම ශාඛාව, ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත විශ්ව විද්‍යාලය ලෙස හෝමාගම නගරය ආශ්‍රිත කරගනිමින් ගොඩ නැංවීමත් සමග හරිත ඉදිකිරීම් කියන්නේ කාගෙත් කතාබහට ලක්වූ මාතෘකාවක්. සරලව කිව්වොත් හරිත ඉදි කිරීම් කියලා කියන්නේ ගොඩනැගිලි ඉදිකිරීම් සහ තිරසාර පරසරයක් අතර ඇති තුලනය නිසි ලෙස පවත්වා ගැනීම සඳහා හඳුන්වා දුන් සංකල්පයක්. මෙහිදී ගොඩනැගිල්ලේ ජීවන කාලය තුළ ඉතාමත් කාර්යක්ෂමව සහ වගකීම් සහිත ව පාරිසරික සම්පත් භාවිතා කිරීම සිදුවනවා.
හරිත ඉදිකිරීම් ලොවට හඳුන්වා දීමේ ප්‍රධාන ම අරමුණු ලෙස බලශක්තිය, ජලය සහ අනෙකුත් පාරිසරික සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම, සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් ගොඩ නැගීම, පරිසර හායනය සහ දූෂණය හැකිතාක් අවම කිරීම දක්වන්න පුළුවන්. මේ හා සමගාමීව බිහිවූ තවත් සංකල්පයක් වන්නේ ස්වභාවික ඉදිකිරීම්, එනම් ඉදිකිරීම් කටයුතු සඳහා හැකිතාක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදා ගැනීමයි. මෙම සංකල්පයන් අනුගමනය කිරීමේදී යොදා ගන්නා මූලික රීතීන් තුනක් තිබෙනවා. ඒවා නම් ඉදිකිරීම් මගින් පරිසරයට සිදු වන බලපෑම අවම කිරීම, ඉදිකිරීම ප්‍රමාණයෙන් කුඩා කිරීම සහ නුසුදුසු ලෙස පැතිරීම සීමාකිරීමයි.
අද වනවිට ලෝකයේ බොහෝමයක් රටවල් ‘හරිත ඉදි කිරීම්’ සංකල්පය අනුගමනය කරනවා. නමුත් එය සංකල්පයක් ලෙස මුල් වරට ලෝකයට හඳුන්වා දුන්නේ 1970 තරම්වූ ඈත කාලයේදීයි. පසුකාලීනව ස්වභාවික සම්පත් ක්ෂය වීමේ වේගය ශීඝ්‍ර වීමත් සමග ඒ කෙරෙහි ලෝකයේම අවධානය යොමුවුණා.
ලොව විශිෂ්ට හරිත ඉදි කිරීම් කිහිපයක්
1 – ACROS ෆූකුඕකා ජාත්‍යන්තර ප්‍රාන්ත ශාලාව (ජපානය)
1995 අප්‍රේල් මාසයේ විවෘත කළ මෙය ලොව ඇති ඉතාමත් විශිෂ්ට මට්ටමේ හරිත ඉදි කිරීමක් ලෙසයි සැලකෙන්නේ. මෙය ඉදිකර ඇත්තේ ගොඩනැගිල්ල ඇතුළත ස්වභාවික හිරු එළියෙන් ආලෝකමත් වන ආකාරයටයි. දැනට මෙහි විශේෂ 76 කට අදාළ ශාඛ 35,000 ක් පමණ දක්නට ලැබෙන අතර එමගින් ගොඩනැගිල්ල ඇතුළත උෂ්ණත්වය පාලනය කිරීමක් සිදු වෙනවා.
2 – කැලිෆෝනියානු විද්‍යා ඇකඩමිය (ඇමෙරිකාව)
ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ පිහිටා ඇති මෙය ස්වභාව ඉතිහාස කෞතුකාගාරයක්. හරිත ඉදිකිරීම් ලෙස 2008 වසරේදී නිමාව දුටු කැලිෆෝනියානු විද්‍යා ඇකඩමිය වර්ග අඩි හාර ලක්ෂයක බිම්කඩක් ආවරණය කරනවා. මේ තුළ කුඩා වැසි වනාන්තරයක් වගේම මින් මැදුරක් අඩංගු වෙනවා. මෙම ගොඩනැගිල්ලේ වහල මත සිටුවා ඇති පැළෑටි සියල්ලක් ම පාහේ කැලිෆෝනියාවට අවේණික ඒවා බවයි පැවසෙන්නේ.
3 – Vertical Living Gallery (තායිලන්තය)
බැංකොක් නගරයේ පිහිටා ඇති මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් වුණේ 2011 වසරේ දීයි. මෙහි සැකිල්ල ගොඩනැගීම සඳහා සම්පූර්ණයෙන්ම වගේ මළ නොබැඳෙන වානේ යොදා ගෙන ඇති අතර ගොඩනැගිල්ල ආවරණය කිරීම සඳහා Tokyo Dwarf නම් තෘණ විශේෂය භාවිතා කර තිබෙනවා.
4 – බුලිට් මධ්‍යස්ථානය (ඇමෙරිකාව)
2013 වසරේ පෘථිවි දිනයේදී විවෘත කළ මෙය පිහිටා ඇත්තේ සියැටල් නගරයේයි. එය සැලසුම් කර ඇත්තේ වසර 250 ක පමණ ජීවන කාලයක් සඳහා වන අතර එමගින් වායුගෝලයට මුදා හරින කාබන් ප්‍රතිශතය ශූන්‍ය අගයක් ගන්නවා. එසේම මෙහි හිරු එළිය සහ වැසි ජලය ගබඩා කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයන් සකස් කර තිබෙනවා.
5 – One Central Park (ඕස්ට්‍රේලියාව)
ලොව උසින් වැඩිම උද්‍යානය ලෙස සැලකෙන මෙය පිහිටා ඇත්තේ සිඩ්නි නගරයේයි. මෙහි විශේෂ 350 කට අධික ප්‍රමාණයකට අයත් පැළෑටි 35,000 ක් පමණ දක්නට ලැබෙනවා. මෙහි බිම් මහලේ ලොව විශාලම ජල ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය පිහිටා තිබෙනවා. ඒ වගේම මෙහි දකින්න ලැබෙන තවත් විශේෂ ලක්ෂණ ලෙස එල්ලෙන උයන් සහ දැවැන්ත හේලිස්ථාපය (සූර්ය කිරණ පරාවර්තනය කරන දර්පණ විශේෂයක්) හඳුන්වන්න පුළුවන්.
6 – Khoo Teck Puat රෝහල (සිංගප්පූරුව)
2010 වසරේදී අගමැති ලී ක්වාන් යූ විසින් විවෘත කළ මෙය විශේෂයෙන්ම සැලසුම් කර ඇත්තේ රෝගීන්ගේ මානසික සුවය වර්ධනය කරවන ආකාරයකටයි. මූලික වශයෙන් බලශක්ති උත්පාදනය සඳහා සූර්ය කෝෂ සහ සුළං පෙති යොදා ගන්නා මෙහි භාවිතයට ගනු ලබන බලශක්ති ප්‍රතිශතය අනෙකුත් ගොඩනැගිලිවලට වඩා 30% ක් අඩුවීමක් පෙන්වනවා.
ශ්‍රී ලංකාවේ තත්ත්වය
අපේ රටේ තවමත් මේ ‘හරිත ඉදි කිරීම්’ සංකල්පය එතරම් ජනප්‍රිය නැහැ. නමුත් ව්‍යාපාර කළමනාකරණය සඳහා වූ ජාතක ආයතනයේ හරිත විශ්ව විද්‍යාලය ඉදි කිරීමේ කටයුතු සමග ඒ කෙරෙහි බොහෝමයක් දෙනාගේ අවධානය යොමු වෙලා තිබෙනවා. එය ඉදි කිරීමේ මූලික අරමුණ සිසුන්ගේ කායික සහ මානසික සුවතාවය ඉහළ නංවන අතරතුර දී ම පාරිසරික තුලනය පවත්වාගෙන යාමයි.
ශ්‍රී ලංකාව තුළ ‘හරිත ඉදි කිරීම්’ සංකල්පය ප්‍රචලිත කිරීම සඳහා 2009 වසරේ දී ශ්‍රී ලංකා හරිත ඉදිකිරීම් සභාව (The Green Building Council of Sri Lanka) පිහිටුවා තිබෙනවා. ඒ සඳහා දැනටමත් පේරාදෙණිය සහ මොරටුව විශ්ව විද්‍යාලයන් හි ඉංජිනේරු සහ රසායන විද්‍යා පීඨයන් සමග සහයෝගයෙන් කටයුතු කරන ඔවුන් හරිත ඉදිකිරීම් කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ‘හරිත ඇගයුම’ සහ ‘හරිත ලේබල්කරණය’ වැනි ඇගයුම් ක්‍රමවේද හඳුන්වා දී තිබෙනවා.
කවරයේ පින්තුරය: dverikaliningrad.com