වර්තමානයේ වෙළඳපොළෙහි පවතින ආහාර බොහොමයකට ‘අජිනොමොටෝ’ හෙවත් MSG යොදන බව නොරහසක්. මිනිස් දිවකට දැනෙන ප්‍රධාන රස වර්ග වලින් “උමාමි රස” ජනනය කරන මේ රස වර්ධකය පෙරදිග ආසියාවේ නිමැවුමක්. කෙසේ නමුත් මෙහි රසය පරයමින් ඒවා ශරීරයට ඉතා අහිතකර යැයි යන මතය සීග්‍රයෙන් ජනගත වෙමින් පවතින අතර, මේ නිසා අජිනොමොටෝ භාවිතයෙන් සම්පූර්ණයෙන් වැළකීමට බොහෝදෙනා පෙළැඹී සිටිනවා. මේ අතර තවත් සමහරෙක් එම මතයන් පුස්සක් යැයි ප්‍රකාශ කරනවා. ඇත්තෙන්ම අජිනොමොටෝ මිනිසුන් ඉතා බිය විය යුතු තරමේ රකුසෙක් ද? මේ විවාදිත රසකාරකය පිළිබඳ සොයා බැලීමට අප තීරණය කළේ ඒ නිසාවෙන්.
අජිනොමොටෝ හඳුනාගනිමු
සාමාන්‍ය ව්‍යවහාරයේ අජිනොමොටෝ යන වෙළඳ නාමයෙන් හැඳින්වෙන රස වර්ධකය MSG ලෙස ද හඳුන්වන්නේ මොනොසෝඩියම් ග්ලුටමේට් යන නාමය කෙටි කිරීමෙනුයි. මෙය ග්ලුටමේට් යන අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ලයට සෝඩියම් ලවණයක් බන්ධනය වීම නිසා සෑදී තිබෙනවා. සරලවම කියනවා නම්, අප නිතර දෙවේලේ ආහාරයට ගන්නා ලුණුවල ඇති සෝඩියම් ලවණයට ක්ලෝරයිඩ් ලවණයක් වෙනුවට ග්ලූටමේට් ආදේශ වූ විට මොනොසෝඩියම් ග්ලූටමේට් ප්‍රතිඵල වෙනවා. මෙමඟින් උමාමි රස හෙවත් ‘සේවරි’ රසය ජනනය වන අතර එය යම් මාංශමය රසයක් සේ විග්‍රහ කළ හැකියි. මොනොසෝඩියම් ග්ලූටමේට් ස්වභාවිකවම තක්කාලි, චීස්, මාංශ, කිරි වැනි ආහාරයන්වල අඩු වැඩි වශයෙන් අන්තර්ගත වී තිබෙනවා. මෙමඟින් ජනනය වන රසයට බහුතරයක් මානවයා ස්වභාවිකවම ප්‍රිය කරන නිසා එයට යම් “ඇබ්බැහිවීමක්” සිදු වෙනවා. ආහාරවල ස්වභාවිකවම මෙය අන්තර්ගත වන්නේ සුළු ප්‍රමාණ වලින් වන අතර, මේවා නිස්සාරණය කර හෝ සංස්ලේෂණය කර ආහාරයන්ට යහමින් එක් කිරීමෙන් ඒවායේ ඇති උමාමි රසය දෙගුණ තෙගුණ වෙනවා.
MSG නිසා ඇති වන්නේ යැයි කියන අහිතකර බලපෑම්
බොහෝ දෙනා MSG යන නාමය ඇසුණත් බියවන්නේ ඒවා ආහාරයට ගැනීමෙන් ඇතිවන්නේ යැයි කියන අහිතකර සෞඛ්‍ය බලපෑම් නිසා යි. විශේෂයෙන් බටහිර රටවල දකින්නට ලැබෙන ‘චීන අවන්හල් රෝගාබාධය’ (Chinese Restaurant Syndrome) අජිනොමොටෝ හෙවත් MSG නිසා ඇතිවන්නේ යැයි ඒවායේ සාමාන්‍ය ජනයා විශ්වාස කරනවා. මෙම ‘රෝගයේ’ ලක්ෂණ වශයෙන් මුහුණේ ඇතිවන පීඩනය, පපුවේ වේදනාව, ඇඟ හිරිවැටීම, හිසරදය, අධික ලෙස දහඩිය දැමීම ආදිය හඳුන්වන්නට පිළිවන්. මෙයට හේතුවක් ලෙස ස්නායු ආවේග සම්ප්‍රේෂකයකට ග්ලුටමේට් රසායනිකව සමීපත්වයක් දැක්වීම යෝජිතමුත්, තවමත් මේ රෝග ලක්ෂණ හා ග්ලූටමේට් අතර සම්බන්ධයක් තහවුරු කරගැනීමට පර්යේෂකයින් සමත් වී නැහැ. කෙසේ නමුත් සමහරෙක් MSG වෙත අධිසංවේදීතාවක් දක්වන අතර ඔවුනට ඒවායින් රසකළ ආහාර වලින් වැලකෙන ලෙසට වෛද්‍යවරුන් උපදෙස් දෙනවා.
මීට අමතරව දීර්ඝ කාලීනව MSG භාවිතා කිරීම තුලින් මධුමේහය, අධික ස්ථුලතාවය, අධි රුධිර පීඩනය වැනි රෝගාබාධයන් ද වැළඳෙන බව ප්‍රකාශ වෙතත්, ඇත්තෙන්ම එය MSG වල අඩංගු සංඝටක නිසාම සිදුවන්නේදැ යි යන්න විවාදිත යි.
ඇත්තෙන්ම MSG අහිතකර ද?
මෙම පැනයට ඇති කෙටිම පිළිතුර ‘ඔව්’ හා ‘නැහැ’ යන්න යි. සරලව කිවහොත් මෙහි අඩංගු සංඝටක දෙකෙන් සෝඩියම් අපි නිතිපතා ගන්නා ලුණු වලිනුත් ශරීරයට ලැබෙන අතර ග්ලූටමේට් හෙවත් ග්ලූටමික් අම්ලය (ආම්ලික මාධ්‍යයේ දී) ස්වභාවිකව මානව ශරීරයේ නිපදවෙනවා. මේ නිසා මේවා ගුණාත්මක වශයෙන් හානිදායක විය නොහැකියි. එසේ නම් ගැටළුව තිබිය යුත්තේ ප්‍රමාණාත්මකව යි.
MSG අහිතකර ප්‍රතිඵල ගෙන එන බවට මුලින්ම ප්‍රසිද්ධියේ සඳහන් කළේ 1960 දශකයේ මේරිලන්ඩ්හි වෛද්‍යවරයෙකු වූ රොබට් ක්වොක් විසිනුයි. ඔහු විසින් MSG හෙවත් අජිනොමොටෝ මිනිසුන්ට අසාත්මිකතා රෝග ලක්ෂණ ගෙන දිය හැකි සංඝටකයක් බව ප්‍රකාශ කරන අතර, මේ ඔස්සේ යමින් විද්‍යාඥයෙකු වූ ජෝන් ඔන්ලි MSG හා සබැඳි පර්යේෂණ රාශියක් සිදුකරනවා. ඔහු විසින් ඒවා අධිමාත්‍රා වලින් විද්‍යාගාරයේ සිටි මීයන්ට එන්නත් කරන අතර ඔවුන් සියළු දෙනා පාහේ මිය යන්නේ ස්නායු පද්ධතියේ හා මොළයේ විවිධ සංකූලතා ඇති වීමෙනුයි! මේත් සමග අජිනොමොටෝ ශරීරයට ඉතා අහිතකර බවට රාවයක් බටහිර රටවල පැතිරීගිය අතර, ඒවායේ බලධාරීන් එහි ඇත්ත නැත්ත සොයා බලන්නට නොගියේ පෙරදිගින් පැමිණ බටහිර රටවල ආහාර හා සබැඳි කර්මාන්තයන්ට අභියෝග කරන යමක් මෙලෙස ප්‍රතික්ෂේප වීමට හිත යටින් වූ කැමැත්ත නිසා යි.
ඔන්ලිගේ පර්යේෂණ වල ඒ තරම් ප්‍රසිද්ධියට පත් නොවූ කරුණු කිහිපයක් තිබුණා. ඒ, ඔහු මීයන්ට, අශ්වයින්ට සෑහෙන මට්ටමේ MSG අධි මාත්‍රා එන්නත් කර තිබුණත්, මිනිසුන් යොදාගෙන සිදු කළ පර්යේෂණ වලින් ඒවා මානව ශරීරයන්ට අහිතකර යැයි නිශ්චිතවම ඔප්පු නොවූ බව යි. ඉන්පසුත් මිනිසුන් සමග සාමාන්‍යයෙන් MSG ශරීරගත විය හැකි මාත්‍රා යොදාගෙන විවිධ විද්‍යාඥයින් පර්යේෂණ සිදුකළත්, ඒ කිසිවකින් MSG සාමාන්‍ය මට්ටමෙන් ශරීරගත වීම විශේෂ අහිතකර ප්‍රතිඵල ගෙන එන බවට තහවුරු වුණේ නැහැ. ජීව විද්‍යාත්මකව සැලකීමේ දී මීයන්ගේ මෙන්ම මිනිස් මොළයටත් ග්ලුටමේට් අධිමාත්‍රා බලපෑම් කළ හැකිය යන්න සත්‍යයක් මුත් සාමාන්‍ය ආහාරයකින් එවැනි අධිමාත්‍රාවක් ශරීරගත වීම කිසිසේත්ම ප්‍රායෝගික වන්නේ නැහැ.
MSG සහ ලුණු
MSG හා අපි එදිනෙදා භාවිතයට ගන්නා ලුණු සැලකීමේ දී ඒ දෙකෙහිම අවශ්‍ය ප්‍රමාණයට වඩා ශරීරගත නොකළ යුතු පොදු සංඝටකයක් අන්තර්ගත වෙනවා. එනම් එහි අඩංගු සෝඩියම් ලවණය යි. මිනිසෙකු දෛනිකව සෝඩියම් මිලිග්‍රෑම් 2300කට වඩා ආහාරයට ගැනීම සෞඛ්‍ය ගැටළු ඇතිකරන බවට වෛද්‍ය මතය යි. ලුණු හා MSG වල අණුක ස්කන්ධ හා රසායනික සූත්‍රය සැළකීමේ දී ලුණු යම් ප්‍රමාණයක, MSG සමාන ස්කන්ධයක අඩංගු සෝඩියම් ස්කන්ධය මෙන් තුන් ගුණයක සෝඩියම් අන්තර්ගත වෙනවා. එම සාධකය සැලකුවහොත් සාමාන්‍ය ලුණු ශරීර ගත වීම MSG වලට වඩා තුන් ගුණයක් භයානක සේ සැලකිය හැකි යි.
පසුවදන
MSG නොව කිසිදු රසකාරකයක් අවශ්‍ය ප්‍රමාණයට වඩා ශරීරගත වීම සෞඛ්‍ය ගැටළු රැසකට මඟ පාදනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල ජනයා ලුණු අධි භාවිතය හේතුවෙන් සෞඛ්‍ය ගැටළුවලට ලක්වීමේ ඉහළ අවදානමක් තිබෙනවා. අනෙක් අතින් MSG ආහාර රුචිය වඩවන නිසා වැඩි ආහාර ප්‍රමාණයක් ගිලදැමීම සිදුවිය හැකියි. එමඟින් ස්ථුලතාව හා ඒ සබැඳි රෝග සියල්ලම වැළඳීමේ අවදානමක් තිබෙනවා. එම නිසා MSG හෝ ලුණුවලට දොස් කීමට පෙර නිසි පාලනයකින් යුතුව ආහාර ගැනීම වටිනවා. යහමින් MSG ආහාරයට ගන්නා ජපානය ලොව වැඩිම ආයු අපේක්ෂාව සහිත රටක් බවට පත්ව තිබෙන්නේ පාලනයකින් යුතුව ආහාර ගැනීම නිසා යි.
MSG හෙවත් අජිනොමොටෝ සලකනකල්හි ශ්‍රී ලාංකිකයින් ඉදිරිපත් කරන ජනප්‍රිය තර්කයක් වන්නේ කුඹුරෙහි වල් මර්ධනයට MSG සාර්ථකව යොදාගන්නා බවත්, එසේ නම් ඒවා කෙතරම් විෂදායක ඇත් ද යන කාරණය යි. මෙසේ සිදුවන්නේ ඒවා අධිමාත්‍රා ජලයට හෝ පසට එක්වීමෙන් එහි ඇතිවන අධික ක්ෂාරීය බව යි. මේ නිසා වල් පැළ වලට අහිතකර තත්ත්වයන් ඇති වී ඒවා මියයාම සිදු වෙනවා. ලුණු ස්වල්පයකින් වුව ද ඒ ආකාරයටම එම කටයුත්ත සිදුකරගත හැකියි.
අවසානයේ ප්‍රකාශ කළ හැක්කේ MSG රකුසා පෙන්වන තරම් බලවත් එකෙකු නොවන බවත්, අප සමීපයේ සිටින ‘ලුණු’ ඊට වඩා බලවත් රකුසෙක් විය හැකි බවත් යන කාරණාව යි. එමෙන්ම MSG සිතන තරම් නරක නැතැයි ප්‍රත්‍යක්ෂ වූ පමණින් අප රටෙහි වූ දහසකුත් එකක් අවන්හල් වලින් නිතිපතා ආහාර ගැනීමට ඉක්මන් නොවිය යුතු යි. අප මේ ලිපියෙහි සාකච්ඡා කළේ තත්ත්වයෙන් උසස් පිරිසිදු MSG, නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් පමණක් යොදාගැනීම පිළිබඳව යි. ශ්‍රී ලංකාවට නිතිපතා කන්ටේනර ගණනින් පැමිණෙන තත්ත්වයෙන් බාල ‘අජිනොමොටෝ’ වල කුමන මට්ටමේ අහිතකර රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය අන්තර්ගත වේදැයි දන්නේ ඒවායේ නිෂ්පාදකයින්ම පමණයි. අනෙක් අතට සාමාන්‍ය අවන්හල්වල ආහාර පිසීමේ දී නිර්දේශිත ප්‍රමාණය කිහිප ගුණයකින් ඉක්මවා MSG යෙදීමට ද ඔවුන් පසුබට වෙන්නේ නැහැ. එනිසා ඕනෑම දෙයක් තරම දැන අනුභවය නුවණට හුරු යි.
Cover image: tesco.com