රජ කාලේ සිට පැවතෙන දළදා මාලිගයේ සතර මංගල්‍යය

මේ දිනවල ඇසළ අසිරියෙන් මහනුවර නගරය යළිත් සැරසී තිබෙන අන්දම අපට දැකගත හැකි යි. දළදා පෙරහරේ කුඹල් පෙරහරයි මේ දිනවල වීදි සංචාරය කරන්නේ. දළදා පෙරහර ඇතුළු ආගමික අංග ආරම්භ කරමින් මහනුවර සංස්කෘතික මංගල්‍යයන්ට නව ජීවයක් දුන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු යි. දළදා වහන්සේ උදෙසා එතෙක් පැවැති පූජාචාරිත්‍ර විධි ක්‍රමවත්ව පවත්වාගෙන යෑමටත් රජු වැඩකටයුතු කළා.

දළදා මාලිගයේ සතර මංගල්‍යය බිහිවන්නේ ඒ කාලයේදි යි.
දුරුතු පොහොයට අලුත් සහල් මංගල්‍යය, බක් මාසයට යෙදෙන අලුත් අවුරුදු මංගල්‍යය, ඇසළ හෝ නිකිණි මාසයට පවත්වන ඇසළ පෙරහර මංගල්‍යය හා ඉල් පුන් පොහෝ දිනට යෙදෙන කාර්තික මංගල්‍යය මහනුවර සෙංකඩගල ශ්‍රී දළදා මාලිගාවේ සම්මත ප්‍රධාන සතර මංගල්‍ය වෙනවා. අපි දැන් ඒ ගැන විමසා බලමු.

දළදා මැදුරේ පැරණි සේයාරුවක්- akpool.co.uk

ඇසළ පෙරහර මංගල්‍යය

ඈත අතීතයේ භාරතයේ ඇසළ මාසය තුළ නැකැත් කෙළි පැවැත්වුණා. දළදා මාලිගය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන මහා පෙරහර මංගල්‍යය ක්‍රමානුකූල ව පැවැත්වීම ඇරැඹෙන්නේ, කීර්ති ශ්‍රි රාජසිංහ රජ කාලයේ සියම් රටේ සිට උපසම්පදාව මෙරටට වැඩම කරවීමෙන් අනතුරුව යි. පෙරහර පැවැත්වෙන්නේ ද නැකත්වලට අනුව යි. ඇසළ පෙරහර මංගල්‍යයේ ද නැකැත් පත්‍රය සකසන්නේ නැකැත් මොහොට්ටාල යි. එහිදී මුලින් ම කප් සිටුවා පසුව දේවාල අභ්‍යන්තර පෙරහර පවත්වනවා. කප් සිටුවීම සතර මහා දේවාලවල පමණක් සිදු කරනවා. දේවාල අභ්‍යන්තර පෙරහර දින පහක් පැවැත්වීමෙන් පසුව එළඹෙන්නේ කුඹල් පෙරහර යි. දින පහක් කුඹල් පෙරහර ද, දින පහක් රන්දෝලි පෙරහර ද පැවැත්වෙනවා.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය – ISHARA S. KODIKARA/AFP via Getty Images

 

රන්දෝලි පෙරහර කුඹල් පෙරහරට වඩා විචිත්‍රවත්ව අලි, ඇතුන්, හේවිසි, වෙස් නැටුම් ආදියෙන් අංගසම්පූර්ණ ව, දේවාභරණ බහාලූ රන්දෝලි සහිත ව ගමන් කරනවා. මෙහි පස්වන පෙරහර, රජ පෙරහර, මහ පෙරහර ලෙසින් හැඳින්වෙනවා. අතීත රජ දවස පටන් රජවරුන් නැරඹූ මේ පෙරහර මහනුවර ඇසළ මංගල්‍යයේ අලංකාරත ම අවස්ථාව යි. එම පෙරහරට පසු දිය කැපුම් පෙරහර දහවල් ගමන් කරනවා. අනතුරු ව දිය කැපීමේ මංගල්‍යය පැවැත්වීමෙන් පසු ඇසළ උත්සවය අවසාන වෙනවා.

 අවුරුදු මංගල්‍යයට කිරි උතුරවමින් – dailymirror.lk

අලුත් අවුරුදු මංගල්‍යය

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් තමයි මෙම මංගල්‍යය පවත්වන්නේ. නැකැත් මොහොට්ටාල විසින් සකසා දුන් නැකත් පත්‍රය අනුව දළදා මාලිගාවේත් මල්වතු අස්ගිරි ඇතුළු ඒ හා සම්බන්ධ විහාරස්ථානවලත් සතර මහා දේවාලයන්හිත් අවුරුදු මංගල්‍යය පැවැත්වීම සිරිතක්.

අවුරුදු දිනයට පෙර විදානේවරුන් දළදා මාලිගාව පිරිසුදු කරන අතර දළදා මාලිගාවේ කුඹල්කරුවන් කිරි ඉතිරවීමට හා කිරි ආහාර පිසීමට අවශ්‍ය නැවුම් වළං ලබාදෙනවා. අලුත් අවුරුදු මංගල්‍යයේ ප්‍රධාන අවස්ථා වන්නේ මුරුතැන් පිළියෙළ කිරීම, පූජා කිරීම හා නානුමුර මංගල්‍යය හා හිසතෙල් ගෑම යි. නානුමුර බෙදාදීම ඉපැරුණි චාරිත්‍රයක්.

නැකැත් මොහොට්ටාල සකස් කළ නැකැත් පත්‍රයේ දක්වා ඇති ඖෂධවලින් සකස් කරගත් ලද නානු ද, තෙල් ද සෑම වර්ෂයක ම අප්‍රේල් 12 හෝ පරණ අවුරුද්දට පෙර දින සවස, ශ්‍රී නාථ දේවාලයට රැගෙන යාම දළදා මාලිගාවේ කාරිය කෝරාළ ඇතුළු නිලධාරීන් පිරිස අතින්  සිදුවෙනවා. ඒ සඳහා වට්ටෝරු රාළ, ගෙපරාළ හා දළදා මාලිගාවේ ලේකම් යන අය නාථ දේවාලයට පැමිණෙනවා. නානු හා තෙල් බෙදා දෙන්නේ නාථ දේවාලයේ මුන්තෝලය නමින් හැඳින්වෙන ප්‍රධාන දොරටුව ඉදිරිපිට දී යි.

3 හිසතෙල් ගෑමට නානු බෙදා දෙමින් – dinamina.lk

 

පෙනුම් ගමන් චාරිත්‍රය

ශ්‍රී දළදා මාලිගාව, සතර මහා දේවාල ඇතුළු විහාරස්ථාන කිහිපයකට මේ නානු හා තෙල් පෙරහරින් ගෙන යාම පුරාණයේ පටන් සිදු කළ චාරිත්‍රයක්. මාලිගාවේ හා සතර මහා දේවාලයන්හි සියලු ම රාජකාරීකරුවන් සියලු දෙනා අලුත් අවුරුද්දට පෙර දියවඩන නිලමේවරයා හා බස්නායක නිලමේවරුන් හමු වී එම නිලමේවරුන්ට බුලත්හුරුලු දී බැහැදැකීමද සම්ප්‍රදායකි. මෙය අලුත් අවුරුදු මංගල්‍යයේ තවත් වැදගත් සම්ප්‍රදායකි. එය පෙනුම් ගමන් චාරිත්‍රය වශයෙන් හඳුන්වයි. 

දළඳා මාලිගාවේ අලුත් අවුරුදු මංගල්‍යය අවසාන වන්නේ හිසතෙල් ගෑමේ මංගල්‍යයෙන්. හිසතෙල් ගෑමේ මංගල්‍යය ශ්‍රී නාථ දේවාල භූමියේදී සිදුවන්නේ මල්වතු අස්ගිරි නාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි යි.

 අලුත් සහල් රැගෙන එන පෙරහර- sri dalada maligawa facebook page

අලුත් සහල් මංගල්‍යය

සෑම අවුරුද්දක ම දුරුතු පුරපසෙළාස්වක පොහෝ දින අලුත් සහලින් බුදුන් හා දෙවියන් පිදීම සුවිශේෂි මංගල සම්මත සිරිතක් ලෙස සැලකෙනවා. වීරපරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජු ගුරුදෙණියේ කෙත අස්වද්දා ලබා ගත් අස්වැන්නෙන් අලු සහල් මංගල්ලය නම් උත්සවය ආරම්භ කළ බව පැවසෙනවා. දළදා මාලිගයේ ඉපැරැණි වී අටුව පිහිටා තිබුණේ මාලිගයට අයත් වී අමුණු දහ අටකින් යුක්ත ගුරුදෙණිය කෙත අසල යි. මෑත අතීතයේ පටන් වී අටුව පල්ලේකැලේ ප්‍රදේශයේ පවත්වාගෙන යනවා.
මුලින් ම කරන්නේ දුරුතු පුර පසළොස්වක පෝය දිනයට දින කීපයකට පෙර සුබ නැකතින් දියවඩන නිලමේවරයා, සතර දේවාලයේ බස්නායක නිලමේවරුන්, කාරිය කරවන කෝරාළ, ලේකම් මොහොට්ටාල ආදි නිලකරුවන් හා දේවාලවල කපුවන් ද සහිත පිරිසක් පල්ලේකැලේ අටුව කරා පෙරහරින් ගමන් කිරීම යි. මේ පිරිස අටුවට ළඟාවන විට ගුරුදෙණියේ විදානේ හා මනන්නා ඇතුළු රාජකාරිකරුවන් පෙර ගමන් කර බුලත් හුරුළු දී පිරිස පිළිගැනීම සිදුවෙනවා. පසුව දියවඩන නිලමේ සෙසු පිරිස සමඟ වී, සහල් ගබඩාකර ඇති අටුව තුළට ගමන් කරනවා.

 අලුත් සහල් පාත්‍රයට එක්කරමින් – dailynews.lk

මඟුල් බෙර වාදනය කෙරෙන අතර දළදා මාළිගාවේ ලේකම් මොහොට්ටාල අලුත් සහල් බෙදා දීමේ ලේකම් වට්ටෝරුව හඬ නගා කියවීම අරඹනවා. මෙහිදී මුලින් ම සිදුකරන්නේ දියවඩන නිලමේවරයා ශ්‍රී දළදා මාළිගාවට රිදී නැළියෙන් සහල් හා වී මැනීම යි. ලාබයි. දෙකයි, තුනයි,ආදී වශයෙන් හඬනගා කියවමින් පළමුව ශ්‍රී  දළදා මාළිගාවට සහල් නැළි 15 ක් හා වී නැළි 15 ක් මැන වෙන් කිරීම සිදුකරනවා. ඔහු ඉන් පසු පසෙක අසුන් ගන්නවා.

පසුව සතර මහා දේවාල පිටිසර දේවාල මෙන් ම රාජමහා විහාර සඳහා සහල් බෙදා දීම සිදුවෙනවා. මෙහිදි ලැයිස්තු තුනක් ඔස්සේ හාල් සේරු 689ක් බෙදා දෙනවා. ඉන්පසු දළදා මාලිගයට හා සතර දේවාලවලට ලැබුණු වී සහල් ලේවැල්ලේ ගංගාරාම විහාරය වෙත ගෙන ගොස් තැන්පත් කරනවා. පසුදා අලුයම එම සහල් දළදා මාලිගය හා සතර මහා දේවාල වෙත පෙරහරින් රැගෙන ගොස් ගබඩාවල තැන්පත් කරනවා. එම සහලින් දුරුතු පුර පසළොස්වක පොහෝ දින අලුයම දළදා මාලිගාවේ හා සෙසු විහාරවල බුද්ධ පූජාව ද දේවාලයන්හි මුළුතැන් පුජාව ද පිළියෙළ කිරීම සිරිතක්.

 නාථ දේවාල බිමේදී තෙල් බෙදා දෙන අන්දම – sridaladamaligawa.com

කාර්තික මංගල්‍යය

ඉල් (නොවැම්බර්) මස පුන් පොහෝ දින කැති නැකැත මුල් කරගෙන පුරාණයේ පටන් පැවැත්වූ පුජාවක් ලෙස කාර්තික මංගල්‍යය සැලකෙනවා. සුමන සාමනේරයන් වහන්සේ ධාතු ගෙන ඒමට දඹදිවට වැඩම කළ අවස්ථාවේ, ධර්මාශෝක රජු මහා බෝධියට කාර්තික හෙවත් පහන් පූජාව පවත්වමින් සිටි බව ඉතිහාසයේ සඳහන් වෙනවා. කාර්තික මංගල්‍යය කියන්නේ පහන් පත්තු කර සිදුකරන ආලෝක පූජාවක්. මේ ආකාරයට දළදා මාලිගාවේ පහන් දැල්වීම සිදුකරනවා. මල්වතු, අස්ගිරි මහා විහාර, සතර මහා දේවාල, සෙසු විහාරස්ථානවල ද නැකැත් මොහොට්ටාල සාදන සුබ නැකැත් පත්‍රය අනූව, කාර්තික මංගල්‍යය සිදු කෙරෙනවා.

පහන් පූජාව සඳහා තෙල් බෙදා දීම, ඉල් පුර පසළොස්වක පොහෝ දිනට දින දෙකකට පෙර සිදු වන්නේ නාථ දේවාල භූමියේ දී යි. මෙහිදී දේවාල සහ රජමහා විහාර 82ක් සඳහා තෙල් ලබාදීම සිරිතක්. ජලයෙන්, ගින්නෙන්, ස්වභාව ධර්මයෙන් ඇති වන නොයෙක් කරදර, විපත් මෙන් ම, රෝග, අමනුෂ්‍ය, දුර්භික්ෂ ආදී උවදුරුවලින් බේරීම සඳහා ආශිර්වාද ලබාගැනීම කාර්තික මංගල්‍යයේ අරමුණ යි. මෙය බොහෝවිට හින්දු බලපෑම නිසා ඇති වූ උත්සවයක් වීමට පුළුවන්.

 මාලිගාවට අයත් තෙල් රැගෙන එමින්- youtube.com

 

පුරාණයේ රජුගේ නියමය අනුව පළමුව දළදා මාලිගාවටත්, ඉන් අනතුරු ව සතර දේවාලවලටත්, මල්වතු අස්ගරි මහා විහාරවලටත් පිළිවෙළින් තෙල් නැලිය බැගින් බෙදා දුන්නා. මෙම තෙල් හිමි වන විහාරස්ථාන හා දේවාල සංඛ්‍යාව 82ක්. ඇතැම් සිද්ධස්ථානවලට තෙල් නැලි 02,03,04,06 ආදි වශයෙන් බෙදා දෙන අවස්ථා ද දක්නට පුළුවන්. තෙල් නැලියක් යනු නූතන මිනුම් අනුව ලීටර් බාගයක පමණ ප්‍රමාණයක්. එසේ ලබා ගත් තෙල් තම තමන්ගේ විහාර හා දේවාල කරා ඉතා ගෞරවයෙන් පුද පෙරහරකින් රැගෙන ගොස් ඉල් පොහොය එළඹෙන තෙක් සුරක්ෂිතව තබා ගත යුතු යි. ඒවා පිහිටා ඇත්තේ ද දළදා මාළිගාවට නුදුරින්. එම සියලු ම පූජනීය ස්ථානවල පොහෝ දින එක ම ස්ථානයක පහන් දැල්වීම සිදුවෙනවා.

කවරයේ ඡායාරූපය: අලුත් සහල් රැගෙන එමින් -  www.facebook.com/sridaladamaligawa

මූලාශ්‍ර:
දළදා ඉතිහාසය සහ සංස්කෘතිය- කුඹුරුගමුවේ වජිර හිමි
Bududarana.lk
Dinamina.lk

Related Articles

Exit mobile version