බ්‍රිතාන්‍ය පාලන සමයේ මුල් වර්ෂ කිහිපය තුළදී එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට බොහෝ ප්‍රවීණ සහ ආධුනික සිත්තරුන් පැමිණියහ. එකල බ්‍රිතාන්‍ය පාලකයින් සමඟ දිවයිනේ ඔබ මොබ සංචාරය කල මෙම සිත්තරුන් සිත්ගත් දර්ශන සහ සිදුවීම් තම කැන්වසයේ අපූරුවට සටහන් කළහ. මෙම කලා කරුවන් සිවිල් හෝ හමුදා පරිපාලන සේවයට අයත් වූ අය වූහ. ආදි සිලෝන් හි ( The British Military Establishment in Ceylon) බ්‍රිතාන්‍ය හමුදා සංවිධානයේ සිටි දක්ෂ, ස්වයං පුහුණුව ලත් කලාකාමි සිත්තරුන් අතර ලුතිනන් ලිට්ල්ටන්, කර්නල් දෙශොම් සහ කැප්ටන් ඕ බ්‍රයන් කැපී පෙණිනි. 1828 සිට 1837 කාල සීමාව තුල රාජකීය ඉන්ජිනේරුවරුන්ගේ සංගමයේ සේවයේ නිරත වූ කර්නල් ජෝන් දෙශොම් කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශ වල භූ ලක්ෂණ සහ ගොඩනැගිලි මනා ලෙස නිරූපණය කරමින් විශිෂ්ට සිතුවම් කිහිපයක් නිර්මාණය කලේය. මොහු ඉතා නම්‍යශීලි සිත්තරෙකු වූ අතර බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන ඉතිහාසයේ වැදගත් සිදුවීම් සමහරක සවිස්තරාත්මක සටහන් ඇතුලු සටහන් කිහිපයක් A SKETCH OF THE HISTORY OF CEYLON ලෙස නම් කරන ලද ලිතෝ මුද්‍රණ ක්‍රමය අනුව නිමවූ ඵලක 12ක සිතුවම් කොට ඇත.
ඉහත දැක්වෙන්නේ කර්නල් දෙෂොම් විසින් සිතුවමට නගන ලද කොළඹ කොටුවේ ප්‍රාකාර වලට මුහුණලා පෙනන ගාලු මුවදොරේ අපූරු දර්ශනයකි. චිත්‍රයේ පෙරබිමෙහි බ්‍රිතාන්‍ය නිලධාරීහු දෙදෙනෙකු සිටිති. (රාජකීය ඉංජිනේරුවරයින් විය හැකිය ) මැද පිහිටා ඇත්තේ විලයි. ඉංග්‍රීසි නිලධාරිහු මෙහි ජල ක්‍රීඩාවන්හි නිරත වූහ. විල මායිම් වන සේ ඇති පිට්ටනිය ඉංග්‍රීසියෙන් Galle Face Esplanade ලෙස හැඳින්වූ අතර එය ප්‍රධාන වශයෙන් තුරඟ පිටියක් ලෙස යොදා ගැණින. මේ වටා ඇති කවාකාර ක්‍රීඩා මණ්ඩපය සහ ප්‍රධාන වේදිකාව (Grand Stand) පසු බිමේහි දක්වා ඇත. සිතුවම්කරුගේ සහකාර නිලදාරියෙකු ට අයත් බංගලාවක් ඈතින් දැක ගන්නට ලැබේ. මෙම ගොඩනැගිල්ල පසු කලෙක 1898දී ගාලු මුවදොර හෝටලය හෙවත් ගෝල් ෆේස් හෝටලය ලෙස ප්‍රසිද්ධ වුණි. චිත්‍රයේ දකුණු පසු කොණෙහි දක්නට ලැබෙන්නේ 19 වන සියවසේ මුල් දශකයේ ගල්කිස්සේ ගොඩ නගන ලද බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර තෝමස් මේට්ලන්ඩ්ගේ නිල නිවාසයයි.
ගාලු මුවදොර පිටියේ මුල්ම උරුමකරුවන් වූයේ කවුරුන්ද?
“වත්මන් ගාලුමුවදොර පිටියේ සිට කොටුව දුම්රිය පළ ප්‍රදේශය දක්‌වා ඉඩම්වල හිමිකාරිත්වය එකල වැලිතර මහ කප්පින වලව්වේ රාජපක්‍ෂ මුදලිවරුන්ට අයත්ව තිබු බව කියනු ලැබේ. ගාලු මුවදොර පිටියේ මුල්ම උරුමකරුවන් වුයේද ඔවුන් බව පිළිගැනීමයි. කුරුඳු වගා හිමිකරුවන් වූ ඔවුන්ට අයත් මෙම ගාලුමුවදොර පෙදෙස එකල “මාපනේ” ලෙස හඳුන්වා ඇත. ජෝර්ඡ්ද අල්මේදා නම් ප්‍රතිකාල් සෙනෙවියා විසින් තනවන ලද සාන්ත ජෙරෝම් බලකොටුව” ගාලුමුවදොර පසෙක වූ බැව්ද සඳහන් ය.”
දිවයින පුවත්පතේ නිම්නය සංග්‍රහයේ පළවූ ලිපියක කොටසක් ඇසුරෙනි.
ඉංග්‍රීසින්ගේ විනෝදාස්වාදය සඳහා වෙන්වූ ගාලු මුවදොර එළිමහන් පිට්ටනිය
බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලන අවධියේ මුල් කාර්තුව තුළ සිවිල් සහ මිලිටරියේ සේවකයින් ගේ විනෝදාස්වාදය උදෙසා බොහෝ ක්‍රියාකාරකම් ආරම්භ කෙරිණි. දවසේ රාජකාරි වේලාව කෙටි වූ දිනයන්හි නිලධාරින්ගේ අමතර කාලය ක්‍රිකට් ක්‍රීඩාව සහ බෝට්ටු පැදීම ඇතුලු තවත් ජල ක්‍රීඩා සඳහා යොදා ගැණින. මේ වෙනුවෙන් උද්භිද උද්‍යාන, තුරඟ තරඟ පිටි සහ ක්‍රීඩා සමාජ ඉදි කරන ලදී. 1821 වර්ෂයේ පලමු භාගයේ, එවකට ආණ්ඩුකාරවරයාව සිටි ශ්‍රිමත්. එඩ්වඩ් බාන්ස් තුරඟ තරඟ ක්‍රීඩාවක් ලෙස මෙරටට හඳුන්වා දුන් අතර මුල්ම තරඟ පැවැත්වූයේ ගාලු මුවදොර පිටියේදීය. ක්‍රීඩාව සඳහා යොදාගත් පිට්ටනිය දිගින් සැතපුම් එක හමාරක් පමණ විණි. එය හොඳින් පස් පුරවා මට්ටම් කරනු ලැබුවේ විශේෂ අනුග්‍රහයක් ලබා ගනිමිනි. ක්‍රීඩා මණ්ඩපයේ ප්‍රධාන වේදිකාව ගඩොලින් තනන ලැබූ අතර පොල් අතු වලින් සෙවිලි කරන ලදී. මෙය රේස් කෝස් බංගලාව ලෙසද හැඳින්වූ අතර පසු කලෙක Colombo Club (1871) හි මුල් නිවාසය ලෙස භාවිතා වුණි. තාජ් සමුද්‍රා හොටලය අද පිහිටා ඇත්තේ මෙම භුමියේ ය.
රිචඩ් රෝලන්ඩ්ස් යනු ශ්‍රී ලංකාවේ කෝපි වගාව නගා සිටුවීමෙහි ලා පුරෝගාමියෙකු වූ සර්. විලියම් රෝලන්ඩ්ස්ගේ පුතණුවන් ය. මොහු දිනක් විලියම් සබොන්දියෑර් සමඟ කොළොම්පුරයේ සංචාරයක යෙදුණේය. මොවුන් දෙදෙනා කෝපි පැටවීමේ කටයුත්ත නිරීක්ෂණය කිරීම සඳහා පළමුව කොළඹ වරායට ගියහ. පසුව ඔවුන් ගාලු මුවදොර වෙතට පිවිසුණේ තුරඟ තරඟ නැරඹීම සඳහායි. තුරඟ තරඟ නැරඹීම සඳහා පැමිණි අති විශාල ජනකායෙන් ගාලු මුවදොර පිටිය පිරී ඉතිරි තිබිණි. අශ්වයින් විදුලි වේගයෙන් එහා මෙහා ධාවනය කිරීමේ මනරම් අවස්ථාව දැක බලා ගැනීමට රෝලන්ඩ් සහ විලියම් ට හැකි විය. ගෝල් ෆේස් පිටියේ තුරඟ තරඟ නැරඹීමෙන් අනතුරුව ඔවුන් නැවතත් කොටුව කරා නික්ම ගියහ. ඝන අව්වේ සහ ඝෝෂාකාරි සෙනඟක් මැද්දේ අශ්ව රේස් බැලූ රෝලන්ඩ් බෙහෙවින් තෙහෙට්ටුවට පත්ව සිටියේය. කොළඹ කොටුවේ සහ පිට කොටුවේ ටික වේලාවක් සංචාරය කිරීමෙන් පසුව රෝලන්ඩ් සහ විලියම් විඩාව නිවා ගැනීමට තේ කෝප්පයක් බීම සඳහා ගෝල් ෆේස් හෝටලයට ගොඩ වැදුණි. (මූලාශ්‍රය : rowlands-in-ceylon.blogspot.com)
Galle Face Esplanade හෙවත් ගාලු මුවදොරේ එළිමහන් පිට්ටනිය ආරක්ෂක භටයින්ගේ ව්‍යායාම් කටයුතු සඳහාත් කොළඹ නගරය හා ඒ අවට වාසින්ගේ විවේකි සක්මන් මළුව ලෙසත් යොදා ගැණිනි. උදේ, සවස පුරා පයින්, කරත්තෙන් හෝ අශ්වයා පිට පැමිණෙන මිනිසුන් විඩාව ඇරියේ කොළොම්තොටට සුවදායි සුළං රැළි ගෙන එන ගාලුමුවදොර වෙතට පිවිසීමෙනි. කාලගුණය එතරම් රුදුරු නොවන අවස්ථාලදී වූවද රැල්ල ගාලු මුවදොරේ වෙරළට ගසාගෙන ආවේ පෙන උපදවමිනි. මෙය ඉතා මනස්කාන්ත දසුනක් විය. සැතම්පුම් 7ක් පමණ දුරට ගල්කිස්ස දක්වා පැතිර ගිය ගාලු මුවදොර මුහුදු සීමාව අසබඩ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ අවශ්‍යතාවය අනුව ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පය අනුව මනරම් නිල නිවාසයක් තනන ලදී.
ගෝල් ෆේස් පිටියේ අඳුරු ඉතිහාසය
කොළඹ කොටුවේ සිට මදක් ඈතින් ගාලු මුවදොර පිටියේ වම්පස කෙළවර සුදු ජාතිකයින්ගේ සොහොන් පිටිය පිහිටා තිබුණි. මෙම භූමි භාගය එකල වදක බිමක් ලෙස ප්‍රයෝජනයට ගෙන ඇති බවද සඳහන් වේ. 1815 අප්‍රේල් 13 දා මෙහිදී වරදකරුවකු වූ ඉංග්‍රීසී යුද සෙබළකු වු ඩැනිෂ් ඩේල් නමැත්තා මෙහිදී වෙඩි තබා මරා දමන්නට ඉංග්‍රීසි ආණ්‌ඩුව ක්‍රියා කර ඇති බවද දැක්‌වේ. ලැස්කිරිඤ්ඤ හමුදාවේ ආරක්ෂාව ලත් ඉංග්‍රීසි සහ ලන්දේසි ජාතිකයින්ගේ සුසාන භූමිය ශක්තිමත් උණ පඳුරු වැටකින් සහ බඩවැටියකින් වට වී තිබිණි. මෙහි විවිධ යුධමය වාතාවරණවලදී සහ වසංගතයන්හිදී නැසී ගිය සෙබළුන් සිහිවනු වස් ඉදිකල ස්මාරක සහ තම ජීවිතය පරදුවට තබා සටන් කල සොල්දාදුවන්ගේ මලින් සැරසුණු සොහොන් කොත් බහුල වශයෙන් දක්නට ලැබිණි.
විකටර් අයිවන්ගේ අර්බුදයක අන්දරයේ මේ පිළිබඳ වැඩි දුරටත් සඳහන් වෙනවා.
“1803 ජනවාරි මාසයේදි ඉංග්‍රීසි හමුදාව විසින් කන්ද උඩරට රාජ්‍යය ආක්‍රමණය කරන ලද අතර, ආක්‍රමණික හමුදා පරාජය කොට ඔවුන්ට විශාල හානියක් කිරීමට කන්ද උඩරට රාජ්‍යය සමත් විය. යුද්ධයෙන් ඉංග්‍රීසි සොල්දාදුවන් විශාල පිරිසක් මරණයට පත් වූ අතර පසුබහින හමුදාව මැලේරියා උණට ගොදුරු වීම නිසා ඊටත් වඩා විශාල පිරිසක් මරණයට පත් විය. මැලේරියාවෙන් මිය ගිය සොල්දාදුවන් මිහිදන් කිරීමට තිබුණු සොහොන් පිටිය ඉඩ මදි වීම නිසා දැන් ගාලු මුවදොර පිරිය පිහිටා ඇති ප්‍රදේශය කනත්තක් බවට පත් කිරීමට සිදුවිය. විසි වැනි සියවසේ තුන්වැනි දශකයේදී එම සොහොන් හාරා භෂ්මාවශේෂ කොළඹ කනත්තේ තැන්පත් කොට, කනත්ත පිහිටි ස්ථානය ගාලු මුවදොර පිටිය නමින් මහජන උද්‍යානයක් බවට පත් කරන ලදී.”
ගෝල් ෆේස් යන නම පටබැඳුනු හැටි
ගාලු මුවදොර කාගේත් අවධානයට පැමිණෙන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීය. ඉතිහාසයේ සමහර පුරාවෘතවල හැටියට ලන්දේසි සමයේ යුධමය කටයුතු වල වාසි සඳහා ගාලු මුවදොර පිටිය ප්‍රයෝජනයට ගන්නට ඇතැයි සැලකේ. සංග්‍රාමික වශයෙන් වැදගත්කමක් ඉසිලූ බලකොටුවක් වන ගාලු කොටුව පිහිටා ඇත්තේ කොළඹ කොටුවට මුහුණලාය. එබැවින් ‘facing’ Galle හැඳින්වීම අනුව ගෝල් ෆේස් යන නාමය බිහි විණි. තවද ගාලු මුවදොර හරහා යන ලෙස බේරේ වැව සහ මුහුද අතර ඇති පටු භූමි භාගයේ ගාල්ලට යන මාර්ගය වැටී තිබිණි. මේ නිසා ගාලු පාරේ ආරම්භය යන අරුත එන ලෙස මෙම ප්‍රදේශයට ගෝල් ෆේස් යන නම පට බැඳෙන්නට ඇතැයි අපට අනුමාන කළ හැක. colombojumbo.com යන බ්ලොග් අඩවියේ සඳහන් වන විස්තරයකට අනුව ගෝල් ෆේස් යන නම හැදෙන්නට ඇත්තේ මෙන්න මෙහෙමයි. සිංහලෙන් ගල් ‘Gal” සහ ප්‍රංශ භාෂාවෙන් fausse braye හෝ fausse braie (Parapet) යන වචනයෙන් gal fausse යන වචනය බිහිවී ඇත. ලන්දේසීන් කොළඹ කොටුවේ ප්‍රධාන ප්‍රාකාර සහ දිය අගළ අතර ඇති තාප්පය සඳහා මෙම වචනය භාවිතා කරන්නට ඇත. සතුරු ප්‍රති ප්‍රහාර සහ වෙඩි හුවමාරු වලදී ගලින් නිමවූ මෙම තාප්පය ඔවුන්ට දැඩි ආරක්ෂාවක් සපයන ලදී. Gal Fausse පසුව ඉංග්‍රිසි පාලන සමයේ Galle Face ලෙස වෙනස් විණි. ගල් බොක්ක පාර හෙවත් කොළඹ Galle Buck Road ඔබ හඳුනනවා ඇති. කොළඹ කොටුවේ එක් කොටසක් ගල් බොක්ක දෙසට මුහුණලා ඇති හෙයින් faced’ the rocks යන හැඳින්වීම අනුව ගෝල් ෆේස් යන වචනය භාවිතා වන්නට ඇතැයි අපට තවත් ලෙසකින් අනුමාන කල හැක.
හෙන්රි වෝඩ් ආණ්‌ඩුකාරවරයාගේ තීරණය නිසා ජනතාවගේ විවේකය වෙනුවෙන් වෙන් වුණු ගාලුමුවදොර පිටිය
1859 එවකට ආණ්ඩුකාරවරයා වූ සර්, හෙන්රි වෝඩ් විසින් කොළඹ වෙසෙන කාන්තාවන්ගේ සහ දරුවන්ගේ විවේකය සහ විනෝදාස්වාදය උදෙසා මහජන උද්‍යානයක් ලෙස Galle Face Green යන නමින්, ගාලු මුවදොර පිටිය ප්‍රකාශයට පත් කරන ප්‍රදානය කරන ලදි.
උප රැජිනගේ අද්වකාත් තුමන් 1850දී ගාලු මුවදොර දුටුවේ මෙලෙසයි.
“සවස පහ හමාරට පමණ ගාලු මුවදොර හෝ කොලඹ හයිඩ් පාක් භූමියට අමුතුම ජීවයක් එයි. ප්‍රදේශය අවට මෝටර් රථ සහ අශ්වයින් එහෙ මෙහෙ සැරිසරනු ඔබට දැක ගත හැකි වනු ඇත. එංගලන්තයේ ලෝංග් ඒකර් හි නිමවන ලද ආණ්ඩුකාරවරයාගේ අශ්ව කරත්තය, ධනවත් ව්‍යාපාරිකයන්ගේ සිට මැද පන්තියේ සාමාන්‍ය වැසියන්ගේ රථ මෙන්ම දෝලාවේ සහ ගොන් කරත්තෙන් ගමනේ යෙදෙන්නන්ගෙන් මේ ප්‍රදේශය අවට පිරී තිබිණි.”
ගෝල් ෆේස් හෝටලය
1864 ගොඩ නගන ලද කොළඹ ගෝල් ෆේස් හෝටලය ආසියාවේ ඇති පැරණිම හෝටලයකි. සිලෝන් හි සංචාරක කර්මාන්තය ආරම්භ වීමට බොහෝ කලකට පෙරාතුව බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයින් පිරිසක් විසින් මෙය තනන්නට ඇතැයි සැලකේ. ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයේ ආණ්ඩුකාරවරයා, වැවිල් කරුවන් ඇතුළු අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රභූවරුන් නතර වුනේ මෙම හෝටලයේ ය. ඉන්දියන් සාගරයට මුහුණලා, අති මනස්කාන්ත පරිසරයක පිහිටා ඇති ගෝල් ෆේස් හෝටලය, 1894 දී ගෘහ නිර්මාණ ශිල්පී තෝමස් ස්‌කිනර්ගේ නිර්මාණශීලීත්වයෙන් තව තවත් ඔප වැටුණි. දේශීය මුහුණවරකින් ගොඩ නැගුණු හොටලය මෑතකදී නවීකරණයකට ලක් වූවත් ගොඩනැගිල්ලේ ප්‍රසාද මුඛය අදටත් නොවෙනස්ව පැවතීම විශේෂත්වයක්. තවද මෙරට මුද්දරයක සටහන් වුන පළමු හෝටලය ලෙස ගෝල් ෆේස් හෝටලය ඉතිහාසගත වෙයි.
ගෝල් ෆේස් හෝටලයේ කෞතුකාගාරය කියන්නේ ඉතා ඉපැරණි මතක සටහන් සංරක්ෂණය වී ඇති, ඔබ අනිවාර්යයෙන් නැරඹිය යුතු තැනක්. මේ අතරින් ෆිලිප් කුමාරයා (දෙවැනි එලිසබෙත් මහ රැජිණගේ ස්‌වාමිපුරුෂයා) ශ්‍රී ලංකාවේ සිටියදී භාවිත කළ මුල්ම රථය සුවිශේෂි අවධානයක් දිනා ගන්න වස්තුවක් වනවා.
කැනොන් බෝල් සිද්ධිය
“එම කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇති තවත් සුවිශේෂී කෞතුක වස්‌තුවක් වන්නේ කාලතුවක්‌කු උණ්‌ඩයකි. ඒ හා බැඳුණු අපූරු ඉතිහාස කථාවක් තියෙනවා.මේ උණ්‌ඩය නිකුත් වූයේ 1845 බ්‍රිතාන්‍ය යුද හමුදාවේ කාලතුවක්‌කු බලකාය විසින් කොළඹ කොටුවේ දකුණු සීමාවේ කළ යුද හරඹයකදී. අත්වැරැද්දක් හේතුවෙන් කාලතුවක්‌කුවෙන් මිදුණු රාත්තල් 30 ක් බරැති මෙම උණ්‌ඩය පතිත වූයේ නියමිත ඉලක්‌කයේ නොව (එවකට) ගෝල් ෆේස් හවුස් හි වහල මතට කියලයි කියන්නේ. වහළ බිඳිමින් බිම පතිත වුවද වාසනාවකට මෙන් පුපුරාගොස් නැත. එදා එම සිදුවීම සිදුවූ සැනින් එවක මෙරට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුකාරවරයා වු ශ්‍රීමත් කොලින් කැම්බල් මහතා පැමිණ එම විශ්මය සියෑසින් දැකගත්තා ලු . මෙම සිදුවීම ගෝල් ෆේස් හෝටලය සෑම මාර්තුවකම සමරනු ලබන අතර කැනොන් බෝල් සිද්ධිය කියලා තමයි මේක හඳුන්වන්නේ” – මූලාශ්‍රය : Awidimu.com
ගාලුමුවදොර අද…
ගාලුමුවදොර පිටිය පිහිටා ඇත්තේ ජනාධිපති මන්දිරය (එකල ආණ්‌ඩුකාර නිවාසය නොහොත් රජගෙදර) හා අරලියගහ මන්දිරය දෙකට මැදිවය. පෘතුගීසී, ලන්දේසී හා ඉංග්‍රීසී පාලනය දක්වා කොළඹ කොටුව ආරක්ෂා කල සද්ධන්ත කාල තුවක්කු අද අපට ගාලු මුවදොරේ දැක ගත හැකි නටඹුන් කිහිපයකි. එදා ගාලු මුවදොර කොස්, අඹ, පොල්, පුවක්, ආදී ගස්‌වලින් පිරුණු නිවාස කිහිපයකින් සමන්විතව තිබූ සශ්‍රීක පෙදෙසක් වූ බව ඓතිහාසික වාර්තාවලින් කියෑවේ. මෙහි වත්මන් භූමි ප්‍රමාණය අක්‌කර 12.5 කි. එදා මෙදා තුර විවිධ විපර්යාසයන්ට ලක්වූ ගාලු මුවදොර ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ බොහෝ වැදගත් සිදුවීම් සියැසින් දැක ගන්නට ඇති. අද කොළොම්පුරයට ගොඩ වදින කෙනෙක් ගෝල් ෆේස් පැත්තට ගොඩ වදින්නේ නැතුව නැවතත් ගම බලා යන්නේ නැති තරම්. දැන් ගාලු මුවදොර පිට්ටනියේ තුරඟ තරඟ නැති වුණත් සරුංගල් සැණකෙලි, මෝටර් ක්‍රොස් තරඟ, සංගීත සංදර්ශන ශ්‍රී ලාංකික වැසියන්ගේ රසාස්වාදය වෙනුවෙන් නොඅඩුව පැවැත්වෙනවා.
කොළඹ කොටුවේ නූතන දියුණුව අපේ ඇස ගැටෙන්නේ ගාලු මුවදොරට පිවිසුණාම කිව්වොත් ඔබත් ඊට එකඟ වේවි. නගරයේ කලබලකාරි පරිසරයෙන් මිදිලා ඉර බහින වේලාවේ මොහොතකට මුහුදු රැල්ල වැල්ලේ ගැටෙන හඬට සවන් දෙමින් යාළුවොත් එක්ක නානාස් එකේ ඉස්සෝ වඩයක් කන සතුට මිල කළ නොහැකි බව ඔබ හොඳාකාරවම දන්නවා ඇති. ඉංග්‍රීසි යුගයේදි ඉදිවූ පැරණි පාර්ලිමේන්තුව, සුඛෝපභෝගි, සුවිසල් තරු පහේ හෝටල්, පිට්‌ටු බම්බුව හෙවත් ලංකා බැංකුව, ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානය යනාදී ගොඩනැගිලි වලින් අලංකාර වූ කොළඹ නගරයේ ගාලු මුවදොර ලොකු කුඩා, දුප්පත්, පොහොසත්, දෙස් විදෙස් ඕනැම කෙනෙකු ආදරය කරන අඩවියක් වන අතර මෙය රැක ගැනීම අපේ පරම යුතුකමකි.