එදිනෙදා ජීවිතයේ දී මුහුණදෙන ගැටළු වලට නිසි විසදුමක් නොමැති වූ කල නිතැතින්ම ‘මේක නම් හරිම හිසරදයක්’ යනුවෙන් කියැවෙනු දකින්නට හැකියි. ඒ කෙසේ නමුත් “ඉවරයක් නැති හිසරදය” අපගේ ජිවිතයට බලපාන වෙනත් කරුණක්, රෝග තත්ත්වයක් නිසා හෝ වෙනත් රෝගයක බලපෑමක් නැතිව වුව ද ඇති වන්නට පිළිවන්. ඉතින් එලෙස ජිවිතයේ බොහෝ අවස්ථාවන්හි අපට හිසරදයක් වන හිසරදය ගැන මෙම ලිපියෙන් විස්තර ගෙන එනවා.
හිසරදය යනු කුමක්ද?
හිසරදය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී එය ලෝකයේ පුද්ගලයන් අතර වැඩි වශයෙන්ම දකින්නට ලැබෙන සෞඛ්‍ය ආබාධය ලෙස හඳුනාගැනීමට හැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්තයන් ද එය සනාත කරන අතර, මෙය බොහෝ විටෙක ඇතිවන්නේ ශරීරයට බලපාන වෙනත් රෝග තත්ත්වයක ලක්ෂණයක් වශයෙනුයි. නමුත් එය වෙනත් රෝගයක බලපෑමක් නැතිව වුවද ඇති විය හැකියි. බොහෝ විට ආතතිය, චිත්ත පිඩාවක්, හෝ වෙනත් සෞඛ්‍ය ගැටළුවක් (ඉරුවාරදය, අධි රුධිර පීඩනය, කාන්සාව, හෝ විශාදය වැනි තත්ත්වයන්) නිසා ඇතිවිය හැකියි. මේ කුමන ආකාරයකට හට ගත්ත ද පොදුවේ හිසරදයක් යනු, අපගේ මොළයෙහි තිබෙන වේදනාවට සංවේදී ස්නායු උත්තේජනය වීමෙන් හටගන්නා හිස ආශ්‍රිත වේදනාවක් ලෙස හැඳින්වීමට හැකියි.
හිසරදයක් ඇති වීම සඳහා බලපාන හේතු සාධක.
හිසරදය යන රෝග තත්ත්වය අපගේ හිසෙහි ඕනෑම කොටසක ඇතිවිය හැකියි. එනම්, හිසෙහි ඉදිරිපස, පිටුපස, හිස්මුදුන, හෝ හිස වටා ආදී ලෙස එක ස්ථානයක හෝ මුළු හිසම වශයෙනි. මෙම හිසරදය ඇතිවීම සඳහා විවිධ හේතු සාධක බලපාන අතර, The International Headache Society (IHS) (හිසරදය පිළිබඳ ජාත්‍යන්තර සංගමය) විසින් හිසරදය, එය ඇතිවන ආකාරය අනුව ප්‍රධාන කොටස් දෙකකට වෙන් කර තිබෙනවා. ඒ, වෙනත් රෝග තත්ත්වයක බලපෑමක් හෝ ප්‍රතිපලයක් නොවී හටගන්නා හිසරදය (primary headache), හා වෙනත් රෝගයක ලක්ෂණයක් ලෙස එහි බලපෑමෙන් ඇති වන හිසරදය (secondary headache) යනුවෙනුයි.
මෙහිදී වෙනත් රෝගයක බලපෑමක් නොමැතිව හටගන්නා හිසරදය තනි රෝග තත්ත්වයක් ලෙස හඳුනාගැනීමට හැකියි. එහිදී අධික්‍රියාකාරිත්වය හෝ හිසෙහි කොටසක ඇති න ගැටළුකාරීත්වයක් නිසා ස්නායු ආශ්‍රිතව ඇති වන වේදනාවක් මෙයට හේතු වෙයි. එහිදී මෙම තත්ත්වයට හිසෙහි රුධිර වාහිනී, මාංශ පේශීන්, හෝ හිස හා බෙල්ල ආශ්‍රිත ස්නායු අයත් වෙනවා. එමෙන්ම මොළයේ සිදුවන රසායනික ක්‍රියාකාරකම් වල වෙනසක් සිදුවීම ද හිසරදයට හේතු විය හැකියි. පොදුවේ මෙම ගණයට ඉරුවාරදය, හා ආතතිය නිසා ඇති වන හිසරදය අයත් වෙනවා.
වෙනත් රෝග තත්ත්වයක බලපෑමක් නිසා ඇතිවන හිසරදය, වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් ලෙස හැඳින්වීමට හැකියි. එහිදී ප්‍රධාන රෝගයේ ප්‍රතිඵලයක් ලෙස මොළයේ ස්නායු උත්තේජනය වීමෙන් හිසෙහි වේදනාවක් හටගැනෙයි. මෙම හේතුය යටතට විශාල පරාසයක පැතිරී ඇති වෙනත් රෝග තත්ත්වයන් හේතු විය හැකියි. ඒ, මොළයේ ඇතිවන ගෙඩියක්, මොළයේ රුධිර නාලයක රුධිර කැටියක් සිරවීම, මොළය තුල හෝ අවට රුධිරවහනයක් සිදුවීම, කාබන් මොනොක්සයිඩ් විෂවීම, මොළය සෙලවීමට ලක්වීම, විජලනය, වේදනානාශක අධිභාවිතය, භීතියට පත්වීම, ආඝාතය ආදී වශයෙනුයි.
හිසරදයේ විවිධ ආකාර.
හිසරදය එහි විවිධ ආකාර අනුව ද වර්ග කළ හැකියි. එක ආකාරයක් ලෙස ආතතිය නිසා ඇති වන හිසරදය (Tension Headache) හඳුනාගැනීමට හැකිවෙනවා. මෙය, බහුලවම දකින්නට ලැබෙන රෝගයක බලපෑමක් නොමැතිව ඇති වන (primary headache) හිසරද තත්ත්වයට අයත්වෙනවා. මෙම ආකාරයේ හිසරදය දවසේ මුලදී සෙමෙන් ආරම්භ වී දවස ගතවීමත් සමඟ ක්‍රමයෙන් වර්ධනය වෙනවා. මෙම තත්ත්වයේ දී රෝගියාට තම හිස වටා පටියක් තදින් බැඳ ඇතිවාක් මෙන් හැඟෙන අතර එය දිගට පැවතෙනවා. බෙල්ලේ වේදනාවක්ද ඒ සමඟ ඇතිවිය හැකියි. මෙම ආකාරයේ හිසරදය දවස් කිහිපයකට වරක් පැය කිහිපයක් පවතින, විටින් විට ඇති වන හිසරදයක් වශයෙන්ද, මාස ගණනක්, එනම්, අවම මාස 3 කට දින 15ක් හෝ වැඩිපුර පවතින නිධන්ගත හිසරදයක් ලෙසද හඳුනාගැනීමට හැකියි.
එසේම හිසරදයේ තවත් ආකාරයක් ලෙස ඉරුවාරදය හඳුන්වන්නට හැකි වෙනවා. මෙම ආකාරයේ හිසරදය සාමාන්‍යයෙන් හිසෙහි එක කොටසක පමණක් ඇති වෙන තත්ත්වයක්. මෙහිදී පෙනිමෙහි නොපැහැදිලි බවක් ඇතිවීම, ඔක්කාරය, ස්නායු කැළඹීම නිසා නිලන්කාරය ඇති වීම ආදී රෝග ලක්ෂණ දැකගත හැකියි. එසේම මෙම ආකාරයේ හිසරදය දෙවනියට වැඩියෙන්ම දකින්නට ලැබෙන, වෙනත් රෝග තත්ත්වයක බලපෑමකින් තොරව හටගන්නා හිසරද වර්ගයයි. මෙය යමෙකුගේ දිවියට ප්‍රබල බලපෑමක් ඇති කිරීමට ද සමත්. මෙම තත්ත්වය පැය කිහිපයක සිට දින 2-3 දක්වා ද පැවතීමට හැකියි.
ඖෂධ අවභාවිතය නිසාවෙන් ඇතිවන (Rebound Headache) හිසරදය ද තවත් ආකාරයක හිසරදයක්. මෙය වෙනත් රෝග තත්ත්වයක් නිසා ඇතිවන (secondary headache) හිසරදයන් අතරින් බහුලවම දැකිය හැකි තත්ත්වය ද වෙනවා. මෙය සාමාන්‍යයෙන් දවසේ ආරම්භයේ දී ඇති වී දවස පුරාම පවතිනු දැකිය හැකියි. මෙයත් සමඟ බෙල්ලේ වේදනාව, නාසයේ තද බවක් දැනීම, නිදාගැනීමට අපහසු බවක් ඇති විය හැකියි.
එසේම දවසට කිහිපවරක් කඩින් කඩ ඇති වන හිසරදය (Cluster Headache) යනු හිසරදයේ තවත් ආකාරයක්. මෙහිදී සාමාන්‍යයෙන් හිසරදය විනාඩි 5ක සිට පැය 3ක වැනි කාලයක් දක්වා සතියක් හෝ මාස කීපයක් පැවතීමට හැකිය. මෙය හදිසියේ ඇතිවන තත්ත්වයක් වන අතර, ඇතැම් කාලයන්හි දී රෝගය යටගොස් හිසරදය ඇතිවීම නවතිනවා. මෙම තත්ත්වය මාසයක සිට වසර කිහිපයක් දක්වා වුව ද කල් පැවතිය හැකිය. මෙම හිසරදය හිසෙහි එක පැත්තක ඇති වන අතර එය ඉතාමත් තීව්‍ර වෙනවා. එසේම එය සාමාන්‍යයෙන් එය ඇසක් ළඟ හෝ අවට ඇති වන අතර ඇතැම්විට බලපෑමට ලක්වන ප්‍රදේශය රතුපැහැ ගැන්වී ඉදිමුමක්ද දැකිය හැකියි.
එකවරම ඇති වන හිසරදය, එනම්, Thunderclap Headache තවත් ආකාරයක් හිසරදයක්. එය එකවරම, තීව්‍රව ඇතිවන අතර ප්‍රබල හිසරදයක් වෙනවා. මෙම හිසරදය විනාඩියක සිට විනාඩි පහක කාලයක් පැවතිය හැකියි. එය බොහෝවිට අවදානමක ලක්ෂණයක්ද විය හැකියි. හිස අභ්‍යන්තරයේ රුධිරවහනයක්, මොළයේ ශිරාවක රුධිරය කැටිගැසීමක්, රුධිර නාලයක පිපිරීමක්, හෝ මස්තිෂ්ක පටල ප්‍රදාහය (meningitis) වැනි තත්ත්වයන්ගේ ලක්ෂණයක් ලෙස ද මේ හිසරදය පැමිණිය හැකි නිසායි ඒ. එනිසා මෙවැනි එක්වරම ඉතාමත් තීව්‍ර හිසරදයක් ඇතිවුවහොත් වහාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි.
හිසරදය සඳහා හොදම හා අවශ්‍යම ප්‍රතිකාරය වන්නේ මානසික විවේකයයි. එසේම වේදනා නාශක වලින්ද යම් සහනයක් ලබාගත හැකියි. නමුත් හිසරදයක් සඳහා වේදනානාශක හිතුමතයට භාවිතා කිරීම නොකළ යුතු අතර වෛද්‍යවරයෙකුගේ නිර්දේශය යටතේ එය කළ යුතු වෙනවා. මන්දයත් වේදනානාශක හිතුමතේ භාවිතය වෙනත් සෞඛ්‍ය ගැටළු ඇති කිරීමට ද, Rebound හිසරදය ඇති වීමට ද හේතු විය හැකි නිසායි. මෙනිසා ඇතැම්විට කෙටිකාලීනව රෝහල්ගත වීමට පවා සිදුවිය හැකියි. අප බොහෝ දෙනෙක් පුරුදු වී ඇත්තේ හිසරදයක් ඇති වූ සැනින් වේදනා නාශකයක් ගෙන එය අමතක කර දැමීමටයි. නමුත් එය කල් පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්.
cover image: headachew00 (Dr Jean Paul Bohemier
මුලාශ්‍ර:
www.medicalnewstoday.com
mayoclinic.org
scientificamerican.com
patient.info