Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජවසම්පන්න විදිහට උදේ නැගිටින්නේ කොහොමද?

ඔබේ කාර්යාලයේ ඉහළ වැටුපක් හෝ තනතුරක් ලබාගැනීමට උත්සාහ කිරීම, ධනවතෙක්, ප්‍රසිද්ධියට පත්වූ කෙනෙක් වීම හෝ අඩුම තරමේ සමාජයේ විවිධාකාර මිනිස්සු සමඟ ජීවත්වීම ඔබට අභියෝගයක් වෙන්නට පුළුවන්. හැබැයි ඉතින් ඒ මොන දේ වුණත් ඒක උදේට නැගිටින එකට නම් දෙවැනියි. මොකද, උදේ පාන්දර නිදිමරගාතේ ඇඳ තරම් හොඳ කාන්දමක් තවත් මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඒත් ඉතින් පරක්කු වෙලා ඉස්කෝලෙට, කාර්යාලයට ගියොත් නම් ඉතින් කන් දෙක එපාවෙනකම් අහගන්න පුළුවන් වෙනවා. ඊට පස්සෙ මුළු දවසෙම වැඩක් කරන්න හිත දෙන්නෙත් නෑ, හැබැයි ඒකෙන් නරකක් වෙන්නෙත් ඉතින් අපේ අනාගතයටමයි.

ඉතින් මේ උදේට නැගිටගන්න අමාරු ප්‍රශ්ණය විසඳා ගත්තොත් හැමදාම අපිට සතුටින් ඉන්න පුළුවන්.

(lifehack.org)

(lifehack.org)

නින්ද කියන්නේ ශරීරයට අත්‍යාවශ්‍ය දෙයක්. නින්ද අඩුවෙන් ලැබුණොත් මානසික ආතතිය ඉහළ යාම, ඉක්මණින් සමේ මහළු බව ඇතිවීම, ස්ථුලතාව ඇතිවීම වැනි දේ සිට හෘද රෝග දක්වාම බරපතල තත්ව වලට ළඟා වන්නට හැකියි. ඒත් ඉතින් මේක අපේ බොසාලාට, විනය පාලක ගුරුවරුන්ට තේරෙන්නේම නැහැනේ. කොටින්ම කිව්වොත් ඉර මාමා උනත්  බලන්නේ සැර බැල්මක් දාලා අපේ දොයියට උදැල්ල දැමීමටය. ඒ කොහොම වුණත් ඉතින් දවසේම නිදාගන්නටත් බැරිය. මොකද, කන්න, බොන්නවත් නැගිටින්න ඕනනෙ.

කම්මැලිකමට අපි කෑවාම නිදිමතයි, නැගිට්ටාම බඩගිනියි ක්‍රියාපිළිවෙතේ හිටියාට අපි ගොඩනැගෙන්න නම්, රටක් විධියට ඉන්දියාවේ හැපෙන්නේ නැතිව ඉදිරියට යන්න නම් වැඩ කරන්න ඕන. නිකං හිටියා කියලාවත්, දවසේම නිදාගත්තා කියලාවත් කවුරුවත් ළඟට පඩියක් හරි කන්න ටික හරි ගෙනත් දෙන්නේ නැති වගේම හැමදාම අම්මලාගෙන්ම කකා ඒ මිනිස්සුන්ට බරක් වෙවී, රටට බරක් වෙවී ජීවත් වෙන එකේ කිසිම තේරුමක් නැත. ඉතින්, සමාජයට වැඩදායී පුද්ගලයෙක් වෙන්න ඇඳෙන් නැගිටින්නේ මෙහෙමයි.

ටිකක් කලින් නින්දට යන්න

බොහෝ දෙනෙක් දවල්ට ඔපීසියෙ මහන්සි වෙලා ගෙදර ඇවිත් රෑටත් එළි වෙනකම් වැඩ කරනවා. ඒ ජීවන අරගලය ජයගන්න හෝ වෙනයම් පෞද්ගලික කරුණු නිසා වෙන්න පුළුවන්. ඒත් දිනපතා මේ ක්‍රමය කරන්න ගියාම වෙන්නේ අපේ දවල් කාලයේදී ඇතිවන මානසික ආතතිය වැඩිවෙන එක විතරයි.

මහ රෑ වෙනකම් නැගිටගෙන හිටියාම උදේට නැගිටගන්නත් බෑ, ඔෆිස් එකේදිත් නිදිමතයි, වැඩක් කරගන්න ඇගට පණකුත් නෑ. ඊටත් වඩා පැවරුණු රාජකාරි ටික ඉවර නොවුණාම ප්‍රධානීන්ගෙන් බැණුම් අහලා දවසම නාස්ති කරගන්න එක නිසා තවත් හිතට නිදහසක් නැතිව යනවා. ඉතින් රෑ එළි වෙනකම් ඉන්න එක ජීවන අරගලය ජය ගැනීමක් නෙවෙයි, අරගලය තවත් මහා බර ගල්ගොඩක් කරගන්නවා විතරයි.

(npr.org)

(npr.org)

ඒ හින්දා ඔබට හවස කරන්නට තිබෙන වැඩ ටික කිරීමට ඇති පිළිවෙල අනුව බෙදාගන්න. එකදිගට එළි වෙනකම් කරනවා වෙනුවට රෑ 10.30 විතර වෙනකම් ටිකයි, උදේ ටිකක් කලින් නැගිටලා කරන්න ටිකයි විධියට බෙදාගන්න. මොකද, ඔබට විසඳාගන්න බැරුව නිදිමරමින් කාලය ගත කරනවාට වඩා රුසියානු කියමනක එන පරිදි “රෑට නැති නුවණ උදේට පහළ වෙනවා” නිසා රෑ කරගන්න බැරිවුණු දේ හොඳින් ලැබුණු නින්ද නිසා මනස යළි පණගැන්වී උදේට ඔබට ඉතාම පහසුවෙන් විසඳුමක් ගෙන දේවි.

ඔබ මේ වනවිටත් මේ පුරුද්ද තිබෙන කෙනෙක් නම් එකවරම කලින් නිදාගැනීම පහසු වෙන එකක් නැහැ. ඒත් ඔබ ඇඳට ගිහින් දෑස් පියාගෙන ඉන්න අතරේ හිත නිවෙන ගීතවලට සවන් දෙන්න. කිසිම විදියකින් හිතට වධ දෙන දේවල් හිතන්නේ නැතිව හිත නිදහස් කරගන්න. ගීතයට අවධානය යොමු කරන්න. ටික වෙලාවකින් නොදැනීම ඔබව සැහැල්ලු නින්දකට වැටේවි. ඊට විවිධ අහිතකර බෙහෙත් අවශ්‍ය නැහැ.

එළාම් එක විධියට ඔබ කැමතිම ගීතය තියන්න

(quotesgram.com)

(quotesgram.com)

ගොඩාක් ඔරලෝසුවල, දුරකථන නාදවල එළාම් එක විධියට තියෙන්නේ කණට ඉතා අපහසු ශබ්දයි. එයට හේතුව කණට අමිහිරි දේවල් නිසා අපේ නින්දට බාධා සිදුවන නිසා ගැස්සී ඇහැරීමයි.

ඒත් මෙන්න මේ උදේ පාන්දර ඇතිවන ගැස්ම අපේ මුළු දවසේම ක්‍රියා පටිපාටියම අවුල් කරන්නට සමත් වෙනවා. අපි අකමැත්තෙන්, අපහසුතාවයක් නිසා එකවරම ඇහැරුණාම තමයි ඇඳෙන් නැගිටගන්නවත් බැරි හැඟීමක් දැනෙන්නේ. ඉතින් ඒ අපහසුතාව මඟහරවා ගන්න අපි එළාම් එක නවත්තලා ආයෙත් නිදාගන්න පුරුදු වෙලා තිබෙන නිසා ආයෙත් ඇහැරෙද්දි රතු ඉරත් වැදිලා ඉවරයි.

සුභවාදී හැඟීම් එක්ක අවධි වෙන්න නම් සුභවාදී ආරම්භයක් අපිට අවශ්‍යයි. ඒකට හොඳම විසඳුම තමයි අපි කැමතිම ගීතය එළාම් එක විධියට යොදන එක. හැබැයි, එක කැමති ගීතයක් නෙවෙයි, ”කැමති ම ගීතය“ කියලා මතක තියාගන්න ඕනෑ. අපි හැමෝටම ඒ වගේ සින්දුවක් තිබෙනවානෙ.

බස් එකේ එහෙම අහම්බෙන් හරි ඇහුණොත් ගැබිණි මාතාවන්ට සීට් එක දෙන එකත් අමතක කරලා ඒක අහගෙන ඉන්නවා. ඉතින් අන්න ඒ ඔබේ හදගත් ගීතය තමයි අපි මේකට භාවිතා කරන්න ඕන. එමඟින් ඔබ නැගිටින්නේ ඔබ කැමතිම නාදය වෙනුවෙන්, එයට සවන්දීමේ අරමුණෙනුයි. ඉතින්, ඇඳේ හාන්සි වෙලා ඉඳගෙනම ඊට අවධානය යොමු කරගෙන ඉන්නා විට නිතැතින්ම ඔබේ මනස පිබිදී දවසට හොඳ ආරම්භයක් ලබා දෙනවා.

පිබිදුණු වහා හොඳින් ආශ්වාස ප්‍රශ්වාස කරන්න

ඔබට ඇහැරුණු ගමන් නැගිටින්න අපහසු බවක් දැනෙනවා නම් හොඳින් හුස්ම ගන්න. හත්-අට වරක් මේ විධියට කරද්දී නැගිටීමට අවශ්‍ය ශක්තිය ඔබට ලැබේවි. මෙමගින් හොඳින් රුධිර සංසරණය සිදුවෙමින් ශරීර ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් අවශ්‍යතාව සපුරා දෙන නිසා එමගින් ඔබව දවස සඳහා ඉබේම සූදානම් කරවනවා. විශේෂයෙන් මොළයට හොඳ රුධිර සැපයුමක් ලැබෙනවා කියන්නේ අපිට දැනෙන තෙහෙට්ටු ගතිය නැති කරමින් බුද්ධිය හොඳින් අවධි කරගන්නට පහසුවක්.

කරන්නට තිබෙන වැඩ ලැයිස්තුවක් හදාගන්න

(starecat.com)

(starecat.com)

ඉන් අනතුරුව ඔබට අද කරන්නට තිබෙන දේවල් එකින් එක කල්පනා කරන්න. ඒවා ලැයිස්තුවක් වගේ හිතෙන් හදාගන්න. ඉතින් මේ දේවල් කරන්න නම් තවදුරටත් මෙහෙම කම්මැලියා වගේ නිදාගෙන හිටියා කියලා බැහැ කියලා ඔබට එතකොට තේරේවි. මොකද, තව විනාඩියක් හරි වැඩිපුර නිදාගත්තත් අපිට අනිවාර්යයෙන්ම නැගිටින්න වෙනවා. ඒ වගේ ම විනාඩියක් වැඩිපුර නිදාගන්නවා කියන්නේ තවත් විනාඩියක් නිදාගන්න හිතෙනවා මිසක් “හරි මම දැන් නිදාගත්තානේ” කියලා අවසානයක් දැකීමක් සිදුවෙන්නේ නැහැ. ඒ නිසා වැඩ කරන්න නම්, නැගිටින්න ඕන.

කරන්නට තිබෙන වැඩ සිහිකිරීම හිතට අපහසුවක් කියලා ඔබ හිතනවා නම්, ඔබේ ජීවන ඉලක්ක ගැන කල්පනා කළත් කමක් නැහැ. ඔබට ඒ තත්වයට යන්නට අවශ්‍ය නම් මෙහෙම නිදාගෙන ඉඳලා බැහැ කියන ආවේගය සිතට ගැනීම තමයි මේ පියවරෙන් බලාපොරොත්තු වෙන්නේ.

නින්දට පෙර ජලය වීදුරුවක් පානය කරන්න

ඇඳෙන් නැගිටින එක ශරීරයට බල කරවන්න තවත් ක්‍රමයක් තමයි නිදාගන්න කලින් ජලය පානය කරන එක. එමඟින් උදෑසන ශරීර කෘත්‍යවලට පහසුවක් සැපයෙමින් බඩවැල් සුවපත් වෙනවා වගේම මුත්‍රා කිරීමේ අවශ්‍යතාවකුත් උදේ පාන්දර ගෙන එනවා. ඉතින් එ් සඳහා අනිවාර්යයෙන්ම ඇඳෙන් නැගිටින්න වෙන නිසා වැඩි මහන්සියක් නැතුවම බලෙන්ම ඇඳෙන් නැගිට්ටවා ගන්න පුළුවන්.

හැබැයි ඉතින් ඕනෑවට වඩා ජලය පානය කරන්නත් එපා. එතකොට එක්කෝ රෑ මැදියමේ නැගිටින්න වෙයි, එහෙමත් නැත්නම් උදේට වැඩ කරන එක පැත්තකින් තියලා ඇඳ ඇතිරිලි සෝදන්න වෙයි.

ශරීරයට පෙර සිත නැගිට්ටවා ගන්න.

ඉතින් මේ ක්‍රියා පිළිවෙල අනුගමනය කළොත් ඔබට ඉතා පහසුවෙන්ම ඔබේ කාන්දම් ඇඳෙන් නැගිටින්නට වගේම දවස සතුටින් ආරම්භ කරන්නත්, ඔබේ ඉලක්ක වෙත ලඟාවෙන්නට පහසුවකුත් ලැබේවි. කරන්න ඕනේ, ශරීරයට පෙර සිත නැගිට්ටවා ගැනීමයි. “අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ” කියලා සින්දුවකුත් තියෙනවානෙ.

මේ ගැන ඔබට හිතෙන දේ අපිට කියන්නත් අමතක කරන්න එපා.

මූලාශ්‍ර: Webmd.com, Huffingtonpost.com

කවරයේ පින්තූරය: huffingtonpost.com

Related Articles